“ඔබ ජීවිතේ සමත් වෙන්ට කැමතිද?” කවුරු හරි කෙනෙක් ඔබෙන් ඔය විදියට ඇහුවොත් ඔබ කියාවි “ඔව්, අපි ජීවිතේ සමත් වෙන්ට කැමතියි” කියල. ඒත් ඇත්තටම මොකද්ද ජීවිතේ සමත් වෙනවා කියන්නේ?

විභාගයක් ලියලා ඉහළින් පාස් වෙන එක, රස්සාවෙන් පුළුවන් තරම් ඉහළට යන එක, ව්‍යාපාරයක් කරලා කෝටිපතියෙක් වෙන එක, ඕනෑම තරඟයක කාටවත් දෙවෙනි නොවෙන එක, ලස්සන පවුල් ජීවිතයක් ගත කරලා දරුවන්ව ලොකු ලොකු තැන්වලට විවාහ කරල දෙන එක, ඒවාද? ඒවාත් ඉතින් සමත්කම් තමයි. හැබැයි ඒ වගේ සමත්කම් මැද්දේ ජීවිතේ අසමත් වෙච්ච අයත් ඉන්නවා.

මං මීට අවුරුදු දෙකකට කලින් වෙච්ච සිදුවීමක් කියන්නම්. ඉගෙන ගන්න බොහොම දක්ෂ ළමයෙක් හිටියා. ඒ ළමයා සාමාන්‍ය පෙළ විභාගයට පෙනී ඉඳලා සාමාර්ථ 8 ක් සහ ඊ සාමාර්ථයක් එක්ක විභාගය විශිෂ්ට විදියට සමත් වුණා. හැබැයි ඒ දරුවගේ පියා ටිකක් සැරෙන් “ මොකද එකකට ඊ එකක්?”  කියලා ඇහුවා. පියාගේ සැර වචනය දරාගන්න අසමත් වුණ දරුවා කෝච්චියට බෙල්ල තියලා සියදිවි නසා ගත්තා. විභාගය සමත්, හැබැයි ජීවිතේ?

විභාග විතරක් නෙවෙයි පොඩි පොඩි ව්‍යාපාර කඩා වැටීම්, තරඟ පරාජයන්, ගෙවල් වල ප්‍රශ්න  දරාගන්න බැරිව ජීවිතේ අසමත් වෙච්ච අය ඕනි තරම් ඉන්නවා. ඔය අතර ලියන ලියන විභාගයන් අසමත් වෙලා, කරගෙන ගිය රස්සාවෙනුත් එළියට ඇදලා දාලා, කරපු වෙළහෙලදාමත් බිංදුවට වැටිලා, ජයග්‍රහණ හොයද්දි හූ හඬ මැද්දේ පරාජය තුරුළු කරගන්න වෙලා, මුළු ජීවිතේම කියලා හිතපු සෙනෙහසේ කැදලි සුනු විසුනු වෙලා යද්දි, ඒ ඔක්කොම අමතක කරලා මහා උගතුන්, මහා ධනවතුන්, මහා බලවතුන් වෙච්ච අයත් ලෝකය පුරා ඉන්නවා.  තමන් ඉගෙන ගත්ත පාඨශාලාවෙනුත් ඉවත් කරලා පසුව මහා විද්‍යාඥයින් වුණු, අතේ සතේ නැතිව පාරේ ඇවිදගෙන ගිහිල්ලා පස්සේ කොහොම හරි ලෝක ධනවතුන් වුණු, අත පයවත් හරියට පිහිටන්නේ නැතුව ලැබුණු උපතට ශාප කර කර ඉන්නේ නැතුව, විශ්වය මවිතයට පත්කරපු මිනිසුන්ගේ කතා අහද්දී ඇස් වලට කඳුළු එනවා. ඒත් ඔවුන් ජීවිතේ සමත් ද?

