‘නො මැරී ජීවත් වීම’ කියන්නේ යුගයෙන් යුගයට නො වෙනස් ව පැවතගෙන ආව ප‍්‍රාර්ථනාවක්. ඒ නිසා ම මැරෙන එක කොහොම හරි වළක්වන්න දුරාතීතයේ සිට ම මිනිස්සු ක‍්‍රම සහ විධි සෙව්වා. පාරාවරුන්ගේ අමරණීයත්වයේ සිහිනය දක්වා දිව ගියේ ඒ නො මැරී සදාතනික ව ජීවත් වීමේ වුවමනාව ම තමයි.

ඒත් ඉතින් නො මැරුණු කෙනෙක් ලෝකයේ කොහේවත් හොයාගන්න නැහැ. ‘අමර’ලත් හැමෝම නො වැරදී ම මිය ගියා. අනිත් අය ගැන කවර කථා ද?

ඒත් ඔන්න ආයෙමත් ‘අමර’ කෙනෙක් වෙන්න අපි ජීවත් වෙන ලෝකයේ එක්තරා මිනිසෙක් සූදානම් වෙනවා. මෙවර අමරණීයත්වයේ සටනට පිවිස සටන් වදින්නේ රුසියානු කෝටිපතියෙක්. ඔහු ‘දිමිත‍්‍රි ඉට්ස්කොච්’. තිස් එක් හැවිරිදි වියේ පසුවන දිමිත‍්‍රිගෙ එකම ඉලක්කය ඔහු පසුගිය දිනයක මාධ්‍යය වෙත හෙළිදරව් කළා. ඔහුගේ බලාපොරොත්තුව වෙන්නේ නව තාක්ෂණය ඔස්සේ නිපදවන කෘත‍්‍රිම සිරුරකට මොළය බද්ධ කරවාගෙන සදාතනිකත්වයට පත් වීම. විද්‍යා ප‍්‍රබන්ධයක් වගේ දැනෙන මේ කථාවට ඔහු තවදුරටත් පැහැදිලි කිරීම් එකතු කර තිබුණා.

ඔහුට අනුව නම් අභ්‍යවකාශය ජයගත් අභ්‍යවකාශ මධ්‍යස්ථාන, අයිෆෝන්, න්‍යෂ්ටික සබ්මැරීන ආදි අති සූක්ෂම, අති දියුණු තාක්ෂණික උපකරණ කිසිවක් මිනිස් සිරුරේ පවතින භෞතික හැකියාවන් ඉක්මවා යන්නට සමත් වී නැහැ. ඒ නිසා එවන් නිර්මාණයන් පරයන සහ සාමාන්‍ය මිනිස් සිරුරක පවතින සීමාවන් ඉක්මවා යන කෘති‍්‍රම සිරුරක් නිර්මාණය කළ යුතු වෙනවා.

එලෙස නිර්මාණය කරන නව සිරුරට ඉතා අධික උෂ්ණත්වයක්, ඉතා ඉහළ පීඩනයක් දරා ගැනීමට වගේ ම අති ප‍්‍රබල විකිරණවලට පවා ඔරොත්තු දීමට හැකිවිය යුතු බවයි ඔවුන්ගේ අදහස. මේ අරමුණ මුදුන් පමුණුවා ගන්නට බලාපොරොත්තු වන්නේ වර්ෂ 2045 දී. ‘ග්ලෝබල් ෆියුචර් කොන්ග‍්‍රස්’ යන නමින් පිහිටුවා ගත් පදනමක් යටතේ ලොව පුරා අනුගාමිකයන් බොහෝ පිරිසක් එකතු කරගෙන ඔහු මේ වනවිටත් 2045 දී අමරණීය වීමේ සිහිනය බෙදා හදා ගනිමින් සිටිනවා.

දැනට ඔවුන්ගේ ප‍්‍රධාන ඉලක්කය වී තිබෙන්නේ 2015 වසර වන විට මිනිස් මනස පරිගණකගත කර ගැනීම. ඒ සඳහා කෘත‍්‍රිම මිනිස් සිරුරක් නිර්මාණය කිරීමේ සංකීර්ණ ක‍්‍රියාවලියට පවා ඔවුන් අත පොවා අවසන්. කෘත‍්‍රිම සිරුරක් තුළ තමන්ට සදාතනිකව ජීවත් වෙන්නට පුළුවන් කියා විශ්වාස කරන දිමිත‍්‍රි කෘත‍්‍රිම සිරුරකට ඇතුළු වී ‘අමර’ වීම හෝ ස්වභාවික සිරුරේ හිඳ මරණයට පත්වීම එකිනෙකාට ස්වාධීනව තීරණය කිරීමේ ඉඩකඩකුත් ලබා දෙනවා. 2045 වන විට අපි නො මැරී සිටියොත් (ඒ වගේ ම දිමිත‍්‍රි ඇතුළු අනුගාමික පිරිසත් නො මැරී සිටියොත්) මේ අමරණීයත්වයේ සිහිනයට කුමක් සිදු වේ ද? යන්න දැන ගන්න අපටත් හැකි වේවි.

