බොහෝ රත්නයන්ට ආකරයක් බඳු වූ ශ්‍රී ලංකාද්වීපය වූ කලී රන්, රිදී, මුතු, මැණික් ආදී නොයෙක් වස්තූන්ගෙන් සමලංකෘත වූ භූමියකි. මෙනිසා ම ලංකාද්වීපය “රත්නදීප” යන නාමයෙන් ද හඳුන්වන ලද්දේ ය. පොළෝ තලයෙහි හා මහා සමුදුරෙහි ගැබ්ව පවතින එකී වස්තුව මිනිසුන්ගේ උත්සාහය නිසාත්, ඇතැම් පුණ්‍යවන්තයින්ගේ පුණ්‍ය ශක්තිය නිසාත් පොළෝ මතුපිටට පැමිණෙත්. එසේ පැමිණි වස්තුව ප්‍රමාණයෙන් මෙතෙකැයි කියා පැවසීමට කවරෙක් නම් සමත් වෙයි ද! ඒ සා මහා වස්තු සම්භාරයකට අතීත ලක්වැසියා සාඩම්බර උරුමකාරයන් බවට පත් වූහ. මෙරටෙහි ලියැවී ඇති ඇතැම් වංශකථා ආදියෙහි යම් පමණකට හෝ දැක්වෙන එකී වස්තුව ගැන බැලීමේ දී මෙතරම් වස්තුවක් මෙරටෙහි තිබුණේ දැයි කියා කෙනෙකුට නොසිතුණේ නම් එය මහා පුදුමයක් වනු නොඅනුමාන ය.

මෙරටෙහි ප්‍රථම බෞද්ධ රජු වන දේවානම්පියතිස්ස රජුගේ රාජාභිෂේකයත් සමඟ (රජුගේ පුණ්‍යානුභාවයෙන්) පොළොව යට තිබුණු නිධානයන්, මැණික් වර්ග පොළොවෙන් උඩට මතුව පෙනෙන්නට විය. ලක්දිව සමීපයෙහි බිඳී ගිය නැව්වල තිබූ මැණික් ආදියත්, මුහුදේ තිබෙන වෙනත් මැණික් වර්ගත් පොළෝ තලය මතට පැමිණියේ ය. නොයෙක් වර්ගයේ මුතු වර්ග මුහුදෙන් ගොඩ ගසා වෙරළේ වැටියක් මෙන් සකස් වී තිබුණි. දුටුගැමුණු රජු උපන් දවසේ නොයෙක් මැණික් වර්ගයන්ගෙන් පිරුණු නැව් හතක් මාගම මුහුදු වෙරළට සේන්දු විය.

මේ ආකාරයේ මහා ධන වස්තූන්ගෙන් ආඪ්‍ය වූ බොහෝ රජවරු එම වස්තුව යොදවමින් නොයෙක් ආකාරයේ විහාර කර්මාන්තාදියත්, වෙනත් පුණ්‍ය කර්මයනුත් සිදුකරනු ලද්දාහු ය. මේවා දෙස බැලීමේ දී ද පෙර රජ දවස එම රජ දරුවන් සතුව පමණක් තිබූ වස්තුව ගැන යන්තමින් සිතා ගත හැකි ය.

කාවන්තිස්ස රජු විසින් සේරුවාවිල මංගල සෑය තැනවීමේ දී සෑයේ ධාතු ගර්භය රියනක් දිග, වියතක් පළල, අඟල් සතරක ඝනකමින් යුත් රන් ගඩොලින් බඳින ලද්දේ ය. එමෙන් ම පමණ කළ නොහැකි රන්, රිදී, මුතු, මැණික් ආදියෙන් බුද්ධ ප්‍රතිමා වහන්සේ ඇතුළු නොයෙක් ප්‍රතිමාවන් ද නොයෙක් ආකාරයේ අලංකරණ කටයුතු ද සිදු කරනා ලදී. දුටුගැමුණු රජු විසින් මහා සෑ ගර්භය තැනවීමේ දී ද ගර්භය තුළ සියලු ම කටයුතු පාහේ රන් රිදී මුතු මැණික් ආදියෙන් සිදුකරනා ලද්දේ ය. සෑ ගර්භය ආලෝකවත් වීම පිණිස රන්, මැණික්, මුතු, දියමන්ති ගොඩවල් සතර කොණේ තබනා ලද්දේ ය. එම රජු විසින් ලෝවාමහාපාය තනවද්දී එම ප්‍රාසාදයේ ද බොහෝ කටයුතු සිදුකරන ලද්දේ සත් රුවනින් ම ය. කොටින්ම කියතොත් ප්‍රාසාදයට ඇතුළු වීමට ප්‍රථමයෙන් දෙපා සෝදා ගැනීම පිණිස වතුර පුරවන සැළිය හා ජලය ගන්නා හැන්ද පවා තනි රනින් කරවන ලද්දේ ය. (එබඳු වූ සුළු දෙයක් පවා රනින් කරන ලද්දේ නම් අනෙක් කටයුතු ගැන කියනු කිම?)

