හඬාගෙන වැලපෙමින් උපදින ලෝකයේ උපතක් ආයෙමත් අපටත් ලැබුණා. අනිත් මිනිසුන් විදිහට ම අපිත් මනුස්ස ලෝකයේ ඉපදුණා. අප අතර ඇතැමුන්, මහා රාජධානිවල කිරුළ හිමිකාරයන් ව… ඇතැමුන් මහා ධනස්කන්ධයක උරුමකරුවන් ව… ඇතැමුන් වැදූ මව් විසින් ඒ සැණින් අත්හැර දමනු ලදුව… නොයෙක් වෙනස්කම් සහිත ව… ඒ කොතැනක මොන උරුමයක් සහිත ව උපන්නා වුණත් අප කාටත් ලැබුණේ ඇසක්, කනක්, නාසයක්, දිවක්, කයක් හා මනසක්… මේ ආයතනයන්ගේ ලැබීමට යි ‘ඉපදීම’ කියා කියනු ලබන්නේ.

‘හප්පා… ඒ මනුස්සයගෙ හැටි…!!!’

එසේ ඉපදුණු කෙනෙක්ව දැකලා ඒ කෙනාගේ අසාමාන්‍ය රූප ස්වභාවයන් හමුවේ මේ විදිහෙ විස්මයක් සිතේ හටගත් අවස්ථා ඔබටත් ඇති. ඇත්තට ම, අප අතර ඉපදුණු – අපට දකින්න ලැබෙන ඇතැම් පිරිස් අදහා ගත නොහැකි තරමේ විකෘති කාය ස්වභාවයන්ගෙන්
යුක්ත යි.

ඔවුන්ට එසේ වූයේ ඇයි???

මිනිස් ලොව උපන්නා වූ සත්ත්වයන්හට ලැබුණු ඇස් කන් නාසා ආදී මේ ආයතනයන්ගේ නොයෙකුත් වෙනස්කම් තිබෙනවා. එකිනෙකා වෙන් කොට හඳුනාගන්නට රූපීය ව පවත්නා ඒ වෙනස්කම් උපකාරක වනවා. ඇතැම් විට… ඒ රූපීය වෙනස්කම් සෙසු ජනයා මහා පුදුමයකට පත් කරවන තරම් ප්‍රකට ව කැපී පෙනෙනවා. එවැනි කායික ස්වභාවයන් සහිත වූවන් ලෝකයේ හඳුන්වන්නේ ‘විශේෂ අවශ්‍යතා ඇතියවුන්’ විදිහටයි. ඔවුන් ගැන සොයන, පර්යේෂණ කරන සහ ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින – ඒ වෙනුවෙන් ම ඇප කැප වූ පිරිස් ද ලෝකයේ සිටිනවා. ඒ කිසිවෙකුට පහදාලිය නොහැකි දෙයක් මේ පුදුම සහගත මිනිසුන් හා බැඳී පවතිනවා. ඒ තමයි, “මෙසේ වූයේ ඇයි?” යන්න ගැන නිශ්චිතව පැවසිය හැකි කරුණක් නොමැති බව…

ඔවුන්ට ම එසේ වූයේ ඇයි???

ඇස් දෙකක් වෙනුවට එක් ඇසක් පමණක් ඇති මිනිසුන්ට එසේ වූයේ ඇයි? ඔළු දෙකක් හා අත් පා කිහිපයක් සහිත ව එකිනෙකාට බද්ධ වූ සිරුරු ඇතිව උපන් මිනිසුන්ට එසේ වූයේ ඇයි? ඉදිරිපසට පිහිටිය යුතු මුහුණ කරකැවී පිටුපසට හැරී පිහිටි මිනිසුන්… අත් හෝ පා හෝ අත්පා සියල්ල ම හෝ අහිමි මිනිසුන්… මුහුණේ එල්ලා වැටෙන විශාල මස් ගුලියක් බඳු ව්‍යුහයන් ඇති මිනිසුන්… ගසක පිරී ගත් ගෙඩි ලෙසින් සිරුරේ තැනින් තැන පොකුරු මෙන් ගෙඩි සැදුනු මිනිසුන්… දුටු විට “අනේ අපොයි” කියා හද කම්පා කරවන අංගවිකල ස්වභාව ඇති මිනිසුන්… එවැන්නවුන් ලෝකයේ සිටිනවා. ඔවුන්ට එවැනි අතිශයින් විරූපී කාය ස්වභාවයන් උරුම වූයේ ඇයි…?

