ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා ගැන බුද්ධ දේශනාවල පැහැදිලිව සඳහන් වෙනවා. එය සඳහන් වන්නේ පංචඉට්ඨධම්ම කියන සූත්‍රයේ. ආර්ය ශ්‍රාවකයා දන්නවා මේ ලෝකයේ ඉතාමත් අමාරුවෙන් ලබාගන්න පුලුවන් කරුණු පහ ගැන. ඒ තමයි ආයුෂය, වර්ණය, සැපය, කීර්තිය, මරණින් මතු සුගතියේ උපත කියන කරුණු.

කෙනෙකු කැමැති වුණාට ප්‍රාර්ථනයකින් හෝ ආයාචනයකින් මේ කරුණු ලබන්න බැරි බව ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා දන්නවා. ඒ තැනැත්තා කරන්නේ සැපයක් අවශ්‍ය නම් ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙළක යෙදෙනවා. එසේ නොමැතිව ඉන් පිටත තිබෙන බාහිර කරුණුවල යෙදෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ වදාළා “මහණෙනි, ආයාචනයකින් හෝ ප්‍රාර්ථනාවකින් මේ දේවල් ලබන්න පුළුවන් නම් කවරෙක් කුමකින් පිරිහෙයි ද?” කියලා. අපට පේනවා එසේ කිසිම දෙයක් ලබන්න බැරි බව. ලෝකයේ නොයෙක් ජනතාව දිනපතා ආයාචනා කරනවා තමන්ගේ අවශ්‍යතාවන් පිළිබඳ. නමුත් තමන් සිතන පතන දේ ලැබෙන්නේ නැහැ. ආයාචනයෙන් නොවෙයි මිනිසුන් දියුණු වෙන්නේ. දියුණු වෙන්නේ ප්‍රතිපදාවක යෙදීමෙන්.