අද වනවිට අපේ සමාජයේ තරුණ දියණියන්ගේ ජීවන රටාව විවිධ මට්ටම්වලයි තිබෙන්නේ.

විටෙක ඇය ප්‍රචණ්ඩකාරියි. තව විටෙක හැඟුම්බරයි. තව විටෙක සියුමැලියි වගේ ම ඇය සෙනෙහෙවන්තයි.

යම් දියණියක් වරදක් කළොත් ඍජුව ම සමාජයෙන් දොස් එල්ල වෙන්නේ ඇගේ අම්මාටයි. ඒ පවුලේ අයටයි. එනිසයි දියණියක් තම මව්පියන්ගේ ගෞරවය ආරක්ෂා කිරීමට බැඳී සිටින්නේ.

එවන් දියණියකගේ ජීවිතය මාපියන්ට, නෑදෑයන්ට, අසල්වාසීන්ට මෙන් ම සමාජයට රටට සහ ලෝකයට එක සේ වටින්නේ කෙසේද? යන්න පිළිබඳව මහමෙව්නාව අනගාරිකා භාවනා අසපුවාසී පින්වත් මෑණියන් වහන්සේනමක් සමඟ කෙරුණු සාකච්ඡාවකි මේ.

“මේ ලෝකයේ බොහෝ දෙනා සත්‍යය කියන වචනයට අකමැතියි. බයයි. ඔවුන් කියන්නේ සත්‍යය රැකීම කටුක දෙයක්, නීරස දෙයක් බවයි. නමුත්, සත්‍යය චේතනා රහිත මහ පොළවට පවා සංවේදියි. ඒ නිසා ම යි, ලොව පරම සත්‍යය වන චතුරාර්ය සත්‍යය අප සරණ ගිය භාග්‍යවතුන් වහන්සේ ගුරු උපදේශ නැතිවම අවබෝධ කළ මොහොතේ මේ මිහිකත කම්පා වී ගියේ. අපගේ භාග්‍යවතුන් වහන්සේට ‘සත්‍ය නාම’ කියා නාමයක් තිබුණා. භාග්‍යවතුන් වහන්සේගේ ජීවිතය පුරාම අප්‍රමාණ සත්‍යයක් කැටි වී එය විද්‍යමාන වුණා. සත්‍යය රැකීම, සත්‍යය තුළ ජීවත් වීම, සත්‍යක්‍රියාව ගැන අද්භූත, ආශ්චර්යවත් විස්තර අපගේ ශාස්තෘන් වහන්සේගේ ජීවිතය තුළත්, ශ්‍රාවකයන් වහන්සේලාගේ ජීවිත තුළත් ගැබ් වී තිබුණා.

සත්‍යය කියන දේ මේ ලෝකයේ උතුම් ම රසය කියලයි භාග්‍යවතුන් වහන්සේ වදාළේ. ඒ වගේ ම උන්වහන්සේ ජීවිතයේ ඇත්ත ස්වභාවය වගේ ම ජීවිතයේ යහපතත් අපට කියා දුන්නා. ඒ සියල්ලක් ම ‘සත්‍යය’ ලෙස හඳුන්වනවා. අපි සාමාන්‍ය ජීවිතය ගතකරන විට හැමදාමත් සතුටින්, සැහැල්ලුවෙන්, මෘදුව ජීවත් වෙනවා කියලා දෙයක් නැහැ. නොයෙක් කරදර කම්කටොළු, ලෙඩදුක්, නොපෙනෙන ලෝකයේ පීඩන, අභූතයෙන් චෝදනා එල්ල වීම, නින්දා අපහාස විඳීම ආදී නා නා ආකාරයේ ප්‍රශ්න ජීවිතයට පැමිණෙනවා. මහා ගුණවතුන්ගේ, සත්පුරුෂ උතුමන්ගේ ජීවිතවලටත් ඒ වගේ ම ඒ කරදර, නින්දා, අපහාස එළඹෙනවා. ඒක එදත් වුණා. අදත් වෙනවා. ඒ සඳහා හොඳ මනුස්සයා කියා හෝ නරක මනුස්සයා කියා බෙදීමක් නැහැ.

