දානමය පින්කමක් සිදු කිරීමේදී එහි ආනිසංස අඩු වීමට හේතුවන කාරණා කිහිපයක් පිළිබඳව බුදුරජාණන් වහන්සේ අපට දේශනා කොට වදාළා. දානය පිළිගන්වන පිරිසත් (දායක) දානය පිළිගන්නා පිරිසත් (ප්‍රතිග්‍රාහක) යන දෙපාර්ශවය තුළ ම පවතින ගුණ ධර්ම දානයක ආනිසංස වැඩිවීම හෝ අඩුවීම කෙරෙහි බලපානවා.

මජ්ක්‍ධිම නිකායේ දක්ඛිණාවිභංග සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළේ ප්‍රතිග්‍රාහක පක්ෂයේ ගුණවන්ත බව වැඩිවීමත් සමඟ එම පිරිස වෙත පූජා කරන දානයෙන් රැස්වෙන ආනිසංස වැඩි බවයි. එමෙන්ම මාර්ගඵල ලාභීන්ට දෙන දානය ආනිසංස ප්‍රමාණ කළ නොහැකි බවයි. බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේදී මෙන් රහතන් වහන්සේලා ප්‍රධාන උතුම් ගුණ ඇති ශ්‍රාවක සංඝරත්නය උදෙසා දන් පිදීමට අද අප හට වාසනාව නොමැති වුවත් “මහා සංඝරත්නය උදෙසා” යන අදහස ඇතිව, උතුම් සඟ ගුණ සිහි කරමින් ශ්‍රාවක සංඝ සංඝරත්නය උදෙසා දන් පිදීමෙන් මහත්ඵල මහානිසංස පින් රැස්කර ගැනීමේ වාසනාව අදත් අපට තිබෙනවා. මහා සංඝ සංඝරත්නය උදෙසා යන අදහසින් දන් පුදන විට එම දානයට අසිරිමත් ගුණ ඇති උතුම් මහරහතන් වහන්සේලා ඇතුළු සියලු ශ්‍රාවක සංඝ රත්නය ම ඇතුළත් වෙනවා.

එමෙන්ම අංගුත්තර නිකාය චතුක්ක නිපාතයේ සඳහන් ඡළංගදාන සූත්‍රයට අනුව, දානය පිළිගන්වන දායක පක්ෂය තුළ ද දානය දෙන්නට පෙර සිට ම සිත පහදවා ගැනීම, දානය පූජා කරන විට සිත පහදවා ගැනීම, දානය පූජා කළාට පසුවත් හිතේ ප්‍රසාදය ඇති කරගැනීම යන කරුණු තුන පහදවා නොගෙන දන්පැන් පුදන්නේ නම් රැස්වන ආනිසංස අඩු වී යනවා.

එපමණක් ද නොව දන්පැන් පිදීමේ දී මනාව සකස් නොකොට පුදයි නම්, ගෞරවයෙන් තොරව පුදයි නම්, සියතින් නොපුදයි නම්, ඉවත ලන දෙයක් මෙන් පුදයි නම්, කර්ම කර්මඵල විශ්වාසයෙන් තොරව පුදයි නම් රැස්වෙන ආනිසංසය අඩුවන බවත් ධර්මයේ සඳහන් වෙනවා. එබැවින් තමනුත් සීලාදී ගුණ ධර්ම පුරමින්, තුන් තැන සිත් පහදවාගෙන, කර්ම කර්මඵල විශ්වාසයෙන් යුතුව, ධර්මාවබෝධ කිරීමේ අදහස් ඇතිව ලොව ශ්‍රේෂ්ඨ ම අග්‍රතම පිරිස වන උතුම් ශ්‍රාවක සංඝරත්නය විෂයෙහි දන් පැන් පුදයි නම් එම දානමය පිංකමෙන් මහත්ඵල මහා මහානිසංස පිනක් රැස්කර ගත හැකියි.