ව්‍ය. ව. පූ. 19 දී මහා සෑයට ඉතාමත් ආදර ගෞරව කරන භාතිකාභය නම් රජෙක් රාජ්‍යත්වයට පත් විය. එම රජු විසින් සෑයේ සුණු පිරියම් කිරීමේ පුණ්‍ය කර්මයේ දී ඉතා වටිනා මුතු ගැල් සියයක ප්‍රමාණයක් ගෙනවිත් ඒවා කුඩු කර ඒවායෙන් එම පුණ්‍ය කර්මය සිදු කරන ලද්දේ ය. එයින් නොනැවතුණු එම රජු විසින් මහාසෑය වැසෙන්නට පබළුවලින් කළ දැළක් පළඳා එහි සන්ධිවල කරත්ත රෝද තරමේ විශාලත්වයකින් රත්තරනින් කරන ලද නෙළුම් මල් එල්ලන ලද්දේ ය. මහා විහාරයට මහා විනාශයක් කළ මහසෙන් රජුගෙන් පසුව රජ වූ එම රජුගේ පුත් සිරිමේඝවර්ණ රජු මිහිඳු මහරහතන් වහන්සේගේ ගුණ අසා ඒ උත්තමයන් වහන්සේගේ පිළිරුවක් තනි රනින් කරවී ය. සතරවන වරට ලක්දිව සොළීන්ගෙන් බේරාගත් ධාතුසේන රජු දළදා මැදුරෙහි හා අභයගිරියෙහි බොහෝ නිර්මාණයන් රන්, මුතු, මැණික් ආදියෙන් සිදුකරන ලදී. ව්‍ය. ව. 559 දී රාජ්‍යශ්‍රීයට පත් මහානාම රජු විසින් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වෙනුවෙන් තනි රනින් ගෙයක් කොට එය රන් උළුවලින් සෙවිලි කරවී ය.

ඉන් පසුව රජ බවට පත් මහා ගුණැති 1 වන අග්බෝ රජු විසින් රුවන්වැලි මහා සෑය, අභයගිරිය හා ජේතවනය යන තුන් මහා සෑයන්හි ඡත්‍රයන් රනින් කරවා, සත් අට වාරයක් නිර්ලෝභී වූ රජු මාහැඟි රුවනින් තුන් මහා සෑයන් පුදනා ලද්දේ ය. එතෙකින් නොනැවතුණු එම රජු තවත් නොයෙක් ස්ථානයන්ට එබඳු ආකාරයේ පූජාවන් සිදු කරවී ය. ව්‍ය. ව. 633 දී රජ බවට පත් 2 වන කාශ්‍යප රජු නා නා මාණික්‍යයන්ගෙන් බබළන සිළුමිණි 3ක් තුන් මහා සෑ රජාණන් වහන්සේලා උදෙසා කරවී ය.

2 වන මිහිඳු රජතුමා විසින් අභයගිරියෙහි පස්මහල් උස රත්න ප්‍රාසාදය කරවා එම ප්‍රාසාදයෙහි දඹරනින් බුද්ධ ප්‍රතිමාවක් කරවී ය. පෙර රජවරු අනුව යමින් 2 වන සේන රජු ලෝවාමහාපායෙහි ඝන රනින් හා මැණික් එබ්බවීමෙන් දර්ශනීය බුදු පිළිම වහන්සේනමක් කරවී ය. 4 වන කාශ්‍යප රජු විසින් තුන් නිකායෙහි තිබූ පිළිම වහන්සේලා උදෙසා රනින් රැස් වළලු හා ඡත්‍ර ද මැණිකෙන් චූඩා මාණික්‍යය ද කරවූ අතර 4 වන මිහිඳු රජු ථූපාරාමයෙහි ධාතුඝරයට සිනේරු පර්වතය මෙන් බබළන දොරටුවක් රනින් කරවී ය.

