කාලය වේගයෙන් ගෙවී යද්දී දරුවෝ තරුණ වෙනවා. මව්පියන් මහලු වෙනවා.

ක්‍රමයෙන් මහලු වෙන මව්පියන් ඇතැම් දරුවන්ට බරක් වෙනවා. කරදරයක් වෙනවා. තමාගේ දරුපවුල පමණක් රැකගත යුතුයි කියා ඔවුන් සිතනවා. එවිට අහිංසක මවුපියන්ට උරුම වන්නේ මහමඟ. නැතිනම් මහලු නිවාස…

ඇත්තෙන්ම මහලු මව්පියන් ව දරුවන් බරක් කර ගත යුතු ද? කියා අප මහමෙව්නාව අනගාරිකා භාවනා අසපුවාසී පින්වත් මෑණියන් වහන්සේනමක් සමඟ සාකච්ඡා කළා.

මනුස්ස උපත දුර්ලභයි…

අපගේ භාග්‍යවතුන් වහන්සේ වදාළා “පින්වත් මහණෙනි, මේ මහා පෘථිවිය ම එකම ජල තටාකයක් වෙලා ඒ ජලාශයට වැටුණු විය ගසක් හැම දිශාවට ම ගසාගෙන යනවා. ඒ ජලාශයේ ජීවත් වෙනවා තනි ඇසක් තිබෙන කණ කැස්බෑවෙක්. මේ කැස්බෑවගේ තනි ඇසයි, ජලාශයේ පාවෙන විය ගසයි මුණගැසිලා කණ කැස්බෑවට විය සිදුරෙන් අහස දකින්නට ලැබෙනවා කියන එක සිදුවන්න පුළුවන් දෙයක් ද?” කියලා. ඒ වෙලාවේ දී භික්ෂූන් වහන්සේලා පිළිතුරු දුන්නා “ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, එය ඉතා කලාතුරකින් සිදුවන්න පුළුවන් දෙයක්.” කියලා. එවිට භාග්‍යවතුන් වහන්සේ වදාළා “මහණෙනි, කෙනෙක් මනුෂ්‍ය උපතකට පැමිණෙනවා කියන එක ඊටත් වඩා ඉතාම දුර්ලභ දෙයක්.” කියා.
එවැනි දුර්ලභ මිනිස් උපතක් ලද අපට ඒ සඳහා උපකාරී වුණේ අපේ මව්පියෝ.

ඇටමිදුළු දක්වා ගිය සෙනෙහස…

ධර්මයේ සඳහන් වෙනවා අම්මා කෙනෙක් දස මාසයක් පුරාවට දරුවා කුසේ හොවාගෙන ඒ සියලු කායික, මානසික දුක් දරාගෙන දරුවා මෙලොවට බිහි කරන්නේ මාරාන්තික වේදනාවක් සමඟ. ඒක උපමාවකින් කියනවා ඇත් පැටියෙක් යතුරු සිදුරකින් එළියට ගන්නවා වගේ කියලා. ඉතාමත් දුක සේ, තියුණු, කටුක, මාරාන්තික වේදනා ඉවසනවා. එහෙම දුකක් විඳලා තමා ඔබේත් මගේත් අම්මා අපව මේ ලෝකයට බිහි කළේ. අම්මා කෙනෙක් දරුවෙකු මේ ලෝකයට බිහි කරන වෙලාවේ පුරුෂයෙකුටවත් ඉවසිය නොහැකි දරුණු වේදනාවක් ඉවසනවා. එවැනි දුකක් විඳි අම්මා තම දරුවාගේ මුහුණ දුටු විට සියලු කායික මානසික වේදනා දුක් සඟවාගෙන විශාල සතුටක්, සොම්නසක් ලබනවා. දරුවා කෙරෙහි සෙනෙහසක් ඇතිකර ගන්නවා. ඒ දරු සෙනෙහසට අම්මාගේ ශරීරයේ දුවන රතු ලේ සුදෝසුදු කිරි බවට පත්වෙනවා. මේ ලෝකයේ වෙන කිසිම බාහිර පුද්ගලයෙකුගේ ආදරයකට, සෙනෙහසකට ශරීරයේ දුවන ලේ කිරි වෙන්නේ නැහැ. එහෙම වන්නේ මවකගේ විතරයි. එනිසයි අපගේ භාග්‍යවතුන් වහන්සේගේ පියාණන් වූ සුද්දෝධන මහරජු කියා සිටියේ “ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, දෙමාපියන්ගේ දරු සෙනෙහස සම, මස්, නහර, ඇට සිදුරු කරගෙන ඇටමිදුළු දක්වා පැතිර තිබෙන දෙයක්.” කියල. ඒ වගේ ආදරයක්, ඇටමිදුළු දක්වා කිඳා බැස ගත් දරු සෙනෙහසක් මේ ලෝකයේ තිබෙන්නේ අම්මා හා තාත්තාට පමණ ම යි.

