දිල්ලියෙන් පිටත් වූ මගේ ගමනාන්තය බිහාර් ප්‍රාන්තයේ ඩෙල්හා ගම්මානය තෙක් විහිදී තිබුණි. පැය පහළොවක් පමණ වන සම්පූර්ණ ගමන් කාලයෙන් මම පැය දහ හතරක් අවසන් කොට නවාතැන් ගෙන අද උදයේ ම පිටත් වූයේ ඔහු මගේ පැමිණීම අපේක්ෂා කරන්නේ අද දිනය තුළ දී වන හෙයිනි.

“මගේ ළඟ තියනවා සිතූ පැතූ සම්පත් ලබා දෙන විස්මිත මන්තරයක්. ඔයාලගෙ තිස්වෙනි උපන් දිනය දවසටයි මං ඒක ඔයාලට දෙන්නෙ.” යි රාම්දාස් පැවසුවේ හිස දෙපසට වනමිනි. චෞද්රි, ගගන්, සයිබු, සෝනු හා මම රාම්දාස්ගේ වචන විශ්වාස කළෙමු. ඔහු කවදාවත් අපට බොරුවක් කියා තිබුණේ ද නැත. ඇත්තෙන් ම අපි පස් දෙනාට සිටි විශ්වාසවන්ත ම මිතුරා වූයේ ද රාම්දාස් ය.

එවකට අප දස හැවිරිදි වියේ පසු වූවන් වූ අතර, රාම්දාස්ට අවුරුදු හැට දෙක පිරුණා පමණි. හැට දෙවැනි උපන්දිනය දා අපට දුන් පූරිවල රස අපේ හිත්වල මේ වන විටත් ඉතිරි ව පැවතුණි.

අපේ ගමේ පාසලක් නොතිබුණෙන් අපට ඉගෙනීම සඳහා සැතපුම් දහයක් දුරක වූ පාසලකට යාමට සිදු වී තිබුණි. ගමන වඩාත් දුෂ්කර වූයේ අපේ ගමේ මායිම වශයෙන් ගඟ ගලා ගිය නිසාවෙනි. රාම්දාස්ට පින් සිදු වන්නට එය අපේ වැඩිහිටියන්ට තරම් අපට අපහසුවක් නොවූයේ මුදල් අය කිරීමකින් තොරවත්, ඉතා ඉක්මනිනුත් ඔහු අපව ගඟෙන් එගොඩ මෙගොඩ ගෙන ගිය බැවිනි.

රාම්දාස්ගේ සහායිකාව වූයේ ඔහුගේ තරුණ බිරිඳ වූ වපර සෝබනා ය.

අප ඔරුවේ යන්නට වඩාත් ආශා කළේ රාම්දාස් සමඟ ය. ඔහු සමඟ ගමන දීර්ඝ එකකි. ඔරුව පදින අතරේ ඔහු අපට කියා දෙන කථාව අවසන් වන තෙක් රාම්දාස් ඔරුව තොටුපළට ළං නොකරයි.

“අපිට බැරිද ඒ මන්තරේ මේ මාසෙ අන්තිම වෙද්දි ගන්න? මං හරි බයෙන් ඉන්නෙ මේ පාර මාව පන්තියෙන් පාස් වෙන එකක් නැහැ කියලා.” චෞද්රි පැවසුවේ ඇත්තට ම අසරණව ය. රාම්දාස් හැර අපි සියලු දෙනා ම එයට සිනාසුණෙමු.

“ඔයාල තාම පොඩි වැඩී. ඒකෙන් වැඩක් ගන්න නම් කට වචනෙට බෑ. සිද්ධි වෙන්න ඕනෙ. ඔයාල තාම මෝරල මදි.” රාම්දාස් ඔරුව දියඹට ගන්න සූදානම් ව පැවසීය.

“ආ… පස්දෙනා ම උපන්දිනේ මට කොළේක ලියල දෙන්න.”

