මේ ලෝකයේ නොයෙක් ආගම් තිබේ. ඒ ඒ ආගමට අයත් වෙන් වෙන් වූ ග්‍රන්ථයන් ද තිබේ. ඒ ඒ ආගමට අයත් ශ්‍රාවකයන් – බැතිමතුන් තම ආගම ලෙස අදහන්නේ එම ග්‍රන්ථයේ ඇතුලත් දේ ය. උදාහරණයක් ලෙස ගතහොත් ක්‍රිස්තියානි අයට බයිබලය තිබේ. මුස්ලිම් අයට කුරාණය තිබේ. බ්‍රාහ්මණයන් හට වේද ග්‍රන්ථ තිබේ. අන් ආගම්වලට ද එසේ ම ය. බෞද්ධයන් හට එසේ තම ආගම ලෙස සැලකිය යුතු, අදහාගත යුතු පාරිශුද්ධ ග්‍රන්ථයක් තිබේද? මෙම ප්‍රශ්නයට පිළිතුරක් දීමට බොහෝ බෞද්ධයෝ අපොහොසත් ය. එනිසා ම ඔවුහු ධර්මය යැයි සිතා, සැබෑ බුදු දහම යැයි සිතා නොයෙක් නොයෙක් පුද්ගලයන්ගේ ප්‍රකාශ සරණ යති.

සැබෑවටම බෞද්ධයන් වූ අපට එවැනි පාරිශුද්ධ ග්‍රන්ථයක් තිබේ ද? එසේ ය. එකක් නොව බොහෝ ප්‍රමාණයක් තිබේ. එනම්, පරම පිරිසිදු බුද්ධ භාෂිතය අඩංගු ත්‍රිපිටක ග්‍රන්ථයන් ය. අන්‍යාගමිකයන් ඔවුන්ගේ ආගමික ග්‍රන්ථයන්ට කිසි දිනක අගෞරව කොට කතා කරන්නේ නැත. එම ග්‍රන්ථ දොස් සහිත යැයි කියා බැහැර කරන්නේ ද නැත. නමුත් අවාසනාවකට මෙකල බුදුරජුන්ගේ ශ්‍රාවක වෙස්ගත් ගිහියෝ ද පැවිද්දෝ ද අපට ඇත්තේ බුද්ධඝෝෂ නම් අටුවාචාරී තෙරනමකගේ අතින් විකෘති වූ අඩුපාඩු සහිත ත්‍රිපිටකයක් යැයි නිගරු කොට පාරිශුද්ධ බුද්ධ වචනය බැහැර කරති. එසේ බැහැර කොට තමන්ගේ පුද්ගලික මතයක් වාද විවාද කරමින්, තර්ක විතර්ක කරමින්, තමන්ගේ නිරුක්ති ඉදිරිපත් කරමින් බුදුන්ගේ ධර්මය එය ලෙස තම අනුගාමිකයන්ට පෙන්වා දෙති.

එක් අතකට මෙය විස්මයට කරුණක් ද නොවේ. ශාසනය අන්තර්ධාන වීමට ළං වූ විට සිදුවන්නේ එබඳු දේ ය. ප්‍රතිවේධ ශාසනය අතුරුදහන් වී දැන් අවුරුදු දහස් ගණනකි. ප්‍රතිපත්ති ශාසනය මෙකල බොහෝ දුර්වලව ඇත්තේය. බාධා ද බොහෝ ය. එසේ තිබියදී පර්යාප්ති ශාසනය ද අතුරුදහන් කිරීමට මේ සසුන තුළ ම සිටින්නවුන් එක්වී සිටීම බොහෝ දෙව් මිනිසුන්ගේ අභාග්‍යයකි. පර්යාප්ති ශාසනය අතුරුදහන් වූ කල ප්‍රතිපත්තියක් කොයින් ද? ප්‍රතිපත්තිය නැති කල මගඵල ප්‍රතිවේධයක් කොයින් ලබන්ට ද?

පර්යාප්ති ශාසනය හෙවත් බුදුරජාණන් වහන්සේ වදාළ ධර්ම විනය කිසිදු විකෘතියකින් තොරව, අඩුපාඩුවලින් තොරව අද දක්වා ම ජීවමානව අප රටෙහි ඉතිරිව තිබේ. මෙකල පිනෙන් අඩු, ප්‍රඥාවෙන් හීන වූ අපට ඇති එක ම පිළිසරණ ඒ පර්යාප්ති ශාසනය උගෙන මනාකොට තිසරණයෙහි පිහිටා සිටීම යි. සරණ සීලයෙහි මැනැවින් පිහිටි, පිරිසිදු දහම් දැනුමක් ඇති තැනැත්තා කලණ මිතුරන්ගේ අනුග්‍රහය ද ඇතිව ටිකෙන් ටික ප්‍රතිපත්තියේ යෙදෙයි. ප්‍රතිපත්තියේ යෙදෙන්නා හට නිසි කල එහි ඵල ලැබෙනු ඇත.

එම නිසා අද දක්වා ම නිර්මලව පැවත එන පාළි ත්‍රිපිටකය කවුරුන් කීවද දොස් සහිත යැයි කියා, අඩුපාඩු සහිත යැයි කියා, සැක සහිත සිතින් බැහැර කරන්න එපා..! එයින් හානිය වන්නේ ඔබට ම ය. පරම පාරිශුද්ධ වූ බුද්ධ භාෂිතය ලෙස අප පිළිගත යුත්තේ අටුවාව හෝ වෙනත් පසුකාලීන ග්‍රන්ථ හෝ නොව ත්‍රිපිටකය යි. අටුවාවේ ඇති යම් කරුණක් ත්‍රිපිටකාගත ධර්ම විනය හා සැසඳී නොයයි නම්, ගැලපී නොයයි නම් එම අටුවාව ද බැහැර කළයුතු යැයි සමන්තපාසාදිකා විනයට්ඨකථාවේ ම සඳහන් වේ.

සද්ධම්ම පතිරූපක සූත්‍රයට අනුව මේ බුදු සසුන අතුරුදහන් කරන්නේ සසුන තුළ ම භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා වේශයෙන් සිටින, ශ්‍රද්ධා රහිත වූ, ධර්ම විනය ශාස්තෘ ලෙස නොපිළිගත් හිස් පුද්ගලයෝ ය. සිව්වණක් පිරිස ම මනාකොට තිසරණයේ පිහිටා, ධර්ම විනය ශාස්තෘන් වහන්සේ හැටියට තබාගෙන වාසය කරත් නම් බාහිර බලවේගයන්ගෙන් කොතරම් ගැහැට පැමිණිය ද බුදු සසුන බොහෝ කලක් සුරක්ෂිතව පවතින්නේ ය.