ඒකට උත්තරේ දෙන්න කලින් පුංචි කතාවක් සිහිපත් කරන්නම්. සැවැත් නුවර දුප්පත් පවුලක දුවක් උපත ලැබුවා. ඇය නමින් ගෝතමී. හරියට කන්න අඳින්න නැති නිසා ඇය ශරීරයෙන් කෙට්ටුයි. ඒ නිසාම ඇයට කෙට්ටු ගෝතමී කියන අර්ථයෙන් කිසාගෝතමී කියන නම පටබැඳුණා. හැබැයි ඇය දුප්පත්කමේ ශාපයෙන් මිදිලා යමක් කමක් තියෙන පොහොසත් පවුලකින් විවාහයක් කරගන්න සමත් වුණා. ඒත් ඒ ගෙදරදී ඇය දුප්පත් ගෙදරකින් ආපු එකියක්ය කියලා  නින්දා ලැබුවා. හැබැයි ටික කාලයකින් ඒ සියළු නින්දා යටපත් කරමින් සුන්දර පුත් කුමාරයෙක් බිහි කරන්නට ඇය සමත් වුණා.

පුත් කුමරු කියන්නේ ඇගේ ජීවිතයට අලුතින් පායපු හිරුමඬල වගේ. හිත් රිදුම් දෙන නින්දා අපහාස නැමැති අන්ධකාරය, ගෞරව සම්මාන නැමැති ආලෝක රශ්මි ධාරාවන්ගෙන් මකා දමපු තමන්ගේ පුත් රුවන නැමැති හිරු මඬලට ඇය ගොඩාක් ආදරය කළා. හිරු මඬල නැති ලොවක් තිබුණත් තම ආදරණීය පුතු නැති ජීවිතයක් ගැන ඇය සිහිනෙකින් වත් සිතුවේ නෑ. ඈ දැකපු හැම සිහිනයකම කොහේ හෝ තැනක තමන්ගේ පුත්‍ර රත්නය හිටියා. හැබැයි සිහිනයකටත් වඩා වේගයෙන් ජීවිතේ යථාර්ථය වෙනස් වෙලා ගියා. ඇස් දෙකටත් වඩා ආදරය කරපු තමන්ගේ පුතා අසනීප වුණා.

කොච්චර බෙහෙත් කළත් තමන්ගේ එකම පුතා යන්තම් ඇවිදින වයසේ දීම, අවසන් හුස්ම පොද වාතලයට මුසු කරලා සංසාරේ ඊළඟ නවාතැන් පොළ හොයාගෙන ගියා. පුතා ඉතිරි කරලා ගිය මළකුණ තුරුළු කරගත් කිසාගෝතමී මේ යථාර්ථය කොහොම නම් තේරුම් ගන්නද? හැමදාම තමන්ගේ ජීවිතය එළිය කරයි කියලා හිතපු හිරු මඬල තමන්ගේ ලය මත සීතල වේගෙන යද්දී “ මගේ පුතා සනීප කරන්න වෙදෙක් නැද්දෝ?” කිය කියා පාර දිගේ ඈ දුවන්න පටන් ගත්තා. “පිස්සියක්, පිස්සියක්” කියලා එලව ගන්නවා හැරෙන්නට; මළ දරුවෙක් සුව කරන්න වෙදෙක් කොහෙන් නම් හොයන්න ද?

හැමෝගෙන් ම ලැබුණු නින්දා මැද්දේ, නුවණැති පුරුෂයෙකුගේ සුන්දර මඟ පෙන්වීමක් ඇයට ලැබුණා. “ඔබ ඔය වෙහෙරට යන්න. බුදුරජාණන් වහන්සේ නැමැති මහා ඉසිවරයා එහි වැඩසිටිනවා.” අජරාමර නිවන් සුව දන් දෙන, නෙත් සිත් සනසාලන රුවෙන් යුතු තථාගතයන් වහන්සේ ගෙන් ඇය තම පුතුට බෙහෙත් විමසුවා. අනුත්තර පුරිසදම්මසාරථී ගුණෙන් යුතු මහා නුවණැති මුනි රජාණන් වහන්සේ ඇගේ ශෝක හුල ගලවන පළමු ඖෂධය දේශනා කොට වදාළහ.

