සතිපට්ඨාන සූත්‍රයේදී අපගේ භාග්‍යවතුන් වහන්සේ දේශනාකොට වදාළේ (ගච්ඡන්තෝ වා ගච්ඡාමීති පජානාති) ගමන් කරද්දී තමා ගමන් කරමින් සිටින බව හොඳින් තේරුම් ගනියි. (අභික්කන්තේ පටික්කන්තේ සම්පජානකාරී හෝති) ඉදිරියට යන විට ආපසු හැරී එන විට අවබෝධයෙන් යුතුව ම එය කරන්නේ වෙයි’ ලෙසයි. මෙයින් අපට පේනවා සක්මන් කරන විට තමන්ගේ ඉරියව් ගැනයි සිහිය පවත්වන්න තියෙන්නේ.

සක්මන් භාවනාව පුරුදු වීමේදී පළමුවෙන්ම සක්මන් කිරීමට පහසු භූමියක් තෝරාගත යුතුයි. තම නිවස තුළ හෝ එළිමහනේ හෝ අඩි 30ක 35ක දිගින් යුතු කොටසක් නම් ඉතා හොඳයි. ඊළඟට තමන් ඒ සක්මන් කරන තැනට ගොස් ඉරියව්ව පැවැත්වීම ගැනයි සිහිකළ යුත්තේ. එවිට වම… දකුණ… ආදී මෙනෙහි කිරීමක් හෝ ඔසවනවා… ගෙනියනවා… තබනවා… කියමින් මෙනෙහි කිරීමක් බුද්ධ දේශනාවක හමුවන්නේ නෑ. තමන් ගමන් කරන ඉරියව්වට පූර්ණ අවධානය යොමු කිරීමයි කළයුතු වන්නේ.

අපි හිතමු කෙනෙක් “මම අතනට යනකම් හොඳ සිහියෙන් යනවා” කියලා තීරණය කරලා යම් කිසි තැනක හිටගත්තා. දැන් එයා මුළු ශරීරයට ම සිහිය යොමු කරගෙන දකුණු පාදය ඔසවනකොට හොඳ සිහියෙන් ඔසවලා හොඳට සිහියෙන් තබනවා. වම් පාදයත් එහෙම තබනවා. නමුත් එයා සිහිකරන්නෙ වම දකුණ කියලා නෙවෙයි. ඔසවනවා… තබනවා… කියලත් නෙවෙයි. මේකට වචන සිහි කරන්න ඕන ම නෑ. සිහියෙන් කරන්න පුළුවනි.

සක්මන් භාවනාවේදී ඇවිද යාමේ විශේෂ රටාවක් නෑ, සැහැල්ලුවෙන් සාමාන්‍යයෙන් ගමන් කරන ආකාරයෙන් ඇවිදගෙන යන ඉරියව්වට සිහිය පිහිටුවීමයි කළ යුත්තේ. තමන් හිතාමතා යම් රටාවකට ඇවිද යාම නොවේ.

බුදුරජාණන් වහන්සේ සක්මන් භාවනාවෙහි අනුසස් පහක් දේශනාකොට වදාළා.

■ පයින් බොහෝ දුර ගමන් යා හැකි වෙයි.

■ පධන් වීරිය ඉවසිය හැකි වෙයි.

■ නීරෝගී බව පිණිස උපකාරී වෙයි.

■ අනුභව කළ දෑ මනාකොට දිරවයි.

■ සක්මනේදි ඇති කරගත් සමාධිය බොහෝකල් පවතියි.

මෛත්‍රිය, බුද්ධානුස්සතිය, අනිත්‍ය වැනි භාවනාවන් ද කෙනෙකුට සක්මන් කරමින් සිහිකිරීමේ හැකියාව ඇත. ඒ අයුරින් පුහුණු වීම ද වරදක් නොවේ.