එමෙන් ම අභයගිරි සංඝාරාමයෙහි රන්, රිදී කැටයමින් හා අනර්ඝ මාණික්‍ය එබ්බවීමෙන් අලංකෘත වූ ශාලාවක සප්ත රත්නයන්ගෙන් සුසැදි අඩි 2ක් උස බුද්ධ ප්‍රතිමාවක් තිබී ඇති අතර එම ප්‍රතිමාවෙහි දකුණු හස්තයේ මිල කළ නොහැකි තරමේ මුතු ඇටයක් සවි කොට තිබී ඇත. අභයගිරි ස්තූපය ද රනින් හා රිදියෙන් කැටයම් කොට නොයෙක් වර්ගයේ මැණික් ඔබ්බවා අලංකාර කොට තිබී ඇත. (මෙහි කරුණු කාරණා විස්තර කර ඇත්තේ ඉතාමත් කෙටියෙනි.)

මේ සියලු කරුණු කාරණාවලින් පෙර රජවරුන්ගේ ශ්‍රද්ධාවත්, ත්‍යාගශීලී භාවයත් මනා කොට ඉස්මතුවන අතර පෙර රජ දවස මෙරටෙහි පැවැති වස්තුව ගැන යන්තමට හෝ සිතාගත හැකි ය. එමෙන් ම මේ සියලු විස්තර දෙස බැලීමේ දී ද සමහර රජවරුන් විසින් තම බරට වස්තුව දුගී ජනයා හට බෙදා දී ඇති ආකාරය දෙස බැලීමෙන් ද තවත් ඇතැම් රජවරු විසින් (මුගලන් රජු) තම ඥාතීන්ගේ ප්‍රතිමාවන් පවා තනි රනින් කරවා ඇති බව සඳහන් විස්තර හමුවීමෙන් ද සමහර ඇමැතිවරු විසින් සිදුකර ඇති නිර්මාණ දෙස බැලීමේ දී ද (8 වන අග්බෝ රජුගේ වජිර නම් සෙන්පති ථූපාරාමයෙහි වටදාගෙය රන් උළුවලින් සෙවිලි කොට ඇතුළුවන දොරටුව ද රනින් කරවා ඇත.) අතීතයේ අප ජාතිය වනාහී මහා වස්තු සම්භාරයකට උරුමකම් ඇතිව ආඪ්‍ය ව වැජඹුණු ජාතියක් බව මනාකොට පිළිබිඹු වේ.

එහෙත් අද වන විට තත්ත්වය මුළුමනින් ම වෙනස් ය. අප රටත්, ජාතියත් දිළිඳු භාවයට පැමිණ බොහෝ රටවලට ණය වෙමින් විදෙස් ආධාර මත යැපෙන තත්ත්වයකට පත් වී ඇත. අප ජාතියට අයත් ව තිබුණු ඒ සා මහා වස්තුවකට කවර නම් වූ දෙයක් සිදු විණි ද? මේ රට මෙවන් තත්ත්වයකට කෙසේ නම් පත් විණි ද? බොහෝ දෙනෙක් එය නියමාකාරයෙන් දන්නේ නැත.