උපන්දින ලීවේ මවිසිනි. කොළය අතට ගත් රාම්දාස්, “දීපක් මහත්තයනෙ බාලම කෙනා” යි පැවසුවේය. රාම්දාස් එය පැවසූ ආකාරයට අනෙක් අය සිනාසෙන්නට වූහ. “ඇයි මේ ඔයාල අනිත් අයට හිනා වෙන්න බලාගෙන ඉන්නෙ? දන්නවද අපේ සෝබනා ටිකක් වපර මොකද කියල?” ටිකක් නොව සෝබනා හොඳට ම වපර ය. එවර මම හිනාව නතර කර ගත්තේ අසීරුවෙනි. “එයාගෙ අම්මට වපරයි කියල හිනා වෙලා.”

“කොහොමද දන්නෙ?” ගගන් ඇසුවේ රාම්දාස්ගේ වචනය නොතකමිනි. නොඇසුවාට මටත් එසේ ම සිතුණි. “මම දන්න හැම දෙයක් ම ඔයාලට කියන්න ඕනෙ නැහැ.” රාම්දාස් පැවසීය.

“පොඩි පොඩි දේටත් අනුන්ට හිනා වෙන්නෙ තමන්ගෙ හිතේ තියන ආඩම්බරකම නිසා. අං තියෙන මුවෝ හිතට අරගෙන එකාට එකා ඇන ගන්නවා. මරන්න කවුරු හරි එළවනකොට ඒ අං තට්ටුව ම අකුල්වල හිර වෙලා මුවා විනාශ වෙනවා.” රාම්දාස් පැවසුවේ අවවාදයක් ලෙසිනි. අපි නිහඬ ව සිටියෙමු.

“කෙනෙකුගේ හිත රිදවලා ලබන සතුට කැමති වෙන්න එපා.” අවවාදය රළු වැඩි යැයි සිතාදෝ රාම්දාස් නැවත කීවේ දයාර්ද වූ හඬිනි. ඉනික්බිති කාගේවත් අඩුපාඩුවකට මා සිනාසුන බවක් මට මතක නැත.

එයින් වසර දෙකකට පසුව මගේ මගේ ඉගෙනීමේ පහසුව පිණිස අපි දිල්ලියේ පදිංචියට ගියෙමු. මගේ දෙමව්පියන්ට නැවත ගමට එන්නට උවමනාවක් නොතිබුණු නිසා රාම්දාස් මට කොයිතරමට වැදගත් වුවද මට ද ආයෙම ගමට එන්නට අවස්ථාවක් ලැබුණේ ද නැත. එහෙයින් මා මේ ඔහුව මුණගැසෙන්නේ වසර දහ අටකට පසුව ය.

රාම්දාස් හමුවන සතුට නිසා මට කුසගින්නක් නොවිණි. උදේ හතයි තිහට ආසන්නව මම ඔහුගේ මිදුලේ මෝටර් රථය නතර කළෙමි. එදා වගේ ම අපිළිවෙළ, දිරා ගිය බව හැරුණ විට නිවසේ විශාල වෙනසක් ඇති වී නොමැත. නිවසේ පිළේ වූ බංකුව මත වාඩි වී පාර දෙස ම බලා සිටින අසූ දෙහැවිරිදි රාම්දාස් නම් හොඳට ම දිරා ගිය දර කඩක් මෙන් නිසොල්මන්ව සිටියේය.

“රාම්දාස් මං ආවා.” යි මම කෑ ගසා කීවේ හිතේ සතුට වැඩිකමට ය. රාම්දාස් තුළ කිසිදු වෙනසක් ඇති නොවිණි. ඔහුගේ දෑස නොසෙල්වී පාර දෙසට ම යොමු වී පැවතුණි. මම රාම්දාස් වෙතින් දෑස් ඉවතට නොගෙන ම ඔහුට සමීප වීමි. “රාම්දාස් මම දීපක්.” රාම්දාස් ළඟ පාත් වෙමින් මම කීවෙමි. රාම්දාස් මගේ පළමුවෙනි චිත්‍ර ගුරුවරයා පමණක් නොව මට ගුණධර්ම, මනුෂ්‍යත්වය ගැන කියා දුන් ආධ්‍යාත්මික ගුරුවරයා ද වන්නේ ය.

