මේ සිද්ධිය සත්‍ය සිදුවීමක්. මට මතක හැටියට හැමදේම ලියන්න හිතුවේ කාට හරි ප්‍රයෝජනයක් වේවි කියලා හිතලා. නොදන්න දේවල් කරන්න ගිහින් වටිනා මනුෂ්‍ය ජීවිත විනාශ වෙන එකට සංවේගයෙන් පුංචි හෝ උපකාරයක් පිණිසයි. මේ සිදුවීම හරිම බියජනකයි. කියෙව්වාම ඔබටත් ඔබේ මෝඩකම් ගැන දහඩිය දමාවී. සිත ගොළු වේවි. මෝඩකම් නො කළ අයට සතුට උපදීවි. කාටත් හැදෙන්න හොඳ පාඩමක් වේවි.

ඒ දවස්වල අසපුවට පිරිසක් පැමිණියා ප්‍රශ්නයක් කියන්න කියලා. මූණ අඳුරු වූ, දුකෙන් බර වූ අම්මා කෙනෙකුයි, තාත්තා කෙනෙකුයි, වයස 15ක විතර පුතෙකුයි එතන හිටියේ. කෝකටත් කියලා මම ඒ අයට කතා කළා. තාත්තා තමයි ප්‍රශ්නෙ කිව්වේ. අම්මා ඇඬූ කඳුළින් බිම බලාගෙන හිටියා.

“හාමුදුරුවනේ මට බෙල්ලෙ වැල දාගෙන මැරෙන්න හිතෙනවා.” තාත්තා ඒ විදිහට කිව්වා. වැඩිවියේ පසුවෙන ඔහු අනෙක් අය දිහා බලලා ඇස්වල කඳුළු පුරෝගෙන “මේ අයටත් ඒ විදිහට ම හිතෙනවලු හාමුදුරුවනේ ළඟකදි ඉඳලා.” ඔහු නැවත හඬමින් මේ විදිහටත් කිව්වා. “අපේ ලොකු පුතා ගිය මාසේ බෙල්ලේ වැල දාගෙන මැරුණා හාමුදුරුවනේ.” ඔවුන්ට ඒ වචන හරියට කියාගන්න අමාරුයි අඬන නිසා. මං ඇහුවා “මොකද වුණේ?” කියලා. එතකොට තමයි මේ සත්‍ය කතාව කිව්වේ.

මේ පිරිස වෙරළබඩ ප්‍රදේශයක පිරිසක් මට හිතෙන විදිහට. මාළු රස්සාවලට සම්බන්ධයි. මෙයාලගේ ලොකු පුතාට වයස 17දි පමණ මොකක්දෝ අසනීපයක් හැදිලා ඒක සුව නොවෙන නිසා ඒ පළාතේ මොකක්දෝ කෝවිලකට ගිහින් පඬුරක් ගැට ගහලා. ‘අනේ අම්මා, මගේ පුතා ඔබට බාරයි. සුව කොරලා දෙන්න’ කියලා පඬුරක් ගැට ගැහුවා. ඒ කපුවා දිෂ්ඨි වෙලා කිව්වා “ඕක උඹේ ගෙදර යට ලීයේ ගැටගහපන්, එතකොට සුව වේවි” කියලා. මේ අය ගෙදර ඇවිත් තවත් කපුවෙක් ගෙනෙල්ලා ළමයට සෙත් සාන්ති කරලා අර පඬුර ගෙදර යට ලීයේ ගැට ගැහුවා. ළමයට සුව වුණා. ගෙදරට ආපු කපුවා යද්දි බයිසිකලේ වැදිලා රිය අනතුරකින් මැරුණා. ඒ අය “අනේ අම්මා, මගේ පුතා බාරයි” කියලා බාර දීලා තියෙන අම්මා තමයි දිව එළියට දාගෙන ඉන්න යක්ෂණිය. මිනිස්සු කියන්නේ “මෑණියෝ” කියලා.

දැන් පුතා සනීපයි. අවුරුදු එකහමාරක් විතර ගියා. පුතා උසස්පෙළ විභාගයට පාඩම් කරනවා. දවසක් ළමයා අහලා තියෙනවා “අම්මා ඇයි මේ සුදු රෙදි පටියක් යට ලීයේ?” කියලා. අම්මා කීවා “උඹ ලෙඩ වෙලා උන්නු කාලේ ගැට ගහපු පඬුරක්.” කියලා. “මං ඒක ගලවන්න ද?” කියලා මේසයක් තියලා පඬුර ගලවලා මේසේ උඩින් තිබ්බා. අම්මා කිව්වා “පුතේ ඕක හෙට කෝවිලට ගිහින් දාමු.” කියලා. එදා රෑ අම්මා හීනයක් දැක්කා. ඒ අම්මා ඒ හීනේ ඒ විදිහට ම මට කිව්වා.

