[fusion_builder_container hundred_percent=”no” equal_height_columns=”no” hide_on_mobile=”small-visibility,medium-visibility,large-visibility” background_position=”center center” background_repeat=”no-repeat” fade=”no” background_parallax=”none” parallax_speed=”0.3″ video_aspect_ratio=”16:9″ video_loop=”yes” video_mute=”yes” border_style=”solid” flex_column_spacing=”0px” type=”legacy”][fusion_builder_row][fusion_builder_column type=”1_1″ type=”1_1″ background_position=”left top” background_color=”” border_color=”” border_style=”solid” border_position=”all” spacing=”yes” background_image=”” background_repeat=”no-repeat” padding_top=”” padding_right=”” padding_bottom=”” padding_left=”” margin_top=”0px” margin_bottom=”0px” class=”” id=”” animation_type=”” animation_speed=”0.3″ animation_direction=”left” hide_on_mobile=”small-visibility,medium-visibility,large-visibility” center_content=”no” last=”true” min_height=”” hover_type=”none” link=”” first=”true”][fusion_text]

පින්වත් දුවේ පුතේ,‍

බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුල හිරි ඔතප් යනුවෙන් පැහැදිලි වන ලැජ්ජාව හා බය යනුවෙන් වචන දෙකක් නිරන්තරයෙන් ම යෙදෙන ආකාරය ඔබ දැක තිබෙනවා නේද? මේ ලැජ්ජාව සහ බියට ‘දේව ධර්ම’ කියලත් හඳුන්වා තිබෙනවා.

අප ජීවත් වන සමාජය මෙතරම් දුරකට හෝ ශිෂ්ට සම්පන්න වී තිබෙන්නේ මේ ලැජ්ජාව සහ බිය කියන ස්වභාවයන් අපගේ සිත් තුළ තිබෙන නිසයි.

ඇතැම් වෙලාවට යම්කිසි වැරදි ක්‍රියාවක් අප විසින් සිද්ධ කරන්නට යන වෙලාවට ‘අනිත් අයට පෙනේවි’ යන සිතිවිල්ල නිසා ඇතිවන ලැජ්ජාව, බිය නිසා බොහෝ විට එම වැරදිවලින් වැලකී සිටීමට පුළුවන් වෙනවා. ඒ වගේ ම මේ කරන දෙයින් මට අපායේ යන්න වෙයි කියලා හිතලත් වැරදිවලට ලැජ්ජාවක් භයක් ඇතිකර ගන්න පුළුවන්. ඉතින් දරුවනේ තමන්ටත්,‍ අනුන්ටත් අයහපතක් සිදුවන, නොකළ යුතු ක්‍රියාවන්ගෙන් වැලකී සිටීමට, ඔබ තුළ ලැජ්ජාව සහ බිය නැමැති චිත්ත ස්වභාවය තිබුනොත් එය සුවිශේෂී උපකාරයක් වෙනවා. පව්කම් කිරීමටත්,‍ වැරදි දේ කිරීමටත් ලැජ්ජාවක් හා බයක් තිබිය යුතුය.

විශේෂයෙන්ම බොරුව,‍ සොරකම,‍ ප්‍රාණඝාතය,‍ අල්ලස,‍ වැරදි කාමසේවනය,‍ මත්ද්‍රව්‍ය භාවිතය ආදියෙන් වැළකෙන්නට පුළුවන් වන්නේ ලැජ්ජාවක්,‍ බියක් තිබුනොත් පමණයි. අද වර්තමාන සමාජයෙහි දක්නට ලැබෙන පිරිහීමට බලපා ඇති ප්‍රධාන කාරණයක් වන්නේ මේ ගුණධර්ම නොමැතිකම යි.