මෙසේ වීමට ප්‍රධානතම හේතුව විදෙස් රටවලින් පැමිණි ආක්‍රමණ හා එම රටවලින් යුද්ධවලට කුලී හේවායන් මෙරටට රැගෙන ඒම ය. මුල් ම සොළී ආක්‍රමණ සතරේ දී එම ආක්‍රමණික රජවරුන්ගෙන් සමහරෙක් ධාර්මික ව රට පාලනය කර ඇති බව සඳහන් වන නිසාත්, තවත් ඇතැමුන් බෞද්ධ වෙහෙර විහාරයන්ට පුද පූජා පවත්වා ඇති බවට සඳහන් ශිලා ලේඛන හමුවන නිසාත්, ඔවුන් විසින් වස්තු පැහැර ගැනීමක නිමග්නව සිටි බවට වංශ කථාවල ද පැහැදිලි සඳහනක් නොමැති නිසාත් එම ආක්‍රමණිකයන් මෙරටෙහි වස්තුව මංකොල්ල කෑවා යැයි ස්ථිර ව කිව නොහැකි වුව ද පසුව ආ ආක්‍රමණිකයනුත්, දෙමළ හේවායොත් වස්තුව පැහැරගත් ආකාරය පිළිබඳ විස්තර පැහැදිලිව හමු වේ.
3 වන ජෙට්ඨතිස්ස රජු මෙරටෙහි රාජ්‍යය පාලනය කරන අවධියේ (ව්‍ය. ව. 621) අග්බෝ නමැති අයෙක් ඉන්දියාවට ගොස් දෙමළ කුලී හේවායන්ගෙන් සන්නද්ධව මෙරටට පැමිණ රාජ්‍ය අල්ලාගෙන 3 වන අග්බෝ නමින් රජ විය. එහෙත් වැඩිකල් රාජ්‍යශ්‍රීය භුක්ති විඳීමේ භාග්‍යයක් එම රජුට නොතිබිණි. දාඨෝපතිස්ස නම් අයෙක් දකුණු දඹදිව ගොස් සොළී දෙමළ හේවායන්ගෙන් සන්නද්ධ ව ලක්දිවට සම්ප්‍රාප්ත ව අග්බෝ රජු පළවා හැර රාජ්‍ය අල්ලා ගත්තේ ය. ඉන් පසු එම රජුත්, දෙමළ හේවායනුත් එකතුව පෙර රජ දරුවන් සතුව තිබූ සියලු වස්තුව පැහැර ගන්නා ලදී. අහෝ ! මහා විහාරය, අභයගිරිය, ජේතවනාරාමය යන තුන් නිකායට අයත් ධාතු මන්දිරයන්හි තිබූ ධන සාරය පැහැර ගත්හ. එමෙන් ම රන් පිළිම වනසා රන් පැහැර ගත්තෝ ය. රන් මාලා ආදී වටිනා පූජා භාණ්ඩ ද පැහැර ගත්හ. එපමණකින් නොනැවතුණු ඔවුහු පවිටු නීතිය ම රජ කරන්නේ ථූපාරාම සෑ මුදුනෙහි සවිකර තිබූ ස්වර්ණමය කොත ද සිත් පිත් නැති ආකාරයෙන් පැහැර ගත්හ. ලක්දිවට ආභරණයක් බඳු වූ, ලංකාවාසී බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ වන් සෑ රජුන් වූ ස්වර්ණමාලී මහා සෑයට පළඳවන ලද නොයෙක් මාහැඟි රුවනින් ගැවසී ගත් රන් ඡත්‍රය ද බිඳ පැහැර ගත්තෝ ය. මහාපාලි දාන ශාලාවෙහි තිබූ පෙර රජදරුවන් විසින් පුදන ලද වටිනා බත් ඔරු දෙමළ කුලී හේවා භටයන් තමන් සතු කර ගත්හ. එම දෙමළුන් විසින් ම රජ ගෙවල් හා ධාතු මන්දිරවලට ගිනි තැබූහ.

පලා ගිය 3 වන අග්බෝ රජු ද යුවරජු ව සිටි සහෝදර කාශ්‍යප කුමරු ද තම දෙමළ සේනාව නඩත්තු කිරීම පිණිස, ථූපාරාම සෑය බිඳවා දෙවනපෑතිස් රජු විසින් ද 2 වන අග්බෝ රජු විසින් ද පෙර රජදරුවන් විසින් ද පූජා කරන ලද මාහැඟි වස්තූන් කිසිදු නීතියක් නොදත් පවිටුන් පෙරටු කරගෙන පැහැර ගත්හ. එමෙන් ම දක්ඛිණ විහාරයෙහි සෑය ද බිඳුවා වස්තුව පැහැර ගත්හ. තවත් අන්‍ය වූ බොහෝ සෑයවල් බිඳවා වස්තුව පැහැර ගත්හ. අඳෝමැයි! ධන ලෝභයත්, බල ලෝභයත් පෙරටු කරගෙන සිදු වූ විනාශයක තරම. (පසුව දාඨෝපතිස්ස රජුත්, යුවරජ වූ කාශ්‍යප රජුත් තමා කළ වරදෙහි පසුතැවීමට පත්ව යම් යම් පුද සත්කාරයන් විහාරාරාමවලට සිදු කරන ලද්දේ නමුදු විනාශයට කලින් පැවති ආකාරයට එම පුදබිම් පත් කළ බවට සඳහනක් නොමැත.)