“හාමුදුරුවනේ මං දැක්කා මායි පුතයි දෙන්නා මෑණියන්ගේ කෝවිලට යනවා. මං අඬද්දී මෑණියෝ මගෙ පුතා ව ඇදලා ගත්තා. මං බිම වැටුණා. මං කෑගහගෙන නැගිට්ටා. මං හිතුවා පඬුර නිසා තමයි කියලා. එක පඬුරට තවත් පඬුරු එකතු කරලා උදේ ම ගිහින් කෝවිලට පූජාවක් තියලා ‘අපට කරදරයක් වෙන්න එපා’ කියලා පොල් ගෙඩියක් ගැහුවා හාමුදුරුවනේ. ඒත්…” ඒ අම්මා අඬන්න ගත්තා. තාත්තා තමයි ඉතිරි විස්තරේ කිව්වේ.

පඬුර ලෙහලා තුන්වෙනි දවසේ රෑ 9ට විතර පුතා කීවලු “අම්මේ මට අද හරි අමාරුයි. දැන් නිදාගෙන උදේ නැගිටලා පාඩම් කරන්න ද?” කියලා. අම්මා “හා…” කියලා. ඒ ළමයා පාන්දර දෙකට එලාම් තියලා, ෆෝන් එක චාර්ජ් එකට ගහලා මදුරු දැල දාගෙන නිදාගත්තා. අම්මයි, තාත්තයි, පොඩි පුතයි ළඟ ගෙදරක උත්සවයක් තිබිලා එහේ ගිහින්. රෑ වෙලා ගෙදර එනකොට තමයි ඒ ශෝචනීය සිදුවීම මේ අය දැකලා තියෙන්නේ.

“පුතා බෙල්ලෙ වැල දාගෙන එල්ලිලා හිටියා. ඒ ලණුව දාලා තිබුණේ අර පඬුර ගැට ගහපු තැන ම යි.” ඒ මිනිස්සු අඬ අඬා ඔය විස්තරේ කිව්වා. හත් දවසේ දානේ ඉවරයි. දැන් ඒ තාත්තාටත් මැරෙන්න හිතෙනවා. අම්මාටත් හිතෙනවා. පොඩි කොල්ලා ඔහේ බලාගෙන ඉන්නවා. මට හරි දුක හිතුණා. මම මේ විදිහට උත්තර දුන්නා.

“තාත්තේ මේ සිද්ධිය අපට හරියට තේරෙන්නේ නෑ. හැබැයි එක විසඳුමක් කියන්න පුළුවන්. ඒ තමයි ඔයාලා හැකි ඉක්මනින් රුවන්වැලි මහ සෑයට ගිහින් ඔය ජීවිත තුන තුනුරුවනට භාර කරන්න. රතන සූත්‍රය, මෝර පිරිත, අංගුලිමාල පිරිත කියන්න. දෙවිවරුන්ට පින් දෙන්න. තිසරණය සහිත පන්සිල් සමාදන් වෙන්න. ගෙදර ආවත් උදේ හවස ඔය පිරිත් කියන්න. ඉක්මනින් ඔය ටික කරන්නකෝ..”

අපි ම පිරිත් පොතක් දුන්නා. පිරිත් නූල් ටිකක් දුන්නා මහ සෑයේ දී ම ඒවා දාගන්න කියලා. “අපි අද ම යන්නම් හාමුදුරුවනේ” කියලා පිටත් වුණා. මාසෙකට පස්සේ ඒ තාත්තා කට්ටියත් එක්ක සිල් ගන්ට ආවා. ආයේ මැරෙන්න හිතුණේ නෑ කියලා තමයි පින් දීලා කිව්වේ. ඒත් පුතා ගැන ශෝකෙ එයාලගේ මූණේ පේන්න තිබුණා.

