‘පින් කරන්න එපා..! පින් කිරීමෙන් සසර දික් වෙනවා..! නිවන් දකින්න පින් ඕන නෑ..!’ යන මතයේ සිටින අය මේ ලිපිය කියවන්න.

මෙලොව යහපත… පරලොව සුගතිය… නිර්වාණ සම්පත්තිය…. යන උතුම් ප්‍රතිලාභ සියල්ල ම බුදු සසුනක් මුණගැසෙන නුවණැති දෙව් මිනිසුන් හට උරුම වන පිළිසරණන්ට අයත් ය. මේ සියලු පිළිසරණ සලසාගැනීම පිණිස බෙහෙවින් උපකාර වන දෙයක් වේ ද, ඒ රැස්කළ පින ම ය. ඒ බව භාග්‍යවතුන් වහන්සේ විසින් ම පෙන්වා වදාළේ,

මානුසිකා ච සම්පත්ති – දේවලෝකේ ච යා රති,
යා ච නිබ්බානසම්පත්ති – සබ්බමේතේන ලබ්භති
මිනිස් ලොව යම් සම්පත්තියක් වේ ද, දෙව්ලොව යම් සම්පත්තියක් වේ ද, යම් උතුම් නිර්වාණ සම්පත්තියක් වේ ද, ඒ සියල්ල ම පින විසින් ම ලබාදෙයි” යනුවෙනි.
(නිධිකණ්ඩ සූත්‍රය – ඛු.නි. 1)

මේ ආකාරයෙන් සියලු යහපත සලසා දෙන නිසා ම යි බුද්ධාදී උත්තමයන් වහන්සේලා පෙර කළ පින් ඇති බව ප්‍රශංසා කළේ. (තස්මා ධීරා පසංසන්ති පණ්ඩිතා කතපුඤ්ඤතං) දෙව් මිනිසුන් හට යහපත, මංගල්‍යය උදාකරන මංගල කරුණු ඇතුළත් මහා මංගල සූත්‍රයේ ද (පුබ්බේ ච කතපුඤ්ඤතා) පෙර කළ පින් ඇති බව ජීවිතයට මංගල්‍යයක් බව මනාව පෙන්වා දී තිබේ. ඒ නිසා මෙලොව යහපත කැමති, පරලොව සුගතිය කැමති, උතුම් නිර්වාණ ශාන්තිය කැමති කෙනා පිනේ වටිනාකම හඳුනාගෙන සිටිය යුතු ම යි.

එමෙන්ම පින් රැස් කළ තැනැත්තා (කතපුඤ්ඤෝ උභයත්ථ නන්දති) මෙලොව පරලොව දෙකෙහිදී ම සතුටට පත්වෙන බවත් භාග්‍යවතුන් වහන්සේ විසින් ම යි දේශනා කොට වදාළේ. යම් දවසක කෙනෙකුගේ පින අවසන් වේ ද (යදා පුඤ්ඤක්ඛයෝ හෝති සබ්බමේතං විනස්සති) ඔහුගේ සියලු යහපත වැනසී යන්නේය. ඒ අනුව බලන කල යම් අයෙක් නුවණැති වේ ද, යහපත කැමති ඔහු විසින් තමන් සමඟ ම පැමිණෙමින් යහපත සදන නිධානයක් බඳු වූ පින ම යි රැස්කළ යුත්තේ. (කයිරාථ ධීරෝ පුඤ්ඤානි යෝ නිධී අනුගාමිකෝ) (නිධිකණ්ඩ සූත්‍රය – ඛු.නි. 1)

මෙපමණ යහපතක් උදාකර දෙන පින යළි යළි කරමින්, පින් කිරීමට කැමැත්තක් උපදවා ගන්නා ලෙස භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේගේ ශ්‍රාවකයන්ට අනුශාසනා කොට වදාළේ මහා කරුණාව නිසා ම යි.

පුඤ්ඤං චේ පුරිසෝ කයිරා – කයිරාථේතං පුනප්පුනං
තම්හි ඡන්දං කයිරාථ – සුඛෝ පුඤ්ඤස්ස උච්චයෝ
“යම් පුද්ගලයෙක් පිනක් කරයි නම් ඒ පින නැවත නැවතත් කරන්න. පින් කිරීම ගැන කැමැත්තක් උපදවා ගන්න. ඒ මක් නිසා ද යත්, පින යනු සැපයට ම කියන නමකි”
(ධම්ම පදය – පාප වර්ගය)

මේ ආකාරයෙන් බුදු සසුන තුළ “පින” මහා ඉහළින් පැසසුම් ලබද්දී, භාග්‍යවතුන් වහන්සේ විසින් ම පින් රැස්කිරීමට ශ්‍රාවකයින් උනන්දු කරවා තිබෙද්දී, “පින් රැස්කරන්න එපා….! පින් රැස්කිරීම තුළින් සසර දික්වේ…!” යන අධර්මය ධර්මයේ නාමයෙන් මේ වන විට සමාජගත වී තිබීම මහා බිහිසුණු අනතුරක් නොවේ ද? සැබෑවට ම අපි එසේ පිනට භයවිය යුතු ද? පිනට අවමන් කළ යුතු ද?

