මම කොළඹට පැමිණියේ ‘මිනිසෙකු වන්නෙමි’ ය යන සිතිවිල්ලෙනි. ඒ වෙනුවෙන් ඕනෑම දුකක් විඳීමේ සිතක් මට තිබුණි.

“උඔ හිතපු දේ කළා.” එසේ කීවේ තාත්තා ය. මා එවේලෙහි තාත්තා දෙස බැලුවේ ආඩම්බරයෙනි. මා මෙන්ම තාත්තා ද පමණක් නොව එකල අප සියලු දෙනාම සිතා සිටියේ මිනිස් ලොව ඉපදුනෙකු විසින් කළ යුතු වන්නේ, මිනිසෙකුගේ දියුණුව වන්නේ සල්ලි හම්බ කරගෙන ගෙයක් දොරක් හදාගෙන හොඳ පවුල් ජීවිතයක් ගතකොට මිය යාම කියා ය.

“ඉගෙන නොගත්තත්, රස්සාවල් නොකළත් හරකුත් ඔය ටික කරනවා නේද මහත්තයා?” අප සිතා සිටි ලෝකයේ නිසරු බව මට වැටහුණේ එදා ය. අනුරාධපුර සමාධි බුදු පිළිමය පාමුලදී භික්ෂුව පැවසූ දෙය මගේ ජීවිතයේ මහ පෙරළියකට මුල පිරීය.

“මහත්තයලා සැපයි සැපයි කියලා කියන ඔය ගිහි ගෙදර සැපයි කියලා දෙයක් සැනසිල්ලක් තියෙයි නම් ඉතිං මේ වගේ තැන්වලට ඇවිල්ලා විවේකයෙන් ඉන්න ඕන කියලා එකක් ඇතිවෙන්න විදිහක් නෑනේ.”

“එහෙමයි ස්වාමීන් වහන්ස.” මට සත්‍යය පිළිගන්නට සිදුවූයෙන් එසේ පැවසීමි.‍

“ලස්සනට ගෙවල් හදල තිරරෙදි දාලා ලයිට් දාලා තිබුණට, ලයිට් පත්තුවන වාහනවලින් ගමන් බිමන් ගියාට ගොඩක් අයගේ ජීවිත අඳුරුයි මහත්තයා. ඔහේ කාලා බීලා විනෝදවෙලා ඉන්නවා. අන්ධකාර ලෝකයක තෘප්තිමත් වන කෙනෙක් නෑ අතෘප්තකර බවත්, සිතක එකතුවන අසහනය පීඩාවත් මිසක.”

බටහිර ලෝකයෙන් නිදසුන් කුමට ද? මට මාව ම පෙනේ. මම හිස සලා එකඟතාව පළකළෙමි.

“නාලා කරලා සෙන්ට් පවුඩර් දාලා කොයිතරම් පිරිසිදුවට හිටියත් හිත ගොඩක් දුගඳයි මහත්තයා.

ඇත්තටම බාහිරින් පිරිසිදුකමත්, ලස්සනත් හොයන අයගේ ඇතුළ දුගඳයි. අපිරිසිදුයි.”

ඒ වචන තියුණු ය. ජීවිත අභ්‍යන්තරයට කිඳා බසී.

“ඇත්තටම හාමුදුරුවනේ මම හිතුවේ මම ජීවිතේ දිනපු කෙනෙක් කියලා. මම මේ සමාජය තුළ ඉහළම දියුණුවක් ඇති කරගත් කෙනෙක් කියලා.” මම ඇත්තම පැවසීමි.

ජීවිතේ කොතැනක හෝ වටිනා දෙයක් අහිමි වී ඇති බව මට හැඟෙන්නට විය. වැරදීමක් සිදුව ඇති බව පෙනෙන්නට විය.

