බඹසර කියන්නේ පිරිපුන් නිවන් මාර්ගයට, ආර්ය අෂ්ටාංගික මාර්ගයට යි. මාර්ග ප්‍රතිපදාව කියන අර්ථය යි. තාපසීන් වහන්සේලාගේ තපස්වී ජීවිතයටත් බඹසර කියන වචනය භාවිත විය. මෛථුන්‍ය සේවනයෙන් වැළකී සිටීම යන අර්ථයෙන් ද සීලයක් ලෙස බඹසර යන්න භාවිත වේ. මේ ලිපියෙහි ලා උතුම් බඹසරෙහි ප්‍රණීත බවත්, කාමයෙහි දීන බවත් මොහොතක් විමසනු ලැබේ. කාමය හුදෙක් දුර්ගන්ධ ම ය. බඹසර සුගන්ධ ය. වත්මන් මිනිසාගේ සිත කාමයෙන් මුසපත් වී හමාර ය. ඔවුහු කාමාශාව සන්තර්පනය කරනු වස් නොයෙක් දුරාචාරයෝ කරත්. එහිලා අන්‍යයයෝ ද පුහුණු කරත්. ප්‍රචාරය කරත්. නොයෙක් ඖෂධ නිපදවත්. නොයෙක් උපකරණ නිපදවත්. වහා ලොව ව්‍යාප්ත වේ එය. ඒ කාමයේ ගන්දස්සාරය ලොව පැතිරෙන අයුරුයි. එහෙත් බඹසරට පුහුණුවක් හෝ උපකරණයක් හෝ ඖෂධයක් හෝ සුද්දන්ට නැත්තේය. ඒ සීල සුගන්ධය ඉතාමත් අතලොස්සකට උරුම ය. ඒ සීල සුගන්ධය වනාහී බ්‍රහ්මචාරී බව යි. කාම සන්තර්පනයෙන් ඈත් වීම එහිලා අර්ථය යි.

මනු ලොව ගැන කවර කතා ද? දෙව් ලොව ද බ්‍රහ්මචාරී සීලය පුරුදු කරන දෙවිවරු වෙත්. ඔවුන්ට ද දිව්‍ය අප්සරාවෝ ලක්ෂ ගණනින් වෙත්. අප්සරාවකගේ ශරීරයෙන් හමන සුවඳ මන්මත් කරවයි. එවැනි අප්සරාවන් ලක්ෂයක් නමුදු බැහැර කොට දෙවිවරු බඹසර පුරත්. මක් නිසා ද යත්, ඒ උපමා රහිත සොඳුරු රූසපු ඇති දිව්‍ය අප්සරාවන්ගේ පහසට වඩා, ඒ සුගන්ධයට වඩා බඹසරෙහි සුගන්ධය ශ්‍රේෂ්ඨ බැවිනි. අද මනු ලොව ශරීරයෙන් සුවඳ හමන එක ම ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් වේ ද? නැත. එහෙත් ඔවුනොවුන් වැළඳ ගනිත්. කාමයේ ගන්දස්සාරය යි ඒ. නමුදු බඹසර සුවඳ ය.

බඹසරෙහි සමාදන් වීමට සිතීම ශ්‍රේෂ්ඨ ය. සමාදන් වීම ශ්‍රේෂ්ඨ ය. පුරුදු කිරීම ශ්‍රේෂ්ඨ ය. බඹසරෙහි ගුණ කීම ශ්‍රේෂ්ඨ ය. යම් පිරිමියෙකු විවාහ වන තෙක් කිසිදු ලිංගික හැසිරීමක නොයෙදීම කුමර බඹසර යි. යම් ස්ත්‍රියක විවාහ වන තෙක් කිසිදු කාමුක පහසක් නොලැබීම කුමරි බඹසර යි. ඒවා උත්තම ගුණයෝ ය. මිය ගිය අයෙකුට ප්‍රාණය ලබා දීමට තරම් මෙලොව සත්‍යක්‍රියාවට එය යෝග්‍ය වූ බව සාම ජාතකයෙන් පෙනෙයි. සාම කුමරු, වැදුණු හීයෙන් මුර්ජා වී සිටින විට මව සත්‍යක්‍රියා කළා ය. ‘මා පුතු සාම, බ්‍රහ්මචාරී බව සත්‍යය යි. ඒ බලයෙන් සුවපත් වේවා’. සාම කුමරු ප්‍රාණය ලැබී ය. නොයෙක් උවදුරුවලදී බ්‍රහ්මචාරී සීල බලයෙන් සත්‍ය ක්‍රියා කොට සැප ලැබූ අවස්ථා ධර්මයේ සඳහන් ය. මෙහිලා එය නොව කාමය කෙසේ දුගඳ වේ ද බඹසර කෙසේ සුවඳ වේදැයි ඉදිරියට කියවන්න.

