යෝනිසෝ මනසිකාරයේ යෙදීම යනු ධර්මයට අනුව නුවණින් විමසීමයි. උදාහරණයක් ලෙස ඔබට තරහක්, අමනාපයක් ඇති වූවා කියා සිතමු. එවිට ඔබ මුලින් ම ධර්මයේ සඳහන් ආකාරයට එම තරහ, අමනාපය ඇති වූ හේතුව නුවණින් තේරුම් ගත යුතුයි. එයට හේතුව පටිඝ නිමිත්තක් (තරහ හටගන්නා අරමුණක්) ගැන අයෝනිසෝ මනසිකාරයේ යෙදීම හෙවත් ධර්මයෙන් බැහැරව කල්පනා කිරීම යි. එය තේරුම් ගත් පසු එම තරහ-අමනාපය දුරුවන අයුරු ධර්මයේ පෙන්වා දෙන ආකාරය සිහිපත් කරගෙන එය ක්‍රියාත්මක කළ යුතුයි. එනම් මෛත්‍රී නිමිත්තක් යෝනිසෝ මනසිකාරයේ යෙදිය යුතුයි. ‘භාග්‍යවතුන් වහන්සේ කකචූපම සූත්‍රයේ දී දේශනා කළේ නපුරු හොරු කියතකින් අත පය කැපුවත් තරහ සිතක් ඇති කර ගන්න එපා කියලනේ. ඉතින් මම මේ පොඩි දේකට තරහ ගන්නේ ඇයි?’ කියා නුවණින් මෙනෙහි කොට අමනාපය දුරුකිරීමටත්, මෙත් සිත ඇති කර ගැනීමටත් පුළුවනි.

එමෙන් ම භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙන ආකාරයට මෙම කය සෑදී ඇත්තේ කුණුප කොටස් තිස් දෙකකින් බව මෙනෙහි කරමින් අසුභ භාවනාව පුරුදු කිරීම යෝනිසෝ මනසිකාරයට අයත් ය. එමෙන් ම ශරීරය සකස් වී ඇත්තේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන සතර මහා ධාතූන්ගෙන් බවත්, ඒවාට අයිති කොටස් එකිනෙකත් මෙනෙහි කරමින් ධාතු මනසිකාරයේ යෙදීමෙන් ද (ධාතුමනසිකාර භාවනාව) යෝනිසෝ මනසිකාරය ප්‍රගුණ කළ හැකියි. මේ අයුරින් ම භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙන ආකාරයට සසර ස්වභාවය, කාමයන්ගේ ආදීනව, පටිච්චසමුප්පාදය, දුක්ඛාර්ය සත්‍යය ආදිය ගැන නුවණින් මෙනෙහි කිරීම තුළ යෝනිසෝ මනසිකාරය දියුණු කර ගත හැකියි.