අපි නොදන්නවා වුණාට සෑම තප්පරයක දී ම මේ ලෝකයේ ජීවත්වෙන මිනිසුන් අතරින් කිහිප දෙනෙක් ලෝකයෙන් සමු ගන්නවා. මව්කුස තුළ සිටින සත්වයාගේ පටන් මරණ මොහොත දක්වා ම මිනිස් සිරුරේ සිදුවන වෙනස්කම් සියුම් ව විශ්ලේෂණය කළ හැකි උපකරණ නූතන තාක්ෂණයෙන් නිපදවා තියෙනවා. නමුත් මරණයත් සමඟ ම ඒ සියලු දියුණු තාක්ෂණික උපකරණ හමුවේ මළකඳක් පමණක් ඉතිරි වෙනවා. කලින් සිටි සත්වයාට මොකද වුණේ කියලා විස්තර කර ගන්න බැරුව යනවා. මේ නිසාම බොහෝ අය හිතනවා මරණයෙන් සියල්ල අවසන් කියල. තවත් සමහර අය හිතනවා මැරුණ කෙනා දෙවියන් සමඟ එකතු වුණා කියලා.

නමුත්, අපේ ජීවිතයේ සැබෑ තත්ත්වය සියල්ල දන්නා සියල්ල දක්නා අපගේ බුදුරජාණන් වහන්සේ අවබෝධ කළා. අවිද්‍යාවෙන් වැසුණු, තණ්හාවෙන් බැඳුන සත්වයාගේ ඉපදීමත් මරණයත් අතර මේ සැරිසරා යාමේ කෙළවරක් නොමැති බව භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. ඒ වගේ ම අවිද්‍යාව දුරු කරලා තණ්හාව ප්‍රහාණය කරලා මේ සැරිසරා යාමෙන් නිදහස් වෙන මාර්ගයත් කියලා දුන්නා. ඒ මාර්ගයේ ගමන් කළ රහතන් වහන්සේලා නම් හරියට පහන් සිළක් නිවිලා යනවා වගේ මිනිස් සිරුර පමණක් මෙහි ඉතිරි කොට පිරිනිවීමට පත්වෙනවා. ඒ හැරුණු විට අන් සියලු දෙනාටම මරණයෙන් මතු ලෝකයක් තියෙනවා.

මෙහෙමත් මිථ්‍යාදෘෂ්ටියක්…

සසර සැරිසරා යන සත්වයා හට තිබෙන්නා වූ පරලොව පිළිබඳ ව විශ්වාස නොකළ රජ කෙනෙකු එම මිථ්‍යාදෘෂ්ටියෙන් ගලවා ගැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේගේ මහා ශ්‍රාවකයෙක් වූ විචිත්‍ර ධර්මකථික කුමාර කාශ්‍යප මහරහතන් වහන්සේ සිදු කළ දේශනාවක් තමයි ‘පායාසි රාජඤ්ඤ සූත්‍රය’. ඒ දවස්වල කුමාර කාශ්‍යපයන් වහන්සේ භික්ෂූන් වහන්සේලා පන්සියනමක් සමඟ කොසොල් ජනපදයට චාරිකාවේ වැඩම කොට කොසොල් මහ රජතුමා විසින් පායාසි රජුට පාලනය සඳහා ලබා දුන් සේතව්‍යා නුවර පිහිටි ඇට්ටේරියා වනයේ විවේකයෙන් වැඩ සිටියේ. ඒ පායාසි රජුට මෙන්න මේ විදියේ මිථ්‍යාදෘෂ්ටියක් හටගෙන තිබුණා. ඒ තමයි ‘මරණින් මතු ඉපදීමක් නෑ, ඕපපාතිකව උපදින සත්වයෝ නෑ, හොඳ හෝ නරක කර්මවල ඵල විපාක නෑ’ කියලා.

