highlights of the week
Home » NEW ARTICLES » සතුට අහිමි කරන සතුට

සතුට අහිමි කරන සතුට

ප්‍රියමනාප දේ වෙතම ඇදිලා යාමයි හිතේ ස්වභාවය. ඒ සම්බන්ධයෙන් සිතේ පවතින්නේ නොසංසිඳෙන ආශාවන්. ඒ නිසා ම ප්‍රියමනාප දේ හමුවේ හිත හැමදාමත් අතෘප්තිමත්. ආශාවන්ට ම වසඟ වූ එවන් සිත් සතන් සතුටු කිරීම පිණිස මුළු ලෝකය ම නොනවතින අරගලයක. දිනෙන් දින නව සොයාගැනීම්. එකක් පරයා එකක්. අවශ්‍යතාවයන්ට ක්ෂණික විසඳුම්. ජංගම දුරකතනය නිසා බොහෝ දේවල් ඔබේ අතේ දුරෙන්. ප්‍රියමනාප රූප, ශබ්ද, ගන්ධ, රස, පහස පිරුණු ලොවකට හැම පැත්තෙන් ම මං මාවත් විවර වෙලා. ‘ලෝකය බොහෝ දියුණු වෙලා’ එහෙමද…?

නමුත් කොතරම් පහසුකම් වැඩිවුවත් අපි තාමත් අතෘප්තිමත්. වෙනදාටත් වඩා සිත් නොසංසුන්. කැළඹිලා ගිය ලොවක්. හැමතැනම අර්බුද. ඇයි එහෙම වුණේ…? සතුට පසුපස දුවන ලෝකයට ඇයි සතුට ම අහිමි වෙන්නේ…? ලෝක සම්මුතිය එකක්. සත්‍යය කියන්නේ තවත් එකක්. ප්‍රියමනාප දේ තුළින් ම සතුට සෙවීමයි ලෝක සම්මුතිය. නමුත් ප්‍රියමනාප දේ දුක උපදවන බවයි සත්‍යය. එයයි ධර්මය. මෙය නොවැටහුණු නිසයි ලෝකය මෙතරම් ම කැළඹුණේ…?
“මේ ලෝකයේ නොයෙක් විදිහේ අරමුණු තියෙනවා. ඒවා අතර ලස්සනට පෙනෙන, රාගය ඇතිකරන අරමුණු නිසා ඇතිවන සංකල්ප මුළු මිනිස් ලෝකය ම කළඹලා දානවා කියලයි මට හිතෙන්නේ.”

(අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ)

සත්‍යාවබෝධය තුළින් පරිපූර්ණ වශයෙන් සංසිඳීමට පත්, නොපිරිහෙන සතුටකින් පූර්ණ තෘප්තියට සපැමිණි නිකෙලෙස් මුනිවරුන්ගේ අදහසයි ඒ. එහෙම නම් ලෝකය කැළඹෙන්න හේතු වුනේ අපි සතුටු වෙන්න සොයන ප්‍රියමනාප අරමුණු ම යි. එහෙම වුනේ ඒ තුළින් කෙලෙස් උපදින නිසයි. කෙලෙස් උපදවමින්, ලොව කැළඹීමට උපකාර වෙන ඒ ප්‍රියමනාප අරමුණු මොනවාද…?

“පින්වත් මහණෙනි, මේ කාමගුණ පහක් තියෙනවා. ඒ පහ මොනවාද? ඇසට පෙනෙන බොහෝම ලස්සන, සිත් ඇදගන්න, කැමැත්ත ඇතිවෙන, රාගය ඇතිවෙන රූප තියෙනවා. කනෙන් අසන ශබ්ද තියෙනවා…. නාසයෙන් දැනගන්න ගඳසුවඳ තියෙනවා…. දිවෙන් දැනගන්න රස තියෙනවා…. බොහෝම ලස්සන, සිත් ඇදගන්න, කැමැත්ත ඇතිවන, රාගය ඇතිවෙන කයට දැනෙන පහස තියෙනවා. මහණෙනි, මේ පහට කියන්නේ ‘කාමගුණ’ කියලයි.”