1 වන සේන රජ දවස (ව්‍ය. ව. 786 – 789) දකුණු ඉන්දියාවේ පඬි රජු නමැති ආක්‍රමණික දෙමළෙක් මහා සේනාවක් ගෙන මෙරටට පැමිණ ලක් රජු හා යුධයට පැමිණියේය. යුද්ධයෙන් සිංහල සේනාව පරාජයට පත් වූයෙන් රජු අනුරාධපුරය අතහැර කඳුකරයට පලාගියේ ය. ලද අවසරයෙන් අනුරාධපුරය අල්ලා ගත් පඬි රජු සිංහල රජු සතුව තිබූ සියලු වස්තු භෝගයන් පැහැර ගත්තේ ය. ලෝවාමහාපායෙහි තිබූ සියලු රුවන් ද රනින් කළ සියලු පිළිම වහන්සේලා ද ශෛලමය බුද්ධ ප්‍රතිමා වහන්සේගේ නේත්‍රාවලට පූජා කොට තිබූ මාහැඟි මැණික් දෙපළ ද ථූපාරාම සෑයට පළඳවා තිබූ රන් කංචුකය ද ඒ ඒ විහාරවල රනින් නිම කොට තිබූ සියලු පිළිම ද සියලු වෙහෙර විහාරවලත්, නුවරත් ගත හැකි තාක් වටිනා වස්තූන් ද පැහැරගෙන යකුන් විසින් අනුභව කොට අත්හැර දමන ලද රොඩු ගොඩක් සෙයින් ලංකාදීපය ඕජස් රහිත කළේ ය. මෙකී සියලු වස්තුව රැගෙන ලංකාදීපය නැවත සිංහල රජුට ම පවරා පඬි රජු ඇතුළු සේනාව නැවත තම රට වෙත ගියහ. පසුව රජ පැමිණි 2 වන සේන රජු විසින් පඬි රට ආක්‍රමණය කොට රැගෙන ගිය වස්තූන් බොහෝ ප්‍රමාණයක් නැවත මෙරටට රැගෙන ඒමට සමත් විය.

එසේ බොහෝ වස්තුවක් නැවත මෙරටට රැගෙන පැමිණියත් බොහෝ කාලයක් එම වස්තුවට අයිතිවාසිකම් කීමට අපට නොහැකි විය. 5 වන මිහිඳු රජ දවස (ව්‍ය. ව. 912 – 960) චෝළ රාජ්‍යයේ 1 වන රාජ රාජ රජුගේ සොළී සේනාවන් මෙරටට පැමිණ ලංකා රාජ්‍යයේ පිහිටි රට ඇතුළු විශාල ප්‍රදේශයක් හස්තකප්‍රාප්ත කොටගෙන ලක් රජුගේ සියලු වස්තුවත්, සිංහල රාජ පරපුරෙන් පැවත ආ මාහැඟි ඔටුන්නත්, සියලු රාජ ආභරණත් පැහැරගෙන සොළී රජු වෙත යවන ලද්දාහු ය. එමෙන් ම මිල කළ නොහැකි දියමන්ති වළල්ලක් ද නො කැඩිය හැකි සිරියකුත්, භාග්‍යවතුන් වහන්සේගේ පටි ධාතුන් වහන්සේගේ කොටසකුත් ද යවන ලද්දාහ. එතෙකින් නොනැවතුණු ඔවුහු තුන් නිකායට ම අයත් ව තිබූ සියලු ධාතු මන්දිර හා විහාර ආදියෙහි රනින් කළ මාහැඟි ප්‍රතිමාවන් ඇතුළු සියලු වස්තුව ද ඕජස් උරා බොන්නා වූ යකුන් සෙයින් ලංකාවේ සියලු සාරය ද පැහැර ගත්තාහු ය. (මේ බව 1 වන රාජ රාජට පසුව රජ වූ රාජේන්ද්‍ර රජුගේ තංජෝර් තහඩු ලිපිවල එන සංස්කෘතික ශ්ලෝක දෙකකින් තහවුරු වන අතර ලංකාවේ ගම්වලින් චෝළ රාජ්‍යයේ මහ කෝවිලේ ප්‍රයෝජනය සඳහා අවශ්‍ය ද්‍රව්‍ය නිතර ම යැවූ බව 1 වන රාජ රාජ රජුට අයත් තංජෝර් සෙල්ලිපිවල සඳහන් වේ.)