ලෝ ප‍්‍රකට හොලිවුඞ් සිනමාකරු ජේම්ස් කැමරන්ගේ ‘ඇවටර්’ චිත‍්‍රපටයේ තේමාව දිමිත‍්‍රිලගේ මේ අමරණීය වීමේ ව්‍යාපෘතියට අතිශයින් සමානයි. ඒ නිසා ම ඔවුන් මරණයෙන් ගැලවීම පිණිස නිර්මාණය කරන්නට යන කෘත‍්‍රිම සිරුර හඳුන්වන්නෙත් ඇවටර් නමින්. (මේ නම අප විසින් ‘අවතාර’ යන වචනය ශබ්ද කරන ආකාරයටත් යම් සමානකමක් දක්වනවා නේ ද?)

මිනිස් පරිණාමය තුළ හමුවුණ අමරණීය ම සන්ධිස්ථානය බවට මේ අමරණීය වීමේ ව්‍යාපෘතිය පත්වනු ඇති බව තමයි එය කෙරෙහි උනන්දුවක් දක්වන සියල්ලන්ගේ ම අදහස…

කෝටි ප‍්‍රකෝටි ගණනින් මුදල් වැය කරමින්, සුවිශේෂී තාක්ෂණයක් උපයෝගී කර ගනිමින් ඔවුන් සිදු කරන මේ දේ ඇතැම් විට සාර්ථක වෙන්න පුළුවන් කියලා හිතන පිරිසක් වගේ ම සාර්ථක වේවා! යැයි පතන පිරිසකුත් ලෝකයේ ඉන්නවා. උපන්නා වූ සියලූ සත්වයන් ඒකාන්ත වශයෙන් ම මරණය උරුම කරගෙන සිටින බව මනාව පෙන්වා දෙන දහමක් අසන්නට නො ලැබෙන ඔවුන් නො මැරී සිටීමක් ගැන එවන් විශ්වාසයක් තැබීම පුදුම වෙන්න කාරණයකුත් නෙමෙයි.

අතීත වේවා, අනාගත වේවා, වර්තමාන වේවා, ආධ්‍යාත්මික වේවා, බාහිර වේවා, ගොරෝසු වේවා, සියුම් වේවා, හීන වේවා, ප‍්‍රණීත වේවා, දුර වේවා, ළඟ වේවා සියලූ රූප අනිත්‍ය බව, තම වසඟයේ පැවැත්විය නො හැකි බව, දුක් සහගත බව සම්බුදු දහම සවනට නො වැකුණ කවරෙක් නම් දැන ගන්න ද? ඔවුන්ට මිනිස් මොළය පරිගණකයටකට ගන්න පුළුවන් වෙයි. මොළය කෘත‍්‍රිම සිරුරකට බද්ධ කරවා පවත්වා ගන්නත් යම් දිනෙක පුළුවන් වෙයි. ඒත් ඒ කිසිවක් ඔවුන්ට සදාතනිකව පවත්වා ගන්න බෑ. කවදා හෝ දවසක ඒ සියල්ල කාලයේ පහර දීමට හසුවන බව සිකුරුයි. ලෙයින්, මසින් නෙමෙයි, ගලින් යකඩින් කළත් ඒ සියල්ලේ විනාශය නියතයක්.

ඔවුන්ට එක දෙයක් කරන්න පුළුවන් වෙයි. ඒ තමයි එන්න එන්න ම අඩු වෙවී යන ආයුෂ වර්ධනය කර ගන්න එක. දැන් අවුරුදු හැටක් හැත්තෑවක් ජීවත් වෙන එක අවුරුදු සියයකට එහා අගයකට තාක්ෂණික මෙවලම් ඔස්සේ යොමු කරන්න ඔවුන්ට හැකි වේවි. ඒත් මරණයෙන් නම් ගැලවීමක් නෑ. වසර දහස් ගණනින් ආයුෂ තිබුණ මිනිස්සු පවා මරණයට පත් වුණා. කෝටි ප‍්‍රකෝටි ගණන් වුණ දිව්‍ය ආයුෂ තිබෙන දෙව් බඹුන් පවා කම්ඵල පරිදි මරණයට පත්වෙනවා. එහෙම එකේ අවුරුදු සියයක් හමාරක් ජීවත් වෙලා මියැදෙන එක ගැන කියන්නවත් දෙයක් නෑ.

ඒ කොතැන වුණත්, කාට වුණත් ඒකාන්තයෙන් ම මරණය උරුම වෙනවා. ලෝකයා නො දන්න මේ ජීවිත කථන්දරය ගැන සාරිපුත්ත මහ රහතන් වහන්සේ වරෙක හරි අපූරු හෙළිදරව්වක් කළා. උන්වහන්සේ වදාළා, ‘‘උපන් සත්වයාට ඉස්සරහිනුත් පිටිපස්සෙනුත් දෙපැත්තෙන් ම තිබෙන්නේ මරණය ම මිස නො මැරී සිටීමක් නම් නෙමෙයි” කියලා. සත්‍යවාදී සම්බුදු සමිඳුන්ගේ ළයෙහි උපන් ශ‍්‍රාවක පුතණුවන්ගේ ඒ සිංහනාදයේ අසිරිය බලන්න…!