(මහා දුක්ඛක්ඛන්ධ සූත්‍රය – ම.නි. 1)

මුළු ලෝකය ම සතුට සොයාගෙන දුවන්නේ ඔය කියන අරමුණු පසුපස නොවේද…? ඔය වෙනුවෙන් නොවේද මේ සියලු අර්බුද…? ඇත්තට ම ලෝකයේ පවතින ‘කාමය’ කියන්නේ ඔය දේවල්වලට ද…? කාමය කියන්නේ මේවා නම් අපි කොහොමද ලෝකය වෙනස් කරන්නේ කියලා ඔබට හිතෙන්න පුළුවන්. ‘කාමය’ කියලා කියන්නේ ඔය කරුණු පහට නොවෙයි. ඔය කරුණු පහට කියන්නේ ‘කාමගුණ’ කියලයි. එහෙමනම් ලොව කළඹන කාමය තියෙන්නේ කොහේද?

“සංකප්පරාගෝ පුරිසස්ස කාමෝ
නේතේ කාමා යානි චිත්‍රානි ලෝකේ
සංකප්පරාගෝ පුරිසස්ස කාමෝ
තිට්ඨන්ති චිත්‍රානි තථේව ලෝකේ
අථෙත්ථ ධීරා විනයන්ති ඡන්දන්ති

පුරුෂයාගේ කාමය යනු සංකල්ප රාගයකි. ලෝකයෙහි විසිතුරු අරමුණු වෙත් ද ඒවා කාමායෝ නොවෙති. පුරුෂයාගේ කාමය යනු සිතුවිලිවල හටගන්න රාගය යි. ලෝකයෙහි විසිතුරු අරමුණු ඒ අයුරින් ම තිබෙයි. එහෙත් නුවණින් එඩිතර වූවෝ ඒ කෙරෙහි ඇති ආශාව දුරලයි.”

(නිබ්බේධික සූත්‍රය – අං.නි. 4)

එහෙමනම් කාමය කිව්වේ පංචකාම ගුණ කෙරෙහි උපදින සංකල්පීය රාගයයි. සසර පුරා අප නොමග යවමින් දුකට ඇද දැමූ කාමය එය යි. එනිසා ම භාග්‍යවතුන් වහන්සේ විසින් කාමය ඕඝයක් හැටියට පෙන්වා දුන් සේක. ඒ වගේම නීවරණයක් ලෙසිනුත්, සංයෝජනයක් ලෙසිනුත්, ආශ්‍රවයක් ලෙසිනුත්, උපාදානයක් ලෙසිනුත්, අනුසයක් ලෙසිනුත්, අපව සසරට ඇද බැඳ තැබුවේ මේ කාමය යි. සසර පුරාම හුරු පුරුදු වූ ඒ කාමය වෙත ම සිත බොහෝ ම පහසුවෙන් ඇදී යනවා. හැබැයි එය සිදුවන්නේ හේතු රහිතව නොවෙයි. ඊට ඉඩ දුන් වරද සිදුවන්නේ ද අපේ අතින් ම යි.

“පින්වත් මහණෙනි, හිතේ ස්වභාවය මේකයි. බහුල වශයෙන් ම යම් දෙයක් සිතනවා නම්, කල්පනා කරනවා නම්, හිත හිතා ඉන්නවා නම් ඒ පැත්තට ම යි හිත හැරිලා තියෙන්නේ. පින්වත් මහණෙනි. ඉතින් භික්ෂුවක් සිත සිතා ඉන්නේ කල්පනා කර කර ඉන්නේ කාම සිතුවිලි නම්, කාමයෙන් වෙන්වීමේ සිතුවිලි ඇතිවෙන්නේ නෑ. බහුල වශයෙන් ඇතිවෙන්නේ කාම සිතුවිලි ම යි. එතකොට ඔහුගේ සිත නැමිලා තියෙන්නේ කාම සිතුවිලිවලට ම යි.”

(ද්වේධාවිතක්ක සූත්‍රය – ම.නි. 1)

කල්පනා කරලා බලන්න සිදුවන්නේ මෙය නොවේද? එක දවසක් ගත්තොත් අපි කොතරම් නම් ප්‍රියමනාප අරමුණු කෙරෙහි සිතුවිලි පවත්වනවාද? සිත වේගයෙන් කාමයට ම ඇදෙන්නේ මේ හේතුවෙන්. ඒක එහෙම වෙන්නේ සසරේ අපට හුරුපුරුදු රටාව එය නිස යි. මෙතරම් ම ප්‍රියමනාප දේ කෙරෙහි සිත් ඇදෙන්න එහි සතුටක් තිබිය යුතුයි නේද? ඔව්! කාමය තුළ ආශ්වාදයක් තියෙනවා. නැත්තෙ නෑ.