විජයබාහු රජු විසින් මේ රට සොළීන්ගෙන් බේරාගෙන ලංකාදීපය ඒකච්ඡත්‍ර කළ පසු නැවතත් රට සමෘද්ධිමත් වීමට පටන් ගත්තේ ය. පරාක්‍රමබාහු රජ සමය, නිශ්ශංක මල්ල රජ සමය වන විට රට හොඳින් ම සමෘද්ධිමත් වී බොහෝ වස්තු සම්භාරයකින් ආඪ්‍ය ව මෙරට පැවති බව එම රජවරු විසින් සිදුකර ඇති විහාර කර්මාන්තාදියත්, රාජ මාලිගා ආදියත් දෙස බැලීමෙන් ද රජවරු විසින් ද තම බරට වස්තුව දන් දී ඇති බව සඳහන් වන හෙයින් ද මනාකොට ප්‍රත්‍යක්ෂ වේ.

එහෙත් සිංහලයින්ගේ අභාග්‍යයට ව්‍ය. ව. 1215 දී ලක්දිවට එල්ල වූ දරුණුතම ආක්‍රමණය එල්ල විය. කාලිංග මාඝ නම් වූ ඒ රුදුරු ආක්‍රමණිකයා විසින් ද පෙර රජ දරුවන් සතුව තිබූ සියලු වස්තුව ද ධනවත් මිනිසුන් සතුව තිබූ සියලු වස්තුව ද පැහැර ගන්නා ලදී. සාමාන්‍ය මිනිසුන් සතුව යම් වස්තුවක් තිබුණේ ද එය ද පැහැර ගත්තේ ය. ඒ ආක්‍රමණිකයන් විසින් ශ්‍රද්ධා සම්පන්න පෙර රජ දරුවන්ගේ කීර්ති දේහය බඳු වූ අභිමානවත් චෛත්‍යයන් බිඳ හෙළා ඒවායේ ජීව ප්‍රාණය බඳු වූ ශාරීරික ධාතුන් වහන්සේලා ද අතුරුදහන් කරවමින් වස්තුව පැහැර ගත්හ. බොහෝ ධනයෙන් ආඪ්‍ය ව පැවැති ලංකාදීපය දුප්පත්කමින් ආඪ්‍ය කරවී ය.

2 වන පරාක්‍රමබාහු රජු විසින් ලක්දිවට පිළිලයක් බඳු වූ එම ආක්‍රමණිකයන්ගෙන් රට මුදවා ගත් පසු නැවතත් ටිකෙන් ටික රට සමෘද්ධිමත් වූ නිසාත් (අනුරාධපුර, පොළොන්නරු රාජධානි තරම් නො වී ය.), කෝට්ටේ රාජධානිය වන තෙක් විශාල වස්තු මංකොල්ලයකට මේ සොඳුරු ලක්දිව හසු නොවූ නිසාත් කෝට්ටේ යුගය වන විට යම් පමණක හෝ වස්තුවකට අප මාතෘ භූමිය උරුමකම් පෑවේ ය. එහෙත් කෝට්ටේ රාජධානියේ අවසන් රජු වූ පෘතුගීසීන්ගේ රූකඩයක් බවට පත් වූ ධර්මපාල රජුගේ කාලයේ දී ගෝවේ ප්‍රතිරාජයා වූ දොන් අපොන්සු ද හොරොඤ්ඤා විශාල හමුදා භට පිරිසක් සමඟ කොළඹට පැමිණ රජුට උපකාර කිරීමට යැයි පවසමින් රජ මාළිගාවට ද කඩා වැද රජ වාසල ප්‍රධාන මුදලිවරුන් හා සේවකයින් බැඳ දමා මාළිගාව සිසාරා වස්තුව සෙවූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස බොහෝ මුතු මැණික් රන් රිදී ආදී නොයෙක් වස්තුව ද රජුගේ භාණ්ඩ ද මංකොල්ල කෑමට හැකි විය. (පෘතුගීසි රජුගේ අනුදැනුමකින් තොරව සිදු වූ මෙම මංකොල්ලය ගැන එම රජුට දැනගන්නට ලැබුණු පසු එම රජු පවා මෙය හෙළා දැක කණගාටු වී ඇති අතර හොරොඤ්ඤාට බෙහෙවින් දොස් පවරා ඇත. මෙයින් ඔවුහු කෙතරම් දරුණු වූ වස්තු මංකොල්ලයක යෙදුණේ දැයි කියා සිතාගත හැක.) ඉන් පසු ඔවුහු සීතාවක රාජධානිය ආක්‍රමණය කොට මුළු සීතාවක නගරය ම කොල්ලකා මුළු රජවාසලමත් මංකොල්ල කෑහ. (රජ වාසලේ අත්තිවාරම පවා කැණ වස්තුව සොයා ඇති බව සඳහන් වේ.) මේ ආකාරයෙන් පෘතුගීසීන් විසින් ද මෙරටෙහි තිබූ වස්තුවෙන් බොහෝ ප්‍රමාණයක් කොල්ලකා තම මව්රටට යවන ලද්දාහ.

