highlights of the week
Home » NEW ARTICLES » සිහිනෙන් සිතුවත් සෙත සැලසෙන්නේ…

සිහිනෙන් සිතුවත් සෙත සැලසෙන්නේ…

“සිහිනෙන් සිතුවත් සෙත සැලසෙන්නේ
බිහිසුණු අනතුරු දුක් දුරු වන්නේ
සිහිකර ඒ නව ගුණ මුනිඳුන්නේ
දෙසිතින් තොරවී බැතින් වඳින්නේ”

මේ කවිය වනාහී ටිබෙට් ජාතික එස්. මහින්ද හිමියන් විසින් සේරුවිල මංගල මහා සෑය වර්ණනා කොට ලියූ කවි පන්තියේ එන්නක්. මේ කවිය ඉතාමත් හරවත්. අවිද්‍යා අන්ධකාරය දුරු කොට, උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කොට, මේ ලෝ සතුන්ට පරම සුවය, ඒකාන්ත නිවන් මඟ දේශනා කොට වදාළේ අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේයි. ඒ භාග්‍යවතුන් වහන්සේ වියළි කතරට ඇද හැළෙන මහාමේඝයක් සේ රාග, ද්වේෂ, මෝහ ආදි අකුසලයන්ගෙන් දැවීගත් සිත් ඇති මිනිසුන්ගේ සිත් නිවා සනසන දහම් වැස්සවූ එක ම ශාස්තෘන් වහන්සේ වෙති. භාග්‍යවතුන් වහන්සේ නොමඟ යන මිනිසුන්ට, බ්‍රහ්මයන්ට, දෙවියන්ට, හරිමඟ කියා දෙන එක ම ගුරු දෙවිඳු වන සේක. අඳුරු ලොව එළිය කරන සඳ මඬල බඳු ය. තුන්ලෝකය ම ආලෝකවත් කළ හිරු මඬල බඳු ය. ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ, මේ ලෝකයේ බබළන්නා වූ සියල්ල ම අභිබවා බබළන සේක.

“පින්වත් දෙවිඳ, මේ ලෝකයේ බබළන දේවල් හතරක් තියෙනවා. මෙහි පස්වැන්නක් නෑ. දහවලට හිරු බබළනවා, රාත්‍රියට සඳු බබළනවා, දවල් රෑ දෙකේ ම ඒ ඒ තැන ගින්න බබළනවා. ඒ බබළන්නා වූ දේවල් අතරින් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ශ්‍රේෂ්ඨයි. ඒ ආලෝකය උත්තරීතරයි.

(මාඝ සූත්‍රය – සං. නි. 01)

මේ ශ්‍රේෂ්ඨ වූ, උත්තරීතර වූ බැබළීමක් ඇති තුන්ලෝකය ම ආලෝකවත් කරන භාග්‍යවතුන් වහන්සේගේ ගුණ කඳ යමෙක් සිහිනෙන් සිතුවත් එයින් සැලසෙන සෙත අනන්ත ය, අප්‍රමාණ ය. ඒ බව බුද්ධ දේශනා, ධර්ම ග්‍රන්ථ ආදිය කියවීමේ දී අපට හොඳින් තේරුම් ගන්නට හැකියි. භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටි කාලයේ මිනිසුන්, දෙවියන් භාග්‍යවතුන් වහන්සේගේ ගුණ සිහිකිරීම නිසා බොහෝ අනතුරුවලින් මිදුන බව අප අසා තිබෙනවා. අද පවා භය හිතෙන තැන්වලින් ගමන් ගන්නා විට දී හෝ සිතකට භයක් තැති ගැන්මක් උපදින විට දී අපි භාග්‍යවතුන් වහන්සේගේ ගුණ සිහිකරනවා. එවිට සිතේ ඇති භය, ලොමු ඩැහැගැනීම් මග හැරී සිත ප්‍රීතිමත්ව ශාන්තභාවයට පත්වෙනවා.

“පින්වත් මහණෙනි, මමත් ඔබට මෙහෙම කියනවා. පින්වත් මහණෙනි, ඔබත් අරණකට ගියාම හරි, පාළු තැනකට ගියාම හරි යම් හෙයකින් ඔබට භයක්, තැති ගැනීමක්, ලොමුඩැහැගැනීමක් හටගත්තොත් අන්න ඒ වෙලාවට ඔබ මා ගැන ම යි සිහිකරන්න ඕන. මෙසේ ඒ භාග්‍යවතුන් වහන්සේ අරහං වන සේක, සම්මා සම්බුද්ධ වන සේක… භගවා වන සේක කියලා. එවිට පින්වත් මහණෙනි, ඔබගේ භය, තැතිගැනීම්, ලොමුඩැහැගැනීම් තියෙනවා නම් ඒවා නැතිවෙලා යනවා.

