යම් කෙනෙකුට අමනුෂ්‍යයෙකුගේ බලපෑමක් ඇත්නම් ඔහු හෝ ඇය සමඟ අමනුෂ්‍යයාගේ හැසිරීම කෙබඳුද යන්න පිළිබඳව අදහසක් ලබා ගැනීමට ආටානාටිය සූත්‍රයේදී භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරියේ වෛශ්‍රවණ දෙව්මහරජු පැවසූ කරුණක් තිබේ. එහිදී අමනුෂ්‍යයෙක් දුෂ්ඨ වූ සිතකින් යුතුව යම් ශ්‍රාවකයෙක් ගමන් කරනවිට ඒ අනුව ගමන් කරන්නේ නම්, හිඳගෙන ඉන්නාවිට ඒ අනුව හිඳින්නේ නම්, නිදනවිට ඒ අනුව නිදන්නේ නම් ඒ අමනුෂ්‍යයාට මේ මේ දඬුවම් ලැබෙන්නේය යන්න අදාළ විස්තර සහිතව පවසා ඇති බැවින් අමනුෂ්‍ය බලපෑමක් පිළිබඳව මේ කරුණ හා ගලපා බැලිය හැකිය.

එමෙන්ම අමනුෂ්‍ය බලපෑම්වලට ලක්වූ අය බොහෝවිට පවසන කරුණු අනුව තමන්ගේ සිත රාගයෙන් හෝ ද්වේශයෙන් හෝ අසාමාන්‍ය ලෙස අධිකව පීඩාවට පත්වීමත්, කය අසාමාන්‍ය ලෙස සුව නොවන රෝගාබාධ වලින් පීඩාවට පත්වීමත් සිදුවන බව පෙනේ.

යම් කෙනෙකුට අමනුෂ්‍ය බලපෑමක් ඇත්නම් කළයුතු වන්නේ ජීවමාන බුදුරජාණන් වහන්සේ බඳු රුවන්මැලි මහා සෑය වෙත ගොස් මුළු හදවතින් ම තෙරුවන් සරණෙහි ද සීලයෙහි ද පිහිටා හඬනගා තෙරුවන් වැඳ ආටානාටිය පිරිත ඇතුළුව පිරිත් සජ්ඣායනා කිරීමයි. මෙසේ රැස්කළ පින් දෙවිවරුන්ට අනුමෝදන් කොට තම ජීවිතය මහ සෑරදුන්ට පූජා කිරීම මෙහිදී කළයුතු වත පිළිවෙතයි.

අවශ්‍ය පරිදි පිළිවෙත් කළත් ඇතැම් කෙනෙකුගේ කර්ම විපාකයක් හා සම්බන්ධ ප්‍රශ්නයක් නම් එයට ඉවසීමෙන් යුතුව සිල් ගුණයේ පිහිටා මුහුණ දීමෙන් සුදුසු කාලයේදී විසඳුම් ලැබෙනු ඇත. කෙලෙස්වලින් සිත වැසී ඇති විටද වත පිරිතෙන් විසඳුම් නොලැබී යන බව ධර්මයේ සඳහන් ය.