මේ සියලු වස්තු මංකොල්ලයන්ගෙන් පසු අවසන් වශයෙන් යම් වස්තුවක් උරුමව තිබුණේ උඩරට රාජ්‍යයට පමණි. ව්‍ය. ව. 1815 දී සුද්දන් විසින් මෙරට යටත් කර ගත් පසු එකී වස්තුවෙන් ද අති විශාල ප්‍රමාණයක් පැහැරගෙන එංගලන්තයට යවන ලද්දාහ. (අද පවා එංගලන්තයේ රජ මාළිගයේ තිබෙන වටිනා මැණික් වර්ගවලින් බොහොමයක් ලක්දිවින් රැගෙන ගිය ඒවා ය.)

මේ ආකාරයෙන් විදෙස් ආක්‍රමණ නිසා මෙරටෙහි තිබූ මහා වස්තු සම්භාරයේ නියම උරුමකරුවන් වූ සිංහල ජාතියට එම උරුමකම අහිමි වී ගිය අතර අප ජාතිය බොහෝ දුප්පත්, ණය බරින් මිරිකෙන ජාතියක් බවට පත් වූහ. අතීතයේ අප සතුව තිබූ වස්තුව දෙස බලන කල්හි පරදේශක්කාරයින් එම වස්තුව පැහැරගෙන රැගෙන නොයන්න මේ මුළු ලංකාදීපය අතුරන්නට තරම් මුතු, මැණික්, රන්, රිදී ආදී වස්තුව තිබුණා යැයි කීම අතිශයෝක්තියක් නොවනු ඇත. විවිධ දෙවියන් අදහන එබඳු ජාතීන් නිසා සිංහල ජාතියට මෙවන් ඉරණමකට මුහුණ දීමට සිදු වුණා නම් යම් හෙයකින් යම් දවසක එක ම දෙවියෙකු අදහන, ලේ පිපාසිත, ම්ලේච්ඡ ජන කොට්ඨාසයකට අප රටටත්, අප ජාතියටත් යටත් වීමට සිදු වුවහොත් එදිනට සිංහල ජාතියට කවර නම් වූ ඉරණමකට මුහුණ දීමට සිදු වෙයි ද !

සටහන – මහමෙව්නාව භාවනා අසපුවාසී ස්වාමීන් වහන්සේ නමක් විසිනි. 

 

ආශ්‍රිත ග්‍රන්ථ :-
මහාවංශය
දීපවංශය
ධාතුවංශය
ලංකා ඉතිහාසය – ලංකා විශ්ව විද්‍යාලය
ශ්‍රී ලංකා ඉතිහාසය, 1,2,3 – අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව
ෆාහියන්ගේ දේශාටන වාර්තාව – මහාචාර්ය විමල්. ජී. බලගල්ලේ
රණශූර හෙළයෝ – චමින්ද මිහිඳුකුලසූරිය
වංශකථාවල නොකියවෙන ශිලා ලිපිවලින් හෙළිවන ලංකා ඉතිහාසය –
ඒ. එම්. කරුණාරත්න