එයට හේතුව කුමක් ද? පින්වත් මහණෙනි, තථාගත වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ, රාගය දුරු කළ කෙනෙක්, ද්වේෂයෙන් තොර කෙනෙක්, මෝහයෙන් තොර කෙනෙක්, භය නොවන කෙනෙක්, තැති නො ගන්න කෙනෙක්, කම්පා නො වන කෙනෙක්, පලා නො යන කෙනෙක්.”

(ධජග්ග සූත්‍රය – සං. නි. 01)

මේ ආකාරයට බුදුරජාණන් වහන්සේ සිහිකිරීමෙන් අපේ භය, තැති ගැනීම් මග හරවා ගන්නට හැකි වන්නේ උන්වහන්සේගේ නිකෙලෙස් භාවය නිසයි.

රජගහනුවර දර කපලා ජීවත්වෙන කෙනෙක් හිටියා. මෙයා අන්‍යාගමිකයෙක්. නිගණ්ඨයන්ගේ ශ්‍රාවකයෙක්. ඔහු බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහිකරනවාට කැමති නෑ. ඔහුට පුතෙක් හිටියා. ඔහුත් ඒ වගේ ම යි. බුදුරජාණන් වහන්සේව සිහිකරනවාට කැමති නෑ. මේ දරුවාට යාළුවෙක් හිටියා. ඔහු තෙරුවන් සරණ ගිය පවුලක දරුවෙක්. මේ දරුවා අර අන්‍යාගමික දරුවත් සමඟ නිතර ම සෙල්ලම් කරනවා. තෙරුවන් සරණ ගිය දරුවා ඕනැම දෙයක් කරන්න පටන්ගන්න කොට ම “නමෝ බුද්ධාය” කියලා තමයි පටන් ගන්නේ. ඒ නිසා මෙයා කරන සියලු ම දේ සාර්ථක ව, යහපත් ව සිදුවෙනවා. අන්‍යාගමික දරුවා නිගණ්ඨයන් සිහි කරමින් “නමෝ අරහන්තානං” කියන්න පුරුදු වී සිටියත් ඔහු කරන්නා වූ දේවල් යහපත් ව සිදු වූයේ නෑ.

දවසක් අර තෙරුවන් සරණ ගිය දරුවාගෙන් අන්‍යාගමික දරුවා මෙහෙම අහනවා. “යාළුවා… ඔයා හැම දෙයක් ම කරනකොට ‘නමෝ බුද්ධාය’ කියනවා. හැම තිස්සේ ම ඔයාගේ දේවල් සාර්ථක වෙනවා. සෙල්ලම් කරන කොට දිනනවා. මම කොයි තරම් ‘නමෝ අරහන්තානං’ කිව්වත් වැඩක් නෑ. මාගේ දේවල් අසාර්ථකයි. මම පරදිනවා මටත් බැරි ද ඔයාගේ ක්‍රමේ උගන්වන්න?” කියලා.

එතකොට අර තෙරුවන් සරණ ගිය දරුවා කියනවා, “යාළුවා මම නිකම් ම නිකම් නමෝ බුද්ධාය කියනවා නෙමේ. මේකේ ලොකු අර්ථයක් ඇතුව තමයි කියන්නේ කියලා. මම සරණ ගියේ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ව යි. ඒ බුදුරජාණන් වහන්සේගේ ගුණ දැනගෙන ම තමයි මම ‘නමෝ බුද්ධාය’ කියලා කියන්නේ.” ඉතින් ඒ විදිහට කියනකොට අන්‍යාගමික ළමයාට මේ කාරණය හොඳට තේරුනා. ඔහුත් බුදුගුණ දැනගෙන ‘නමෝ බුද්ධාය’ කියන්න පුරුදු වුණා.

දැන් මේ දරුවත් භාග්‍යවතුන් වහන්සේ ව සිහිකරනවා. පුංචි හිත්වලට පවා අපගේ බුදුරජාණන් වහන්සේගේ ගුණයන් දැනෙන ආකාරය අපූරුයි. ඔහු ඒ බුදු ගුණ අහලා දමනය වුණා. නිඝණ්ඨයන් සිහි කිරීම අත්හැරියා. ඒ බුදු ගුණ හමුවේ ඔහු දමනය වුණේ භාග්‍යවතුන් වහන්සේ අනුත්තරෝ පුරිසදම්මසාරථි ගුණයෙන් යුතු නිසාවෙන්.