මම ඔහුගේ දෙපා වැන්දෙමි. “කවුද – මොකටද?” රාම්දාස් ඇසුවේ රළු හඬිනි. මා කෙරේ ඔහුගේ වචන මෙතරම් රළු වූ බවක් මට මතක නැත. “මම දීපක්. අඳුරන්න බැරිද ඔයාට? අපි පුංචි කාලෙදි ගං ඉවුරේ චිත්‍ර අඳින්න ඉගැන්නුවෙ. චෞද්රි ගගන්ලා එක්ක එකට ඉස්කෝලෙ ගියෙ.” තවත් කියන්නේ නම් මට එවැනි මතක සිය ගණනක් ඇත.

“මං කීදෙනෙකුට චිත්‍ර අඳින්න ඉගැන්නුව ද? කීදෙනෙක් ඔරුවෙන් අරන් ගියාද?” රාම්දාස් පැවසුවේ අන්ධයෙකුගේ ඉරියව් පාමිනි. දෙවියනි, ඔහුගේ දෑස් අන්ධ ව ඇත. මට දැනුණ දුක අපමණ ය.

මම නැගී සිටියේ යාන්ත්‍රික ව ය.

රාම්දාස්ගේ දෙවුර මත දෑත් තැබූ මම ඔහුගේ දෑසට එබුණෙමි. මට කිසිත් සිතා ගත නොහැක. “ඇස් නොපෙණුනාට ඔයාට මාව අමතක වෙන්න විදිහක් නෑ රාම්.” මට කියැවිණි. මම ඔහුට රාම් යැයි කියන්නේ ආදරේ වැඩියෙන් ම දැනෙන වෙලාවට ය.

“කරදර නොකර පලයන් ළමයො.” රාම්දාස් මගේ දෑත් දෙවුරෙන් ඉවත් කරමින් පැවසීය. මම වික්ෂිප්ත වීමි. මම බොහෝ දුර සිට පැමිණියේ මෙවන් පිළිගැනීමකට නොවේ. “මම ළමයෙක් නෙවෙයි. මේ බලන්න.” මම රාම්දාස්ගේ දෑත් ගෙන මගේ මුහුණේ රැවුල මතත්, මගේ දෙබාහු මතත් තබමින් කීවෙමි. රාම්දාස්ගේ මුහුණ තරමක් වෙනස් වෙනු මම දිටිමි. මට දැණුනේ විශාල සතුටකි.

“මතකයි නේද?”

“කරදරකාර ළමයෙක්, නාකි මට ඉන්න දෙන්නෙ නැති හැටි පාඩුවෙ” රාම්දාස් මුහුණ වෙනතකට හරවා ගනිමින් කීවේය. එවිට ම ඔහුගේ දෑසින් කඳුළු ගලා හැලිණ. “ඔයා මාව අඳුරගෙන. ඒකයි අඬන්නෙ.” “ලෙඩේටත් එහෙම වෙනවා.” රාම්දාස් පැවසුවේ නපුරු ලෙසිණි. “එහෙම මතක නැති වෙන්නෙ කොහොමද රාම්? ඔයයි මට ජීවිතේ කියල දුන්නෙ. මතකයි ද මගෙයි චෞද්රිගෙයි රණ්ඩුව? එයා කලින් දවසෙ මට ගලකින් ගහල පැනලා දිව්වා. මම පහුවදා ඔරුවට නැග්ගෙ ගඟ මැද්දෙදි චෞද්රිට ගහල ගඟට තල්ලු කරන්න හිතාගෙන. ‘දීපක් මහත්තය මොකද අද වෙනස් වෙලා? මූණත් නපුරු පාටයිනෙ’ කියල ඔයා ඇහුව. ‘මට අරූ ගැහුව’ ‘කවුද?’ ‘චෞද්රි. මං අද ඌට ගහල ගඟට තල්ලු කරනවා. අම්මත් මට කිව්ව මට කවුරු හරි ගැහුවොත් ගැහුව කෙනාට ගහන්න කියල’ මම කේන්තිය වැඩිකමට කියාගෙන ගියාම ඔයා මට මෙහෙම කිව්වා. ‘දීපක් මහත්තයා, ගැහුවට ගහන්නෙ නෑ හොඳ ළමයි.’ ‘මට හොඳ ළමයෙක් වෙන්න ඕනි නෑ. මං ගහනවමයි චෞද්රිට.’ ‘එකට ඉන්න අය කා කොටා ගන්නෙ සත්තුනෙ දීපක් මහත්තය. ඉතිං ඔයා කැමතිද සතෙක් වෙන්න?’ ඔයා ඇහුවෙ හරි කරුණාවෙන්. මං නෑ කියල කිව්වෙ පිළිකුලෙන්, සතෙක් වෙන්න තියන අකමැත්තට. ‘ඒකනෙ අපි ඒක අත ඇරලා දාමු. මං චෞද්රිටත් කියන්නම් ආයෙ කවදාවත් දීපක් මහත්තයට නරක දෙයක් කරන්න එපා කියල. එහෙම හොඳයි නේද?’ මං ඔළුව වැනුවෙ ඔයාට බෑ කියන්න බැරිකමට.”