භාග්‍යවතුන් වහන්සේ විසින් ම අපට දේශනා කළා (මා භික්ඛවේ පුඤ්ඤානං භායිත්ථ) “මහණෙනි, පිනට භයවෙන්න එපා” යනුවෙන්. (මා පුඤ්ඤභායී සූත්‍රය – ඛු.නි. 1) එසේ නම් ඇයි අපි පිනට භය වෙන්නේ..? ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ විසින් ම වදාළා (මාවමඤ්ඤේථ පුඤ්ඤස්ස) පිනට ගරහන්න එපා යනුවෙන්. එසේ නම් ඇයි අපි ශාස්තෘන් වහන්සේ ඉක්මවා කල්පනා කරමින් මහා බිහිසුණු විපාක ඇති අකුසල් රැස්කරගන්නේ..? ඒ නිසා ධර්මයේ නාමයෙන් ඉදිරිපත් වෙන මෙම අධර්මයන්ට රැවටී නොසිටීමට තරම් නුවණැත්තෙක් නොවුණහොත් සියලු පින් වනසාගෙන බිහිසුණු පව් රැස්කරගෙන සසර අපා දුකට ඇදවැටීම මිස අනෙකක් නම් සිදු නොවේ.

ඊළඟට අප තේරුම්ගත යුතු කරුණ නම් සසර දික්වෙන්නේ පිනෙන් නොව අවිද්‍යාවත් තෘෂ්ණාවත් නිසා බවයි. පින නිසා සසර දික්වේ නම් පින් රැස් නොකර සිටීම හේතුවෙන් සසර කෙටිවිය යුතුයි නේද? නමුත් සැබෑවට ම සිද්ධ වන්නේ රැස්කළ පින නිසා ම සසර කෙටිවීම යි. සසර කෙටිකරගැනීමට කැමති කෙනා අවිද්‍යාවත් තෘෂ්ණාවත් දුරුකිරීම පිණිස ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරනු විනා පින් රැස්නොකර පිනට ගරහමින් සිටීමෙන් සිදුවන්නේ ඉමක් කොනක් නොපෙනෙන පරිද්දෙන් සසර දික්වීම යි.

ඒ වගේම අප තේරුම් ගත යුතු තවත් කරුණක් තිබේ. පිනෙන් සැපය උදාවන බව අපි දැන් තේරුම් ගතිමු. පිනෙන් උදාවන “සැපය” අර්ථ දැක්වීමේදී එම සැපය (නිබ්බානං පරමං සුඛං) උතුම් ම සැපය නිවනයි යනුවෙන් දැක්වෙන නිවන කෙළවර කොට තිබෙන්නක්. තථාගත ශ්‍රාවකයා පින් රැස්කරන්නේ ඒ උතුම් අරමුණ වෙනුවෙන්. නිවන අරමුණු කොටගෙන දාන, සීල, භාවනාදී උතුම් පුණ්‍ය කර්මයන්හි යෙදෙන වාසනාවන්ත ශ්‍රාවකයාගේ සසර ගමන ඒ හේතුවෙන් දික් වේ නම් සසර ගමන දික්වන්නෝ පින් රැස් කරන්නෝ ය. එසේ නම් පින් රැස් නොකර සිටින නාමික බෞද්ධයන්ගේත් අන්‍යාගමිකයන්ගේත් සසර ගමන කෙටිවනු ඇත.

මේ මිථ්‍යා මතය සමාජගත කිරීමට තැත් කරන අධර්මවාදීන් සැදැහැවතුන් මුළාවට පත් කරන්නේ පින් රැස්කිරීම නවතා කෙසේ හෝ ධර්මයේ හැසිර ඉක්මනින් සසරින් එතෙර වන ලෙසයි. ධර්මයේ හැසිරීම යනු කරුණු සතරකි. එනම් කල්‍යාණ මිත්‍ර ඇසුර, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධම්මානුධම්ම ප්‍රතිපදාව යි. මෙම කරුණු සතරෙන් තොර ධර්මයේ හැසිරීමක් නැත. බලන්න, ඒ සඳහා පින ම නේද උපකාර වන්නේ කියා.

මිත්තසම්පදමාගම්ම – යෝනිසෝ ච පයුඤ්ජතෝ
විජ්ජාවිමුත්ති වසීභාවෝ – සබ්බමේතේන ලබ්භති

මෙම ගාථාවට අනුව උතුම් කල්‍යාණ මිත්‍ර ඇසුරත් යෝනිසෝ මනසිකාරයත් ඒ තුළ පිහිටා උපදවාගත යුතු සියලු විද්‍යා විමුක්ති ආදී සියලු යහපත පින විසින් ම ලබාදෙන බවයි ධර්මයේ විස්තර වන්නේ. එසේ තිබියදී පින් රැස්කිරීමට ගරහමින්, ධර්මය අවබෝධ කිරීමට උනන්දු වීම කළගුණ නොදන්නා, ශාස්තෘන් වහන්සේවත් ඉක්මවා යන, බොහෝ දෙනාවත්, ඊට පෙර තමාවත් අනතුරේ දමන අසත්පුරුෂකමක් නොවන්නේද?