දැක්කා නේ ද ජීවිත භාර කරලා පඬුරු ගැට ගහන සෙල්ලම ඉවර වෙන හැටි. භූතයන්ට භාර කරන ජීවිත භූතයන් බිලිගන්නවා. රිය අනතුරුවලින් මැරෙන ගොඩක් අය දේවාලවල ගිහින් ජීවිත රකින්නට පඬුරු ගැට ගහපු අය. නිකමට හොයලා බලන්න. සමහර අය පඬුරු ගැට ගහලා බාර වෙලා ඒවා ඔප්පු කරන්න අමතක වෙනවා. අපට අමතක වුණාට භූතයන්ට ඒවා අමතක නෑ. සමහර උදවිය ඉන්නවා දකින දකින දේවාලෙට පඬුරු ගැට ගහනවා. සමහරු වටවන්දනාවේ යන්නෙ ම පඬුරුත් හදාගෙන ඊට පස්සේ ඔප්පු කිරීම අමතකයි. ඒ අය මැරෙන්න වැටෙනකොට ඒ දේවාලවල අය තමන්ගේ ඥාතීන් ඇදගෙන ඇවිත් “අරකී ඇන්න වර” කියලා පිටත් කරනවා. “උන් අපිට ණයයි. අපෙන් වැඩ අරං තියෙනවා.” ඊට පස්සේ මැරෙන්න වැටුන කෙනාට ඥාතීන් පේනවා. ඒ විදිහට මැරිලා ඒ දේවාලෙ ම දාසයෙක් වෙලා උපදිනවා. ඔන්න ඕකයි ඇත්ත කතාව.

ඉතින් දහස් ගණන් කට්ටිය ඉන්නවා දුක්ගැනවිලි කියලා පඬුරු ගැට ගහලා ආරක්ෂාව පතනකොට ඒ අය බැඳෙනවා. ඒක භූත ලෝකෙ හැටියක්. උන්ට කරපු නියෝගයක්. ඊට පස්සේ පඬුරු ගැට ගහපු අය පස්සේ. ඔප්පු කරනකල් බන්ධනේ තියෙනවා. ඔප්පු කළත් දේවාලවලින් වැඩ ගත්තට ණය ගෙවන්න වෙනවා. මැරෙන මිනිස්සු අතරින් බොහෝ අය භූතයන්ගේ දාසයන් වෙලා උපදිනවා. වැඩි හරියක් ස්ත්‍රීන්ට තමා මේ ඉරණම අත්වෙන්නේ.

ඊට පස්සේ “අරකගේ බෙල්ල මිරිකපං. අරකිට අච්චු දීපං කියලා මිනිසුන්ගේ ක්‍රෝධ සිත්වල නියෝග ඒ දාසයෝ කරනවා. තවත් පව් කරගෙන සතර අපායට ම වැටෙනවා. මෛත්‍රී බුද්ධ ශාසනයත් අහිමි වෙනවා. මිනිස් ලොව ඉපදුණත් “මේ අය අපේ” කියලා භූතයෝ මිනිස්සුන් ව වෙන් කර ගන්නවා. තිසරණේ පිහිටන්න දෙන්නේ නෑ. වරං දෙනවා. ශාස්ත්‍ර කියනවා. එක්කො වෙදහෙදකම්වලට හිත හදනවා. මන්ත්‍ර ගුරුකම්වලට හිත හදනවා. උදව් කරනවා. උපකාර ලැබෙනවා. තමන් හිතන පතන දේවල් කවුරු හරි කරවනවා වගේ දැනෙනවා. අපිට හිතෙන්නේ දෙයියෝ උදව් කරනවා කියලා. ඒත් ඇත්ත කතාව තමන් යම් පාර්ශවයකට අයිති වෙලා. නාග ලෝකෙන් ආව අයට නයි උදව් කරනවා. යක්ෂ ලෝකෙන් ආව අයට යක්කු උදව් කරනවා. දේව ලෝකෙන් ආපු අයට දෙවිවරු උදව් කරනවා. දේවාලවල දාසකම් කරපු අයට ඒ ඒ භූතයන් උදව් කරනවා. ඉෂ්ට දෙවියන්ට පින් පිණිස කියලා මෙහේ පින්කම් කරනවා. ඒ අයගෙන් උදව් අරගෙන ණය වෙනවා. ණය ගෙවන්න ඒ ඒ ලෝකවල උපදිනවා. අන්න ඒ විදිහටයි කෙනෙකුට බුද්ධ ශාසනය අහිමි වෙන්නේ.

