ශ්‍රාවකයෙකු බුදු සසුනට පැමිණීමේ මූලික හරය තමා ශ්‍රද්ධාව. ශ්‍රද්ධාවට පැමිණීමට නම් ධර්ම ශ්‍රවණය අවශ්‍යයයි. ධර්ම ශ්‍රවණය ඇතිවීමට කල්‍යාණ මිත්‍රයෙක් අවශ්‍යයි. කල්‍යාණ මිත්‍රයා යනු බුදුරජාණන් වහන්සේ විසින් වදාරන ලද ධර්මය (තමාගේ පුද්ගලික අදහස් එකතු නොකොට) ඒ අයුරින් ම කියාදෙන තැනැත්තා යි.

මේ කල්‍යාණ මිත්‍රයා නිතරම සංසාරයේ ආදීනවයත්, සතර අපායට වැටෙන අනතුරත්, සුගතිය තුළ ඇති රැකවරණයත්, ධර්මාවබෝධයේ ආනිසංසත් කියාදෙන කෙනෙක්. එලෙස ධර්ම කරුණු කියාදෙන විට ඒ ධර්ම ශ්‍රවණය කරන පුද්ගලයා ශ්‍රද්ධාව ඇතිකරගන්නවා.

ඒ වගේම කල්‍යාණ මිත්‍ර සේවනයත්, සද්ධර්ම ශ්‍රවණයත් ලද පසු තමයි තමා තුළ ශ්‍රද්ධාව ඇතිවන්නේ. එය ඇතිවන්නේ යෝනිසෝ මනසිකාරය (නුවණින් විමසීමේ හැකියාව) තුළින්. මේ සියල්ල ම සම්පූර්ණ වූ විට ඒ තැනැත්තාට නිවැරදි ලෙස ධර්ම මාර්ගයේ ගමන් කළ හැකියි.