අප බෝසතුන් දීපංකර මුනිරාජ පාමුල සුමේධ තවුස් ලෙස වැඳ වැටී පසුව විජිතාවී චක්‍රවර්තී ලෙස කොණ්ඩඤ්ඤ මුනිරාජ පාමුල වැඳ වැටී පිළිවෙළින් සුරුචි බ්‍රාහ්මණ, අතුල නාග රාජ, අතිදේව බ්‍රාහ්මණ, සුජාත බ්‍රහ්ම, සිංහරාජ, ඍෂි ප්‍රවෘජාවෙන් පැවිදි ජටිල මහඍෂි, උත්තර මානවක, සක්විති රජ, කාශ්‍යප මානවක, සුසීම තාපස, පුරින්දද සක් දෙවි, මංගල තාපස, සුජාත ඍෂි, විජිතාවි රජු, අතුල නාග රාජ, අරින්දම නාරජ, සුදර්ශන රාජ, සාරකප්ප ඛේම රාජ, පර්වත රාජ, ජෝතිපාල මානවක යන නාමයන්ගෙන් සූවිසි මුනිවරුන් පාමුල වැඳ වැටී ගෞතම බුදුරජුන් ලෙස විවරණ ලබා වෙස්සන්තර රජ ව මහා දාන පවත්වා තුසිත දෙව් භවනේ සන්තුසිත රජ ව පංච මහා විලෝකන බලා මධ්‍ය දේශයේ ලුම්බිණි උයනේ අවසන් වර ඉපදුණහ. මඟුල් ලකුණු බලන ලදින් හේ සිද්ධාර්ථ නම් ලැබ තුරුණු වියට පත් කල්හි යශෝදරාව සමඟ විවාහප්‍රාප්ත ව රාහුල පුතු ඉපදි පසු ගිහිගෙය හැරදා පැවිදි ව දුෂ්කරක්‍රියා අවසන නේරංජරා ගංතෙර සම්බුදු බව පසක් කර පුරා සත් සතියක් ලොව්තුරු සුවයෙන් වැඩ හිඳීමෙන් පසු බරණැස දී දම්සක පතුරවා පළමු වස් කල අවසන තුන් බෑ ජටිලයින් දමනය කළ සේක.

සම්බුද්ධත්වයෙන් නවවන මස පළමු ලංකාගමනයේ දී මහියංගණයට ද පස් අවුරුද්දකට පසු දෙවැනි වර නා දිවයිනට ද වැඩම කොට උන්වහන්සේගේ සම්බුද්ධත්වයෙන් අට වසරකට පසු තුන්වන ලංකාගමනය ලෙස කැලණිපුරයට වැඩම කොට පසුව ශ්‍රී පාදය දිවාගුහාව, දීඝවාපිය, මුතියංගණය, තිස්ස මහා විහාරය (සේරුවිල), ශ්‍රී මහා බෝධිය, මිරිසවැටිය, රන්මැලිසෑය, ථූපාරාමය, අභයගිරිය, ජේතවනය, සේල චෛත්‍යය, කතරගම කිරිවෙහෙර යන ස්ථානයන්හි සමවත් සුවයෙන් වැඩ හිඳි සේක. තව ද ලෝසතුන්ට මහත් අනුකම්පාවෙන් සතලිස් පස් වසක් දම් දෙසා පරිනිර්වාණයට පෙර මහා අදිටන් පහක් කර, ඉන් තුනක් බෝධීන් වහන්සේටත්, එකක් මහා සෑයටත්, තවත් එකක් ථූපාරාම පුදබිමටත් සිදු කර; එනම් ථූපාරාම සෑයේ ධාතු තැන්පත් කිරීමේ දී යමක මහා ප්‍රාතිහාර්යය පෑ යුතු බවට අදිටන් කර අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පා වදාළ සේක.