අම්මා තාත්තා විශේෂයි…

එනිසයි භාග්‍යවතුන් වහන්සේ වදාළේ “අම්මා කියන්නේ විශේෂ කෙනෙක්. තාත්තා කියන්නේ විශේෂ කෙනෙක්.” කියලා. ඒ විදියේ දැක්මක් ඔබේ සිතේ තිබෙනවා නම් ඒක අයිති සම්මා දිට්ඨියට යි. නමුත් යම් කෙනෙකුට තමාගේ අම්මා, තාත්තා විශේෂ නැහැ කියලා, ඒ අයට විශේෂ සැලකිලි ඕන නැහැ කියලා කල්පනා කළොත් ඒ මිසදිටු අදහස නිසා ඔහු මෙලොව වගේම පරලොවටත් අනර්ථයක්, හානියක් කරගත් තැනැත්තෙක් වෙනවා. භාග්‍යවතුන් වහන්සේ වදාළා ඔහු ඒ මිසදිටු අදහස අත්නොහැර මරණයට පත් වුණොත් ඊළඟ ජීවිතයේ එක්කෝ නිරයේ, නැත්නම් තිරිසන් අපායේ උපදින බව.

වරදවා පිළිපැද්දොත්…

දුතිය ඛත කියන දේශනාවේ මේ ආකාරයට සඳහන් වෙනවා.

“පින්වත් මහණෙනි, මව කෙරෙහි පියා කෙරෙහි වරදවා පිළිපන් අව්‍යක්ත, අසත්පුරුෂ බාලයා තමන් විසින් ගුණ සාරාගත්, ගුණ නසා ගත් ජීවිතයක් ගත කරනවා. නුවණැත්තන් අතර දොස් සහිත, උපවාද සහිත කෙනෙක් වෙනවා. බොහෝ පව් ද රැස්කර ගන්නවා. නමුත් තම මව කෙරෙහි, පියා කෙරෙහි යහපත්ව පිළිපන් ව්‍යක්ත, සත්පුරුෂ ප්‍රඥාවන්තයා තමා විසින් ගුණ සාරා නොගත්, ගුණ නසා නොගත් ජීවිතයක් ගත කරනවා. ඔහු නුවණැත්තන් හට දොස් රහිත, උපවාද රහිත කෙනෙක් වෙනවා. බොහෝ පින් රැස්කර ගන්නවා.”

ගෞතම බුද්ධ ශාසනයේ උත්තර නමින් සාමණේරනමක් වැඩ සිටියා. උන්වහන්සේ නොකළ වරදකට හසු වුණා. උන්වහන්සේ අතීත සසරේ කුඩා දරුවෙක්ව සිටිය දී සෙල්ලමට පුංචි මැස්සෙකු ව කොහොඹ උලකින් ඇන මරණයට පත් කළා. තවත් ජීවිතයක තමාගේ අම්මාට දොස් කියමින්, “අම්මේ නුඹව කොහොඹ උලක හිටවනවා.” යැයි කිපුන සිතින් යුතුව කියා සිටියා. නොකළ වරදකට හසු වුණු උත්තර සාමණේරයන්වත් කොහොඹ උලක උල හිඳුවනු ලැබුණා. අම්මාට දඬුවම් දීලා නෙවේ එසේ වුණේ. වචනය වැරදීමෙන්.