ගොඩක් අය යම් යම් භූමාටු බලවේග තමයි පුදමින් ඉන්නේ. ඒ අයට වැඳ වැඳ, ඒ අයට පුද පඬුරු දිදී ඒ අයට ප්‍රශංසා කර කර කවදාවත් ඒ භුමාටු බලවේග ඉක්මවා යන්න බෑ. ඒ අයගේ දාසයෝ වෙනවා ගත්ත ණය ගෙවන්න. කෝ කවුරුත් සක්දෙවිඳුන් පුදන්නේ නෑනේ. සතරවරම් දෙවියන් පුදන්නෙ නෑනේ. ඉහළ දෙවිවරුන්ගේ ඇසුරක් අද මිනිසුන්ට නෑ. මුළු ජනගහණයෙන් දූවිල්ලක් තරම් ප්‍රමාණයක මහා පින්වන්ත අයට නම් ඉහළ දෙවිවරුන්ගේ ඇසුර ලැබෙනවා. ඒක මහා පිනක්. මහා භාග්‍යයක්. ඒ අය තිසරණේට ම උදව් කරනවා. දුක් අදෝනා මැසිවිලිවලට ගරහා දුක අවබෝධ කරන්නට උපකාර කරනවා. දෙවිවරුනගේ සැබෑ උපකාර මොනවා ද කියලා අද මිනිස්සු දන්නෙ නෑ. ඒ තරම් භූතයන්ගේ කවටකම්වලට මිනිස්සු රැවටිලා ඉවරයි. අපරාදේ අහිංසක ජීවිතවලින් වන්දි ගෙවන්න වෙනවා. සමහර උදවිය තමන්ගේ ජීවිත බාර කරලා දේවදාස, දේවදාසි වෙනවා. හින්දු ආගමේ එහෙමනේ තියෙන්නේ. ඊට පස්සෙ පස්සෙන් එනවා. අපිට අයිතියි කියලා. අද කාලේ ඉපදිලා බණ ඇහුවත් තිසරණේ හිත පිහිටන්නේ නෑ.

මේවට උදාහරණ කතා පත්තරයක් පුරවන්න තරම් ගන්න පුළුවන්. එතරම් සුලභයි. ඒ නිසා නොදන්න දේවල් කරන්න කලින් හිතා බලන්න. දෙවියන් වෙනුවෙන් පඬුරු ගැට ගැසීමේ අනතුරක් තියෙනවා. පඬුරු ගැට ගැසීම තිසරණේට නම් කිසිසේත් ම අයිති නෑ. ළමයි විභාග පාස් කරවන්න කියලා දේවාලවල ඇවිදින අම්මලා මේවා හොඳට හිතට ගන්න ඕන. ලෙඩ දුක් වෙනකොට තිසරණේ සිහි කරලා වත පිරිත කියන්න ඕන. හොඳ බේතක් හේතක් ගන්ට ඕන.
වෙච්ච භාරහාර මතක් වෙන ඒවා ඉක්මනට අහවර කරන්න. අපි භාරවලින් නිදහස් නිදහස් නිදහස් කියලා හිතන්න. අමතක ඒවා තියෙනවා නම් මහ සෑයේ මහා බෝධියේ උදෑසන ක්‍ෂීරපායාස, පලවැල, මල් පහන් ආදිය භාග්‍යවතුන් වහන්සේට පූජා කරලා ඒ සියලු පින් මෙතෙක් භාරවලට තුටුපඬුරු විදිහට අනුමෝදන් කරලා “අදින් භාරවලින් නිදහස් නිදහස් නිදහස්” කියලා හිතන්න ඕන. කටින් කියන්න ඕනෙ. තිසරණය සමාදන් වෙලා, පිරිත් කියාගෙන, සිල්ගුණ දම් රැකගෙන වාසය කරන්න ඕන. වෙන කොහොම නම් ගැලවෙන්න ද? මහ සෑයට දිවි පුදන්නට ඕන. දිවි ගියත් තිසරණයට හානි නොකර ගන්න හිතට ගන්න ඕන. මම බුදුරජාණන් වහන්සේ සරණ ගියා. ශ්‍රී සද්ධර්මය සරණ ගියා. ආර්ය මහා සංඝරත්නය සරණ ගියා කියලා නිතර හිතන්න ඕන. අද කාලේ දෙව්ලොව ඉපදෙන එකත් ලේසි නෑ.

පඬුරක් නිසා ජීවිතයක් බිලි දුන්න ඒ සිද්ධිය අපි දන්න කතාවක්. නොදන්න ඔය වගේ සිද්ධි කොච්චර ඇති ද? පින්වතුනි, දිවි තිබෙන තෙක් තිසරණයට දාස වෙන්න. බුදු ගුණ ම කියන්න. ගෞතම බුදු සසුන එළිය කළ සාරිපුත්ත, මහාමොග්ගල්ලාන, මහාකස්සප, මහාමිහිඳු ආදී මහරහතුන්ට පහදින්න. අපි කවදා හරි මැරෙනවා. ඒ නිසා ළාමක දේට උතුම් තිසරණය වනසා ගන්න එපා. භාරහාර නැතිව දුක විමසා, දුකින් නිදහස් වනු කැමති සිත් පහළ වේවායි සෙත් පතමි.

– මහමෙව්නාව අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේ නමක් විසිනි