දිනක් අර අන්‍යාගමික ව සිට බුදුරජාණන් වහන්සේ ව සරණ ගිය දරුවා පියත් සමග දර කපන්න කැලයට ගියා. දර කපාගෙන කරත්තය පුරෝගෙන ආපසු එන්න පිටත් වුණා. මේ එන අතර ආහාර ගන්න කියලා සොහොනක් ළඟ නතර වුණා. කරත්තේ ගැට ගසා සිටි ගොන්නු දෙන්නත් ලිහලා දෙදෙනා ම දැන් ආහාර අනුභව කරනවා. මේ අතරේ වෙනත් ගොන් රෑනක් සමඟ මොවුන්ගේ ගොන් දෙදෙනාත් නගරයට යන්න ගියා. පියා නගරයට ගොස් ගොන් දෙන්නා සොයාගන්න පරක්කු වුණා. රෑ වුණා. නගරේ දොරවල් වහලා. දැන් තාත්තා නගරේ ඇතුළේ. දරුවා නගරයෙන් පිට සොහොන ළඟ. තාත්තා ආපු නැති නිසා දරුවා ගෝනියක් එළාගෙන කරත්තේ යට නිදා ගත්තා.

මේ සොහොනෙ හිටපු අමනුෂ්‍යයන් දෙදෙනෙක් මේ ළමයා ව දැක්කා. මේ දෙන්නා අතරින් එක්කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පැහැදිලා හිටියා. අනෙක් අමනුෂ්‍යයා පැහැදිලා හිටියේ නෑ. එයා භාග්‍යවතුන් වහන්සේට විරුද්ධයි. ඔහු අනෙක් අමනුෂ්‍යයාට කියනවා, “යාළුවා… මෙන්න කෑමක් අපි මූ ව කමු” කියලා. අනෙක් අමනුෂ්‍යයා මේකට විරුද්ධ වුණා. එපා කිව්වා. එහෙත් නපුරු වූ අමනුෂ්‍යයා, භාග්‍යවතුන් වහන්සේට පැහැදිලා හිටපු නැති කෙනා ඒ කීම ඇහුවේ නෑ. එපා කියද්දි අර ළමයාගේ අතින් ඇද්දා. අදිනකොට ම දරුවාට ඇහැරුණා. මහා හඬින් “නමෝ බුද්ධාය” කියලා කිව්වා. අමනුෂ්‍යයා දරුවාගේ අතින් අතහැරියා. වහා ම නගරයට ගියා. ඒ යන අතරේ අනිත් අමනුෂ්‍යයා ළමයාගේ රැකවරණයට හිටියා. බලන්න භාග්‍යවතුන් වහන්සේ ව සරණ ගිය කෙනාට තියෙන රැකවරණය.

නගරයට ගිය යක්ෂයා බිම්බිසාර රජුගේ ආහාර අනුභව කරන රන් තැටිය රැගෙන ඒකට ආහාර බෙදාගත්තා. සොහොන ළඟට ආවා. යක්ෂයන් දෙදෙනා දරුවගේ දෙමව්පියන්ගේ වෙස්ගෙන දරුවා අවදි කරවා ආහාර කවා දරුවා නින්දට ගිය අතරතුර යන්නට ගියා. රන් තැටියේ යක්ෂානුභාවයෙන් රජුට පමණක් පෙනේවා කියලා අකුරු වගයක් සලකුණු කරලා කරත්තයට දාල තමයි ගියේ. උදෑසන ම නගරයේ සිටි පියා දරුවා ළඟට පැමිණියා. දරුවත් රැගෙන හණික නගරයට පිටත් වුණා.

ඒ අතර නගරයේ මහා කලබලයක්. ඇයි රජුගේ ආහාර අනුභව කරන රන් තැටිය හොරු අරන්. නගරයේ දොරටු වහලා හැම තැන ම පරීක්ෂා කරනවා. රාජ පුරුෂයන් මේ දරුවන්ගේ කරත්තයත් පරීක්ෂා කළා. රන් තැටිය දුටු රාජපුරුෂයන් දරුවාත්, පියාත් රජු ළඟට අරන් ගියා. රන් තැටියේ සලකුණු වී ඇති අකුරු දුටු රජු මොවුන්ගෙන් ප්‍රශ්න කළා. රාත්‍රියේ සිදුවූ දේ දරුවා රජු ඉදිරියේ ප්‍රකාශ කළා. රජු හරි ම බුද්ධිමත්. මොවුන් රැගෙන භාග්‍යවතුන් වහන්සේ සමීපයට ගියා. මේ පුවත සැල කළා. අප මහා කාරුණිකයන් වහන්සේ මේ පුවත අරබයා ඉතාමත් ලස්සන ගාථා හයක් දේශනා කොට වදාළා.