ඒ වගේම තමන්ට හැකියාව තිබියදී දෙමව්පියන්ට නොසලකා හැරීම පිළිබඳව ද දරුවන් ලැජ්ජා විය යුතුයි. දෙමව්පියන් මහළු නිවාසවලට ගෙන ගොස් තනි කර දමන දරුවන් සමාජයේ කොපමණ උසස් තැන්වල වැජඹුනත් එවැනි අය පිරිහීමට පත්වන බවත්, වසලයන් වන බවත් අපේ බුදුරජාණන් වහන්සේ පරාභව,‍ වසල යන දේශනාවලින් පෙන්වා දී තිබෙනවා. සමහර බෞද්ධයන් වටිනා උතුම් බුදු දහම අතහැර අන්ධයන් සේ මිත්‍යාදෘෂ්ටි පසුපස යෑමත් ලැජ්ජා විය යුතු කරුණක්.

අද පවතින ජනමාධ්‍ය ගැනත් ඔබ සැලකිලිමත් විය යුතුයි. වෙළෙඳ දැන්වීම්වලට නිරූපිකාවන් යොදා ගන්නා ආකාරය බලනකොට වත්මන් සමාජයේ ලැජ්ජාව නැති පිරිසක් බිහිවන අයුරු මනාව පෙනෙනවා. අපේ රටේ බාල පරපුර වන ඔබගේ ලැජ්ජාව නැති කිරීමට, එම නිරූපිකාවන් අඳින පළඳින හා හැසිරෙන විලාසය මෙන්ම පාවිච්චි කරන භාෂා රටාවන් විශාල බලපෑමක් ඇති කරන බව ඔබ තේරුම් ගත යුතුයි. ඒ වගේම අන්තර්ජාලය,‍ සමහර වෙබ් අඩවි, ජංගම දුරකථන,‍ ටෙලි නාට්‍ය වැනි දේවල් නිසාත් ලැජ්ජාව හා බිය බොහෝ සෙයින් නැතිවී යන බව ඔබ තේරුම් ගත යුතුයි.

මේ ලැජ්ජාව බිය ගැන කියවෙන පුංචි ජාතක කථාවක් ජාතක පොත්වහන්සේ තුළ සඳහන් වෙනවා. ඔයාලට දැනගන්න ඒ කථාව කියන්නම්. ඒකෙ නිධාන කථාව තමයි, අපගේ භාග්‍යවතුන් වහන්සේ එක භික්ෂූන් වහන්සේ නමකට අවවාදයක් කළ වෙලාවේ ඒ ගැන තරහ වෙලා ඒ භික්ෂුව කිසිම ලැජ්ජාවක් නැතිව සිවුර ගලවලා දාලා නිරුවතින් පිට වී ගියා. ඒ සිදුවීම අරබයා තමයි භාග්‍යවතුන් වහන්සේ මේ නච්ච ජාතකය දේශනා කළේ.

බොහෝම ඉස්සර සත්තුන්ටත් රජවරු සිටිය කාලෙක අපගේ මහ බෝසතාණන් වහන්සේ එක්තරා ස්වර්ණ හංස රාජයෙක් වෙලා පක්ෂීන්ගේ නායකයා වෙලා හිටියා. ඒ ස්වර්ණ හංස රජතුමාට රූමත් යොවුන් ස්වර්ණ හංස පැටවියක් හිටියා. ඉතින් ඒ ස්වර්ණ හංස රජතුමා තමන්ගේ යොවුන් දියණියට සුදුසු මනාලයෙක් සොයලා දෙන්න ඕනෙ කියලා තීරණය කළා. දවසක් මේ සඳහා වනාන්තරේ සිටින තරුණ කුරුල්ලෝ ඔක්කෝම රැස් කළා. එදා එතනට එක එක ජාතියේ ලස්සන තරුණ කුරුල්ලෝ ගොඩාක් ඇවිත් හිටියා.