ඩවුන්ස්, කුෂින්ස් ආදී සහලක්ෂණ, හන්ටිංග්ටන්, නියුරොෆයිබ්‍රෝමැටෝසිස් ආදී රෝග ලෙස නොයෙකුත් නම්වලින් ලෝකයා මේ දේවල් පිළිබඳව කරුණු ගෙනහැර දක්වනවා. ජාන විකෘතීන් ලෙස ද වෛද්‍ය විද්‍යාත්මකව හඳුන්වා දෙමින් ඇතැම් රෝගවල විකෘති ජාන සැලැස්ම පවා හෙළිදරව් කරන්නට ලෝකයට හැකි වී තිබෙනවා. අසාමාන්‍ය ජාන පිහිටීම නිසා එවැනි විකෘති ස්වභාවයන් ඇති වූවා කියන්නට ලෝකයට හැකි වූවත්… ඔවුන්ට ම, සියල්ලන් අතරේ ඔවුන්ට ම… එසේ වූයේ ඇයි කියන්නට හැකි අයෙක් ලෝකයේ නැහැ. දෙපා අතර එල්වූ අති විශාල පොදියක් බඳු ව අසාමාන්‍ය ලෙස වැඩී ගිය වෘෂණ කෝෂ සහිත මිනිසෙකු ගැනත් අන්තර්ජාලයේ තොරතුරු අපට හමුවුණා. විවාහයකින් බැඳී යන තුරු ම ඔහු සාමාන්‍ය ලෙස වැඩී ගත් මිනිසෙක්. නමුත්, විවාහ වී නොබෝ කලකින් ඔහු මේ රෝගී තත්ත්වයට ගොදුරු වී තිබෙනවා. ඇවිද යාම පවා අපහසු ඔහුගේ සියලු ආවතේව කටයුතු සිදු කරන්නේ ඔහුගේ බිරිඳ… ඒ ආකාරයෙන් උපතින් ම හට නොගත්, පසුකාලීන ව ඇති වූ ආබාධයන් ද ඇතැම් මිනිසුන් කෙරෙන් දකින්නට ලැබෙනවා. වෛද්‍ය විද්‍යාත්මක ව ඒ බොහෝ දෙනා හුදු පර්යේෂණ දර්ශක පමණයි. එවැනි කාරණයක් විග්‍රහ කොට පහදාලන මිනුම්දණ්ඩක් වෛද්‍ය විද්‍යාව තුළත් නැහැ.

විඳව විඳව දකින පැරණි කර්ම…

මුළුමහත් ලෝකයට ම මේ අසාමාන්‍ය කාය ස්වභාවයන් හුදු පුදුමයක් සහ පර්යේෂණ නිමිත්තක් පමණක් ම වූවාට සියලු ලෝකයන් මැනැවින් අවබෝධ කොට වදහළ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මේ කිසිවක රහසක් නැහැ… මේ ගැන සම්බුදුරජාණන් වහන්සේ පරිපූර්ණ අවබෝධයක් දරාගෙනයි වැඩ සිටියේ.

“කායෝ පුරාණ කම්මං, අභිසංඛතෝ අභිසංචේතයිතෝ වේදනීයෝ දට්ඨබ්බෝ…”

“පින්වත් මහණෙනි, මේ කය යනු පැරණි කර්මයක්. හේතූන්ගෙන් සකස් වුණ, චේතනාවකින් සකස් වුණ, විඳීමකින් දැන ගත යුතු දෙයක්.”

(කම්ම සූත්‍රය – සං. නි. 4)

ඒ තමයි සත්‍යය. මේ අප නහවා කවා පොවා සතපා පෝෂණය කරනු ලබන, ඉලීම් පිරිමැදීම් ආදියෙන් සත්කාර කරනු ලබන ඇස කන නාසය දිව කය මනස යන මේ සියල්ල පැරණි කර්මයන්. අතීත ජීවිතයන්ගේ අප විසින් චේතනා මෙහෙයවා සිදු කරන ලද කර්මයන්ට අනුවයි මේ කාය ස්වභාවයන් සකස් වී තිබෙන්නේ. ආදීනව බොහෝ ඇති ඒ ආයතනයන් අපට විඳව විඳවා තමයි පරිහරණය කරන්නට සිදුව තිබෙන්නේ. අතිශය අසාමාන්‍ය ස්වභාව ඇති ඔවුනගේත් – අප සියලු දෙනාගේත් පොදු කථාව තමයි ඒ…

ගහක වැලක මලක් ගෙඩියක් හට ගන්නා නිමිත්තක්වත් දකින්නට නොලැබෙන කාලසීමාවකට පසුව මලින් පිරුණු, ඵලවලින් පිරුණු අවස්ථාවක් ද දකින්නට ලැබෙනවා. මුල් අවදියේ දී හෝඩුවාවක්වත් දකින්නට නොලැබුණත් පසුව මල්ඵල බර වී යන ස්වභාවයක් එළඹෙනවා. ඒ ස්වභාවයට කියන්නේ ‘සුදුසු කාලය’ කියලයි. කර්ම විපාකයනුත් ඒ වගේ ම යි. සුදුසු කාලය එළඹි විටයි විපාක විඳින්නට සිදු වන්නේ.