“පින්වත් නැගනිය, කිසිවෙකු නොමළ ගෙයකින් අබ ඇට ස්වල්පයක් රැගෙන එන්න. ඔය අසනීපය සුවවේවි”. ඒ වදනින් ඇගේ දෙසවන් කුල්මත් වී ගියා. “ඔව් මගේ පුතා සුවපත් කරන්න පුළුවන් වෙදදුරා මුණගැහුනා”. ඈ ප්‍රීතියෙන් බෙහෙත හොයාගෙන දිව ගියා. පළමු ගෙදරින්ම අබ ඇට දෙන්න සූදානම් හැබැයි කවුරු හරි මැරිලා. දෙවන ගෙදරත් එහෙමයි. තුන්වන ගෙදරත් එහෙමයි. ගෙවල් 10 කට ගියා, 100 කට ගියා. උත්තරේ වෙනසක් නැහැ. ගමේ හැම ගෙදරකම කවුරු හරි කෙනෙක් මැරිලා. “එහෙනම් ඉපදෙන හැමෝම මැරෙනවා!” කියා ඇගේ හදවතේ දෝංකාර දුන්නා.

භාග්‍යවතුන් වහන්සේ ලබාදුන් දහම් ඖෂධයෙන් දරු දුක නැමැති ශෝක හුල විසිකරල දමන්න ඇය සමත් වුණා. තමන්ගේ දරුවා මිය ගිය බව වටහා ගත් ඇය දරුවගේ මළකඳ අමු සොහොනට විසිකරල ලොව්තුරු සම්බුදුරජාණන් වහන්සේගේ සෙවන සොයාගෙන පැමිණියා. මහා ඉසිවර අපගේ ශාස්තෘ වහන්සේ සසර දුක දුරුකරන දහම් ඖෂධය දේශනා කොට වදාළා.

තං පුත්තපසුසම්මත්ත – බ්‍යාසත්තමනසං නරං
සුත්තං ගාමං මහෝඝො’ව – මච්චු ආදාය ගච්ඡති

(සමහර උදවිය තමන්ගේ දූ දරුවන් ගැන, සතා සිව්පාවා ගැන හිතින් බැඳිලා, එයින් මත්වෙලා කල් ගෙවනවා. අන්තිමේදී, මාරයා ඇවිදින් ඔවුන් ව මරණය කරා ගෙනියන්නේ සැඩ වතුර පහරක් විසින් නිදිගත් ගමක් මුහුදට ගසාගෙන යනවා වාගේ)

(ධම්මපදය – මග්ග වර්ගය)

ඒ දහම් ඖෂධ ඇගේ දෙසවනට ඇහෙන විට මහාමේරු පර්වතයටත් වඩා විශාල සතර අපා දුක සුණු විසුණු කරන්නට ඇය සමත් වුණා. සෝතාපන්න ඵලයට පත්වුණු  ආර්ය ශ්‍රාවිකාවක් වන්නට ඇය සමත් වුණා. ඇය දැනගත්තා; ආයමත් අසමත් නොවෙන ලෙස සමත් වෙන්න ඕන නම් ඒකට මඟ තියෙන්නේ බුද්ධ ශාසනයේ විතරයි කියලා. ඇය බුද්ධ ශාසනයේ පැවිදි භික්ෂුණියක් බවට පත් වුණා. ධර්මයට ම පුද සත්කාර කරමින්, ධර්මයම පිළිසරණ කරගනිමින්, සීල, සමාධි, ප්‍රඥා වශයෙන් ධර්මය දියුණු කරමින්, ධර්මය තුළ වාසය කරන්නට ඇය සමත් වුණා. සිංහ තෙලක් දරන්නට රන් බඳුනක් සුදුසු සෙයින් අමා මහ නිවන දරන්නට සුදුසු වන පරිද්දෙන් ඇය ගුණයෙන් නුවණින් වැඩුනා.

දිනක් කිසාගෝතමී භික්ෂුණිය පොහොය ගෙට ගොස් පහනක් දැල්වෙන අයුරු බලාසිටියා. ඒ පහන් සිළ මොහොතක් නිශ්චලව රැඳී නැහැ. හැම මොහොතෙම සෙළවෙනවා. ඇය ඒ දෙස බලාගෙන ඒ තුළින් ජීවිතය දකින්නට උත්සාහ කළා.