කලණ මිතුරු ඇසුර, යෝනිසෝ මනසිකාරය ආදිය පමණක් නොව බුදු, පසේබුදු, මහරහත් යන ත්‍රිවිධ බෝධීන් ම පිනෙන් ම යි උපදින්නේ.

පටිසම්භිදා විමොක්ඛා ච යා ච සාවකපාරමී
පච්චේකබෝධි බුද්ධභූමි සබ්බමේතේන ලබ්භති
(නිධිකණ්ඩ සූත්‍රය – ඛු.නි. 1)

උතුම් නිවන් මඟ වැඩීමෙන් උපදවාගන්නා පටිසම්භිදා, විමෝක්ෂ ආදී උතුම් ඤාණ ධර්මයන් ඇද්ද ඒ සියල්ලමත්, මහරහත්භාවය, පසේබුද්ධත්වය, සම්මා සම්බුද්ධත්වය යන ශ්‍රේෂ්ඨත්වයෙන් අග තැන්පත් වූ සියලු යහපත උදාකරදෙන්නේ පින නම්…. සැබෑවට ම පින රැස් කිරීම ද කළ යුත්තේ, පිනට අවමන් කිරීම ද කළ යුත්තේ යන වග ඔබ ම තීරණය කරන්න. භාග්‍යවතුන් වහන්සේ උතුම් නිධිකණ්ඩ සූත්‍ර දේශනාවේ අවසානයට දේශනා කළේ,

“ඒවං මහත්ථිකා ඒසා – යදිදං පුඤ්ඤසම්පදා
තස්මා ධීරා පසංසන්ති – පණ්ඩිතා කතපුඤ්ඤතං

උතුම් පුණ්‍ය සම්පත්තියෙන් මේ සා මහත් අර්ථයක් සිදුවන නිසා ම යි නුවණැති වූ පණ්ඩිත වූ උත්තමයන් විසින් කළ පින් ඇති බව වර්ණනා කළේ.”

එසේ නම් ලොව නුවණැති පණ්ඩිත යමෙක් වේද, ඒ සියලු උත්තමයන් වහන්සේලා පින වර්ණනා කළ සේක. පිනෙහි සමාදන් කළ සේක. එසේ තිබියදී යමෙක් පිනට ගරහයි නම්, පින් රැස්කිරීමෙන් අන් අයව ද වළකා නම් හෙතෙම අනුවණ බාලයෙක් විනා අන් කවරෙක් ද?

එමෙන්ම භාග්‍යවතුන් වහන්සේ විසින් පින විග්‍රහ කිරීමේදී දානය, සීලය, භාවනාව යන ත්‍රිවිධ පුණ්‍යක්‍රියා ප්‍රධාන කොට පෙන්වා වදාළා. ඒ තුළින් පින් රැස්කරගත හැකි බව ද පෙන්වා වදාළා. එමෙන්ම දානය (අත්හැරීම), සීලය, භාවනාවෙන් තොර නිවන් මඟක් තිබිය හැකිද? එසේ නම් අත්හැරීම, සීලය, භාවනාව ආදී උතුම් නිවන් මගේ අංගයන් පුරුදු කරන ශ්‍රාවකයා හට පින බැහැර කොට නිවන කරා යා හැකිද?

හොඳින් තේරුම් ගන්න… අප සැමදෙනාගේ ම සසර ගමන මේ සා දික්වීම සම්බන්ධයෙන් ගැරහුම් ලැබිය යුත්තේ අවිද්‍යාවත් තෘෂ්ණාවත් විනා පින නොවෙයි. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේගේ උතුම් අවවාද මත ජීවිතයට උතුම් පින් රැස්කරගනිමින්, ඒ වගේම සීල, සමාධි, ප්‍රඥා වශයෙන් උතුම් නිවන් මඟ වැඩීමට වීර්ය ගනිමින්, දුර්ලභව ලද මේ උතුම් ක්ෂණ සම්පත්තියෙන් උපදවාගත හැකි උපරිම ප්‍රතිලාභ ලබාගැනීමටයි අපි කල්පනා කළ යුත්තේ.

ඒ නිසා පිනෙන් පිරුණු ජීවිතයක් උපදවාගෙන ඒ පින උපකාරයෙන් ම මෙලොව පරලොව යහපත පමණක් නොව උතුම් නිර්වාණ සම්පත්තිය ද ලබාගැනීමට සියල්ලන්ට ම සිත් පහළ වේවා!

සුඛෝ පුඤ්ඤස්ස උච්චයෝ..!

මහමෙව්නාව අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේ නමක් විසිනි