කුමාර කස්සප මහරහතන් වහන්සේගේ සොඳුරු ප්‍රඥාව ගැනත්, විචිත්‍ර ධර්මකථික බව ගැනත්, නිකෙලෙස් ගුණ ගැනත් අසන්නට ලැබුණ සේතව්‍යා නුවර බ්‍රාහ්මණ ගෘහපතිවරු උන්වහන්සේව බැහැදැකීම පිණිස ඇට්ටේරියා වනය දෙසට යන ආකාරය මිසදිටු පායාසි රජුට දකින්න ලැබුණා. දැකලා කල්පනා කළා ‘කුමාර කස්සපයන් වහන්සේ මේ මිනිසුන් ව පරලොවක් ඇත, ඕපපාතිකව උපදින සත්වයන් ඉන්නවා, හොඳ නරක කර්මවල විපාක තියෙනවා කියලා පහදවන්න කලින් ම මම ගිහින් මගේ මතය හරි කියලා තහවුරු කරන්න ඕන’ කියලා. පායාසි රජුත් ඒ පිරිසත් සමඟ ම කුමාර කස්සපයන් වහන්සේ මුණගැසීමට පිටත්වුණා.

කුමාර කස්සපයන් වහන්සේ මුණගැසුණු පායාසි රජු පිළිසඳර කතා කොට එකත්පස්ව වාඩි වී තමාගේ මිසදිටු අදහස කියා සිටියා. “භවත් කස්සපයෙනි, මම මේ වගේ අදහසක ඉන්නේ. ඒ තමයි පරලොවක් නෑ, ඕපපාතිකව උපදින සත්වයන් නෑ. හොඳ නරක කර්මවල ඵල විපාක නෑ කියලා.”

“රජතුමනි ඔබ කොහොමද මේ වගේ මිථ්‍යාදෘෂ්ටියක් විශ්වාස කරන්නේ. එහෙනම් මා ඔබෙන්ම මේ ගැන අහන්නම්. තේරෙන විදියට උත්තර දෙන්න”

හිරු සඳුගේ උපමාව…

“රජතුමනි, මේ ගැන මොකක්ද හිතන්නේ? මේ හිරු සඳු දෙදෙනා තියෙන්නේ මේ ලෝකයේ ද? වෙනත් ලෝකයක ද? හිරු සඳු කියන්නේ මිනිස්සු ද? නැති නම් දෙවිවරු ද?”

“භවත් කස්සපයෙනි, මේ හිරු සඳු දෙදෙනා මෙලොවට නෙවෙයි අයිති. වෙනත් ලොවකටයි අයිති. ඒ වගේ ම ඔවුන් මිනිසුන් නෙවෙයි. දෙවිවරු කියලයි සලකන්නේ.”

“රජතුමනි, ඔබට මේ ක්‍රමයෙනුත් වැටහේවා පරලොවක් තියෙනවා. ඕපපාතිකව උපදින සත්වයන් ඉන්නවා, හොඳින් හෝ නරකින් කරන කර්ම ඵලවල විපාක තියෙනවා කියලා.”

අපායේ ගියොත් මට කියන්න..

“භවත් කස්සපයෙනි, මට ඒ ගැන විශ්වාස කරන්න බෑ. මොකද මම අඳුනන හිතවත් අමාත්‍යවරු, ඥාති මිත්‍රයන් හිටියා. ඒ අය ජීවත්වෙන කාලයේ සත්තු මරපු, සොරකම් කරපු, වැරදි කාම සේවනයේ යෙදුණ අය. ඒ වගේ ම ඒ අය බොරු කියපු, කේළාම් කියපු, පරුෂ වචන කියපු, හිස් වචන කියපු අය. අනිත් අය ගැන ද්වේෂ සිතින් තමයි ඒ අය ජීවත් වුණේ. ඒ අය මෙලොව පරලොව පිළිගන්නේ නැති, මිථ්‍යාදෘෂ්ටිකයෝ. ඒ අය මරණාසන්න වුණ වෙලාවේ මම ඒ අය ළඟට ගිහින් කිව්වා ‘භවත ඔබ ගොඩාක් පව් කරපු කෙනෙක්. ඉතින් ඔබ අපායේ ඉපදුණොත් මට ඇවිත් කියන්න ඕන’ කියලා. ඔවුනුත් ‘හොඳයි. අපි කියන්නම්’ කියලා මරණයට පත් වුණා. නමුත් ඒ කිසි කෙනෙක් මේ තාක් ආපසු පැමිණ මට දැනුම් දුන්නේ නෑ. අඩු ගණනේ දූතයෙක්වත් එව්වේ නෑ. අන්න ඒ නිසා කස්සපයෙනි, පරලොව කියලා දෙයක් නෑ. හොඳ හෝ නරක ක්‍රියාවලට විපාක නෑ. ඕපපාතිකව උපදින සත්වයිනුත් නෑ.”