ඉන් පසු තුන් මසක් ඇවෑමෙන් ධර්ම රාජයාණන් වහන්සේ වදාළ සියලු ධර්මය සජ්ඣායනයට සිතා මහා කස්සප මහරහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් රහතන් වහන්සේලා පන්සියනමක් සප්තපර්ණී ගල්ගුහාව ඉදිරිපිට රැස් වූහ. එහි දී පරපුරෙන් පවත්වාගෙන යාම පිණිස ධර්මය කොටස් කර ඒවා බෙදා දී පළමුවන ධර්ම සංගායනාව කොට වසර සියයකට පසුව ධර්මය පිරිහීම වැළකීම පිණිස ද්විතීයික සංගායනාව කාකණ්ඩපුත්‍ර යස මහරහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සිදු කළ සේක. අප මුනිරජුන්ගේ සුධර්මය සුරක්ෂා කරනු වස් කැපවූ මහා මුනිවරයන් වහන්සේලාට අපගේ නමස්කාරය වේවා!

පඨම, ද්විතීයික සංගීති කරවා බුද්ධ පරිනිර්වාණයෙන් දෙසිය තිස් පස් වසරකට පසු කලක කරවූ තෘතීයික සංගීති කතා මෙසේ ය. සසුනේ පිරිහීම දුටු තිස්ස බඹ තෙමේ බඹලොවේ සිට මනුලොවට පා තබා මොග්ගලීපුත්ත තිස්ස නමින් පැවිදි වී උතුම් අරහත්වයට පත් විය. කලක් ගත වන විට අශෝක නිරිඳුන් නිග්‍රෝධ සාමණේර දර්ශනයෙන් පවර සම්බුද්ධ සාසනයට ඇලුම් දක්වන්නට විය. මෙම නිරිඳා නිතිපතා සැට දහසක් සඟරුවනට මහ දන් පවත්වන්නේ ය. මොග්ගලීපුත්ත තිස්ස තෙරුන්ගෙන් අශෝක අධිරජු මෙසේ විමසීය.

“ස්වාමීනි, ශාස්තෘ ධර්මයන් කොපමණ ද?” එවිට “අසූ සාරදහසක්” බව පිළිතුර වූ කල්හි අශෝක අධිරජු “එක් සුධර්මයකට එක් විහාරයක් කරවන්නෙමි.” යැයි පවසා ඒ සඳහා අනූ සය කෙළක් ධනය වෙන් කරවී ය. අශෝක නිරිඳු තමා හුන් නගරයේ අශෝකාරාමය ඉදිකරවන්නට විය. මෙසේ අසූ හාරදහස් වෙහෙර විහාර නිමවා එක ම දිනයක දී සම්බුදු සසුනට පුදා, ඒ සා විශාල පින්කමක් කරවා මොග්ගලීපුත්ත තිස්ස මහා ස්ථවිරයාණන් වහන්සේගෙන් තමා බුදුරජුන්ගේ නෑයෙකු වීදැයි විමසූ කල අනාගතය බැලූ මහරහතන් වහන්සේ රාජ පුත්‍ර මහින්ද කුමරුගේ ද රාජ දුහිතෘ සංඝමිත්තා කුමරියගේ ද පැවිදි වීමෙන් සැලසෙන අපමණ යහපත දැක, “තවම නැති බවත්, එයට තම පුත්‍රයෙක් පැවිදි කළ යුතු බවත්” පැවසූ කල්හි තම පුත්‍ර මහින්ද කුමරුගෙන් ද තම දුව වූ සංඝමිත්තා කුමරියගෙන් ද විමසා සිටියෙන් ඔවුහු එයට මහත් ප්‍රිය බවින් ම පැවිදි වූහ. මහින්ද තෙරුන් වහන්සේ පැවිදි මාලකයේ ද සංඝමිත්තා මෙහෙණින් වහන්සේ පැවිද්දෙන් සුළු කලකින් ද අරහත් භාවයට පත් වූහ. පසුව මහින්ද තෙරුන් වහන්සේ උපසම්පදාව ලබාගෙන තුන් වසකින් අසූදහසක් මහා සුධර්මය උගත්හ. දම්සෝ නිරිඳුන්ගේ අනුග්‍රහයෙන් මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේ අනතුරුව මහා තෘතීයික සංගීති පතුරවා නැවතත් සුධර්මය සුරක්ෂිත කරවා ගාන්ධාර, කාෂ්මීර ආදී දීප නවයකට ධර්මස්කන්ධය ලබා දුන් සේක.