වපුරපු හැටියට ලැබෙන අස්වැන්න

අප මුලින් සඳහන් කළ, අසාමාන්‍ය ලෙස වෘෂණ කෝෂ වැඩී ගිය මිනිසා ඒ ස්වභාවයට පත් වූයේ විවාහයෙන් පසුවයි. එතෙක් ඔහු සාමාන්‍ය මිනිසෙක් පමණයි… ඔහුගේ කතාව අපට කුණ්ඩධාන මහරහතන් වහන්සේගේ පුවත සිහිපත් කළා. පැවිදි බිමට පත් වන තුරු ම උන්වහන්සේ සාමාන්‍ය තරුණයෙක් පමණයි. පැවිදි වූ දා පටන් උන්වහන්සේ පසුපසින් යන ස්ත්‍රියක සෙසු පිරිසට දර්ශනය වන්නට පටන් ගත්තා. ඒ ස්ත්‍රිය මේ ස්වාමීන් වහන්සේගේ කුටිය තුළට පවා පිවිසෙන බවක් අන් අය දකිනවා. උන්වහන්සේට දුස්සීල යැයි චෝදනා එල්ල වුණා. එකට දහමෙහි හැසිරෙන සබ්‍රහ්මචාරීන් වහන්සේලාගේ සැකයට පවා භාජනය වුණා, ගැරහීමට ලක් වුණා. යම් දවසක ද උන්වහන්සේ අරහත්වය සාක්ෂාත් කරන ලද්දේ, ඒ දවසේ අර ස්ත්‍රී රූපය නොපෙනී ගියා…

කාශ්‍යප සම්බුද්ධ ශාසනය පැවති කාලයේ රුක් දෙවියෙකු ව ඉපිද සිටි ඒ භික්ෂූන් වහන්සේ යහළු භික්ෂූන් වහන්සේලා දෙනමක් අතර යහළුකම පරීක්ෂා කරන්නට සිතුවා. උපෝසථ විනය කර්ම පිණිස වනයක් මැදින් වැඩම කරමින් සිටි උන්වහන්සේලාගෙන් එක්නමක් කැසිකිළි කෘත්‍යය පිණිස මඳක් බැහැර වූ අවස්ථාවේ ඒ පෙදෙසේ සිට අර රුක් දෙවියා ස්ත්‍රියකගේ රූපයෙන් පෙනී සිටියා. අවුල් වූ හිසකෙසින්, අවුල් වූ ඇඳුමින්, කලබලයෙන් සිටින සේ දර්ශනය වූ ඒ ස්ත්‍රිය දුටු පමණින් එතැන රැඳී සිටි භික්ෂුවගේ සිතෙහි සැකසංකා උපන්නා. සඟ පිරිස මධ්‍යයේ දී බැහැර ගිය භික්ෂුවට ‘දුස්සීලයෙකි’යැයි චෝදනා එල්ල කෙරුණා. සිදුවීම දුරදිග ගිය බව දුටු රුක් දෙවියා සඟපිරිස මැද පෙනී සිටිමින් තමන් කළ දෙය පවසා සිටියත් ඒ භික්ෂූන් වහන්සේලා දෙනම ඉන්පසු එක්ව වාසය කළේ නැහැ. ඒ කර්මයෙන් රුක් දෙවියා නිරයේ උපන්නා. කුණ්ඩධාන නමින් ගෞතම සම්බුදු සසුනේ පැවිදි වූ පසුව නිකෙලෙස් වන තුරුමත් කර්මය විපාක දුන්නා.

නිසැක වෙන්න, මේ අපගේ ද කථාව යි…

ඉතින්… විකෘති කාමාශාවන් සන්තර්පණය කර ගන්නට ස්ත්‍රීන් ස්ත්‍රීන් අතරත්, පිරිමින් පිරිමින් අතරත් සිදු කෙරෙන අසම්මත චර්යාවන්ගේ ප්‍රතිඵලය එකිනෙකා බද්ධ වී ගත් අසාමාන්‍ය සිරුරින් ලෝකයට පෙනී යනවා විය හැකියි… ඇඹරී ගත් අතපය, ඇඹරී ගත් හිස, එල්ලා වැටෙන මස් ගුලි, බලන්නට බය සිතෙන විරූපී ස්වභාවයන් පසුපස තිබෙන්නේ ම වරදවා ගත් සසර කතාවක්. එය අද ඔවුන්ගේ කතාව වූවාට එය අපට ද මගනොහැරුනු දුක්ඛිත කථාවක්.