ඒ වගේම තවත් තරුණියක් තමන්ගේ අම්මාට ‘චණ්ඩාලි’ කියලා දොස් කියපු විපාකයට උපනුපන් ජීවිතවල සැඩොල් කුලේ උපදින්නට ඇයට සිදු වුණා. ඒ විතරක් නොවේ; මේ ගෞතම බුදු සසුනේ මහා ඍද්ධිබලලාභී අපගේ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ පිරිනිවන් පෑවේ සොරුන්ගෙන් ඇටකටු කුඩුවෙන්න පහර කාලා. එයට හේතුව අතීත සසරේ බිරිඳගේ වුවමනාවට නොමග ගොස්, මව්පියන් ව රවටා, බිරිඳත් සමඟ එකතුව මව්පියනට ගුටිබැට දී මරා දැමීමේ විපාකය අවසාන ජීවිතය දක්වා පිටුපසින් පැමිණීම. අරහත්වයට පත් වුණ ජීවිතයේත් එහි විපාකය ලැබුණා.

වත්මන් සමාජයේ ඇතැම් දරුවන්ගේ පටන් වැඩිහිටි අය දක්වා මව්පියන්ගේ වටිනාකම, ගුණය හඳුනන්නේ නැහැ. සමහර දරුවන් තමා කැමැති දේ නොදුන්නොත්, තමා කැමැති දේ කරන්න එපා කිව්වොත් මව්පියන්ට නපුරු වචන කියනවා. රවනවා, දොස් කියනවා. ගුටිබැට පවා දෙනවා. නමුත් ඔවුන් දන්නේ නැහැ ඒ හැම දේකම දරුණු විපාක තිබෙන බව. ඒ අම්මා තාත්තා කියන දෙන්නා විශේෂ නිසයි. දරුවෙක් තමන් වදපු අම්මා ව, තමා ව පෝෂණය කළ තාත්තා ව ඝාතනය කළොත් අතරක් නැතිව නිරයේ උපදිනවා. ඒ නිරයේ කල්පයක් පැහෙනවා. බරපතළ දුක් විපාක විඳින්නට සිදුවෙනවා. මව්පියන්ට අකීකරු වුණොත් ඒ දරුවන්ගේ ජීවිත අවාසනාවන්ත ඉරණමකින් කෙළවර වෙනවා.