ගෙවා දමන ජීවිතයේ දෙපස බලනකොට ඒකාන්තයෙන් ම මරණය මුණ ගැසෙනවා. සිදු වෙන්නේ කවදා ද? කියන්න බැරි වුණාට කවදා නමුත් එය සිදුවන බව නම් නියතයි. උපන්නා වූ සියලූ සත්වයන් එහෙව් ඉරණමකට ලක් වී සිටිය දී තමයි දිමිත‍්‍රිලා අමරණීය වෙන්න නො වරදින බෙහෙත් හොයන්නේ. ඔවුන් නො දැන සිටියාට ජීවිතය මරණයෙන් කෙළවර වීමේ සර්වකාලීන පොදු උරුමය අපේ මිනිස්සු දැනගෙන හිටියා. මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍රයන් ”ආවොතින් යා යුතු ය. නො ගොසින් යළි එනු බැරි ය. මේ ලොව ඇත්තේ යාම්-ඊම් පමණකි.” කියා සටහන් තැබුවේත් ඒ සත්‍යය ම යි.

හැබැයි මේ ලොව යාම්-ඊම් අතර කළ හැකි ඉතා වටිනා දේවලූත් තිබෙනවා. ඒ ඉතා වටිනා දේවල් හරියට කරන කෙනා නො වැරදී ම අමරණීය වෙනවා. නො මැරෙන කෙනෙක් බවට පත් වෙනවා. උපත් විපත් හැම දෙයකින් ම සදහට ම නිදහස් වෙනවා. කවුද ඒ කෙනා?

ඒ තමයි භව රැහැන් සුණු විසුණු කළ කෙනා. උපතක් කරා යොමු කරන ආශ‍්‍රවයන් සහමුලින් ම ප‍්‍රහාණය කළ කෙනා. කිසිවකට නො ඇළුණ කෙනා, නො ගැටුණ කෙනා, මුළා නො වුණ කෙනා… දුක නම් වූ ආර්ය සත්‍යය අවබෝධ කරපු කෙනා. දුක ඇතිවීම නම් වූ ආර්ය සත්‍යය ප‍්‍රහාණය කළ කෙනා. දුක නැති කිරීම නම් වූ ආර්ය සත්‍යය සාක්ෂාත් කළ කෙනා. දුක නැති කිරීමේ මඟ නම් වූ ආර්ය සත්‍යය ප‍්‍රගුණ කරපු කෙනා. ඒ තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ නිවී සැනසී පැමිණ වදාළ, ශාන්ත වූ, ප‍්‍රණීත වූ නිවනින් සැනසෙන ඛීණාශ‍්‍රවයන් වහන්සේ, සම්බුදු ළය මඬලෙහි උපන් රහතන් වහන්සේ… එක් සම්බුදු බණ පදයක් තුළ මරු පරදවා ජයගත් රහතන් වහන්සේලා දහස් නමක් වැඩ සිටිනවා.

නො මැරී සිටින්නට කළ යුත්තේ ඒ ධර්ම මාර්ගයේ ගමන් කිරීම ම යි. දිමිත‍්‍රිලා වුණත්, අප වුණත් කළ යුත්තේ එයයි. වීරියෙන් යුතුව, ප‍්‍රඥවෙන් යුතුව ඒ සම්බුදු ගමන් මෙඟේ නිසි ලෙස ගමන් කරනවා නම් 2045 වෙනකල් ඉන්න ඕන නෑ, හරියට කළොත් දවස් හතකුත් හොඳට ම ඇති කියලයි තථාගතයන් වහන්සේ වදාළේ.

ඒ දේ හරියට කළොත් ඉර හඳ තරු පවතින තුරු විතරක් නෙමෙයි, ඉර හඳ තරු නැතිව ගියත් අපි මැරෙන්නෙ නෑ…!!!

‘‘අප්පමාදෝ අමතපදං
පමාදෝ මච්චුනෝ පදං
අප්පමත්තා න මීයන්ති
යේ පමත්තා යථා මතා”

‘‘අප‍්‍රමාදී ව සීල, සමාධි, ප‍්‍රඥ වඩන තැනැත්තා ඒ අමා නිවන කරා යනවා. කාම සැපයට වසඟ වෙලා ප‍්‍රමාද වෙන තැනැත්තාට ලැබෙන්නේ ආයෙ ආයෙම මරණය විතරයි. අප‍්‍රමාදී ව ධර්මයේ හැසිරෙන උදවිය අමරණීය වෙනවා. ප‍්‍රමාද වෙච්ච උදවිය ජීවත් වුණත් මළකඳන් වගේ තමයි.”
(ධම්ම පදය – අප්පමාද වර්ගය)