අප භාග්‍යවතුන් වහන්සේගේ අතීත ජීවිතවලදීත්, ඒ උතුම් රහතන් වහන්සේලාගේ අතීත ජීවිතවලදීත් උන්වහන්සේලා අනන්ත අප්‍රමාණ ලෙස සත්‍යක්‍රියා සිදුකර තිබෙනවා. ඒ තුළින් ඒ ජීවිත සුවපත් කරගෙනත් තිබෙනවා. ‘තමාගේ ජීවිතයේ මේ වගේ සත්‍යයක් තිබෙන බව සත්‍යයි! ඒ සත්‍යානුභාවයෙන් යහපතක් වේවා!’ කියා සත්‍යක්‍රියා සිදුකොට තිබෙනවා. ඒ තුළින් බොහෝ යහපත උදා කරගෙනත් තිබෙනවා.

ඒ වගේ ම යශෝධරා උත්තමාවියගේ ජීවිතය තුළත් අප්‍රමාණ ගුණ සමුදායක් තිබුණා. ඒ මත පිහිටා එතුමිය යහපත උදාකරගෙන තිබෙනවා. සසර සැරිසරා යද්දී අප මහා බෝසතාණන් වහන්සේගේ ජීවිතය කරදර හිරිහැරයන්ට, අනතුරුවලට පත් වූ විට ඇය තමාගේ පතිව්‍රතා ගුණය ඉස්මතු කොට සත්‍යක්‍රියා සිදුකොට තිබෙනවා. සත්‍යය ඉස්මතු කරමින් සත්‍යක්‍රියාව සිදුකොට, ‘මේ සත්‍යානුභාවයෙන් මගේ ස්වාමියා සුවපත් වේවා!’ කියා අධිෂ්ඨාන කර තිබෙනවා. ඒ අයුරින් ඇතැම් ආත්මවල අප මහා බෝසතාණන් වහන්සේට ජීවිතය පවා ලබා දුන් අවස්ථා ජාතක පොත් වහන්සේගේ අන්තර්ගතව තිබෙනවා. මේ ආකාරයට යම් සත්‍යක්‍රියාවක් කිරීමට ඒ ජීවිතයේ සැබෑ ම ගුණයක් ගැබ් වී තිබුණා.

ඒ වගේම අපි දන්නවා අංගුලිමාල මුනිඳුන් ගැන. උන්වහන්සේ කලින් දරදඬු, ගොරෝසු ජීවිතයක් ගත කළ – මිනිසුන් ඝාතනය කළ භයානක තැනැත්තෙක්. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය මුණගැසුණාට පස්සේ උන්වහන්සේගේ ජීවිතය තුළ සිදු වූ පරිවර්තනයයි සත්‍යක්‍රියාව තුළ තිබෙන්නේ.

දිනක් අංගුලිමාල මුනිඳුන් පිණ්ඩපාතය වඩිද්දී අසරණ මවක් දරු ප්‍රසූතිය සිදු කර ගැනීමට නොහැකිව දරුගැබ සිර වී බොහෝ සෙයින් දුක් පීඩා විඳිමින් වේදනාවෙන් කෑ ගසමින් සිටියා. එය දුටු උන්වහන්සේගේ සිතේ මහා කරුණාවක් ඉපදුණා. උන්වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ අනුශාසනා ගෙන ඒ මව වෙත ගොස් මෙසේ වදාළා.