“රජතුමනි මේ ගැන මොකක්ද සිතන්නේ? ඔබේ පුරුෂයෝ අපරාධ කළ සොරෙකු අල්ලාගෙන ඇවිත් ඔබ හමුවට පමුණුවනවා. ඔබත් ඒ සොරාගේ හිස ගසා දැමීමට අණ කරනවා. ඉතින් ඒ රාජ පුරුෂයොත් සොරාව තදින් බැඳලා හිස මුඩු කරවලා වධක භූමියට ඇදගෙන යනවා. එතකොට ඒ සොරා රාජ පුරුෂයන්ට කියනවා ‘අසවල් ගමේ මගේ නෑ හිතමිතුරන් ඉන්නවා. මම ඒ අයට මගේ ධනය පවරා ආපසු එන්නම්. එතකන් මාව මරන්න එපා’ කියලා. නමුත් රජතුමනි ඔහු එසේ කියද්දී ම වධකයන් ඔහුව මරා දමනවා ද? නැති නම් ඔහුට අවසර දෙනවා ද?”

“කස්සපයන් වහන්ස, ඔහුට ඒ අවසරය ලැබෙන්නේ නෑ. ඔහු හඬ හඬා සිටිද්දී ම වධකයෝ ඔහුගේ හිස සිඳලා දානවා.”

“රජතුමනි, ඒ සොරා මනුෂ්‍යයෙක්. මනුෂ්‍ය වූ වධකයන්ගෙන් ඔහුට තම ලේ ඥාතීන් මුණගැසීමට යාමට අවසරයක් ලැබුණේ නෑ. ඉතින් දස අකුසල් කොට නිරයේ ඉපදුණ ඔබේ ඥාතීන් කෙසේ නම් නිරිපල්ලන්ගෙන් යළි ඔබව මුණගැසීමට අවසරයක් ලබන්න ද? මේ ක්‍රමයෙනුත් ඔබට වැටහේවා පරලොවක් තියෙනවා කියලා. ඕපපාතිකව උපදින සත්වයන් ඉන්නවා කියලා. හොඳ නරක ක්‍රියාවලට විපාක තියෙනවා කියලා.”

“භවත් කස්සපයන් වහන්සේ කෙසේ කීවත් මට නම් සිතෙන්නේ පරලොවක් නෑ කියල ම යි. ඕපපාතිකව උපදින සත්වයෝ නෑ කියල ම යි. හොඳ නරක ක්‍රියාවලට විපාක නෑ කියල ම යි.”