රූප, ශබ්ද, ගන්ධ, රස, පහස කෙරෙහි රාගී වූ තැනැත්තා එය ම සොයයි. මේවා සංවර වන්නේ ඉන්ද්‍රිය සංවරයෙනි. එහෙත් මෙකල ඒ උතුම් ඉන්ද්‍රිය සංවරය පුරුදු කරන්නෝ කවරහු ද? කරතොත් බ්‍රහ්මචාරීන් ම ය. කුමක් නිසා ද යත්, ඉන්ද්‍රිය අසවංර වීමෙන් බඹසර කැඩෙන නිසාවෙනි. සාමාන්‍ය ගිහි ජනයාට එවැනි ඉන්ද්‍රිය සංවරයක් නොමැති හෙයින් කාම ආශාවෙන් දැවෙන සිත් ඇතිව වාසය කරති. නිතර කාම පීඩාවෙන් සිටීමට සිදු වීම ගන්දස්සාරය මිස සුවඳ නො වේ. මේ කාමයේ දුගඳ යි.

කාම ආශාව නිසා තමාගේ කයින් තෘප්තියක් සොයයි. නාසයෙන් සොටු දියර ගලයි. කන් සිදුරුවලින් කලාදුරු ය. ඇස්වලින් කබ කඳුළු ය. කටින් සෙම කෙළ ය. මූත්‍රා මාර්ගයෙන් මූත්‍රා ජරා ය. අධෝ මාර්ගයෙන් අසූචි ය. කයින් දහඩිය ය. මේවා සියල්ල දුගඳ ය. නව ද්වාරයෙන් ම පිළිකුල් ගඳ ගසන දෑ ම වැගිරේ. ඉක්මනින් සෝදාගත යුතු ය. ඉක්මනින් පිසදා ගත යුතු ය. පිරිසක් මැදට යා නො හැකි ය. නා පිරිසිදු වී මොහොතක් පිරිස අතරට යයි. එහෙත් විටින් විට පිසදැමිය යුතු ය. සේදිය යුතු ය. ශරීරයෙන් යම්තාක් දෑ පිට වේ ද සියල්ල ම දුගඳ ය. ඒ දුගඳ අතර ම කය ස්පර්ශ කරමින් කාම තෘප්තියක් සෙවීම අහෝ මුළාවක්මැයි. ගඳ ගහන ශරීරය සතුටු කිරීම ගන්දස්සාරය යි. එයින් නිදහස් වීමට පුරුදු කරන බඹසර මේ ආකාරයෙනුත් සුවඳවත් ය.

නුවණ තියෙන අයෙකු උදෑසන අවදි වූ පසු මුහුණ නොසෝදා ම තමාගේ ශරීරය දෙස කණ්නාඩියෙන් බලනු මැනව. කෙතරම් අශෝභන ද? කෙස් ඇවිස්සිලා ය. කබ පිරිලා ය. මුඛයෙන් කෙළ වැගිරිලා ය. මුහුණ මොකක්දෝ වෙලා ය. කය දුගඳ ය. නිදා සිටි ඇඳ දුගඳ ය. උදේ අවදි වූ සැණින් මව්පියන් ද තම බිරිඳ ස්වාමියා ද දරුවන් ද කවුරුන් දෙස ද නොබලා නානකාමරයට හෝ ඇඟ සෝදාගැනීමට වහා දුවන්නේ මන්ද? මේ ශරීරයේ පිළිකුල නිසා ය. ඒ කය කාම තෘප්තියෙන් පිනවා අවසානයේ මොනවා නම් ලබන්ට ද? ඒ කයක් පිනවන්ට සුවඳවත් බඹසර කඩා ගන්නේ කුමකට ද? සැබැවින් ම කාමය දුගඳයි. බඹසර සුවඳයි..