“පින්වත් නැගණියෙනි, යම් දිනෙක මම උතුම් නිවනට පමුණුවන මාර්ග ඵලලාභී ආර්ය ජාතියෙහි උපත ලැබුවෙම් ද එදා සිට දැන දැන ප්‍රාණියෙකු ජීවිතයෙන් තොර කළ බවක් නොදනිමි. මේ සත්‍යානුභාවයෙන් ඔබට සෙත් වේවා! දරුවා සුව සේ බිහි වේවා!”. මෙසේ උන්වහන්සේ සත්‍යක්‍රියාවක් සිදු කළා. ඒ සත්‍යක්‍රියාව කොතරම් බලසම්පන්න වුණා ද කියන්නේ මේ මහා භද්‍ර කල්පය පුරාවට මුළු ලෝකයට ම සෙත සලසන මහා පිරිතක් බවට ඒ සත්‍ය වචනය පත් වුණා. එදා මෙදාතුර අංගුලිමාල මුනිඳුන්ගේ සත්‍යක්‍රියාව ලෝකයේ බොහෝ මවුවරුන්ට වගේ ම දරුවන්ටත් යහපත ගෙන දුන්නා. ඒ සෙත් පැතීමෙන් මනුලොව ඉපදුණ පිරිස අනන්තයි. එයින් අපට තේරෙනවා ඒ සත්‍යක්‍රියාව කොතරම් අනුහස් සහිත වූවක් ද කියලා. උන්වහන්සේගේ ජීවිතය තුළ ධර්මයෙන් සිදු වූ පරිවර්තනය කොතරම් සත්‍යයක් ද කියලයි එයින් කියවෙන්නේ.

එනිසා ඔබ තේරුම් ගන්න, අපගේ භාග්‍යවතුන් වහන්සේගේ මේ මුළු ධර්මය පුරාම කියවෙන්නේ සත්‍යය ගැනයි. එයට හොඳ ම උදාහරණය තමා රතන සූත්‍රය. රතන සූත්‍රයේ දී භාග්‍යවතුන් වහන්සේ සත්‍යක්‍රියාවකුයි සිදු කළේ. මෙත් සිත පෙරටු කර තුනුරුවන්ගේ ගුණ වර්ණනා කර, “ඒතේන සච්චේන සුවත්ථි හෝතු” – “මේ සත්‍යානුභාවයෙන් සැමට සෙත් වේවා! යහපතක් වේවා!” කියා භාග්‍යවතුන් වහන්සේ එහි දී සත්‍යක්‍රියා කොට වදාළා.

ඒ වගේම අපි නොයෙක් කරදර, දුක් කම්කටොළු, පීඩාවලට මුහුණ දෙනවා. අපට සිදුවන අසනීපයක දී, කරදරයකදී, අභූත චෝදනාවක දී තමාගේ තිබෙන ගුණයක් ඉස්මතු කර තමන්ට ම සත්‍යක්‍රියාවක් සිදු කරන්න පුළුවන්. අදට පවා එසේ කරන මවුවරුන්, දියණියන්, පුතාලා පවා අප අතර සිටිනවා. නමුත්, මේ කාලයේ අපේ ජීවිතවල තමාට මෙනෙහි කරන්න තරම් ප්‍රබලව තමාට දැනෙන ගුණයක් තමා තුළ නැති වෙන්න පුළුවන්. එහෙම යම් කරදරයක් විපතක් දුකක් දොම්නසක් එද්දී අපට තුනුරුවන මෙනෙහි කරන්න පුළුවන්. ඒ භාග්‍යවතුන් වහන්සේගේ, ශ්‍රී සද්ධර්මයේ, ආර්ය මහා සංඝරත්නයේ ගුණ බල සත්‍යය සිහි කරන්න පුළුවන්. ඒ යශෝදරා අරහත් තෙරණින් වහන්සේගේ පිවිතුරු ගුණානුභාවය සිහි කරන්න පුළුවන්. අපට ඒ විස්තර කිසිවක් සිහි කරන්න බැරි අවස්ථාවක නම් ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ අරහං, සම්මා සම්බුද්ධයි, විජ්ජාචරණ සම්පන්නයි කියා උන්වහන්සේගේ නව අරහාදී ගුණ සිහි කරන්න. ඒ බුදුගුණ කිසිදිනෙක මේ ලෝකයේ බොරුවක් වෙලා නැහැ. භාග්‍යවතුන් වහන්සේගේ මේ බුදුගුණ, සත්‍යයයි! සත්‍යයයි! ඒ සත්‍යානුභාවයෙන් මම නිදුක් වේවා, නීරෝගි වේවා, දුක් පීඩා දුරු වේවා! කියා සෙත් පතාගන්න ඔබට පුළුවන්කම තිබෙනවා.

