​අපගේ භාග්‍යවතුන් වහන්සේ වදාළා ස්ත්‍රීත්වය විශාල දුක් සහිත ජීවිතයක් කියලා. පුරුෂයා පිළිබඳ එසේ විශේෂ කොට දේශනා කර නැහැ. සංයුත්ත නිකායේ මාතුගාම සංයුත්තයේ ස්ත්‍රියට ආවේණික වූ දුක් පිළිබඳ ව මෙසේ සඳහන් වෙනවා.

පුරුෂයෙක් විඳින්නේ නැති, පුරුෂයෙකුට සාධාරණ නොවුණ ස්ත්‍රියක් පමණක් විඳින පළමු දුක තමයි “දහරෝව සමානෝ පතිකුලං ගච්ඡති” තරුණ කාලයේදීම ඇයට සිදුවෙනවා පිට කුලයකට (ස්වාමියාගේ නිවසට) යන්න.“ඤාතකේහි විනා හෝති” නෑයන්ගෙන් වෙන්වෙන්න සිදුවෙනවා. තමන් බිහි කළ අම්මා, තමන්ව පෝෂණය කළ තාත්තා දාලා වෙන නිවසකට යන්න වෙනවා. පුංචි කාලයේ සිට දියණියක් හැදුනු වැඩුණු නිවසක් තිබෙනවා නම්, යම් පරිසරයක් තිබෙනවා නම්, එකට හැදුනු මිතුරියන් සිටිනවා නම් ඒ සියලු දෙනා දාලා වෙන නිවසකට යන්න වෙනවා. තමන් දන්න, තමන් ආදරය කළ සියලුදෙනා දමා ගොස් වෙන නිවසක අඳුනන්නේ නැති පිරිසක් සමඟ ජීවත් වෙන්න වෙනවා. සමහර විට ස්වාමියාගේ මව්පියන් නපුරු, දරුණු, කර්කෂ අය වෙන්න පුළුවන්. තමාට වෙනස්කම් කරන්න පුළුවන්. තමන් ගණන් ගන්නේ නැහැ වගේ වෙන්න පුළුවන්. නමුත් ඒ පරිසරයෙන් ඇයට මිදෙන්න බැහැ. මේ ජීවිතයේ දී ම තවත් අලුත් කුලයකට යන්න වීම කාන්තාවකට දුකක් කියා භාග්‍යවතුන් වහන්සේ වදාළා. එයින් මිදෙන්න කාන්තාවකට බැහැ. භාග්‍යවතුන් වහන්සේ වදාළා මේක ස්ත්‍රියකට විඳින්න තිබෙන දුකක් ලෙස. තමා විවාහ වෙලා වෙන නිවසකට ගියාට පස්සේ තමන් කොතරම් හොඳට සිටියත් යම් යම් වෙනස්කම් සිදුවෙන විට ‘ඇයි මට මෙහෙම වෙන්නේ’ කියා අපට සිතෙනවා. තවත් කුලයක ජීවත් වන්නට සිදුවීම පුරුෂයාට නැති, ස්ත්‍රීන්ට ආවේණික දුකක්.

දෙවැනි දුක තමයි “උතුනී හෝති” අපි කවුරුත් කැමැතියි කායික සැපෙන් ඉන්න. නමුත් යම් දැරියක් තරුණියක්වූ පසු ඇය ඍතු වෙනවා. පුරුෂයාට සාධාරණ නොවුණ කාන්තාවට පමණක් ආවේණික වූ දුකක් ලෙස එය හඳුන්වනවා. මාසිකව ඍතු වීම නිසා කාන්තාවට ඒ කායික දුක උසුලන්නට සිදු වී තිබෙනවා. ඒක ඇයට කායික දුකක්, කායික පීඩාවක්, කායික අපහසුවක්. අමිහිරි වේදනාවක්. නමුත් ඒ දුකෙන් ඇයට පැන යන්න බැහැ. එයින් ගැලවීමක් නැහැ. එයත් පුරුෂයාට අයිති නැති, පුරුෂයාට සාධාරණ නැති, කාන්තාවක් වීම නිසා ලද දුකක්.