ලංකාදීප සුදම් කතාව මෙසේ ය,

මෙසමයෙහි ලංකාදීපය සිසාරා දෙවන පෑතිස් රාජ අණසක පැතිරුනේ විය. මෙම නරනිඳු අශෝක නිරිඳුන්ගේ හොඳ ම මිත්‍රයෙකු විය. අශෝක නිරිඳුන්ට මෙතුමා ලබා දුන් අගනා මාණික්‍යයන්ගෙන් තුටු වූ මේ රජු එයට තුටු පඬුරු ලබා දීම කැමති ව විවිධ සුදම් ගැති පණිවිඩ යැවීය. ඉනික්බිති ඒ දෙවන පෑතිස් රජ තෙමේ පොසොන් පොහෝ දිනයේ මුව දඩයමට යන කල්හි මහා මිහිඳු මහරහතන් වහන්සේ ඍද්ධියෙන් අම්බස්තලයට වැඩම කළ සේක.

පසුව මහින්ද මහරහතන් වහන්සේ රජුන්ගේ බුද්ධිය පරීක්ෂා කොට චුල්ල හත්ථිපදෝපම සූත්‍රය දෙසා සවස් කාලයේ භණ්ඩුක උපාසක තෙමේ හට පැවිදි උපසම්පදාව ලබා දී සුමන තෙරුන් අමතා මෙසේ වදාළ සේක. “සුමනයෙනි, දැන් බණ අසන කාලය යි. එය හඬ නගා දැනුම් දෙව.” “ස්වාමීනී, කොපමණ දුරක් හඬ අස්සවන්න ද?” “මුළු තම්බපණ්ණියට ම අස්සවන්න.” යැයි පැවසූ කල්හි සුමන අරහත් තෙරුන් අම්බස්තල ආරාධනා පර්වතයට නැඟ මහා ඉර්ධියෙන් මහා තම්බපණ්ණිය සිසාරා දහම් ඝෝෂාව නැගූ කල්හි එය ඇසූ සැම දේවතාවෝ එය නැවත නැවත මුවින් මුව පවසා බ්‍රහ්ම ලොව තෙක් හඬ පැතිරූහ. මෙලෙස අප මහා මහින්ද මහරහත් තෙරුන් ආසිවිසෝපම සූත්‍රය, දේවදූත සූත්‍රය, සමචිත්ත පරියාය සූත්‍රය, පේතවත්ථු, විමානවත්ථු, බාලපණ්ඩිත සූත්‍රය, අග්ගික්ඛන්ධෝපම සූත්‍රය, අනමතග්ග සංයුත්තය, ඛජ්ජනීය සූත්‍රය, ගෝමය පිණ්ඩූපම සූත්‍රය, ධම්මචක්කප්පවත්තන සූත්‍රය, මහාසමය සූත්‍රය ආදී මහා තෙද බල ඇති සූත්‍ර දේශනා කොට සිහලදීපය දහමින් සුපෝෂිත කර ලක්ෂ ගණන් සිංහලයන්ටත්, දෙවියන්ටත් උපකාර කරන කල්හි අප මහින්ද ස්ථවිරයන්ට මෙසේ සිතුණි. ‘මා දැන් ශාස්තෘන් වහන්සේ වන්දනාවට යා යුතු ය.’ උන්වහන්සේ ඒ බව දෙවන පෑතිස් රජුට දන්වා සිටි සේක.

ථූපාරාම කතා මෙසේ ය.