“මේ ජීවිතයත් පහන් සිළක් වගෙයි. මේ ඇස, කන, නාසය, දිව, කය, මනස සෙළවි සෙළවී තියෙන්නේ. මොහොතින් මොහොත වෙනස් වෙනවා. පහන නිවී යනවා වගේ මිය යනවා.”

බුදුරජාණන් වහන්සේ කිසාගෝතමී භික්ෂුණිය වෙත ආලෝක ධාරාවක් එව්වා. ඇයට මේ ගාථාව ඇහෙන්න සැළැස්සුවා.

යෝ චේ වස්සතං ජීවේ – අපස්සං අමතං පදං
ඒකාහං ජීවිතං සෙය්‍යෝ – පස්සතෝ අමතං පදං

(යම් කෙනෙක් ඒ අමා නිවන අවබෝධ නොකොට, සියයක් අවුරුදු ජීවත්වෙනවාට වඩා ඒ අමා නිවන අවබෝධ කරගෙන එක දවසක් ජීවත් වීම ශ්‍රේෂ්ඨයි.)

(ධම්මපදය – සහස්‍ර වර්ගය)

ඒ අමා දම් වැසි ඇගේ දෙසවනේ වැටෙද්දී සංසාර රෝගය නිට්ටාවට ම සුව වී අරහත් මුනිවරියක් වන්නට ඇය සමත් වුණා. අරහත් කිසාගෝතමී මහෝත්තමාවිය ගෞතම බුදුසසුනේ රූක්ෂ සිවුරු දරන භික්ෂුණීන් අතර අග තනතුරෙන් පිදුම් ලබා වැඩ සිට පහන් සිළක් නිවී යන්නා සේ පිරිනිවනට වැඩියා. ආයමත් කවදාවත් අසමත් නොවෙන්නට ම ජිවිතේ සමත් වුනා.

හැබැයි අපි පළමුවෙන්නම කතා කරපු අය? එයාලත් යම්තාක් දුරකට ජීවිතේ සමත් තමයි. ඔවුන්ගේ ඒ ශ්‍රේෂ්ඨ උත්සාහයන් ද පැසසිය යුතුයි. ඒ ජීවිත වලිනුත් අපට ගන්න ගොඩක් ආදර්ශ තියෙනවා. හැබැයි එයාලගේ ගොඩාක් ජයග්‍රහණ, මරණය ඉදිරියේ පරාජයට පත්වෙනවා. ඒ සමත්කම් වලට අඩුම තරමින් පරලොව සුගතියවත් අරන් දෙන්න පුළුවන් කමක් නෑ.

ජීවිතේ හැබෑම සමත්කම කියලා කියන්නේ මෙලොවත් පරලොවත් දෙලොවම ජයගැනීම. කම්මැලි කමෙන් ඈලිමෑලි ගතියෙන් ඉන් නැතුව, පරාජ හමුවේ කඩා වැටෙන්නේ නැතුව, මොන අභියෝග ආවත් සිංහයෙක් වගේ මුහුණ දීගෙන මෙලොවත් ජයගන්න ඕන. ඒ අතරම දාන, සීල, භාවනා වශයෙන් ගුණධර්ම දියුණු කරගෙන පරලොවත් ජයගන්න.

අන්න එහෙම ඇස් දෙකම තියන මනුස්සයෙක් වගේ දෙලොව ම ජයගත්තොත්, අන්න එයාට ජීවිතේ සමත් වුණා කියලා කියන්න පුළුවන්.

එයාට අඩුම තරමින් මාර්ගඵල ලාභී දෙවියන් අතර උපත ලබල “මට ලැබිච්ච මනුස්ස ජීවිතේ සමත් වුණා” කියල සතුටු වෙන්න පුළුවන් වෙයි. අද අද ම ඒකට වීරිය කරන්න.

මහමෙව්නාව අසපුවාසී ස්වාමීන් වහන්සේ නමක් විසිනි.