තුන්වැනි දුක ලෙස භාග්‍යවතුන් වහන්සේ වදාළා “ගබ්භිනී හෝති” ස්ත්‍රිය ගැබ් ගන්නවා. දරුවන් සම්පතක් කියා ලෝකයා ආස්වාදයෙන් කතා කළාට කාන්තාවක් ගැබ් ගත් දා සිට ඇයගේ සිතට දරුවා නැති වෙයි ද කියා බයක් එනවා. ආරක්ෂා කර ගැනීමේ ප්‍රශ්නයක් එනවා. ඒ වගේ ම ඇයට දරුවා කුස පිළිසිඳගත් දා සිට ම තමන් කැමැති කැමති දෙය කන්න බැහැ. කැමැති වෙලාවේ නාන්න බැහැ. තමන් කැමැති කැමති ගමන් යන්න බැහැ. විනෝද වෙන්න බැහැ. තමන්ගේ කයේ තිබෙන බරට අමතරව තවත් බරක් උසුලාගෙන ඇයට ඉන්න සිදුවෙනවා. කෙතරම් අමාරු වුවත් ඒ බර බිමින් තියන්න බැහැ. ඒ උසුලා ගත් බර මාස නවයක් පමණ උසුලාගෙන ඉන්න සිදුවෙනවා. ඒ කාලයේ තමන්ට ලෙඩක් දුකක් ඇතිවුණොත් බෙහෙතක් බොන්න බැහැ. ඒ වේදනාව ඉවසන්න වෙනවා. තමන්ගේ ජීවිතය පරදුවට තබලයි ඇය මේ ගැබ් ගැනීම නම් දුක උසුලන්නේ. භාග්‍යවතුන් වහන්සේ වදාළා මේ දුක පුරුෂයාට සාධාරණ නොවුණ ස්ත්‍රියට ආවේණික වූ දුකක් කියලා.

හතරවැනි දුක ලෙස වදාරන්නේ “විජායති” කාන්තාවක් වුණොත් දරුවෝ වදන්න සිදුවෙනවා. දරුවෝ බිහි කරන්න සිදුවෙනවා. දරුවෙක් බිහි වීම ලෝක සම්මතයට තව කෙනෙකුට සතුට උපදවන කාරණයක් වෙනවා. ඒ වුණාට දරුවා කුසේ දරාගෙන සිටින අම්මාගේ හදවත ගැහෙනවා. මේක කාන්තාවකගේ ජීවිතයේ අභියෝගයක්. අම්මා දරුවා බිහි කරන්නේ ජීවිතයත් මරණයත් අතර සටනක් කරලා. දරුවෙක් බිහි කරන අවස්ථාවේ ඒ මව විඳින කායික වේදනාව තරම් වේදනාවක් තවත් නැහැ කියනවා. ඒ වගේ අභියෝගයක් තමයි ඇය බාර ගන්නේ. ඒ අභියෝගය බාර ගෙන ඇය දුකක් විඳින්නේ. පුරුෂයාට සාධාරණ නැති ලෝකයේ තිබෙන ලොකු ම දුක තමයි ඒ අම්මා විඳින්නේ.