මහින්ද මහරහතන් වහන්සේ මහමෙව්නාව උයනේ වැඩම කරමින් තැන්හි තැන්හි මල් පිදීමෙන් පොළොව කම්පා කරවූහ. රජ තෙමේ ඒ ඒ තැන විමසන ලද කල්හි මහා බෝධිය, ලෝවාමහාපාය, චතුශ්ශාලාව, පොහොය ගෙය ආදී වූ පූජනීය ස්ථාන පෙන්වා දෙන ලදුව දෙවන පෑතිස් රජ තෙමේ විහාරාරාම කරවන්නට විය. ඒ එසේ පවත්නා කල්හි මිහිඳු මහරහතන් වහන්සේට බුදුරජුන් වැඳීමට අවශ්‍ය විය. එය රජුට පැවසූ කල්හි රජ තෙමේ “මුනිරාජයාණන් වහන්සේ පිරිනිවි බව ඔබවහන්සේ ම අපට වදාළා නොවේදැ?”යි විමසුවේ ය. මහින්ද ස්ථවිරයන් වහන්සේ “සුගතයන් වහන්සේගේ ධාතූන් වහන්සේ දුටු කල්හි ධර්මරාජිකයන් වහන්සේ දුටුවා හා සමාන ය” යැයි වදාළහ. ඒ පිළිබඳ කතිකා කළ රජු මහා මහින්ද තෙරුන්ගෙන් ධාතූන් වහන්සේ වැඩමවීමට අවවාද අනුශාසනා ලද්දේ ය. මෙය ඉල් පුර පොහෝ දිනක සිදු විය.

අප බුද්ධරාජයාණන් වහන්සේගේ අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පෑ පසුව ද්‍රෝණ අෂ්ටයක් ධාතු ඉතිරි වී විසිර මහා ධාතු සප්තයක් නොවිසිරී ඉතිරි විය. එනම් සතර දළදා, අකුදා දෙනම, මහා ධාතුව නම් ලලාට ධාතුන් වහන්සේ ය. ඒ අතර වූ දකුණු අකු දළදා වහන්සේ එකල වැඩ සිටියේ තව්තිසා භවනේ සිළුමිණි සෑ ගර්භයේ ය.

ඒ උතුම් ධාතුන් වහන්සේලා වැඩමවීම සුමන රහත් සාමණේර තෙරුන් වහන්සේට භාර විය. තෙරණුවෝ මිස්සක පව්වට වැඩ එතැනින් ජම්බුද්වීපයේ පාටලී පුත්‍රයට වැඩම කොට පසුව අධිරාජ ධර්මාශෝක නරපතිගෙන් පාත්‍රයක් පිරෙන්නට අප සුගතයන් වහන්සේගේ ධාතූන් වහන්සේලා ලබා ගත් සේක. ඒ පාත්‍රය හිමාල පර්වතයේ වඩා හිඳුවා තාවතිංස භවනට වැඩම කර ශක්‍ර දේවරාජගෙන් දකුණු මුනි අකුදා වහන්සේ ලබාගෙන, හිමාල පර්වතයේ වූ ධාතුන් වහන්සේලා පුරවන ලද පාත්‍රය ද ගෙන අනුරපුරයට වැඩම කළ සේක.

රජ තෙමේ මංගල හස්තියා පිට ධාතූන් වහන්සේ වඩා හිඳුවා බුදුරජුන්ගේ ම ධාතූන් වහන්සේ දැයි කියා පරීක්ෂා කිරීමට “අප මුනිරජුන්ගේ ධාතුන් වහන්සේලා නම් සේසත ධාතුන් වහන්සේලා දෙසට නැවේවා!” යැයි අධිෂ්ඨාන කළ කල්හි එය ඒ ආකාරයට ම සිදු විය. පසුව නගරය හරහා ථූපාරාම සෑය පිහිටන භූමියට ගොස් සිට ධාතූන් වහන්සේ තැන්පත් කිරීමට ගිය කල්හි ඇත් රජ තෙමේ ධාතු කරඬුව පිටින් ගන්නට නොදෙන්නේ ය. මිහිඳු මහරහත් හිමි, මේ ඇත් රජු තම මස්තකයට පහත තැනකට ධාතුන් වහන්සේලා ගන්නට නොදෙන බව වටහාගෙන රජුට පැවසූ කල්හි රජු අභය වාපියේ වියළි පෙදෙසේ මැටි ගෙන ඒමට අණ කොට ඇත් රජුන්ගේ කර තෙක් මණ්ඩපයක් ඒ තනා ධාතූන් වහන්සේලා ඒ මණ්ඩපයේ තැන්පත් කළේ ය.