රාම්දාස් මගේ කතාව උවමනාවෙන් අසා සිටිනු දුටු මා තුළ ඇති වූයේ සතුටකි. අහෝ ඉක්මණින්ම ඔහුට මතකය එන්නේ නම් කොයිතරම් හොඳද? මම වඩාත් උත්සාහවත් වීමි.

“එදා ඉස්කෝල ගිහින් එනකොට ඔයා පරණ හබලක් කපල ක්‍රිකට් පිත්තක් හදලා තිබුණා. ‘මේක චෞද්රිට. මේක දීපක්ට’ ඔයා රබර් බෝලය චෞද්රිටත්, මට පිත්තත් දීල කිව්ව. කොහොම වුණත් එදා හවස් වෙනකොට අපි දෙන්නට ඇත්තටම යාළු වෙන්න සිද්ධ වුණා සෙල්ලම් කරන්න. හවස අපි සෙල්ලම් කරනවද බලන්න ඔයා පිට්ටනියටත් ආවා. ‘හරි අපූරුයි ඔයාලගෙ සෙල්ලම.’ රාම්දාස් ඔයා එහෙමත් කිව්වා. ‘බෝලෙ කොහෙන්ද රාම්දාස්?’ චෞද්රි එහෙම ඇහුවම ඔයා කිව්ව “ඒක ඔයාලට වැඩක් නැහැනෙ, සෙල්ලම් කරන්න” කියලා. පස්සෙදි මට ආරංචි වුණා ඔයා ඒක කඩෙන් සල්ලි දීල ගත්ත එකක් කියල. “රාම්, කියන්න දැන්වත් ඔයාට මාව මතකද කියල.” රාම්දාස් නිසොල්මන්ව බලාගත්වනම බලා සිටියේය. මට වෙහෙසක් දැනුණත් එපාවීමක් නොවිණි. මගේ සියලු ම මතකය අවදි කොට හෝ මම රාම්දාස්ගේ මතකය අවදි කරවන්නෙමැයි සිතා ගත්තෙමි.

“එහෙනම් මේක ඔයාට මතකද? රාම්දාස්, අපේ සෙල්ලම් පිට්ටනියට තදින් අව්ව වැටෙනව කියල ඔයා අඹ පැළ දහයක් හිටෙව්ව වටේට. ඔයා පැළ පහකට තනියම වතුර දැම්ම. ඉස්කෝලෙ ඇරිලා අපි ඔරුවෙන් බැහැල ගිය හැමදාම ඔයා ලබු කැට පහකට අපිට වතුර දුන්නා. ඔයා අපිට ගස් වෙන් කරලා දීලයි තිබුණෙ. උදේ එද්දි අපි ආයෙම ඒ ලබු කැට ඔයාට ගෙනත් දෙනව. ඔයාට මතකද රාම්දාස් ඒ දවස්වල මුළු ගමේම අය අපිට හිනා වුණා. එතකොට ඔයා කිව්වා ‘ආ.. තාම එයාලට තේරුමක් නැති නිසා ඔය හිනා වෙන්නෙ. පස්සෙදි ඕව ඇරිල යනව’ කියල. මං හිතන්නෙ දැන් ඒ ගස් ලොකු වෙලත් ඇති.