මුල අමතක වීම…

කිසිවක් නොදැන මනුස්ස ලෝකයට ආ අපට ජීවිතයේ හැම දෙයක් ම කියාදුන්නේ අම්මා සහ තාත්තා යි. දැන් අපි බලසම්පන්න ව, ශක්තිමත් ව සිටියත් එදා ඇඟිල්ල අල්ලලා අපගේ දෙපා මේ පොළොව මත තබන්න කියා දුන්නේ ඔවුන්. වැසිකිළි කැසිකිළි යන හැටි පවා අපේ කැතකුණු අතගගා කියා දුන්නේ දෙමව්පියෝ. වේගයෙන් පිරිහෙන වත්මන් සමාජයේ ඒ මව්පියන් වයසට යද්දී ලෙඩරෝග වැළඳෙද්දී, තමාගේ වැඩ කටයුතු තමාට කර ගැනීමට අතපය වාරු නැතිවෙද්දී වැසිකිළි, කැසිකිළි ශරීරයේම පහ වෙද්දී, දරුවන්ට මව්පියන් බරක් වෙනවා. ආදරයෙන් උපස්ථාන කරන්න දරුවෝ පසුබට වෙනවා. “අපි විතරක් ඇයි තව අය ඉන්නේ?” කියා දරුවෝ එකිනෙකාට ඇඟිල්ල දිගු කරනවා. අකෘතඥ වෙනවා. කෙළෙහිගුණ අමතක වෙනවා. අවුරුද්දකට වතාවක්වත් සෑයක් බෝධියක් වන්දනා කරන්න එක්ක යන්න අමතක කරනවා. අප අතර ඇතැම් දරුවෝ ඉන්නවා ඔවුන් විවාහ වෙලා පැත්තකට වෙනවා. ඉන්පසු අම්මා තාත්තා ගැන කළ යුතු යුතුකම් සිතා මතා ම මඟ හරිනවා. මහලු මවුපියන් කොන් කරනවා. ඔවුන් කරන අවවාද අනුශාසනා හාස්‍යයට ලක් කරනවා. ‘ඔවුන් මොනවාද දන්නේ?’ කියා සිතනවා. ‘ඒ අම්මලාගේ කාලේ. අද කාලේ ඊට වෙනස්. අපි ජීවත් වෙන්න ඕන නවීන සමාජයත් එක්ක.’ කියා සිතනවා. පැරණි සිරිත් විරිත්, ගුණයහපත්කම්වලට ඔච්චම් කරනවා. තමන්ගේ ජීවිතයට පහනක් වගේ එළිය දුන් මව්පියන්ව අමතක වෙනවා. මේ හැම දෙයකින් ම සිදුවන්නේ තමාගේ ජීවිතය මහ ඝන අඳුරකින් වැසී යාම යි. ජීවිතය අඳුරෙන් අඳුරට ම යනවා.

දිවි හිමියෙන් මවුන් පිදූ මහරජු…

අද කාලයේ දරුවෝ රැකීරක්ෂා, දරුවන්ගේ කටයුතු, ස්වාමියාගේ බිරිඳගේ කටයුතු කියමින් දෙමව්පියන්ට විය යුතු යුතුකම්, සැලකිලි, උපස්ථාන නොසලකා හරිනවා. ඒ අතර හරිම අසිරිමත් මව්පිය උපස්ථානයක් මහාවංශයේ 47 පරිච්ඡේදයේ සඳහන් වෙනවා.

අටවන අග්බෝ රජු (ᴠɪɪɪ වන අග්බෝ රජු) දිවා රාත්‍රී දෙකේ මවට උපස්ථාන කළා. උදෑසනම මෑණියන්ගේ හිසේ තමන්ගේ ම අතින් තෙල් ගාලා, නාවලා, ඇඟ අතුල්ලලා හෝදලා, නියපොතු කපලා පිරිසිදු කරනවා. සුවපහසු අලුත් වස්ත්‍ර අන්දලා, මෑණියන් ඇඳන් හිටපු වස්ත්‍ර තමන්ගේ අතින් ම පිරිසිදු කරලා ඒ ජලයෙන් ඔටුන්න සහිත තමන්ගේ හිසට දිය ඉහගන්නවා.

සෑයකට මල් පූජා කරනවා වගේ මෑණියන්ට මල් පුදලා වඳිනවා. තුන්පාරක් පැදකුණු කරලා වැඳලා සියතින් ම රාජ බෝජන අම්මට කවලා ඉතිරි ඉඳුල් තමන් ආහාරයට ගන්නවා. මෑණියන්ගේ නිවස සුවඳ කරලා සියතින් ම ඇඳඇතිරිලි එළලා සකසලා මෑණියන්ගේ කකුල් හෝදලා, තෙල්ගාලා, මිරිකලා, නින්ද යනකන් ඉඳලා පැදකුණු කරලා මෑණියන්ට පිටු නොපා පිටුපසින් පිටුපසට ගොස් නැවත වන්දනා කරලා රාජ කෘත්‍යය පිණිස පිටත් වෙනවා. ඒ විදිහේ උත්කෘෂ්ට මාතෘ උපස්ථාන අම්මා ජීවත් වුණ තුරා ම පින්වන්ත රජතුමා අතින් සිදු වුණා.