“පින්වත් මහණෙනි, ඉපදෙමින් මැරෙමින් යන මේ ස්වභාවය (සංසාරය) අවසන් නොවන ගමනක්. ආරම්භක කෙළවරක් දැකගන්න බැරි දෙයක්. අවිද්‍යාවෙන් වැසුණු තණ්හාවෙන් බැඳුණු මේ සත්ත්වයන් සුගති දුගතිවල සැරිසරමින් යන මේ ස්වභාවයේ ආරම්භක කෙළවරක් දැකගන්න බෑ. එම නිසා පින්වත් මහණෙනි, ඔබට දුකට පත් දිළිඳු වූ විරූපී වූ අසරණයෙක්….. දකින්න…….. ලැබුණොත් .මේ විදිහට නිශ්චයකට පැමිණෙන්න ඕන. ‘අහෝ! මේ සා දීර්ඝ සංසාරයේ ගෙවූ කාලය තුළ අපිත් මේ විදිහේ දුක් අනුභව කරලා තියෙනවා නෙව.”

(දුග්ගත සූත්‍රය – සං. නි. 2)

සම්බුදුරජාණන් වහන්සේ වදාරන්නේ “නිශ්චයකට පැමිණෙන්න ඕනේ…” කියලයි. ඔව්. සැක කරන්නට කිසිවක් නැහැ. ඒ පෙර කලෙක අපෙත් කතාව. මේ විදිහට ම සසරේ ගියොත්, යළිත් දවසකත් අපේ කතාව…

තුන්ලොව ඇති එකම රැකවරණය

අධර්ම රාගයෙන් වැඩී යන ලෝකයට කාම කෙලෙස් දාහයන් සන්තර්පණය කරවන උත්තේජකයන් නිරායාසයෙන් මුණගැහෙනවා. ස්මාර්ට් දුරකථන, ෆේස්බුක් ආදී සමාජ මාධ්‍ය ජාල, අසභ්‍ය අන්තර්ජාල අඩවි සියලු සදාචාරාත්මක අගයන් නසමින්, වනසමින් රාග ද්වේෂ මෝහ බලවත්ව උපදවාලනවා. එවන් ලෝකයකට මුහු වීමෙන් ආයෙ ආයෙමත් අපට ලැබෙන්නේ විඳව විඳවා දකින්නට තිබෙන කාය මානසික ස්වභාවයන් පමණමයි. අන්ත අසරණ නීච දීන ස්වභාවයන් උරුමය කරගෙන මොන පිහිටක් ද? මොන සැපයක් ද?

සසර යනු කිසිසේත් ම පරිස්සමින් යා ගත හැකි, සීරුමාරුවෙන් ගැලවී ගත හැකි ගමනක් නොවෙයි. අතිශය බිහිසුණු, දුෂ්කර, ඒකාන්තයෙන් ම දුක්ඛිත ගමනක්… පහසුවෙන් ම වැරදෙන, අකුසලයට බර වෙන, දුක් විපාක විඳිමින් විඳවන්නට තිබෙන ගමනක්. මේ සසර ස්වභාවය ඉක්මවා යන එක ම එක ප්‍රතිපදාවයි දෙවියන් බඹුන් මරුන් සහිත, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත ලෝක ධාතුවට ම තිබෙන්නේ. ඒ ප්‍රතිපදාව යි සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලොව පහළ වී දේශනා කොට වදාළේ. මේ සසර ගමනේ අප අසරණ කරන, දුකට ඇද දමන කර්ම ක්ෂය කොට නිවී සැනසෙන්නට ඒකාන්තයෙන් ම උපකාරක වන ඒ පරමෝත්තම නිර්වාණගාමී ප්‍රතිපදාවට අපගේ නමස්කාරය වේවා!

උත්තම සරණ සීලය හැර සසර දුක් ඉක්මවා යා හැකි ක්‍රමයක් නැහැ. දුකින් මිදී යනු කැමැත්තෝ අප්‍රමාදී ව දිවි දෙවැනි කොට සරණ සීලයට පැමිණෙත්වා!

“ඒතං ඛෝ සරණං ඛේමං – ඒතං සරණමුත්තමං
ඒතං සරණමාගම්ම – සබ්බ දුක්ඛා පමුච්චතී”

“ඔය තිසරණය තමයි එකම ආරක්ෂාව. ඔය තිසරණය තමයි උතුම් ම සරණ. ඔය තිසරණයට පැමිණුනාමයි සියලු දුකෙන් නිදහස් වෙන්නේ…”

(ධම්මපදය – බුද්ධ වග්ගය)

(පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ද ලිපිය සැකසීමට අනුශාසනා කළ පින්වත් ස්වාමීන් වහන්සේලාට ද පුණ්‍යානුමෝදනා වේවා!)

සටහන – උදුලා පද්මාවතී.