“අඹ ගස් ලොකුයි.” ඔහු පැවසුවේ එපමණකි. මට දැණුනේ ශෝකයකි. මම මඳක් පසුබා ගියෙමි. “හරි. කෝ සෝබනා? එයාට මාව මතක ඇති.” හදිසියේම රාම්දාස්ගේ බිරිඳ මාගේ මතකයට නැගුනු හෙයින් මම ඇසුවෙමි. රාම්දාස් තුළ වෙනසක් ඇති නොවිණි. “කෝ සෝබනා? මම එයාව දන්නවා. එයත් මාව දන්නවා.” මම නැවත කීමි. “එයා ගියා.” “එයා මැරුණද?” “නෑ. එයා පාලම හදන්න ආපු කෙනෙක් එක්ක ගියා. දැන් අවුරුදු පහලොවක් විතර වෙනව.” වෙනසක් නැතිව ම රාම්දාස් කියද්දී මට පුදුම සිතුණි. මා දන්නා තරමින් සෝබනා නරක ගැහැනියක නොවුණාය. “එයා කරපු දේ හරි නැහැ.” මම අන්තිමට කීවෙමි. “එහෙමමත් නැහැ. පාලම හදල ඉවර වෙද්දි අපේ ආදායම නැති වුණා. අපි දෙන්නට ම ජීවත් වෙන්න විශාල වෙහෙසක් ගන්න වුණා. අන්තිමට එයා එහෙම කළා. මගෙ හිතේ තරහක් නැහැ.”

මම සෝබනා පිළිබඳ වෙනත් කිසිවක් කථා නොකළෙමි. මමත් රාම්දාස් අතරත් වූ සියලු මතකයන් ගෙනහැර පෑවද ඔහුට මාව මතක් කර දීම කළ නොහැකි සේය. “ඔයා මගෙන් මොනව බලාපොරොත්තු ව ද මෙච්චර වෙලා කියෙව්වේ? අවසානයේ රාම්දාස් ඇසුවේ අවඥාවෙන් මෙනි. එවර නම් මගේ සිත හොඳට ම රිදුණි. “මට ඔයාගෙන් මොකුත් එපා. ඔයයි මට තිස්වෙනි උපන්දිනේ දවසට එන්න කිව්වෙ. නැත්නම් මං කලින් ම එනව. රාම්දාස් ඔයා මට ගං ඉවුරෙ චිත්‍ර අඳින්න පුරුදු කළා. මං දිගටම චිත්‍ර ඇන්දා. මම දැන් දක්ෂ චිත්‍ර ශිල්පියෙක්. ඔයා දන්නවද? නැහැ ඔයා දන්නෙ කොහොමද. මම අවුරුදු කිහිපයකට කලින් ජාතික චිත්‍ර කලා ඇකඩමියෙ රන් පදක්කම දිනා ගත්ත. ඒකට අඳින්න ඕනෙ ශ්‍රේෂ්ඨ කෙනෙකුගෙ මූණක්. සිය ගණන් චිත්‍ර අඳින අය චිත්‍ර එවනව. ගොඩක් අය අඳින්නෙ ගාන්ධිගෙ, නේරුගෙ, රවීන්ද්‍රනාත් තාගෝර්ගෙ වගේ අයගෙ මූණු. මම ඇන්දෙ ඔයාගෙ මූණ රාම්දාස්. ඔයාගෙ මූණ.” එවර නම් රාම්දාස්ගේ ඉරියව් පෙර අවස්ථාවලට වඩා වෙනස් විය. එහෙත් මම කතා කළේ ඒ ගැන විශ්වාසයකින් නොවේ. “මං ඒ චිත්‍රය නම් කළේ ‘මුල් ගුරු’ කියලා. අපි තරඟෙ දිනුව. මේ බලන්න රාම්දාස් මට ලැබුණ පදක්කම. මං ඒක ඔයාටත් පලඳන්නයි අරගෙන ආවෙ.” යි කියූ මම කලිසම් සාක්කුවෙන් පදක්කම ගෙන රාම්දාස්ට පැලඳවීමි. එවරත් රාම්දාස්ගේ දෑසින් කඳුළු රූරා හැලෙන්නට විය. මට රාම්දාස්ව තේරුම් ගැනීමට අපහසු වූයෙන් ඔහුට පිටුපා මඳ දුරක් ගොස් නතර වීමි.