මව්පියන්ට ණය ගෙවන්නේ කොහොමද?

අම්මා තාත්තා, ‘ඉන්න තැනක් නැහැ’ කියලා අපිව පාරේ අතරමං කළේ නැහැ. අතහැර දමා ගියෙත් නැහැ. ඔවුන් කුසට ආහාර නැතිව අපේ කුස පිරවූවා. ඇසට නින්ද නැතිව අපව රැකබලා ගත්තා. කයට වෙහෙස ගෙන අපව සුව සේ තැබුවා. ඔවුන් අපට ගැහුවා බැණ්නා කියලා, අපව කුසගින්නේ තැබුවා කියලා, අපව මහමඟ දමා ගියා කියා ඔවුන්ට සිදුවන පවට වඩා දරුවෙක් ඒ ටික අම්මාට තාත්තාට කළොත් බරපතළ කර්මයක් ලෙස දරුවාට ඒක ගෙවන්න සිදුවෙනවා. ඒක මේ ලෝකයේ තිබෙන ධර්මතාවයක්. මව්පියන්ගේ ආශීර්වාදය තරම් තවත් බලවත් දෙයක් දරුවෙකුට නැහැ. යම් කෙනෙක් මව්පියන්ට දිවි තිබෙන තෙක් උපස්ථාන කළොත් මෙලොව පරලොව දිනුවා වෙනවා. යම් දරුවෙක් ඒ අතර මව්පියන්ට ශ්‍රද්ධාවෙන්, සීලයෙන්, ත්‍යාගයෙන්, දහම් දැනුමෙන් සහ ප්‍රඥාවෙන් දියුණු වීමට උපකාර කළොත් ඒ දරුවා මව්පියන්ගේ ණය ගෙව්වා වෙනවා.

එහෙමනම් මව්පියන් වැඩිහිටි නිවාසවල, මහමඟ, නිවසේ පිටුපස කාමරයේ තනිකරලා නම් ඔබ සිතා බලන්න එහි විපාක කොහොමද කියලා. අප මේ ලොව හැරදමා පරලොව යන දවසේ අපේ මරණ මංචකයේ දී පසුතැවීම ගෙන දේවී. ‘මට පුළුවන්කම තිබියදීත් අම්මට තාත්තාට මම සැලකුවේ නැහැනේ, ඒ අයගේ වචනයට ගරු කළේ නැහැනේ.’ කියා තමාගේ හෘද සාක්ෂිය තමාට චෝදනා කරාවි.

උත්තම කෘතගුණ පූජා…

එනිසා අපි කෙළෙහිගුණ දන්නා අය වෙමු. කෙළෙහිගුණ ප්‍රකට කරමු. අපේ අම්මා තාත්තා අපට කළේ පුංචි උදව්වක් නොවෙයි. මේ උදාර මනුෂ්‍ය ජීවිතය ලැබුණේ ඔවුන් අප ව රැකබලා ගත් නිසයි. බ්‍රහ්මයන් ළඟ ඇති ගුණ තිබෙන මව්පියන් ව තනි නොකර රැකබලා ගන්නා දරුවාට දෙවියොත් වන්දනා කරනවා. එනිසා දිවි තිබෙන තුරු මව්පිය උපස්ථානය අත්නොහැර පුරුදු කරන්න. සේඛ බල පුරුදු කරන්න, සුව සේ ධර්මයේ හැසිරෙන්න, මෙත් සිතින් ගත කරන්න, දෙමව්පියන්ට උපකාර කරන්න.

ඒ විදිහට සුගතියටත්, නිවනටත් යන්නට දෙමව්පියන්ට උපකාර කළ ඔබගේ ඒ සත්පුරුෂ ගුණය ඔබට සුගතියත්, නිවනත් ළං කර දෙනු නොඅනුමානයි.

සටහන – නයනා නිල්මිණි