“පින්වත් මහණෙනි, මේ කාමගුණ පහ (ප්‍රියමනාප රූප, ශබ්ද, ගන්ධ, රස, පහස) හේතු කරගෙන යම් සැපයක් සොම්නසක් ඇතිවුනොත් ඒක තමයි කාමයන්ගේ ආශ්වාදය.”

(මහා දුක්ඛක්ඛන්ධ සූත්‍රය – ම.නි. 1)

සිත වසඟ වුනේ ඔය ආශ්වාදයට. ලොව ම දුවන්නේ ඔය පිටුපස. ඔය ආශ්වාදය භාග්‍යවතුන් වහන්සේ උපමා කළේ බල්ලෙකුට ලැබුණු මස් ලේ නැති ඇට කැබැල්ලකට. ඒ වගේම වණයක් කසන විට තමන්ට ලැබෙන ආශ්වාදයට. දුක සැප වශයෙන් ගත් විපරීත සඤ්ඤාව නිසයි ඒ ආශ්වාදය පිටුපස හැමවිට ම දුක පැමිණුනේ. අතෘප්තිය පැමිණුනේ. වෙහෙස, කලබලය පැමිණුනේ. භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේගේ පළමු ධර්ම දේශනාවෙන් ම එහි හරසුන් බව අපට පෙන්වා දුන්නා නොවේද?

“යම් මේ කාමයන්හි කාම සුඛයේ ඇලී ගැලී වාසය කිරීමක් ඇද්ද, මෙය හීන වූ දෙයකි. ළාමක වූ දෙයකි. පුහුදුන් ජනයා විසින් සේවනය කරන දෙයකි. උත්තම මිනිසුන් විසින් සේවනය නොකරන දෙයකි. අනර්ථ සහිත දෙයකි.”

(දම්සක් පැවතුම් සූත්‍රය – සං.නි. 05)

අප දිව යන්නේ හීන වූ දෙයක් පිටුපස නම්, අර්ථයක් නොමැති දෙයක් පිටුපස නම්, පෘථග්ජන දෙයක් පිටුපස නම්, ජීවිතය ම පිදුවේ ඒ උදෙසා නම් උත්තම වූ දෙයක් කෙසේ ලබන්නද? අර්ථවත් ජීවිතයක් කෙසේ ලබන්නද? පෘථග්ජනභාවය කෙසේ ඉක්මවන්නද..?

“කාමානි චිත්‍රා මධුරා මනෝරමා
විරූපරූපේන මථෙන්ති චිත්තං

මේ කාමයන් විචිත්‍රයි තමයි. මිහිරියි තමයි. සිත ඇදී යනවා තමයි. ඒ වුණත් ඒ තුළින් මේ හිත නොයෙක් විදිහට කළඹලා දානවා.

(රට්ඨපාල මහරහතන් වහන්සේ)

ස්වල්ප වූ සතුටක් හා මහා දුකක් උරුම කරන කාමය නිසා උපදින ආදීනවයන් එමටයි. මෙලොව උපදින බොහෝ අර්බුදවලට හේතුව මේ කාමය බව භාග්‍යවතුන් වහන්සේ විසින් මහා දුක්ඛක්ඛන්ධ, චූළ දුක්ඛක්ඛන්ධ ආදී සූත්‍ර දේශනාවලදී නොයෙක් ආකාරයෙන් පෙන්වා වදාළා. ඒ උතුම් දේශනා කියවන්න. ඒ වගේම ඊටත් වඩා දුකක් පරලොවදී උරුම කරන්නට මේ කාමය සමත් බව යි එහි දී භාග්‍යවතුන් වහන්සේ වදාළේ.

“පින්වත් මහණෙනි, කාමයන් නිසා ම, කාමයන් මුල්කරගෙන ම, කාම අවුල නිසා ම, කාමයන් හේතු කරගෙන ම මේ සත්වයෝ කයින් වැරදි කරනවා. වචනයෙන් වැරදි කරනවා. මනසින් වැරදි කරනවා. ඔවුන් කයින් වැරදි කරලා, වචනයෙන් වැරදි කරලා, මනසින් වැරදි කරලා, අන්තිමේදී මැරිලා ගිහින් සැප රහිත දුගතිය නම් වූ නිරයේ උපදිනවා. පින්වත් මහණෙනි, පරලොව දී අත්දකින්න සිදුවන ඒ දුක් ගොඩ කාමයන්ගේ ආදීනවය ම යි. කාමයන් නිසා ම යි, කාමයන් මුල්කරගෙන ම යි. කාම අවුලෙන් ම යි කාමයන් හේතු කරගෙන ම යි මේ දුක් ගොඩ හටගන්නේ.”