“මං අන්තිම වතාවට අහන්නෙ, ඔයාට මාව මතක නැද්ද?” මගේ හඬ උද්වේගකර විය. මට පිළිතුරක් ලැබුණේ ද නැත. එහෙත් රාම්දාස් සමඟ උරණ වන්නට ද ඔහුට එරෙහි වන්නට ද හිතක් මට නොවේ. “හරි ඔයා යමු මාත් එක්ක අපේ ගෙදර. අපිට තරමක් ලොකු ගෙයක් තියනව. මගේ බිරිඳ ශාන්තනී හරි කරුණාවන්ත කෙනෙක්. එයා ඔයාට සලකාවි රාම්දාස්, මං එයාට ඔයා ගැන කියලයි තියෙන්නෙ.” මම අවසන් තීරණය රාම්දාස්ට කීවෙමි. එවර ඔහු මඳක් කලබල විය.

“හැමෝට ම එපා වෙච්ච නාකි මාව මොකට අරන් යනවද දීපක් මහත්තය?” රාම්දාස් කීවේය. “ඔයාට මතක් වුණා, ඔයාට මතක් වුණා රාම්දාස්. මාව මතකයි නේද?” මම රාම්දාස් ළඟට දිව යමින් ඇසුවෙමි. ඔහු දෑත් දිගුකොට මාව පිළිගත්තේය. මම රාම්දාස් ළඟ පහත් වී ඔහුගේ මුහුණට එබී බැලුවෙමි. “තිස්වෙනි උපන්දිනේට ආවොත් සිතූ පැතූ සම්පත් ලබා දෙන වටිනා මන්තරයක් දෙනව කියල මං ඔයාලට කිව්වා මතකද දීපක් මහත්තය?” ටික වෙලාවකට පසුව රාම්දාස් ඇසුවේ ඈතක දෑස් රඳවාගෙන ය. “මට මතකයි. ඒත් දිල්ලියට ගිහින් ටික කලක් යද්දී ඒ කතාව බොරුවක් බව මම දැන ගත්තා.” මම කීවේ නොසැලකිල්ලෙනි. “ඇයි දීපක් මහත්තය?” “ඔයා අපිට කියා දීපු කතාවල හිටපු හොඳ මිනිස්සු කවදාවත් මට මුණගැහිලා නැහැ රාම්දාස්. ඉතින් මං හිතුව ඔයාගෙ මන්තරෙත් ඒ කතා වගේම බොරුවක් ය කියල.” මට මෙවෙලෙහිවත් ඒ පිළිබඳ විශ්වාසයක් හෝ උනන්දුවක් හෝ ඇති නොවිණි.

“හොඳ මිනිස්සු කලාතුරකින් හරි ඉන්නව දීපක් මහත්තය. මං දන්න මන්තරේකුත් තියනව. ඒක බොරුවක් නෙවෙයි.” රාම්දාස් පැවසුවේ විශ්වාසය හැඟවෙන අයුරිනි.

“මට හොඳ කෙනෙකුට මුණගැහිල තියෙන්නෙ ඔයා විතරයි.” මම පැවසුවෙමි. රාම්දාස්ගේ මුහුණේ වෙනසක් ඇති වූයේ නැත. “ඉතින් ඔයාට තිබුණනෙ මන්තරේ මතුරලා ඔයාගෙ ඇස් දෙක සනීප කර ගන්න.” මගේ හඬෙහි සරදම් බවක් විණි දැයි මම නොදනිමි. එවර නම් රාම්දාස් මඳක් කලබල විය.

“ඒක ලෞකික සැපය පිණිස නෙවෙයි දීපක් මහත්තය, ලෝකෝත්තර සැපය පිණිස පවතින දෙයක්. කොහොම වුණත් මගේ හිතේ හැමදාම තිබුණා මට හොඳ පුතෙක් ලැබේවා කියල පැතුමක්. ඉතින් අද ඒක සම්පූර්ණ වුණා.” රාම්දාස් පැවසුවේ ප්‍රබෝධවත් හැඟීමෙනි. මසිත ද සියුම් සතුටක් ඇති වූයේ රාම්දාස් සතුටින් පසු වනු දැකීම නිසාවෙනි. “දීපක් මහත්තය, ඔයා තමයි මං ප්‍රාර්ථනා කරපු දරුව.”

