භාග්‍යවතුන් වහන්සේගේ නිකෙලෙස් හදමඬලේ උපන්, සිරි සම්බුදු මුවමඬලින් දේශනා කොට වදාළ ඒ ආශ්චර්යවත් ශ්‍රී සද්ධර්මය අප ශ්‍රවණය කළ යුත්තේ ධර්ම ගෞරවයෙන් යුතුවයි. භාග්‍යවතුන් වහන්සේ අනුශාසනා කොට වදාළේ (අට්ඨිකත්වා) හොඳින් අවධානය යොමු කරගෙන, (මනසිකත්වා) හොඳට මනස යොමු කරලා, (සබ්බචේතසෝ සමන්නාහරිත්වා) මුළු හිත ම යොමු කරගෙන, (ඕහිතසෝතෝ ධම්මං සුණාති) සවන් යොමු කරගෙන, ධර්මය අසන්න කියායි. එමෙන් ම “සුස්සූසති” නම් සූත්‍ර දේශනාවේ දී ධර්මය අසද්දී ඇතිකර ගත යුතු කරුණු 6 ක් පෙන්වා දී තිබෙනවා.

සුස්සූසති – තථාගතයන් වහන්සේ විසින් ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ කර ගත් ඤාණයෙන් යුතුව දේශනා කළ මේ සද්ධර්මය වනාහි කුමක් ද? යයි අසා දැන ගැනීමේ බලවත් ආශාවක් තිබිය යුතු ය.

සෝතං ඕදහති – සද්ධර්මයට සවන් දෙන වේලෙහි බාහිර දේ නො සිතා සද්ධර්මයට මනාව සවන් යොමුකර සිටිය යුතු ය.

අඤ්ඤාය චිත්තං උපට්ඨපේති – ‘මම ද මේ සද්ධර්මය අවබෝධ කර ගනිමි’ යි තරයේ සිතට ගෙන සවන්දිය යුතු වේ.

අත්ථං ගණ්හාති – තමන් සවන් දෙන සද්ධර්මයේ අර්ථ මනා කොට වටහාගත යුතු ය.

අනත්ථං රිඤ්චති – සද්ධර්මයට සවන්දෙන අතරේ මතුවන කරුණු වැරදි ලෙස වටහා ගනිමින් අනවශ්‍ය ගැටලු උපදවා ගනී ද එබඳු කරුණු අත්හළ යුතු ය.

අනුලෝමිකාය ඛන්තියා සමන්නාගතෝ හෝති – සද්ධර්මය අවබෝධ කරගැනීම පිණිස යළි යළිත් තමා තුළින් ම විමසා බැලිය යුතු වේ.

මෙම කරුණුවලින් යුක්තව, ධර්මය ශ්‍රවණය අර්ථවත් කර ගැනීමට නම් ධර්ම ගෞරවයෙන් යුතුව එයට කැපවිය යුතු ය. වෙනත් කටයුත්තක නිරත වෙමින් අර්ථවත් ලෙස ධර්ම ශ්‍රවණයක් සිදුකර ගත නො හැකි බව ඒ අනුව ඉතා පැහැදිලි ය.