දිව්‍යලෝකයෙන් පණිවිඩයක්…

“භවත් කස්සපයෙනි, මම දන්නා හඳුනන විශ්වාස කටයුතු ලේ ඥාතීන්, හිත මිතුරන් ඉන්නවා. ඔවුන් ගොඩාක් පින් කරපු අය. කවදාවත් සතුන් මැරීම, සොරකම් කිරීම, වැරදි කාම සේවනය කරපු නැති අය. ඒ වගේ ම බොරු කීම, කේළාම් කීම, පරුෂ වචන කීම, හිස් වචන කීම ආදී වචී දුෂ්චරිතයෙන් වෙන් වුණ අය. අනුන්ගේ දේවලට ආශා නොකළ අය. තරහ ගන්නේ නැතිව මෙත් සිතින් සිටි අය. සම්මා දිට්ඨියේ සිත පිහිටුවාගෙන සිටි අය. ඉතින් අන්න ඒ වගේ කෙනෙක් මරණාසන්න වුණ වෙලාවට මම ගිහින් මෙහෙම කියනවා. ‘භවත, මේ ශ්‍රමණ බ්‍රාහ්මණයන් කියන විදියට ඔබ දෙව්ලොව තමයි උපදින්න ඕන. ඉතින් ඔබ දෙව්ලොව ඉපදුණොත් අනිවාර්යයෙන් ම ඇවිත් මට කියන්න ඕන’ කියලා. ඔවුනුත් අවංකව ම ඒකට එකඟ වුණා. නමුත් මේ තාක් කිසිම කෙනෙක් මට ආපසු ඇවිත් ඔවුන් දෙව්ලොව ඉපදුණු බවක් නම් කීවේ නෑ. ඒ නිසා මම මගේ අදහස වෙනස් කරන්නේ නම් නෑ.”

“රජතුමනි, මම ඔබට උපමාවක් කියන්නම්. ඇතැම් නුවණැති අයට උපමාවෙනුත් කරුණු වැටහෙනවා. ඔන්න හිස් මුදුනේ පටන් ම අසුචි වළක ගිලුණ පුරුෂයෙක් ඉන්නවා. ඔබේ පුරුෂයින් ඔහුව ඒ අසුචි වළෙන් ගොඩ අරගෙන හොඳට පිරිසිදු කරනවා. නොයෙකුත් සුවඳ වර්ග ගල්වලා ලස්සන ඇඳුම් අන්දවනවා. නොයෙක් ආකාරයෙන් සරසපු ඒ පුරෂයා ව ප්‍රාසාදයක උඩු මහලට එක්කගෙන යනවා. ඔහුව සතුටු වෙන විදියේ රූප, ශබ්ද, ගන්ධ, රස, පහසවලින් පිනවනවා. මේ විදියට ඉන්න මේ පුරුෂයා කැමති වෙයි ද ආයෙත් අර අසුචි වළට වැටෙන්න?”

“භවත් කස්සපයිනි, ඔහු නම් කවදාවත් කැමති නෑ ආයෙත් අර අසුචි වළට වැටෙන්න. මොකද ඒ මළ පහ පිරුණු වළ අපිරිසිදුයි. ගඳ ගහනවා. පිළිකුල් සහගත දෙයක්.”

“පින්වත් රජතුමනි, අන්න ඒ වගේ ම යි. දෙවියන්ට මනුෂ්‍යයෝ අපිරිසිදු වෙයි. පිළිකුල් කටයුතු වෙයි. යොදුන් සියයක් දුර දී වුවත් දෙවියන්ට මනුෂ්‍ය ගන්ධය පිළිකුල් උපදවනවා. ඉතින් දෙව්ලොව ඉපදුණ ඔබේ ලේ ඥාතීන් නැවත පැමිණ කෙසේ නම් ඔබට තොරතුරු කියන්න ද? මෙසේත් ඔබේ මිථ්‍යා අදහස් දුරු වේවා.”

“භවත් කස්සපයෝ කොහොම කීවත් මට නම් මගේ අදහස වෙනස් කරන්න සිතෙන්නේ නෑ ම යි. මොකද මගේ සමහර ලේ ඥාතීන් සිටියා ඔවුන් පංචසීලය හොඳින් ආරක්ෂා කරන අය. මේ වගේ අය මැරුණා ම තව්තිසා දෙව්ලොව උපදිනවා කියල තමයි ඔය ශ්‍රමණ බ්‍රාහ්මණයන් කියන්නේ. ඉතින් ඒ වගේ හිටපු මගේ ලේ ඥාතීන් මරණාසන්න වුණ වෙලාවට මම ඔවුන්ගෙනුත් ඉල්ලා සිටියා ‘ඔබ තව්තිසා දෙව්ලොව ඉපදුණොත් ඇවිත් මට කියන්න’ කියලා. ඔවුනුත් ‘හොඳමයි රජතුමනි’ කියලා පොරොන්දු වෙලා මරණයට පත් වුණා. නමුත් මේ තාක් කිසි කෙනෙක් ආපසු ඇවිත් මට කීවේ නෑ. ඔවුන් බොරු නොකරන අය බව මට හොඳට ම විශ්වාසයි.”