කාම රාගය නිසා ඇතැම් රජවරු පවා ලඳු කැලෑවල ලැග්ගෝ ය. නීච ගෑනුන්ගේ ඇසුරට වැටුනෝ ය. නොපනත්කම් කළෝ ය. ලජ්ජාව සිඳ ගත්තෝ ය. අද ද ඇතැම් තරුණයෝ කාම රාගය හේතුවෙන් වැසිකිළියේ සිටිත්. ලඳු කැලෑවේ සිටිත්. රහස් තැන්වල සිටිත්. පොදු වැසිකිළිවල පවා තමාගේ විලි ලැජ්ජා නැතිකම ලියා තබත්. මේ වනාහි කාමයේ ගන්දස්සාරය පැතිරී යාම යි. බඹසර රකින්නෝ එවැනි දේ නොකරත්. ඔවුන්ට කාමුකයන්ට මෙන් සැඟවුණ තැන්, අඳුරු තැන්, රහස් තැන් අවැසි නැත. බ්‍රහ්මචාරීහු එළිමහනට, හුදෙකලාවට විසාරද ය. කාමය දුගඳයි. බඹසර සුවඳ යි.

තමාගේ ඇඳුම් දින කිහිපයක් නොසෝදා එක දිගට ම ඇඳගෙන සිටියහොත් තමාගේ ඇඳුම්වල ගන්දස්සාරය තමාට ද ඉවසිය නො හැකි ය. කිම, ඇඳුමේ වරදක් ද? නැත. ශරීරයේ තැවරී තිබූ නිසාවෙනි. වඩාත් දුගඳ ශරීරයේ මැයි. ස්පර්ශ වූ දෙයක් එසේ ගඳ ගසන බැවිනි. එවැනි ගඳ ගහන ශරීර සිපගන්නේ කවුරුන් ද? වැළඳ ගන්නේ කවුරුන් ද? එවැනි ශරීරයක් තවත් සොයන්නේ කවුරුන් ද? එවැනි කයක් ස්පර්ශ කොට සතුටු වන්නේ කවුරුන් ද? නමුදු කාමුකයෝ එසේ කරත්. අහෝ මේ ජරාවෙන් නිදහස් වීමට බඹසර රකින්න ඇත්නම් කෙතරම් අගේ ද? කාමය දුගඳයි. බඹසර සුවඳයි.

උදෑසන අවදි වූ විට තමාගේ කටේ දුගඳ ගැන ඔබ දන්නවා ද? දත් නොමැදි විට, නොසේදූ විට දුගඳ ය. තමාගේ මුඛය සේ ම අන් අයගේ මුඛය ද දුගඳ ය. ගන්දස්සාර ය. දුගඳ මුඛයකට ළං වන්නෝ කවරහු ද? එහෙත් කාමුකයා තම තෘප්තිය උදෙසා ගන්දස්සාරය ඉවසයි. තමාගේ දහඩියේ දුගඳ බලන්න. කිහිලි, ඉකිලිවල අපිරිසිදු බව සිහිකරන විට ද අප්‍රියාවකි. එවැනි දහඩිය ශරීර වැළඳගන්නෝ, සිපගන්නෝ කවරහු ද? කාමුකයෝ එසේ කරත්. දුගඳ ඔහුට සුභ ය. සංඥා විපල්ලාසය මෙය මැයි. තමාගේ අධෝ මාර්ගයෙන් පිටවන අශූචිය, මූත්‍ර මාර්ගයෙන් පිටවන මූත්‍ර ගැන සිහි නොකරන තැනැත්තා තවත් ශරීර ගැන සිත සිතා ඒවා ම කොහෙන් හෝ සොය සොයා ඡායාරූපයකින් හෝ බල බලා සතුටු වෙයි. ඒවා ගන්දස්සාර යි. ඒත් පතයි. සොයයි. සිඹියි. වැළඳ ගනියි. ගඳ ගහන ජීවිතමැයි. අහෝ බඹසර කෙතරම් සුවඳ ද? කාමය දුගඳයි. බඹසර සුවඳයි..