(මහා දුක්ඛක්ඛන්ධ සූත්‍රය – ම.නි. 1)

මෙවන් බිහිසුණු ඉරණමකට සත්වයා ඇද දමන මේ කාමය තුළ වූ සිත රවටන ස්වභාවය තේරුම් ගැනීමට භාග්‍යවතුන් වහන්සේ නොයෙක් උපමාවන් ද ගෙනහැර දැක්වූ සේක. ‘කාමය යනු ගිජුලිහිණියෙකු විසින් රැගෙන යන මස් වැදැල්ලක් බඳුය.’ එය රැගෙන යන විට අනෙකුත් ගිජුලිහිණියන් පස්සෙන් පන්නාගෙන එයි. මස් වැදැල්ල අත්හරිනතාක් ම පීඩාවන් විඳීමට සිදුවෙයි. ඒ වගේම ‘කාමය යනු ගිනි ඇවිලගත් තණහුලක් බඳු දෙයකි.” එය අතින් රැගෙන යන විට ටිකෙන් ටික එහි රස්නය අත වෙත එයි. එයින් මිදීමට නම් එය අත්හැරිය යුතු ම ය. ඒ වගේම ‘කාමය යනු සිහිනයක් වගේ දෙයකි.’ සිහිනෙන් අපට මොනතරම් වස්තුව හිමිවුවත් අවදි වූ විට එහි ඇත්තේ හිස් බවක්. ජීවිතයේ විඳින කාමයන්ටත් මරණය හමුවේ ලැබෙන්නේ එවන් හිස් බවක්. ඒ වගේම ‘කාමය යනු ණයට ගත් දෙයක් බඳු දෙයකි.’ ණයට ගත් දෙය අපට අයිති නැත. එහි අයිතිකරු ඉල්ලූ විට නැවත දෙන්නට සිදුවේ. ඒ අයුරින් මරණය අභියස සියල්ල අත්හරින්නට සිදුවේ. ‘කාමය කියන්නේ රුක්ඵලයන් වැනි දෙයකි.’ එක්තරා පුද්ගලයෙක් ගසකට නැග ගෙඩි කමින් සිටියදී වෙනත් පුද්ගලයෙකු පැමිණ එම ගස කපන්නට පටන් ගනී. යහපත කැමති කෙනා වහා ගහෙන් බිමට බැස්ස යුතු ම යි. නැත්නම් ඔහු මුහුණ දෙන්නේ මහා අනතුරකට. මේ විදිහට බොහෝ උපමා ගෙනහැර දක්වමින් භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාළේ කාමයේ ඇති සැබෑ ස්වභාවය යි.

(පෝතලිය සූත්‍රය කියවන්න)

කාමය මෙතරම් ම බිහිසුණු විපාකවලින් යුක්ත නම්, සිත කාමයට වසඟවීම තමාගේ යහපත කැමති කෙනා විසින් වැළැක්විය යුතු දෙයක් ම යි. කොහොමද හිත කාමයෙන් වළක්වා ගන්නේ..? අපගේ ශාස්තෘන් වහන්සේ පවා බෝධිසත්ව අවධියේදී මහත් වූ පරිශ්‍රමයක් අරගෙනයි එය කරලා තියෙන්නේ. බෝසතාණන් වහන්සේ ඒ වෙනුවෙන් කල්පනා කළ විදිහ තුළ ම යි අපටත් විසඳුම තිබෙන්නේ.

“පින්වත් මහණෙනි, මම ඒ දවස්වල හිටියේ ඔය විදිහට සිතුවිලි වෙන් කරලා බල බලා කෙලෙසුන් තවන වීරිය ඇතුව, ජීවිත පරිත්‍යාගයෙන් අප්‍රමාදීව යි. එතකොට මට කාම සිතුවිලි ඇතිවෙනවා. මම මේ විදිහට යි ඒ ගැන හිතුවේ. ඔන්න දැන් මේ සිතේ කාම සිතුවිලි ඇතිවුනා. ඇත්තෙන්ම මේ කාම සිතුවිල්ල මට පීඩාව ඇතිකරන එකක්. අනිත් උදවියටත් පීඩාව සලසන එකක්. දෙපැත්තට ම පීඩාව සලසන එකක්. නුවණ විනාශ කරන එකක්. දුක පැත්තෙ තියෙන එකක්. නිවන සඳහා හේතු නොවන එකක් කියලා.”