“සුප්පබුද්ධං පබුජ්ඣන්ති – සදා ගෝතමසාවකා
යේසං දිවා ච රත්තෝ ච – නිච්චං බුද්ධගතාසති.”

“යමෙක් දිවා රෑ දෙකෙහි ම නිතර ම බුදු ගුණ සිහි කරනවා නම් ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ නිතර ම ප්‍රබෝධයෙන් ම යි පිබිදෙන්නේ.”

“සුප්පබුද්ධං පබුජ්ඣන්ති – සදා ගෝතමසාවකා
යේසං දිවා ච රත්තෝ ච – නිච්චං ධම්මගතාසති.”

“යමෙක් දිවා රෑ දෙකේ ම ධර්මය සිහි කරනවා නම් ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක වූ ඔවුන් හැමදාම ඉතා ම ප්‍රබෝධයෙන් පිබිදෙන්නේ.”

“සුප්පබුද්ධං පබුජ්ඣන්ති – සදා ගෝතමසාවකා
යේසං දිවා ච රත්තෝ ච – නිච්චං සංඝගතාසති.”

“යමෙක් දවල්ටත් රාත්‍රියටත් නිතර ම සඟ ගුණ සිහිකරනවා නම් ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක වූ ඔවුන් ප්‍රබෝධයෙන් තමයි පිබිදෙන්නේ.”

“සුප්පබුද්ධං පබුජ්ඣන්ති – සදා ගෝතමසාවකා
යේසං දිවා ච රත්තෝ ච – නිච්චං කායගතාසති”

“යමෙක් දහවල් රාත්‍රී දෙකෙහි ම නිතර ම කායානුපස්සනා භාවනාවේ යෙදී වාසය කරනවා නම්, ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ වූ ඔවුන් ප්‍රබෝධවත්වයි පිබිදෙන්නේ.”

“සුප්පබුද්ධං පබුජ්ඣන්ති – සදා ගෝතමසාවකා
යේසං දිවා ච රත්තෝ ච – අහිංසාය රතෝ මනෝ”

“යමෙක් දහවලටත් රාත්‍රියටත් නිතර ම අහිංසාවට ඇළුණු සිතින් වාසය කරනවා නම් ගෞතම බුදු සමිඳුන්ගේ ශ්‍රාවකයෝ වුණ ඔවුන් හැමදාමත් ප්‍රබෝධවත්වයි පිබිදෙන්නේ.”

“සුප්පබුද්ධං පබුජ්ඣන්ති – සදා ගෝතමසාවකා
යේසං දිවා ච රත්තෝ ච – භාවනාය රතෝ මනෝ”

“යමෙක් දහවලටත් රාත්‍රිටයත් නිතර ම සමථ විදර්ශනා භාවනාවේ ඇලී වාසය කරනවා නම් ගෞතම බුදු සමිඳුන්ගේ ශ්‍රාවකයෝ වූ ඔවුන් හැමදාමත් ප්‍රබෝධවත්වයි පිබිදෙන්නේ.”

ඉහත කතාවේ පුංචි දරුවා යක්ෂයන්ගෙන් බේරුණේ අපගේ ශාස්තෘන් වහන්සේ ව සිහිකිරීම නිසායි. ඒ භාග්‍යවතුන් වහන්සේ ව සිහිකරලා කරදරයකින් බේරුණ තවත් කෙනෙකුගේ කථාවකුයි මේ කියන්න යන්නේ. ඒ සත්ථා දේවමනුස්සානං ගුණයෙන් බැබළුණ භාග්‍යවතුන් වහන්සේගේ පිහිට ලැබූ දෙවි කෙනෙක් ගැනයි.