කාම රතියෙන් මත් වූවෝ නොයෙක් පවිටු දේ කරති. තම බිරිඳට වද දෙති. හිංසාවෙන් තෘප්තිමත් වෙති. පර අඹුවන්, පර පුරුෂයන් සොයා යති. පිරිමින්ට සම්මත ලෝකය අමතක වෙති. ගැහැනුන්ට සම්මත ලෝකය අමතක වෙති. අවිවාහකයන්ට කුමර, කුමරි බව අමතක වෙති. අසම්මතයේ – අධර්මයේ යෙදෙති. මේ කාමයේ ගන්දස්සාර බවයි. විටෙක තිරිසනුන් හා ද කාම රතිය සොයත්. අහෝ ගන්දස්සාරයක් මැයි. මරණින් මතු දුගතියේ උපත ලබා අශූචි කකා සැරව බිබී හෝ ගිනි දැලින් දැවී සිටීමට සිදුවෙත්. මේ කාමයේ සුවඳ ද? නැත. ගන්දස්සාරයයි. බඹසර පුරුදු කරන කෙනාගේ සුවඳ සුගතියේ විහිදී යයි. කාමය දුගඳයි. බඹසර සුවඳයි.

අද කාලයේ කාමයෙන් මත් වී ස්මාර්ට් ෆෝන් ගෙන කාමරවලට රිංගා ගනිත්. හොර රහසේ ජරාව බලත්. අනුන් අපිරිසිදු දේ කරනා අයුරු බලාගෙන තමා ද අපිරිසුදු වෙත්. මව්පියන් දුක සේ හරි හම්බ කරනා දේ එසේ දියාරු කර දමත්. තමාගේ වංචාව තමාට ම ය. තමාගේ රහස තමාට ම ය. ලොවට රහස් නැත. ඍද්ධිමත්හු දනිති. දෙවියෝ දනිති. යම රජු ද අගේට සිහිකරයි. ලෝකයා එය නොදනිති. සමාජ විද්‍යාඥයන් ද කායික විද්‍යාඥයන් ද උගන්වන ගුරුවරුන් ද ‘ඇඟට ඕන දේ ඇඟට දීපල්ලා. නැත්නම් ලෙඩ වේවි’ කියයි. ඒ ඔවුන්ගේ ගන්දස්සාරය යි. දීර්ඝ ආයුෂ ඇති කාලයේ අවම අවුරුදු 84000ක්වත් කෙනෙක් බ්‍රහ්මචාරීව, කයෙන් කාම ආස්වාදයක් නොවිඳ සිටි විස්තර ඔවුන් නොදනියි. සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළේ බ්‍රහ්මචාරී බව ආයුෂ වැඩි කරනා බවයි. ඒ බුද්ධ වචනයේ සුගන්ධය ඔවුන්ට දැනී නොමැත. කාමය දුගඳයි. බඹසර සුවඳයි.