“කොන්ක්‍රීට්වලින්, යකඩ ගොඩවල්වලින් මිනිහෙකුගෙ සැබෑ දියුණුව හොයන්න බෑ මහත්තයා. මිනිහෙකුගෙ සැබෑ දියුණුව කියන්නේ හිතේ දියුණුව. හිතේ පිරිසිදුකම.” නිහඬ වන අරණ අතරේ ඒ වචන ඇසෙන්නෙ ගාම්භීර ලෙසිනි. ඒ වචනවල බර මගේ පපුවට දැනෙන්නට විය. කිසියම් උද්දාමයක් උනන්දුවක් මසිත ඇති විය. එහෙත් පරිස්සමෙන් වචන පාවිච්චි කළ යුතු යැයි සිතූ මම, “උතුම් දේට මිනිස්සු සංවේදී නොවෙන්නෙ මොකද අපේ හාමුදුරුවනේ?” යැයි ඇසීමි.

“මහත්තයා, බාහිරෙන් ඇහෙන, දකින රාග ද්වේෂ මෝහ උපදින දේට අපි කැමැති වෙන්නේ ඒ දේවලට ගැළපෙන දේ අපි ළඟත් තියෙන නිසා. ඒ තමයි රාග ද්වේෂ මෝහ.

කෙනෙක් ධර්මයට අකමැති විරාගය, මෙත් සිත, ප්‍රඥාව අවදි කරන දේ ඒ කෙනා තුළ නැති නිසා. ඒ තමයි අලෝභය අද්වේෂය අමෝහය.”

මට කාරණය පැහැදිලි නොවිනි. මට බුදු බණ ඇසූ කාලයක් සිතාගත නොහැකි තරම් ය.

“ගින්දරක් පත්තු කර ගන්නත් මහත්තයා ගින්දරක් උපදවන දෙයක් අපි ළඟ තියෙන්න ඕන.”

“තේරුණා හාමුදුරුවනේ… ඔබ වහන්සේ වැරදියට හිතන්නෙ නැතිව අනුකම්පාවෙන් මට මේක පැහැදිලි කරල දෙනව ද? මේක මේ දැන් මට හිතුණ දෙයක්.” මම ඇසුවේ තරමක චකිතයකිනි. ළෙන්ගතු හිනාවක් මට ඒ සඳහා ලැබුණි.

“ඇත්තටම ජීවිතේ දුකක් ද අපෙ හාමුදුරුවනේ?” තරමක නිහැඬියාවක් පැවතුණි. මම වැරදි දෙයක් ඇසුවා ද වැනි පසුතැවීමක් මසිත ඉපදුණි.

“මහත්තයා ඔය විදිහට ඇහුවෙ මේ ජීවිතය සැපක් කියලා හිතෙන නිසා. සල්ලි බාගෙ, ගෙවල් දොරවල් එක්ක හොඳ පවුල් ජීවිතයකුත් මහත්තයට ඇති. ඒ විදිහට කරුණු යෙදිලා තියෙන නිසයි ඔය වගේ අදහස් එන්නෙ.”

මම හිස සලා එකඟතාවය පළ කළෙමි. ඇත්තම කතාව නම් මම ගොඩක් දුක් විඳ ඇති බව ය. නමුත් ඒ කිසි විටෙක ඒ දුකක් බව මට නොවැටහුණි. මගේ මුළු ජීවිත කාලය ම ගත වූයේ ධනවතෙකු වීම සඳහා ය.

“මහත්තයා අපි මේ ජීවිතය තේරුම් ගන්නේ අවුරුදු පනහක් හැටක් විතර කාලයක් අහන දකින දේවල් එක්ක ලබන අත්දැකීම් එක්ක. නමුත් බුදු කෙනෙක් මේ ජීවිතය ගැන යමක් කියන්නේ කෙළවරක් නැති සසර ම දකිමින්. ජීවිතය දුකක් නොවුණ නම් බුදුවරුන් ලෝකෙට පහළ වෙන්නේ නැහැ මහත්තයා.”

“එතකොට දෙවියන් අතරත් දුක ද අපේ හාමුදුරුවනේ?”

“යමක් අනිත්‍යයයි නම්, ඒ කියන්නේ හටගත් ඕනෑම දෙයක් නැසිලා වැනසිලා යනවා නම් ඒක දුකක් මහත්තයා. ඒක තමයි බුදු කෙනෙකුගේ අවබෝධය, පරම සත්‍යය. ඒ නිසා දෙවියන් අතරත් දුකයි.”

“ඇත්තටම හාමුදුරුවනේ මට දැන්නම් ලොකු බයක් හිතෙනව මාව මැරිල කොහේ යයි ද කියලා.” මම නැවත පැවසීමි.