මම ගොළු ව රාම්දාස් දෙසම බලා උන්නෙමි. මොහොතකදී ඔහුගේ දෑස් තෙත් ව යනු මට පෙණින. මම ඉවත බලා ගත්තේ ශෝකයත් සතුටත් දෙකම එකවර විඳිමිනි. ‘අසරණ රාම්දාස්’ මට සිතුණි. “ඔයා මාව දකිනව නම් කොච්චර හොඳද රාම්දාස්” මම කිව්වා නොව මට කියැවිණි. එවර රාම්දාස් සිය දෑතින් මගේ මුහුණ තදින් ගත්තේය.

“මම අන්ධයෙක් නෙවෙයි දීපක් මහත්තය. මට ඔයාව පේනව. ඔයා ගොඩක් ලස්සන වෙලා.” රාම්දාස් කීවේ උද්වේගකර ලෙසිනි. ඊට වඩා උද්වේගකර බවක් මා තුළ ඇති විය. මම රාම්දාස්ගේ දෑත් ගසා නැඟී සිටියෙමි. “මොකක්ද ඔයා මෙච්චර වෙලා කරපු දේ. ඔයා දන්නවද රාම්දාස් ඔයා අන්ධයි කියල හිතුණම මට ඇති වුණ දුක?” මා තුළ කිසියම් කෝපයක් ද ඇති වූවා වන්නට පුළුවන. රාම්දාස් නැඟී සිට මගේ දෙබාහුවලින් අල්ලාගෙන මගේ මූණට එබී, “ඔයා ගුණවත් කෙනෙක්ද කියලා දැනගන්නයි මට ඕනෙ වුණේ. ඔයා ඇත්තටම ගුණවත් කෙනෙක්.” රාම්දාස් හෙමිහිට පැවසීය. මම තරමක් සන්සිඳී ගියෙමි. රාම්දාස් ම මාව පිළේ හිඳෙව්වේය.

“ඔයා කොහොමද රාම්දාස් මම ගුණවත් කියල කියන්නෙ? අවුරුදු දහ අටකට පස්සෙයි අපි මේ මුණගැහුණෙ.”

මම ඇසුවේ අවංක සිතිනි. මට මා පිළිබඳ එවැනි විනිශ්චයක් නොතිබුණි. “සියලු ගුණ දරා ගන්න, උපදවන්න පුළුවන් මහා ගුණය ඔයා ළඟ තියනව දීපක් මහත්තය.” රාම්දාස් කීවේ සැහැල්ලුවෙනි. මා සිනාසුණා පමණකි. “මොකක්ද?” රාම්දාස් කථා නොකරනු දුටු මම ඇසීමි.

“කෙළෙහිගුණය.” පිළිතුරක් වෙනුවට මගෙන් පිට වූයේ දිගු සුසුමකි. රාම්දාස් මදෙසම බලා සිටියෙන් මා තුළ ලැජ්ජාවක් ඉපදිණි. මම ඔහු වෙතින් මගේ දෑස් මුදා ගත්තෙමි. “අනෙක් හතර දෙනාම කිහිප සැරයක් ආව. මගෙන් මන්තරේ ඉල්ල ඉල්ල හරියට කරදර කෙරුව.” “චෞද්රිල ද?” “ඔව්. එයාගෙන් තමයි ලොකුම කරදරේ. විශාල හොරකමක් කරල, හිරේ යන්න වෙයි කියලා බයේ ඉන්නෙ. එයාට නඩුව දිනා ගන්න ඕනෙලු.”

“ඉතින් දෙන්නනෙ තිබුණෙ.” මා කීවේ අතීතයේ චෞද්රි මට කරන ලද කරදර අමතක කර දමමිනි. “මං කලින්ම කිව්වෙ, ඒක ලෝකෝත්තර දෙයක්. නිසරු පොළවට සාරවත් බීජයක් දැම්මට පැළ වෙන්නෙ නැහැ දීපක් මහත්තය. එයාල ඔක්කොගෙ ම හිත් කුණු වෙලා. උතුම් දෙයක් රඳන්නෙ කොහොමද?” රාම්දාස් පැවසුවේ මා තුළ ඒ පිළිබඳ පෙර නොවූ විරූ උනන්දුවක් ඇති කරවමිනි. ඇත්තට ම මට රාම්දාස් පිළිබඳ පුදුම ය. “දීපක් මහත්තය, මං කැමතියි ඒක ඔයාට දෙන්න. උතුම් දේවල් පිහිටන්නෙ උතුම් හිත්වල.” මම හිස වනා ඔහුට එකඟතාවය පළ කළෙමි. රාම්දාස් මාත් කැඳවාගෙන කුඩා කාමරයකට ඇතුල් විය.