වර්තමානයේ පිරිසිදු බුද්ධ වචනය කතා කිරීම හේතුවෙන් ම බඹසර ප්‍රශංසා ලබනවා විනා බටහිර ලෝකයත්, ඒ වගේ ම සුද්දන් ගැති දීන මිනිසාත් කෙසේ නම් බඹසර පසසන්ට ද? ඔවුන් කියන්නේ “විනෝද වෙයල්ලා, සතුටු වෙයල්ලා. වයසට යන්ට කලියෙන් කරන්න ඕන දේවල් කරපල්ලා. වයසට පලච්ච අයත් බෙහෙත් බීපල්ලා. ඇඟ තිරිහන් කරගෙන සතුටු වෙයල්ලා. බොහෝ වෙලා සතුටු වෙයල්ලා. මේ තෘප්තිය මිනිසා ලද පරම ලාභය යි.” අහෝ නොඇසේවා එවැනි වදන්. සුදනනි, වහා මේ මිනිස් ලොවින් කුසල් කොට, පින් කොට සරණේ පිහිටා සීලයෙන් සුරැකී සුගතියට යව්. තිරිසන් ලෝකයක් උදාවනු ඇත. මනුස්සයාගේ ආයුෂ අඩු වන්නට අඩු වන්නට කෙලෙස් අධික වේ. වහා ඇවිස්සේ. ඉන්ද්‍රිය සංවරය, සංයමය, බඹසර වාෂ්ප වේ. සුන්නද්දූලි වේ. මව්, සහෝදරිය හඳුනන්නේ නැති බල්ලන්, කුකුළන්, එළුවන් සේ එකිනෙකා අසද්ධර්මයේ යෙදෙති. එවකට ආයුෂ වර්ෂ 10කි. මේ බුද්ධ වචනය යි. මිග සංඥා ලබා කෝපයෙන් එකිනෙකා මරාගෙන බුරුතු පිටින් නිරය පිරී යන යුගය අනාගතයේ ය. එවකට විසඳුමක් නැත. සුදනනි, වහා මිදෙව්. ගුණදම් පුරුදු කරව්. බඹසර රකිව්. පෙහෙවස් රකිව්. කාමය දුගඳයි. බඹසර සුවඳයි. සිහි කරව්.
දාන ලක්ෂයකට වඩා බඹසරෙහි පුණ්‍ය විපාකය බලවත් ය. එනිසා තරුණ දරුවන් යොවුන් වියේ ම බඹසර පුරුදු වීම උතුම් ය. පුංචි දරුවන් කුඩා කල සිට ම පුරුදු වූවොත් ඒ නොඉඳුල් බඹසර සක් දෙවිඳුන්ගේ ආසනය ද උණු කරනු ඇත. විවාහ වූවන්ගේ බඹසර වැරදි කාම සේවනයෙන් වැළකීම යි. නිති පන්සිල් පෝය අටසිල් රැකීම යි. විවාහ වූවන් ද කාලෙන් කාලෙට පිරිසිදු බඹසර රැකීම කෙතරම් උතුම් ද! දරු මුණුබුරන් දුටුවෝ නිත්‍ය බඹසරෙහි පිහිටා දරු මුණුබුරන්ගේ වැඳුමට යෝග්‍යව පින් පුරවත්වා! සුගතිය ගැන සිතත්වා! කුමක් හෙයින් මෙතරම් බඹසර වර්ණනා කරද්ද? බොහෝ අකුසල් මැඩලිය හැකි ය. බොහෝ පින් උපදවාලිය හැකි ය. පිරිසිදු ය. පවිත්‍ර ය. නිර්මල ය. සුවඳවත් ය.

පැවිදි දිවියට ආ උත්තමයෝ ද සීලය සිදුරු නොකර ගත යුතු ය. පළුදු නොකර ගත යුතු ය. කැළැල් සාදා නොගත යුතු ය. බ්‍රහ්මචාරීන් මැද පිරිසිදු සුවඳ සමන් මල් යහනක සමන් මලක් විය යුතු ය. මැණික් යහනේ මැණිකක් විය යුතු ය. සුවඳ වනයේ සඳුන් රුකක් විය යුතු ය. පැවිද්දා දෙවියන් බඹුන්ගේ වන්දනාවට පාත්‍ර විය යුතු ය. උපස්ථානයට සුදුසු විය යුතු ය. දෙවියන්ගේ බැල්මෙන් ඔවුන්ට පින් පිරවිය යුතු ය. මන්ද යත්, බඹසර සිතාමතා කිලිටු කරගන්නා කෙනා දෙවියන් වහා අත්හරිනා බැවිනි. දෙවියන්ගේ උපකාර අද කාලයේ අවැසි ම ය. නීච කාම භූතයන් මිනිසා ආක්‍රමණය කර ඇති බැවිනි. කාම උවදුරු දුරු කිරීම ද බඹසරින් උපදවා ගත් ශක්තියෙන් ම කළ යුතුව ඇත. එනිසා අමනුෂ්‍ය උපද්‍රවයට ලක් වූ බොහෝ අයට බඹසර රැකීම ද එතරම් ම අසීරු වීගෙන යයි. නොපෙනෙන ලෝකය විසින් කෙනෙක් නීච කිරීමට කරන්නේ ම බඹසර කිලිටි කිරීම යි. පරම විරාගී සම්බුදු අපගේ ශාස්තෘන් වහන්සේගේ පිවිතුරු දිවියට දිවි පුදා මහා කසුප් මුනිඳුන් සිහි කොට, වරදින් නැඟී සිටි අංගුලිමාල මුනිඳුන් සිහි කොට, සරණ සිහි කොට, සත්‍යක්‍රියා කරමින් අමාරුවෙන් නමුත් රකින බඹසර උතුම් ය. ජීවත් වීමට ඇත්තේ තව ටික කලක් වන බැවිනි.

