පින්වත් දුවේ, පුතේ,

තමන්ටත් අනුන්ටත් යහපත සලසාලන මෙලොව පරලොව දියුණුව උදාකරන උතුම් ගුණාංගයක් තමයි ඉවසීම කියන්නේ. ඉවසීම බුද්ධකාරක ධර්මයක්. දස පාරමිතාවල ඛන්තී පාරමිතාව ඉවසීම යි.

බලවත් කෙනෙක් දුබලයෙකුගේ වැරදිවලට සන්සුන්ව ඉවසනවා නම්, එයම ශ්‍රේෂ්ඨ ඉවසීම ලෙසට යි ධර්මයෙහි සඳහන් වෙන්නේ. දුබලයා කරගන්න දෙයක් නැති වූ විට කාටත් හිස නමනවා. නිතර ඉවසනවා. එය උතුම් ඉවසීමක් නොවෙයි. ඒ වුනත් තමන් බලයෙන්, ධනයෙන්, සීලයෙන්, පරිවාර සම්පතින්, ප්‍රබලව සිටිය දී දුබලයාගෙන් ලැබෙන ගැහැට, නින්දා, ඉවසනව නම් එය තමයි උතුම් ඉවසීම. අපිව බල්ලෙක් සපා කෑවොත් අපි ඒ බල්ලගෙ පය සපා කන්නෙ නැහැ නේද? ඒ වගේ තමයි තමන්ට පහර දීම් හිරිහැර කිරීම් ආදිය කරන තැනැත්තාට ආපසු නොකිපීම, පලිනොගැනීම, බුද්ධාදී උතුමන් ප්‍රශංසා කළ උතුම් ගුණයක්. එහෙම වුනානම් ලෝකයේ කිසිතැනක කිසිවිටක කලහ, අසමගි, භේද ඇතිවෙන එකක් නැහැ.

ඉවසීම නැති කිපෙන තැනැත්තා යමක අර්ථය අනර්ථය නොදකින කෙනෙක් සීල, සමාධි, ප්‍රඥා ආදී ගුණ ධර්ම වඩන්න පුළුවන් වන්නේ ක්‍රෝධය ඇති තැනැත්තාට නොවේ. ඉවසීම ඇති තැනැත්තාටයි. සියලු ම කුසල් දහම් වැඩෙන්නේ ඉවසීම මුල් කරගෙන යි. කවදාවත් අපට හොඳ වචන පමණක් ම අහන්න ලැබෙන්නෙ නෑ. අනුන්ගෙන් ලැබෙන රැවුම් ගෙරවුම්, ඇනුම් බැනුම්, නොඉවසා ගැටෙන්න ගියොත් හිරේ පවා යන්න සිදුවෙනවා. දෙලොව ම පිරිහී අපා ගත වෙන්නටත් සිදු වේවි. ඒක නිසයි, “ඉවසන දනා රුපු යුධයට ජය කොඩිය – මහමෙර උසුලනා මිහිකතටත් වැඩිය” කියලා කියන්නේ.

ඉතිං දරුවනේ, අප මහ බෝසතාණන් වහන්සේ ක්ෂාන්ති පාරමිතාව පිරූ ආකාරය කලාබු ජාතකයෙන් අපට පැහැදිලි වෙනවා. සැඩ පරුෂ, ගුණධර්මවලින් පිරිහුණු, කලාබු නම් රජතුමා ගුණයෙන් පිරුණු ක්ෂාන්තිවාදී බෝසත් තවුසාට විවිධාකාරයෙන් වද දුන්නා. අතපය කපා දැමුවා. නාසය කපා දැමුවා. අන්තිමේදී පපුවට පයින් ගසා මාරාන්තික දුකට පත් කළා. ඒ විදියට වද දුන්න රජතුමා කෙරෙහි කෝප නොවුන තාපසතුමා ‘යම් කලාබු නම් රජ කෙනෙක් මාගේ දෙ අත් දෙපා කන් නාසා සින්ද වූයේ ද, ඒ රජතුමා බොහෝ කාලයක් ජීවත් වේවා. මා වැනි ඉවසීම බලය කරගත් නුවණැත්තෝ කිසිවෙක් කෙරෙහිවත් කිපෙන්නේ නැත’ කියලා මරණාසන්න මෙහොතෙදි පැවසුවා. මේ කතාවෙන් පැහැදිලි වන්නේ බෝසතාණන් වහන්සේ තුළ තිබුණු ඉවසීමේ ගුණය යි. අපගේ බුදුපියාණන් වහන්සේ තරම් ඉවසපු උතුමෙක් මේ ලෝකේ වෙනත් නැහැ. චිංචිමානවිකාවගේ අභූත චෝදනා, සුන්දරී පරිබ්‍රාජිකාව මරා නිගණ්ඨයන් කළ අභූත චෝදනාව, මාගන්දිය බේබද්දන් යොදා බොහෝ පරිභව කිරීම ආදී ඉතාම අසීරු අවස්ථාවලදී පවා මනා ලෙස ඉවසූ බව අපට සිහිපත් වෙනවා.

ඒ වගේ ධර්ම සේනාධිපති සැරියුත් මහරහතන් වහන්සේගේ ඉවසීම පරීක්ෂා කර බලන්නට සිතා දවසක් එක බමුණෙක් උන්වහන්සේගේ පිටට පහරක් ගැසුවා. එවේලේ උන්වහන්සේ කිසිම අහිතක් නොසිතා ඔහුට සමාව දුන්නා. ඉවසීම මංගල කාරණයක්. ඉවසීමේ ආනිශංස පහක් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා,

1. ඉවසන තැනැත්තා බොහෝ දෙනාට ප්‍රියමනාප කෙනෙක් වෙනවා.
2. රෞද්‍ර ගති නැති කෙනෙක් වෙනවා.
3. පසුතැවෙන්නේ නැති කෙනෙක් වෙනවා.
4. මරණාසන්න මොහොතේ සිහි මුලා නොවී මරණයට මුහුණ දෙනවා.
5. මරණින් පසු සුගතියෙහි උපදිනවා.

ඉතිං දරුවනේ, දෙලොව වැඩ කැමති අපි සියලු දෙනාම ඉවසීමේ ගුණය පුරුදු පුහුණු වෙමු.

තෙරුවන් සරණයි!

මානෙල් නැන්දා