භාග්‍යවතුන් වහන්සේගේ කාලයේ සුරයන් හා අසුරයන් අතර යුද්ධයක් ඇති වුණා. මේ සටනේ දී චන්දිම කියන දිව්‍ය පුත්‍රයා රාහු කියන අසුරයාගේ ග්‍රහණයට අසුවුණා. දැන් රාහු අසුරයා චන්දිම දිව්‍ය පුත්‍රයා ව අල්ලාගෙනයි ඉන්නේ. චන්දිම කියන දිව්‍ය පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේ සරණ ගියපු කෙනෙක්. ඒ නිසා මේ වෙලාවේ චන්දිම දිව්‍ය පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේ ව සිහිකරන්නට වුණා.

“නමෝ තේ බුද්ධවීරත්ථු – විප්පමුත්තෝසි සබ්බධී
සම්බාධපටිපන්නෝස්මි – තස්ස මේ සරණං භවාති”

“බුද්ධ වීරයන් වහන්ස, ඔබ වහන්සේට නමස්කාර වේවා. ඔබ වහන්සේ සැම දෙයින් ම නිදහස් වෙලා වැඩ සිටින සේක. මා දැන් කරදරයක පැටලිලයි ඉන්නේ. මා හට පිහිට වන සේක්වා!” චන්දිම දිව්‍ය පුත්‍රයා මෙසේ භාග්‍යවතුන් වහන්සේ ව සිහිකරන බව භාග්‍යවතුන් වහන්සේට පෙනුනා. ඒ අපගේ කාරුණිකයන් වහන්සේ තමන් වහන්සේගේ ඍද්ධි බලයෙන් රාහු අසුරයාට ඇසෙන්නට චන්දිම දිව්‍ය පුත්‍රයා වෙනුවෙන් ගාථාවක් දේශනා කොට වදාළා.

“තථාගතං අරහන්තං – චන්දිමා සරණං ගතෝ
රාහු චන්දං පමුඤ්චස්සු – බුද්ධාලෝකානුකම්පකාති”

“ඒයි රාහු, චන්දිම දිව්‍යපුත්‍රයා අරහත් වූ තථාගතයන් වහන්සේ ව සරණ ගිහිල්ලයි ඉන්නේ. තථාගතයන් වහන්සේලා මහා අනුකම්පා සහිතයි. ඔය චන්දිම දිව්‍ය පුත්‍රයා නිදහස් කරන්න.”

(චන්දිම සූත්‍රය – සං. නි. 01)

රාහු අසුරේන්ද්‍රයා බියට පත් වුණා. තැතිගැනීමට පත් වුණා. වහා ම චන්දිම දිව්‍ය පුත්‍රයා ව අත්හැරියා.

දැන් අපට මේ කියූ කතාවලින් භාග්‍යවතුන් වහන්සේ ව සරණ යාම කොයිතරම් නම් අගනේ ද, කොයි තරම් නම් ආරක්ෂා සහිත ද කියලා හොඳට තේරෙනවා. මේ කථාවන් කියවලා අපි අපේ හිතේ ශ්‍රද්ධාව ඇතිකර ගන්න ඕන භාග්‍යවතුන් වහන්සේව ගුණ වශයෙන් දැනගෙන.

අපි ගෙදර දොර, වැඩපළේ යම් කර්මාන්තයක් කරනා විට ඊට ප්‍රථම ව භාග්‍යවතුන් වහන්සේ ව, ශ්‍රී සද්ධර්මය, ආර්ය මහා සංඝරත්නය යන තෙරුවන් සිහි කළ යුතු ම යි. එවිට අපට තිසරණයේ අනන්ත ආශීර්වාදය ලබා ගන්න පුළුවන්. හැබැයි මේ හැම දෙයක් ම ලැබෙන්නේ තෙරුවන් සරණ යාමෙන් පමණයි. ඒ නිසා, අපටත් තෙරුවනේ අනන්ත ආශීර්වාදය ලබාගන්න, තෙරුවන් සරණ ගොස් ඒ තිසරණය තුළ පිහිටලා පිහිට පිළිසරණ ලබාගන්න වාසනාව උදාවේවා!

One comment

  1. priyanka pushpakumari

    hoda pehedeemak ethiwuna

Leave a Reply

Your email address will not be published.

x

Check Also

ආරක්ෂිත ස්ථානය

"මේ ඔක්කොම අයිති වෙන්නේ සතිපට්ඨානයට. ඒ තුළ වාසය කරන කෙනාට දුක්ඛිත තැනක උපදින්න හේතු හැදෙන්නෙ නෑ. ඒක තමා මහා කරුණාවෙන් යුතු ශාස්තෘන් වහන්සේ අපිට ආරක්ෂාව පිණිස දුන් තැන, සතිපට්ඨානය."