අපගේ ජීවිතවල වාසනාව අවාසනාව දෙක ම ඇත. අවාසනාව කුමක් ද? මෙතෙක් කාලයක් බඹසර ගැන මෙතරම් යශෝරාවයක් අපට ඇසුණා නම් ගොඩාක් අකුසල් අප සංවර කරගෙන ය. කලණ මිතුරු ඇසුර ලැබෙන තුරා උත්තම සීලයක් ගැන අපි නොඇසුවෙමු. දැන් උදා වූ යහපත කුමක් ද? මිය යන්නට පෙර දැන් ඇසෙන්නේ ය. මෙහිලා උපක්‍රම ඇත්තේ ය. බොහෝ දෙනෙකුගේ ජීවිතය ආපස්සට බලන විට කැළැල් ය. දුගඳ හමනවා වන්නට ද පිළිවන. නමුත් උකටලී නොවනු මැන. මාගේ ශාස්තෘන් වහන්සේ ද දහම් දෙසුවේ සිල්වතුන්ට නොව, ඒ දහම අසා ය ඔවුන් සිල්වත් වූයේ. එනිසා දහමින් ම යි මේ කුණු සෝදා දැමිය හැක්කේ.

සිදුවූ වැරදි, වැරදි ලෙස දැක අමතක කළ යුතු ම යි. දැන් සිතට නැඟෙන අපවිත්‍ර සිතිවිලි හා සිදුවන දේට පිළිකුල ඉපැද්දිය යුතු ම යි. අකුසලය පිළිකුල් කළ මනා ය. පිවිතුරු දිවියකට උත්සාහ කළ යුතු ය. ඊට අදාළ පින් ඉපැද්දිය යුතු ය. තිසරණය බලවත් කර ගත යුතු ය. නිකෙලෙස් මුනිවරු සිහි කළ යුතු ය. නිවන් මඟට සීලය අවැසි බව නිතර සිහි කළ යුතු ය. තමාව අපිරිසිදු වීමට බලපවත්වන පරිසරය වෙනස්කර ගත යුතු ය. උපකරණ ඉවත්කර ගත යුතු ය. ගින්දරයි පුලුනුයි දුරින් තබනා ලෙසිනි. කලණ මිතුරන් ඇසුරු කරන්න. ශ්‍රී සද්ධර්මය නිතර ශ්‍රවණය කරන්න. පුරුදු කරන ගුණධර්ම අන් අයට ප්‍රකට නොකරනු මැනවි. ගුණ ප්‍රකට කිරීම අනතුරක්මැයි. අකුසලින් මිදෙන්න ඕන කියන සිතිවිල්ල, කැමැත්ත, ඡන්දය හරි වටින්නේ ය. වරදක් වුණාම තැවි තැවී ඉන්න බොළඳ බව හරි භයානක ය. බොළඳ බවට වඩා නුවණින් නැගී සිටීම උදාරතර ය. පසුතැවි තැවී සිටීමට කාලයක් නැත. ජීවත් වීමට ඇත්තේ ටික දවසකි. සසුන ද සුළු කලකි. කලණ මිතුරෝ ද ටික කලකි. සුදනනි, අප්‍රමාද වන්න, නිවන සිතේ තබාගෙන කුසල් වඩන්න. සුගතියට යන්නට අවශ්‍ය ද ඒ සඳහා ය. කලණ මිතුරු ඇසුර සඳහා ය. එසේ නම් සිහි කරන්න නිතර, කාමය දුගඳයි. බඹසර සුවඳයි…

ගුරු ඔවදන් ඇසුරිනි.

– මහමෙව්නාව අසපුවාසී ස්වාමීන් වහන්සේ නමක් විසිනි