(ද්වේධා විතක්ක සූත්‍රය – ම.නි. 1)

ඔය විදිහට නුවණින් විමසන කොට ඒ සෑම කාම සිතුවිල්ලක් ම දුරින්ම දුරු කරන්න හැකි වූ බව භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන් සේක. ඒ නිසා කාමයට ම වසඟ වන සිත එයින් මුදවා ගැනීම පිණිස අපත් කල්පනා කළයුත්තේ ඔය රටාවට ම යි. ඒ වගේම නිතරම නෙක්ඛම්ම සිතුවිලි තුළ සිත පැවැත්වීම තුළින් කාමයට සිත ඇදීයාම වළක්වා ගන්න පුළුවන්.

“පින්වත් මහණෙනි, හිතේ ස්වභාවය මේකයි. බහුල වශයෙන් ම යම් දෙයක් හිතනවා නම්, කල්පනා කරනවා නම්, හිත හිතා ඉන්නවා නම්, ඒ පැත්තට ම යි හිත හැරිලා තියෙන්නේ. ඉතින් පින්වත් මහණෙනි, භික්ෂුවක් හිත හිතා ඉන්නේ කල්පනා කර කර ඉන්නේ නෙක්ඛම්ම සිතුවිලි නම් කාම සිතුවිලි ඇතිවෙන්නෙ නෑ. බහුල වශයෙන් ඇතිවෙන්නේ නෙක්ඛම්ම සිතුවිලි ම යි. එතකොට ඔහුගේ ඒ සිතුවිලි නැමිලා තියෙන්නේ නෙක්ඛම්ම සිතුවිලිවලට යි.”

(ද්වේධා විතක්ක සූත්‍රය – ම.නි. 1)

මේ ආකාරයට සිත පැවැත්වීම තුළ, හේතු සකස් කිරීම තුළ කාමයෙන් නිදහස් වීමේ අවස්ථාව උදාකර ගත හැකියි.

“පින්වත් මහණෙනි, කාමයෙන් නිදහස් වීම කියන්නේ මොකක්ද? පින්වත් මහණෙනි, මේ කාමයන් ගැන තියෙන ආශාව දුරුකර ගැනීම ම යි, ආසාව ප්‍රහාණය කරගැනීම ම යි කාමයන්ගේ නිදහස් වීම කියලා කියන්නේ”

(මහා දුක්ඛක්ඛන්ධ සූත්‍රය – ම.නි. 1)

මේ ආකාරයට අපගේ භාග්‍යවතුන් වහන්සේ විසින් කාමයන් පිළිබඳව පරිපූර්ණ වශයෙන් දේශනා කොට වදාළා. දිනක් භාග්‍යවතුන් වහන්සේ ජානුස්සෝනි නම් බ්‍රාහ්මණයා හට දේශනා කළේ යම් කෙනෙකුට කාමයන් පිළිබඳව රාගය දුරුකර ගැනීමට නොහැකි වූවොත්, ඒ කෙනාට මරණය ඉදිරියේ ශෝක කරන්නට සිදුවන බව යි. එමෙන්ම කාමයන් කෙරෙහි රාගය දුරු කළ කෙනා මරණය ඉදිරියේ ශෝක නොවන බව යි. යම් කෙනෙක් බුදු සසුන තුළ පිහිටා සම්පූර්ණයෙන් කාමය දුරු කළොත් ඒ අය සදහටම කාමයේ දුක් පීඩා ඉක්මවා යනවා. ධර්මය එතරම් ම ආශ්චර්යවත් හැකියාවකින් යුක්තයි.

“ඔයාලා මේ අප්‍රමාණ වූ කායික මානසික දුක් දොම්නස් විඳින්නේ කාමයන් නිසා ම යි. ඒ නිසා මේ අනිත්‍ය කාමය අත්හරින්න. මේ අල්ප වූ කාම සැපයක් නිසා මහත් වූ ලෝකෝත්තර සැපය අහිමි කරගන්න එපා.”

(සුමේධා මහරහත් තෙරණිය)

මහමෙව්නාව භාවනා අසපුවාසී
පින්වත් ස්වාමීන් වහන්සේ නමක් විසින් සම්පාදිතයි.

Leave a Reply

Your email address will not be published.

x

Check Also

මා දුටු අසිරිමත් බුද්ධගයාව

බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වූ ඉපැරණි වජිරාසනය පිහිටා ඇත්තේ එහි ඇති ඉපැරණි රන්වන් බුද්ධ ප්‍රතිමා වහන්සේට යටින් ය. එය විශ්වයේ නාභිය වශයෙන් හඳුන්වනු ලැබේ.