“ඒක ඉතින් මහත්මයා කර්මානුරූපව තමයි සිද්ධ වෙන්නෙ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ රූප, වේදනා, සංඥා, සංස්කාර විඤ්ඤාණය පිහිටන තැන් හැටියටයි. ඒකයි බුදුරජාණන් වහන්සේ ඒ හතර පොළොව වගේ කියලා දේශනා කළේ. එතකොට පොළොව වගේ වූ රූප, වේදනා, සංඥා, සංස්කාර වල තමයි පැළවෙන ස්වභාවයෙන් යුතු විඤ්ඤාණය බැසගන්නේ. ඒ විඤ්ඤාණය තෙත් කරන්නේ තණ්හාවෙන්.”

“ඒකනේ මහත්තයා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කර්මය තමයි කුඹුර, විඤ්ඤාණය බීජයයි. තණ්හාව වතුරයි’ කියලා. සාමාන්‍ය මනුෂ්‍යයාගේ, දෙවියන්ගේ, මහා බ්‍රහ්මයාගේ මේ කාගේත් විඤ්ඤාණයේ ස්වභාවය ඕකයි. කර්මය තමයි කුඹුර. විඤ්ඤාණය තමයි පැළවෙන බීජය. පැළවෙන බීජය තෙත් කර කර තියෙන්නේ තෘෂ්ණාවෙන්. දැන් බලන්න මනුස්ස අපි, විඤ්ඤාණය හීන ධාතුවෙහි පිහිටි නිසා තමයි කාම භවය සකස් වෙලා අපි මනුස්ස ලෝකෙට ආවෙ.”

“එතකොට හාමුදුරුවනේ මේක ඉබේ සිද්ධවෙන දෙයක් ද?”

“නෑ මහත්තයා. චේතනා පහළ කරලා කර්මය කෙරෙන්න ඕනේ. අවිද්‍යාවෙන් වැහුණු, තණ්හාවෙන් බැඳුනු සත්වයා සිත කය වචනය මෙහෙයවලා චේතනාත්මකව කර්ම කළාම, කාම භවයේ, රූප භවයේ, එහෙම නැත්නම් අරූප භවයේ විපාක දෙන්න කර්ම සකස් වීමෙන් උපතක් කරා යනවා. දෙවියෙක්, බ්‍රහ්මයෙක් වෙලා උපදින්නත් පුළුවන්, නිරි සතෙක්, මළ පෙරේතයෙක් වෙන්නත් පුළුවන්.”

මියගිය ඥාති සමූහයා ව මට මතකයට නැගෙන්නට විය. කිසිදා නොවිඳි බියක් මාව වෙලා ගත්තාක් මෙන් මට දැනුණි. මීළඟ පැනය මාගේ මුවින් ගිලිහුනේ නිතැතින්මය.

“අනේ හාමුදුරුවනේ මේකෙන් බේරෙන්න නම් මොකක්ද මං කරන්නේ?”

“බේරෙන විදිහ තමයි මහත්තයා අපි සරණ ගිය බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. අපි අතින් සිත කය වචනයෙන් කර්ම කෙරුණාම ඒ කර්ම වලට අනුව එතන විඤ්ඤාණය සකස් වෙනවා. සකස් වුණාට පස්සේ අපට ඒක කර්මයකින් වෙනස් කරන්න පුළුවන්. ඒ කියන්නේ ක්‍රියාවකින් වෙනස් කරන්න පුළුවන්. නැත්නම් වෙනස් කරන්න බෑ. ක්‍රියාවකින් වෙනස් කරන්න පුළුවන් කියන එකේ තේරුම මේකයි. අපි හිතමු අංගුලිමාල ගැන. අංගුලිමාල එක දිගට මිනී මරාගෙන ගියා, නමුත් පස්සේ ධර්මයට ආවා. ධර්මයට ඇවිල්ලා ඊට පස්සේ සම්පූර්ණයෙන් තමන්ගේ ක්‍රියා රටාව වෙනස් කළා නේද? සතුන් මැරීමෙන් වැළකුණා. සොරකමින් වැළකුණා. බ්‍රහ්මචාරී වුණා. ඇස, කන, නාසය, දිව, කය, මනස සංවර කළා. චිත්ත සමාධිය දියුණු කළා. ප්‍රඥාව දියුණු කළා. ආර්ය අෂ්ටාංගික මාර්ගය ප්‍රගුණ කළා. ඒ ක්‍රියාව තුළ අර කුඹුර සකස් වෙන්නේ නැතිව ගියා. කර්මයනේ කුඹුර. ඒකෙනේ විඤ්ඤාණය පිහිටන්නේ. කාම භවය සකස් වෙන්නේ නැතිව ගියා. රූප භවය සකස් වෙන්නේ නැතිව ගියා. අරූප භවය සකස් වෙන්නේ නැතිව ගියා. කිසිම භවයක් සකස් වෙන්නේ නැතිව ගියා. රහත් වුණා. එතකොට මරණින් මත්තේ නිරයෙ යන්න දෙයක් හැදුණද? නෑ… බලන්න, වෙනස් වුණු හැටි.”

