භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පා වදාළේ උතුම් ශ්‍රී සද්ධර්මයත්, විනය ශික්ෂාපදත් ශාස්තෘත්වයේ තබායි. එමෙන් ම ශාස්තෘන් වහන්සේ ද සිය ගුරු තනතුරෙහිලා සත්කාර සම්මාන දැක්වූයේ ද ධර්මයට ම යි. එම නිසා ගිහි-පැවිදි ශ්‍රද්ධාවන්ත ශ්‍රාවකයින් වශයෙන් අප ධර්මය ශ්‍රවණය කළ යුත්තේ ඉමහත් ශාස්තෘ ගෞරවයකින්, ධර්ම ගෞරවයකින් යුක්තව යි. එහි දී පාවහන්, හිස්වැසුම් ලාගෙන ධර්ම ශ්‍රවණය නොකළ යුතුයි. එමෙන් ම සක්මන් කරමින් හෝ වෙනත් කටයුත්තක යෙදෙමින් ද ධර්ම ශ්‍රවණය කිරීම නුසුදුසු යි. ගිලන් බවක් නොමැති නම් හාන්සි වී හෝ උස් ආසනවල හිඳ ධර්මය නොඇසිය යුතු යි.

පහත් ආසනයක හෝ බිම වාඩි වී ඉතා හොඳ අවධානයෙන් (අට්ඨිකත්වා), නුවණින් මෙනෙහි කරමින් (මනසිකත්වා), ධර්මයට ම කන් යොමු කරගෙන (ඕහිතසෝතෝ ධම්මං සුණාති), ගෞරවයෙන් ධර්ම ශ්‍රවණය කළයුතුයි. සුස්සූසති නම් සූත්‍රයේ දී ධර්ම ශ්‍රවණය කරද්දී අසන්නා තුළ පිහිටුවාගත යුතු අංග හයක් භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දී තිබේ.

  1. ධර්මය ඇසීමට බලවත් කැමැත්තක් ඇතිකර ගත යුතු ය. (සුස්සූසති)
  2. කන් යොමාගෙන මනා අවධානයෙන් ධර්මය ශ්‍රවණය කළ යුතු ය. (සෝතං ඕදහති)
  3. අවබෝධය පිණිස සිත පිහිටුවාගත යුතු ය. (අඤ්ඤාය චිත්තං උපට්ඨපේති)
  4. අනර්ථය, අදාළ නැති දේ මෙනෙහි කිරීම අත්හළ යුතු ය. (අනත්ථං රිඤ්චති)
  5. ධර්ම දේශනාවේ අර්ථය වටහා ගත යුතු ය. (අත්ථං ගණ්හාති)
  6. ධර්මයට අනුව නුවණින් විමසමින් ශ්‍රවණය කළ යුතු ය. (අනුලෝමිකාය ඛන්තියා සමන්නාගතෝ හෝති)

මේ අයුරින් ධර්ම ශ්‍රවණය කරන විට නීවරණ සන්සිඳී යයි. නොඇසූ දහම් කරුණු අසන්නට ලැබේ. ඇසූ දහම් කරුණු වඩාත් පැහැදිලි වේ. සැක සංකා දුරු වී යයි. දෘෂ්ටිය සෘජු වෙයි. සිත පහදියි.