බෞද්ධ අපට මේ ආකාරයට ඉතා වටිනා සුන්දර ධර්මයක් තිබෙද්දී එයින් කිසිදු ප්‍රයෝජනයක් නොගෙන තම ජීවිතයට කරදරයක් විපතක් එද්දී නොපෙනෙන ලෝකයෙන් පිහිටක් බලාපොරොත්තු වෙන ඇතැම් පිරිස් අප අතර සිටිනවා. ඔවුන් සරණක්, පිහිටක් සොයන්නේ දේවාල, කෝවිල් ගානේ ගොස් පඬුරු ගැට ගසමින්, කන්නලව් කරමින් දුක කියමින්, තමන්ට ඇති දුක් පීඩා විසඳා දෙන ලෙසයි. නමුත්, බුදුරජාණන් වහන්සේ සරණ ගිය නුවණැති උපාසක උපාසිකාවකට පුළුවන් ඒ උතුම් සරණ සිහි කරන්න. ඒ වගේ ම, ඇතැම් දෙනා භාග්‍යවතුන් වහන්සේ අරබයා “බුදුන් පල්ලා” කියා දිවුරමින් තමන්ගේ නිර්දෝෂී බව කියනවා. එය කිසිසේත් ම නොකළ යුතු දෙයක්. එසේ දිවුරීමෙන් අපේ ජීවිතවලට අකුසල් රැස් වීමක් වන්නේ. එනිසා, සත්‍යක්‍රියාව කියන දේ ඔබ නිවැරදිව හඳුනාගන්න. තමාට විපතක් කරදරයක් එද්දී දිගින් දිගට ම ධර්මයේ හැසිරී තුනුරුවන්ට ජීවිතය පූජා කරමින් තමා දියුණු කර ඇති ඇති ගුණයක් සිහි කරලා, “මට යහපතක් වේවා! මේ උවදුරු දුරු වෙවා!” කියා සිතන්න පුළුවන්. අපමණ ගුණ කදම්බයක් තිබුණ ශ්‍රාවක සංඝරත්නයක් මේ බුදු සසුනේ වැඩ සිටියේ. ඒ ගුණ මේ මහපොළවට පවා උසුලා ගැනීමට නොහැකි වුණා. ඒ ගුණ සිහි කරන්න ඔබ පුරුදු වෙන්න.

අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ සසරේ පෙරුම් පුරන කාලයේ ඒ බෝසතාණන් වහන්සේ පවා බොහෝ ජීවිතවල සත්‍යය මත පිහිටා සත්‍යක්‍රියා කර තිබෙනවා. එය සත්පුරුෂ උත්තමයෙක් තුළ තිබුණ දෙයක්. එදා පටන් අද දක්වා මේ මොහොතේදීත් සත්‍යය කියන දේ ලෝකයේ තිබෙනවා. ඒ උතුමන්ගේ ගුණකඳ මේ ලෝකයට දැනෙනවා. එනිසා අපටත් පුළුවන් තුනුරුවන්ගේ ගුණ සිහිකරමින් සත්‍යක්‍රියා කරන්න. ඒ වගේ ම තමා තුළත් උතුම් සීල ගුණයක්, මෙත් සිතක්, වැනි යම් ගුණධර්මයක් අවංකව පුරුදු කර තිබෙනවා නම් ඒ ගුණ සිහි කරමින් සත්‍යක්‍රියා කරන්න පුළුවන්කම තිබෙනවා. ඒ සත්‍යයේ ආශීර්වාදය ලබා ගන්න මේ උතුම් ධර්මය ඔබට උපකාරයක් වේවා!”

සාකච්ඡා සටහන – නයනා නිල්මිණී.