“රජතුමනි, මිනිස් ලෝකයේ අවුරුදු සීයක් ඇත්ද ඒක තව්තිසා දෙවියන්ට එක් රෑ දවාලකි. ඒ වගේ රාත්‍රී තිහක් මාසයකි. ඒ මාසේ ඒවගේ මාස දොළහක් අවුරුද්දයි. ඒ වගේ දිව්‍ය වර්ෂ දහසක් ආයුෂ තව්තිසා දෙවියන්ට තියෙනවා. ඉතින් පන්සිල් රැකලා තව්තිසාවේ ඉපදුණු ඔබේ ඥාතීන් ‘අපි දවස් කීපයක් හෝ දිව්‍ය සැප අනුභව කොට පායාසි රජතුමාගේ මිථ්‍යාදෘෂ්ටිය බැහැර කරන්නට යමු යි’ කියා සූදානම් ව සිට, ඔවුන් එන විට ඔබ මරණයට පත් වී බොහෝ කල් නේ ද?”

“තව්තිසා දෙවියන් ඉන්නවා කියල හෝ තව්තිසා දෙවියන්ට මේ වගේ දීර්ඝ ආයුෂ තියෙනවා කියලා ඔබ වහන්සේට කීවේ කවුද? මම නම් තව්තිසා දෙවියන් ඉන්න බව හෝ තව්තිසා දෙවියන්ට මෙබඳු දීර්ඝ ආයුෂ තිබෙන බව හෝ විශ්වාස කරන්නේ නෑ.”

“රජතුමනි, ඒක හරියට මේ වගේ. උපතින් ම අන්ධ කෙනා පාට හඳුනන්නේ නෑ. සම විෂම තැන් හඳුනන්නේ නෑ. ඉර, හඳ, තාරුකා ආදිය දකින්නෙත් නෑ. ඉතින් ඒ අන්ධයා කියනවා ‘මේ ලෝකේ පාට කියලා දෙයක් නෑ. සම විෂම තැන් නෑ. ඉර, හඳ, තාරකා කියලා දෙයක් නෑ’ කියලා. ඔහු එහෙම කීවාට ඒ සියලු දේවල් ඒ විදියට ම මේ ලෝකයේ තියෙනවා. රජතුමනි, දෙව්ලොව නොපිළිගන්නා ඔබත් හරියට ඒ උපතින් ම අන්ධ පුද්ගලයා වගේ. ඔබ හිතන විදියට සාමාන්‍ය මිනිස් ඇසින් පරලොව දකින්න බැහැ. මේ ලෝකයේ සිල්වත් ජීවිත ගත කරමින්, දුර ඈත ආරණ්‍ය වන සෙනසුන්වල වාසය කරමින්, කෙලෙස් තවන වීර්යයෙන් යුතුව බණ භාවනා කරන උතුම් ශ්‍රමණ බ්‍රාහ්මණයන් දියුණු කරන ලද සිතෙන් මෙලොවත් පරලොවත් දකිනවා. ඕපපාතිකව උපදින සත්වයිනුත් දකිනවා. රජතුමනි පරලොව දකින්න තියෙන්නේ ඔය විදියටයි. එහෙම නැතිව පියවි ඇසින් නොවේ. දැන්වත් ඔබේ වැරදි දෘෂ්ටිය බැහැර වේවා.”
“ඔබ වහන්සේ ඒ විදියට කීවාට, මට නම් සිතෙන්නේ ම පරලොවක් නෑ කියල ම යි. ඕපපාතිකව උපදින සත්වයෝ නෑ කියල ම යි. හොඳ හෝ නරක ක්‍රියාවල විපාක නෑ කියල ම යි.”

මතු සම්බන්ධයි.

මහමෙව්නාව භාවනා අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේනමක් විසිනි.