පස්වැනි කාරණය “පුරිසස්ස පාරිචරියං උපේති” කාන්තාවට පුරුෂයාගේ උපස්ථානයට යන්න වෙනවා. ස්වාමියා වෙනුවෙන් උපස්ථාන කරන්න ඇයට බැඳිලා ඉන්න සිද්ධ වෙනවා. ස්වාමියා වෙනුවෙන් කෑම පිළියෙල කිරීම, ඔහුගේ රෙදිපිළි සේදීම, ඔහුගේ සැප දුක සොයා බැලීම උදෙසා කාන්තාව බැඳිලයි ඉන්නේ. පුරුෂයා කවදාවත් එහෙම කාන්තාව වෙනුවෙන් කරන්න ඕන කියලා බැඳිලා නැහැ. ඒ ජීවිතය ස්වාධීනයි. නිදහස්. නමුත් කාන්තාවට ස්වාමියාට උපස්ථාන කරන රාමුවෙන් මිදෙන්න බැහැ. ඉස්සර අපේ අම්මලා කුස්සියේ ම යි. අදත් එහෙමමයි. අද කාන්තාව රැකියාවට ගියත්, නිවසේ සිටියත් ඇයට ආවේණික වැඩ ඇය ම කළ යුතුයි. කෙතරම් අසනීපයෙන් සිටියත් ඇයට උරුම වැඩ ඇය කරනවා. ඒ දුකෙන් ගැලවෙන්න බැහැ. ඇයට සිතෙන්න පුළුවන් ‘රැකියාවටත් ගිහින් වෙහෙසෙනවා, නැවත ගෙදර ඇවිත් වෙහෙසෙන්න ඕනේ. මට විවේකයක් ඇත්තේ ම නැද්ද’ කියලා. ඇත්තෙන්ම කාන්තා ජීවිතය කියන්නේ විවේකය ගොඩාක් අඩු එකක්. භාග්‍යවතුන් වහන්සේ වදාළා ඒ දුක පුරුෂයාට සාධාරණ නොවූ, කාන්තාවකට පමණක් උරුම වූ දුකක් කියලා.

බුද්ධ ශාසනය කියන්නේ ‘මම ස්ත්‍රියක් වෙනවා, මම පුරුෂයෙක් වෙනවා’ කියා පැතීමක් නො වේ. බුද්ධ ශාසනය කියන්නේ ස්ත්‍රියක් වුවත් ස්ත්‍රී ජීවිතයෙන් මිදෙන්නට අවස්ථාව ලැබෙන, පුරුෂයෙක් වුවත් පුරුෂ දුකෙන් මිදෙන්න අවස්ථාව ලැබෙන, සියලු දුකෙන් නිදහස් වෙන්න අවස්ථාව උදාකරගත හැකි තැනක්.

භාග්‍යවතුන් වහන්සේගේ අපූරු දේශනාවක් තිබෙනවා අංගුත්තර නිකායේ සංයෝග විසංයෝග ධම්මපරියාය සූත්‍රය නමින්. යම් ස්ත්‍රියක් ස්ත්‍රී භාවය ඉක්මවා යන්නේ නැත්තේ ඇයි කියා එහි විස්තර වෙනවා. ඒ ස්ත්‍රිය, ස්ත්‍රී ඉන්ද්‍රියයන් මෙනෙහි කරයි නම්, ස්ත්‍රී ආකල්ප, ස්ත්‍රී මාන්නය, ස්ත්‍රිය කැමැති දේ, ස්ත්‍රී ක්‍රියාව, ස්ත්‍රී අලංකාරය ආදිය මෙනෙහි කරමින් දවස ගෙවනවා නම්, ඒවාට කැමැති නම්, ආසා නම්, සතුටු වෙනවා නම්, ඇලිලා නම් ඉන්නේ ඒක අයහපතක්. ඒ වගේ ම පුරුෂ ක්‍රියාවට, පුරුෂ ආකල්පවලට, පුරුෂ මාන්නයට පුරුෂයන් කැමැති දේට, පුරුෂ ස්වරයට, පුරුෂ අලංකාරයට කැමැති වෙලා ඒවාට ම ආශා කර කර ඒවා ම කැමැති ව ඒවායේ ම ඇලිලා නම් ඉන්නේ, බාහිරෙන් පුරුෂයෙක් පතනවා නම්, ඔහුත් සමඟ එකතු වීමෙන් නම් ඉන්නේ ඒ කාන්තාවට ස්ත්‍රීත්වයෙන් මිදෙන්න බැහැ. එය ඉක්මවා යන්න බැහැ. නමුත් මේ ශාසනය හරි පුදුම දෙයක්. ස්ත්‍රී දුක ඉක්මවා ගිය එකක්. ඒකයි මේ ශාසනයේ ලක්ෂ ගණන් මුනිවරියන් බිහි වුණේ. භාග්‍යවතුන් වහන්සේ වදාළා යම්කිසි ස්ත්‍රියක් ස්ත්‍රී ඉන්ද්‍රියයන් මෙනෙහි කරන්නේ නැත්නම්, ස්ත්‍රී ක්‍රියා, ස්ත්‍රී ආකල්ප, ස්ත්‍රී මාන්නය, ස්ත්‍රී හඬ, ස්ත්‍රී අලංකාරය මෙනෙහි කර කර ඒවාට ආශා කරමින් ඉන්නේ නැත්නම්, ඒවායින් සතුටු වෙන්නේ නැත්නම්, ඒවාට ම ඇලී සිටින්නේ නැත්නම්, ඒ වගේ ම ස්ත්‍රියගේ ස්වභාවය තමයි පුරුෂයන්ට ඇලී සිටීම. එසේ පුරුෂයන්ට ඇලී සිටින්නේ නැත්නම් ඒ ස්ත්‍රියට ස්ත්‍රී බව ඉක්මවා යන්නට පුළුවන් කියා. ඒ කියන්නේ ඇයට නිවන කරා යන්න පුළුවන්. එහෙමයි ගෞතම බුදු සසුනේ මුනිවරියන් බිහි වුණේ.