ඉතින් ස්වර්ණ හංස කුමාරියත් තමන්ට සුදුසු කුරුල්ලෙක් තෝරා ගන්න එක එක කුරුල්ලන් දෙස බලමින් හිටියා. මේ වෙලාවෙ එක රූමත් මොනර කුමාරයෙකුට මේ ස්වර්ණ හංස කුමාරිගෙ හිත ගියා. තමන් අතේ තිබුණ මල් මාලය මොනරාගෙ කරේ පළන්දලා තමන්ගේ කැමැත්ත ප්‍රකාශ කළා. මොනරාට දැන් හරිම සතුටුයි. ආඩම්බරයි. අනිත් කුරුල්ලන් අතරින් තමන්ව තෝරාගත්තට අහංකාරකමක් ඇති වුණා. අනිත් කුරුල්ලොත් ඔහු දෙස බලාගෙන හිටියා.

ඉතින් දරුවනේ, මේ මොනරා ආඩම්බරයෙන් එක්වරම පිල් විදහාගෙන කුරුළු සභාවේ මැදට පැන නටන්න පටන් ගත්තා. වටේට කැරකි කැරකි නැටුවා. මේක දැකපු අනිත් කුරුල්ලෝ ලැජ්ජාවෙන් මූණු හංගා ගත්තා. ඔයාල දන්නවද ඒ ඇයි කියල? මොනරු පිල් විදහාගෙන නටනකොට ශරීරයේ පිටුපස පැත්ත හොඳින් පේනවා. ස්වර්ණ හංස කුමාරිටත් හරිම ලැජ්ජයි. “‍අනේ පියාණෙනි,‍ මේ මොනරා ලැජ්ජා නැතිව පස්ස එලියෙ දාගෙන නටන හැටි” ඇය කිව්වා.

මේක දැකපු ස්වර්ණ හංස රාජයා ඉදිරියට ආවා. “‍එම්බා මොනර කුමාරය,‍ දන්නවද ඔබ නටනකොට පස්ස පැත්ත හැමෝටම පේන බව? මේ වගේ ලැජ්ජා,‍ බය නැති එකෙකුට මගේ දියණියව දෙන්න මම කැමති නෑ. වහාම මෙතනින් පිටවෙනු.”‍ ස්වර්ණ හංස රජතුමා අණ කලා. මොනරා ලැජ්ජාවෙන් කුරුළු සභාවෙන් පිට වුණා. ස්වර්ණ හංස රජතුමා තම දියණියව ඥාති ස්වර්ණ හංස කුමාරයෙකුට සරණ පාවා දුන්නා.

පින්වත් දරුවනේ,‍ බලන්න තැන නොතැන නොබලා ලැජ්ජා බය නැතිව කටයුතු කිරීමෙන් සමාජයෙනුත් නොයෙකුත් නින්දා අපහාසවලට මූණ දෙන්න සිදු වෙනවා. ධර්ම මාර්ගයෙහි ගමන් කිරීමෙන් ම ඔබට අකුසල ධර්මයන්ගෙන් මිදී යහපත් පුරවැසියන් ලෙස කටයුතු කරන්නත්, පව් කරන්නට ලැජ්ජාව හා බය ඇති කරගන්නත් පුළුවන් වෙනවා නිසැකයි.

මේ සමාජයේ ඕනෑම පුද්ගලයෙකු ලැජ්ජා සහගත විය යුත්තේ දහමට විනයට නොගැලපෙන, සමාජ සම්මතයන්ට නොගැලපෙන දේ කිරීමට පමණයි. එම අදහස ඔබ සියලු දෙනාගේ සිත් තුළ තිබෙන තාක් මේ සමාජය සාරධර්මවලින් පිරුණු, විනය ගරුක සමාජයක් ලෙස පවතිනු නිසැකයි. බොදු දරුවන් වන ඔබ මේ ගැන නිතර සිහියේ තබා ගත යුතුයි.

තෙරුවන් සරණයි!

මානෙල් නැන්දා

[/fusion_text][/fusion_builder_column][/fusion_builder_row][/fusion_builder_container]