“එතකොට මහත්තයා, මේක වෙනස් වුණේ හේතුවක් ඉපදවීමෙන්. ඒක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ හේතූන්ගෙන් සකස් වුණු දේවල් අතර අග්‍ර ආර්ය අෂ්ටාංගික මාර්ගයයි කියලා. අපි තම තමන් තුළ ආර්ය අෂ්ටාංගික මාර්ගය සකස් කර ගත්තා නම් හරි. ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් තමයි මේ රටාව වෙනස් වෙන්නේ. නැත්නම් මේක වෙනස් කර ගන්න ක්‍රමයක් නැහැ. අපි එක එක්කෙනා අපේ ජීවිත තුළ ආර්ය අෂ්ටාංගික මාර්ගය ඇති කර ගත්තා නම් භවයට හැදුණු රටාව වෙනස් වෙලා යනවා. එතෙක් වෙනස් වෙන්නේ නෑ. හේතූන් නිසා හැදුණු දේ හේතු නැතිවීමෙන් තමයි නැතිවෙන්නේ.”

“ඕක තමයි මහත්තයා සසර. අපි ආවෙත් ඔය විදිහට. යනව නම් යන්නෙත් ඔය විදිහට. දැන් ගෙවිච්ච අවුරුදු ගානට කර්ම රැස් වෙලා ඒවට අනුව විඤ්ඤාණය සකස් වෙලා තියෙන්නේ. සියයට අනූනවයකට ම ඉතිං සතර අපා උපතක් තමයි උරුම. ටික දෙනෙක් බේරෙයි. ඒත් වතාවකට දෙකකට විතරයි. එකම විසඳුම නිවන් දැකීම විතරයි. ඒ නිසා තාවකාලික ජීවිතෙන් සදාකාලික සැපයකට පාරක් කපාගන්න මහත්තයා. නිවන පිණිස පින් කරන්න. නිවනට ජීවිතේ පුදන්න.”

මහත්තයා ඕක හොඳට සිහියට ගන්න. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන ඔක්කොම දේ තියෙන්නේ සිත පිරිසිදු කරන්න, සිත සුවපත් කරන්න. ඉන් බාහිර සියලු දේ තියෙන්නෙ මේ සිත කය පිනවන්න. ඒ නිසා සිත කය පිනවන්න ගිහින් පව් රැස් කරගෙන චුත වෙන විඤ්ඤාණය දූෂිත කරගන්න එපා. එහෙම උනොත් ඉතින් පැළවෙන්නේ සතර අපා භූමියක තමයි. මහත්තයා අපි සතුට හෙව්වේ බාහිර රූප ශබ්ද ගන්ධ රස පහස වගේ දේවලින්. හොයපු සමහර දේ ලැබුණා. තෘප්තිමත් ද? හෙට ඊට වඩා වෙනස් එකක් හොයනවා. නමුත් ධර්මය හොයලා අවබෝධ කරගත්තොත් ඒ සතුට වෙනස් වෙන්නේ නෑ.”

මම සමාධි බුදු පිළිමය දෙස බැලීමි. ඒ අපරිමිත ලොව්තුරු සුවය අඩවන් වූ දෑසෙන් ගලා බසී.

මහමෙව්නාව භාවනා අසපුවාසී ස්වාමීන් වහන්සේනමක් විසිනි.