මේ පිළිබඳව ඉතාම පැහැදිලි මනරම් විස්තරයක් දීඝ නිකායේ සිඟාලෝවාද සූත්‍රයෙහි සඳහන්ව තිබෙනවා. ස්වාමියෙක් තමන්ගේ යටතේ සේවය කරන පුද්ගලයන් සම්බන්ධයෙන් කටයුතු කළයුතු ආකාරය අපගේ භාග්‍යවතුන් වහන්සේ විසින් කරුණු පහක් ඔස්සේ දේශනා කොට වදාළා.

එනම්,

1. යථාබලං කම්මන්තසංවිධානේන – ස්වාමියෙක් තමන් යටතේ සේවය කරන පුද්ගලයන්ගේ හැකියාවන්ට ඔරොත්තු දෙන ලෙස වැඩකටයුතු පවරන්න ඕනෙ.

2. භත්තවේතනානුප්පදානේන – ඔවුන්ට ආහාර පාන, වැටුප් ආදිය යහපත් ලෙස ලබාදෙන්න ඕනෙ.

3. ගිලානූපට්ඨානේන – ඔවුන් අසනීප වූ විට විශේෂ ප්‍රතිකාර ලබාදීම.

4. අච්ඡරියානං රසානං සංවිභාගේන – විශේෂ රසවත් දේවල් ඔවුන් සමඟ බෙදාහදා ගන්න ඕනෙ.

5. සමයේ වොස්සග්ගේන – අවශ්‍ය අවස්ථාවන්හිදී ඔවුන්ට නිවාඩු ලබාදීම.

යම් ආයතන ප්‍රධානියකු තමා යටතේ සේවය කරන පුද්ගලයන්ට මෙම පස් කරුණින් සංග්‍රහ කරයි නම්, ඔවුන් ගැන නිරතුරුවම සොයා බලා ප්‍රිය වචනයෙන් සංග්‍රහ කරයි නම් එම ආයතන ප්‍රධානියා සහ ඔහු යටතේ සේවය කරන පුද්ගලයන් අතරෙහි ගෞරවනීය වූ විශ්වාසවන්ත භාවයක් ගොඩනැගෙනු ඇත. එය ආයතනයක දියුණුවට බෙහෙවින්ම බලපාන කරුණකි.