කිසාගෝතමිය මළ දරුවෙකු කර තබාගෙන අඬමින් පිස්සියක් මෙන් පාරේ දිව ගිය කාන්තාවක්. නමුත් ඒ ප්‍රශ්නය පැත්තක තියලා ස්ත්‍රී බවින් නිදහස්ව නිවනට වැඩියා. පටාචාරාවට ප්‍රශ්න තිබුණා. මව්පියන්, සහෝදරයා, ස්වාමියා, දරු දෙන්නා යන මේ සියලු දෙනා කෙටි කාලයක් තුළ තමන්ට අහිමි වුණා. නමුත් ඇය ප්‍රශ්නය පැත්තකින් තිබ්බා. ස්ත්‍රී බව ඉක්මවා ගොස් මුනිවරියක වුණා. ඒ වගේ බොහෝ කාන්තාවන් අපට මේ ශාසනයේ මුණගැසෙනවා. ඒ අය ප්‍රශ්නය පැත්තකින් තිබ්බා. විසඳුම අතට ගත්තා. ධර්මයේ පිහිට ලබාගෙන නිවනට ගියා.

ඒ නිසා ‘ස්ත්‍රීන් වූ අපේ ජීවිතය දුකයි.. දුකයි…’ කියලා හඬා වැළපෙමින් දවස ගෙවන්න හොඳ නැහැ. සුළු ප්‍රශ්නයකදීත් “අනේ මම මේ කාන්තාවක් වුණ නිසයි මට මේ දුක.” කියමින් සුසුම් හෙළ හෙළා ඉඳිමින් නිවනට යන්න බැහැ. එහෙම දුක ඉවර කරන්න බැහැ. ළාමක වෙලා, බොළඳ වෙලා, ඒ ස්ත්‍රී ස්වභාවය ඉක්මවන්නත් බැහැ. නමුත් යම් ස්ත්‍රියකට මේ උතුම් ධර්මය හමුවුණාට පස්සේ ඒ ස්ත්‍රී ජීවිතයට යට නො වී, ස්ත්‍රී ජීවිතය දුකයි කියා දැනගෙන ‘මට බුදුරජාණන් වහන්සේගේ පිහිට තිබෙනවා’ කියා සිතමින් ඒ දහමට අනුව ජීවිතය හැඩගස්වා ගත්තොත් ඇයට මේ සියලු දුක ඉක්මවා යන්න පුළුවන් වෙනවා.

සටහන – නයනා නිල්මිණී