අනතුරුව ථූපාරාම සෑ රජුන්ගේ ධාතු නිධානයේ දී මහා මුනිරජුන්ගේ අධිෂ්ඨානය පරිදි ම දකුණු අකු ධාතූන් වහන්සේ අහසට පැනනැගී යමක මහා ප්‍රාතිහාර්යය පා වදාළ සේකැ. එහි රැස්ව හුන් දහස් ගණන් ජනයා සංවේග උපදවා බුදු සසුනේ පැවිදි වූහ. බොහෝ පිනැත්තෝ රහත් වූහ. ඒ උතුම් සෑ රජවරුන් ගිහි පැවිදි සියලු දන නිතිපතා වන්දනාමාන කළහ.

පසුව සිරිලකට අප මුනිරජුන් සම්බුද්ධත්වය පසක් කළ මොහොතේ සුගතයන් වහන්සේ පිටුපස නොසැලී හිඳිමින් සෙවණ සලසාලූ උතුම් අස්වත්ථ බෝරජුන්ගේ දක්ෂිණ ශාඛා රත්නය අශෝක අධිරාජයා විසින් වෙන් කරවා ගත්තේ මහා පුද කරවා, මෙරටට වැඩමවන ලද්දේ ය. දඹදිවින් ද හෙළදිවින් ද පිදුම් ලැබ ඒ උතුම් බෝධි ශාඛා වහන්සේ මහා ප්‍රාතිහාර්යය පා අනුරපුර උඩමළුවේ රෝපිත වූහ. ඒ පවර බෝ රජුන්ගේ නැගෙනහිර දිශාවේ ශාඛාවේ වූ බෝ ඵලයකින් බෝධීන් වහන්සේලා අෂ්ඨයක් පැන නැඟ සිරිලක අටතැනෙක රෝපණය කළ කල්හි ඉන් එක් බෝරජුන් වහන්සේනමක් ථූපාරාම සෑ භූමියේ පිහිටියහ. වත්මන ඒ බෝ රජුන් නම් දක්නට නැත. ථූපය සුදෝ සුදු කිරි බුබුළක් වන් ව විරාජමාන වේ. එසේ ථූපය නිසා ඇති වූ ආරාමය ථූපාරාමය යි.

මුනි පහසින් පිවිතුරුව මහා මිහිඳු මහරහත් තෙරුන් වහන්සේගේ අවවාද පරිදි දෙවන පෑතිස් රජු විසින් කරවා, වසභ රජ තෙමේ ථූපඝරයකින් පිදූ, අප මහා මුනිරජුන්ගේ දකුණු අකු ධාතූන් වහන්සේ හට සුගන්ධකුටිය බවට පත් වූ ථූපාරාම සෑරජුන්ට නමස්කාර වේවා!

අසන කලට සිහිවන අනුරපුර
යන එන කලට දකින මහමෙව්නා උයන
වඳින කලට මහ පින් එකතු වන
ථූපාරාම සෑය අපි සැමදා වඳින

අප මුනි අකුදා නිදන්ව
පිහිටිය මහමෙව්නා උයන මැද
පිවිතුරු ය මුනි අකුදා
අපිත් වඳිමු ථූපාරාම සෑය

අටඵල බෝ රජු තිබුණ
පිළිම ගෙවල් නටබුන් තිබෙන
දකුණු අකුදා පිහිටා තිබෙන
ථූපාරාම වටදාගැබ අපි වඳින

ථූපාරාමය අවට පිහිටිය
පාදලංචන, සංඝමිත්තා සෑය
වැඳි කලට බුද්ධාලම්භන ප්‍රීතිය ඇති වන
ථූපාරාම පුදබිම අපි සැම වඳින

ප්‍රමුද් හසිත – 7 ශ්‍රේණිය
මහමෙව්නාව බෞද්ධ විද්‍යාලය.
දෙමාලගම.