“ඇයි? ඒක දෙන්න මෙච්චර කල් ගත්තෙ.” මම ඇසීමි.

“ඔය වයසෙදි තමයි ගොඩක් අය ගුණ නසා ගන්නෙ. විශේෂයෙන් ම කෙළෙහිගුණය. තමන්ට ගෙවල් දොරවල් හදා ගන්න, වාහන ගන්න වගේ දෙවල් නිසා දෙමව්පියන්ටත් සලකන්නෙ නැහැ. ඒකයි.

“මගේ වන්දනා කුටිය.” රාම්දාස් කීවේය. මගේ දෑස් කුඩා කුටිය තුළ කිහිප වරක් දිව ගියේය. හිස් බව මිස කිසිවක් එහි නොවීය. “ප්‍රතිමා රූප නැති මගේ පූජා මන්දිරය” යි රාම්දාස් නැවත කීවේ මසිත තේරුම් ගනිමිනි. රාම්දාස් හිඳ ගත්තෙන් මම ද එසේ කළෙමි. මගේ දෑස් රැඳී තිබුණේ රාම්දාස් වෙතම ය. කිසියම් අද්භූත චමත්කාරයක් මා තුළ ද ඇති විය.

“දීපක් මහත්තය, මේක මන්තරයක් නෙවෙයි. සරණක්. පුංචි දෙයක් කියල හිතන්න එපා. කෙනෙකුට දිව්‍ය සැපයට පත් වෙන්න පුළුවන්. කවුරු හරි සතර අපායෙන් නිදහස් වුණා නම් ඒ ඔක්කොම නිදහස් වුණේ මේ සරණෙ පිහිටල. කවුරු හරි මේ දැවිලි තැවිලිවලින් යුතු කාම ලෝකයෙන් නිදහස් වුණා නම් ඒ ඔක්කොම නිදහස් වුණේ මේ සරණෙ පිහිටල. කවුරු හරි මේ මහ සංසාර දුකෙන් නිදහස් වුණා නම් ඒ ඔක්කොම නිදහස් වුණේ මේ සරණෙ පිහිටල. ඒක අදටත් හෙටටත් එහෙම තමයි.”

මොහොතකින් දෑස් පියාගත් රාම්දාස් තෙරුවන් ගුණ ළයාන්විත ස්වරයෙන් පවසන්නට වූයේ දැඩි භක්තිමත් ස්වරූපයක් ප්‍රකට කරමිනි. කාලය ගතවන බවක් මාහට නොදැනිණ. සුළු වේලාවකට පසු මුළු පරිසරය ම නිහඬබවේ ගිලී ගියේය.

“දීපක් මහත්තය, ඒ නිසා මගේ ජීවිතය වෙලාගෙන තිබෙන සියලු දුකින් නිදහස් වීම පිණිස මං සරණ යනවා කියන අදිටනින් සරණ යන්න, කියන්න.

බුද්ධං සරණං ගච්ඡාමි..
ධම්මං සරණං ගච්ඡාමි..
සංඝං සරණං ගච්ඡාමි..

රාම්දාස් කීවේ බැතියෙනි. මම ද ඒ හා සමාන බැති සිතින් ඒ තුන්සරණෙහි පිහිටියෙමි. බොහෝ වේලාවක් දෑස් පියාගෙන සිටි මම ඒ සරණාගමනයෙහි මිහිර වින්දෙමි. රාම්දාස් මට බාධා නොකළේ විය. අවසන මම දෑස් හැර රාම්දාස් දෙස බැලුවේ බැතිමත් සිතෙනි. පුදුමයෙනි. “පුදුම වෙන්න දෙයක් නැහැ. මම උපතින්ම බෞද්ධ. මහාරාෂ්ටේ‍ර ආරන්ගබාද් පළාතෙ. දීපක් මහත්තය මතක තියාගන්න.
උතුම් දේවල් රැඳෙන්නෙ උතුම් හිත්වල කියල.” රාම්දාස් අවසානයේදීත් පැවසුවේය.

සිරිල් විදාන පතිරණ