පින්වත් දුවේ පුතේ,

ලෝකයේ ජීවත් වන සියලු දෙනාම සතුටින් ජීවත් වෙන්න කැමතියි. කරදර, බාධක, අවහිර තමන්ගේ ජීවිතවලට පැමිණෙනවාට කිසිම කෙනෙක් කැමැති වෙන්නෙ නෑ. ඒ වුනත් බලාපොරොත්තු නොවන විපත් අප කරා පැමිණීම වළක්වන්නත් බැහැ. ඊට හේතුව තමයි අපට ස්වභාව ධර්මයට පිටු පාන්නට නොහැකි වීම. කරදර විපත්වලට මුහුණ දෙන්නට සිදු වන බව අවබෝධ කරගත් පුද්ගලයා එවැනි විපත්වලට පත්වූවන්ටත් උදව් උපකාර කිරීමට නිරන්තරයෙන් ම පෙලඹෙනවා. එවැනි අසරණ වූ අයට කරුණාව දැක්වීම අපගේ යුතුකමක් මෙන්ම වගකීමක් ද වෙනවා. ඒ වගේම දරුවනේ, අසරණයන්ට ගිලනුන්ට පිහිට වීම ගැන මහඟු ආදර්ශ රැසක් අපගේ බුදු රජාණන්වහන්සේගේ ජීවිතයෙන් අපට ඉගෙන ගන්නට ලැබෙනවා. පන්සාලිස් වසක් පුරාවට බුදු පියාණන් වහන්සේගේ මහා කරුණාවට ලක් වී පිහිට ලැබූ පිරිස අපමණයි. දුකකට කරදරයකට පත් වූ විට හෝ එවැනි කෙනෙක් ගැන දැන ගත් විට ඔහු එම දුකින් මුදවා ගැනීමට උන්වහන්සේ නොපැකිලව ඉදිරිපත් වුණා. සෝපාක, පටාචාරා, රජ්ජුමාලා, ඡත්ත මාණවක ආදී චරිත කතා කියවලා බලන්න.

අසරණයන්ට සරණ වීම වගේම ගිලන් වූ අයට උපකාර කිරීමත් බුදු රජුන්ගේ සුවිශේෂී අවධානයට ලක් වූ කරුණක්. උන්වහන්සේ ගිලනුන්ට පිහිට වූයේ එහි වටිනාකම ආදර්ශයෙන් ම පෙන්වා දෙමින්. පූතිගත්ත තිස්ස හිමියන් උන්වහන්සේගේ මහා කරුණාවට ලක්ව පිහිට ලද තෙරුන් වහන්සේ නමක්. කුෂ්ට රෝගයකට ගොදුරු වෙලා මුළු ශරීරයම එකම වණයක් බවට පත් වී සිටි තිස්ස හිමියන් අනෙක් භික්ෂූන් වහන්සේලා පවා පිළිකුල් කරමින් අතහැර දැමුවා. නමුත් බුදු පියාණන් වහන්සේගෙමහා කරුණාවට යොමු වුනා. බුදුරජාණන් වහන්සේ ආනන්ද හිමියන් සමඟ පැන් උණු කොට වණ වී තිබුණු සිරුර සියතින් ම සෝදා, පිරිසිදු කොට අලුත් සිවුරු අන්දවා එම අවස්ථාවට අනුව සියලු ඇප උපස්ථාන කළ සේක. ඉන් පසු ජීවිතයේ අනිත්‍යතාව පැහැදිලි කරමින් තිස්ස හිමියන්ට ධර්මය දේශනා කොට වදාළා. අවසානයේ උන්වහන්සේ රහතන් වහන්සේ නමක් බවට පත්වී පිරිනිවන්පෑවා.

ඒ වගේම දරුවනේ උපස්ථායකයෙකු තුළ මේ වගේ ගුණාංග තිබිය යුතු බව බුදුරජාණන් වහන්සේ වදාළා. රෝගියාට අවශ්‍ය බෙහෙත් පිළියෙල කර දීම, රෝගියාට හිතකර අහිතකර ආහාර පාන දැන ගෙන කටයුතු කිරීම, ලාභ ප්‍රයෝජන අපේක්ෂා නොකර කරුණාවෙන් සැලකීම, මල මූත්‍ර ආදිය කෙරෙහි පිළිකුල් නොකිරීම, ඔබටත් මේ කරුණු කවදා හෝ ප්‍රයෝජනවත් වේවි. ඉතින් අප ජීවත් වන සමාජයේ අසරණ වුණ, ගිලන් වුණ බොහෝ අය සිටිනවා. අපේ නෑදෑ හිතවතුන් එක කොටසක්. අපෙන් දුරස්ථ වූ අයත් මේ අතර සිටිනවා. ඔවුන් සමාජයෙන් කොන් නොකර රැක බලා ගැනීමට අප කුඩා කාලයේ සිටම පුරුදු වෙන්න ඕනෙ. බුදු රජාණන්වහන්සේගේ ජීවිතය ආදර්ශයට ගෙන කටයුතු කරනවා නම් සමාජය තුළ අසරණභාවයට පත් වෙන අය අඩු වෙන්න ඕනෙ. වයසට ගොස් සිටින අපේ ම සීයට, ආත්තම්මාට, අම්මට තාත්තට ඒ අයගේ කටයුතු කර ගන්න ඔබට උදව් වෙන්න පුළුවන්. බස් රථයට, දුම්රියට ගොඩ වෙන්න අපහසුවෙන් සිටින අයට කරුණාවෙන් උදව් කරන්න පුළුවන්. පවුලේ කෙනෙක් රෝගී වූ විට ආදරයෙන් සලකන්න පුළුවන්. ඔබේ උපන්දිනය වෙනුවෙන් අසරණ කෙනෙකුට උපකාරයක් කරන ලෙස මව්පියන්ගෙන් ඉල්ලා සිටින්න පුළුවන්. වටපිටාවේ සිටින අසරණ සතුන්ට ජල බඳුනක්, ආහාර බඳුනක් තබන්න පුළුවන්. විෂය කරුණු අවබෝධ කර ගැනීමට අසීරු මිතුරු මිතුරියන්ට උදව් කරන්න පුළුවන් නම් ඒකත් අසරණ සරණ වීමක්. රථවාහන වල යන විට ආබාධිත හෝ වියපත් අසරණ කෙනෙකුට ඔබේ ආසනය පරිත්‍යාග කරන්න පුළුවන් නම් එයත් ලොකු පින්කමක්.

ඉතින් දුවේ පුතේ, මේ වගේ අසරණයන් වෙනුවෙන් සරණ වන්නට ඔබටත් බොහෝ අවස්ථා තිබෙනවා. එය සමාජ යුතුකමක්, වගකීමක් වගේම පිනකුත් වෙනවා. ඒ නිසා කුඩා කාලයේ සිටම අසරණයින්ට උපකාර කරන්න ඔයාලා හැමෝම පුරුදු වෙන්න.

තෙරුවන් සරණයි!

මානෙල් නැන්දා.