බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ හරිම අපූරු, අපට හිතාගන්නවත් බැරි උතුම් ගුණ කඳක් දරාගෙන වැඩ සිටි උතුමන් වහන්සේනමක්. උන්වහන්සේගේ අවබෝධය හරිම පුදුමයි. ඒ වාගේ දැනුමක් මේ ලෝකයේ කාටවත් තිබුණේ නෑ. බුදුරජාණන් වහන්සේ මේ ලෝකය ගැන මහා දැනුමකින් තමයි වැඩ සිටියේ. උන්වහන්සේ දේශනා කරනවා. “පින්වත් මහණෙනි, මේ ලෝක සත්වයන් ඉපදෙමින් මැරෙමින් යන ගමනේ (සංසාරයේ) කෙළවරක් කියන්න බෑ. එහි පටන්ගැන්මක් හොයන්න බෑ. මේ සංසාර ගමන ඒ තරම් දීර්ඝ එකක්.” මේ දීර්ඝ ගමන යන්න සිදුවන්නේ අවිද්‍යාවෙන් වැසිලා, තණ්හාවෙන් බැඳිලා සිටින සත්වයන්ට බව උන්වහන්සේ දේශනා කොට වදාළා. එහෙනම් අපිටත් අවිද්‍යාව තියෙනකල් තණ්හාවෙන් බැඳි බැඳී ඉන්න තාක් මේ සංසාරයේ ගමන් කිරීම තමයි උරුම වෙලා තියෙන්නේ.

අවිද්‍යාවෙන් වැසී තණ්හාවෙන් බැඳී මේ සසර ගමනේ යන සත්වයන් ගැන ලස්සන උපමාවකින් බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළා. “විශාල කණුවක, ලොකු දම්වැලකින් බැඳලා සිටින පොඩි බලු කුක්කෙක් වගේ.” ඒ බලු පැටියාට ඇවිදින්න තියෙන්නේ අර කණුව වටේ විතරයි. නිදන්න තියෙන්නේ කණුව වටේ විතරයි. කරන දේ මොනදේ වුණත් කරන්න තියෙන්නේ කණුව වටේ දුව දුව කැරකි කැරකි විතරයි. ඒ වගේ තමයි මේ අවිද්‍යාව නමැති කණුවේ තණ්හාව නමැති දම්වැලින් අශ්‍රැතවත් පෘථග්ජනයා මේ සසරට බැඳ තබන්නේ.

බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ, ආර්යයන් වහන්සේලා නො දැකපු, ආර්ය ධර්මයේ අදක්ෂ, ආර්ය ධර්මයෙහි නො හික්මෙන අශ්‍රැතවත් පෘථග්ජනයා දුකට අයිති දෙයට, ඒ කියන්නේ රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන පංච උපාදානස්කන්ධයට සක්කාය දිට්ඨියෙන් බැඳී ගිය නිසා මේ සත්වයා සංසාරයේ ම සැරිසරා යන බවයි.

කොහොමද බැඳුණේ?

රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන උපාදානස්කන්ධයන්ගෙන් එක් උපාදානස්කන්ධයකට සතර ආකාරයකින් සක්කාය දිට්ඨියෙන් බැඳී යන බව බුදුරජාණන් වහන්සේ පෙන්වා දී වදාළා.
මම, මාගේ, මගේ ආත්මය ලෙස ගනිමින් දැඩිව බැඳී සිටීම සක්කාය දිට්ඨිය යි. පංච උපාදානස්කන්ධයට තමා කියා බැඳී යාම නිසා තමයි බලු කුක්කා දම්වැලෙන් කණුවේ ගැට ගහලා තියෙනවා වගේ අපිත් සංසාර ගමනට තණ්හාවෙන් බැඳිලා තියෙන්නේ. අපි දැන් පංච උපාදානස්කන්ධයට බැඳී ගිය ආකාරය විමසා බලමු.

පෙණ පිඬක් වන් රූපය

අශ්‍රැතවත් පෘථග්ජනයා රූපය කෙරෙහි හතර ආකාරයට සක්කාය දිට්ඨියෙන් බැඳී යනවා.

1) රූපය තමා කියලා ගන්නවා.
2) තමා හැදී තියෙන්නේ රූපයෙන් කියලා ගන්නවා.
3) තමා තුළ රූපය තියෙනවා කියලා ගන්නවා.
4) රූපය තුළ තමා සිටිනවා කියලා ගන්නවා.

මෙන්න මේ විදියට රූපය කෙරෙහි බැඳුනහම ඔහුට රූපයේ යථා ස්වාභාවය තේරුම්ගන්න අපහසුයි. පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන සතර මහා ධාතූන්ගෙන් හටගෙන තිබෙන මේ රූපය සතර මහා ධාතු නිරුද්ධ වීමෙන් නැතිවී යනවා කියලා රූපයේ යථාර්ථය විනිවිද දකින්න හැකි වුවහොත් මේ සත්වයාට රූපයෙන් නිදහස් වෙන්න පුළුවන්. රූපය කෙරෙහි ඇති තණ්හාව දුරුකරන්න පුළුවන්. එහෙම වුණොත් දම්වැල සිඳ නිදහස් වූ බලුපැටියෙකු සේ අපටත් ඇවිද යන්නට පුළුවනි. කළ යුත්තේ සතරමහා ධාතූන්ගෙන් හටගත් රූපයේ අනිත්‍ය ස්වභාවය මෙනෙහි කිරීමයි. බුදුරජාණන් වහන්සේ රූපය පෙණ පිඬකට උපමා කොට පෙන්වා දී ඇත්තේ ඒ නිසයි. පිටට මහා විශාල පෙනුමක් පෙණ පිඬෙහි තිබුණත් ඇතුළෙහි කිසිම හරයක් නොමැති දෙයක්. ඒ වගේ ම මේ රූපය පිටින් විසිතුරු ලෙස සරසා තිබුණ ද ඇතුළෙහි කිසිදු හරයක් නොමැති දෙයක්.

දිය බුබුළ වන් වේදනාව

විඳීම තුන් ආකාරයි. සැප විඳීම්, දුක් විඳීම්, දුක් සැප රහිත විඳීම් අයුරින්. අපි දුක් වේදනාව ආ විට ඒ නිසා තැවෙනවා. දුක් වෙනවා. සැප විඳීමක් ආ විට එය බදා ගන්නවා. එයට ආශා කරනවා. ඒ නිසා අශ්‍රැතවත් පෘථග්ජනයා වේදනාවටත් සතර ආකාරයෙන් බැඳී යනවා.

1) වේදනාව මම කියලා බැඳෙනවා.
2) තමා සැදී තිබෙන්නේ වේදනාවෙන් කියලා බැඳෙනවා.
3) තමා තුළ වේදනාව තියෙනවා කියලා බැඳෙනවා.
4) වේදනාව තුළ තමා ඉන්නවා කියලා බැඳෙනවා.

මෙන්න මේ විදිහට වේදනාවේ යථාර්ථය නො දන්නා නිසයි වේදනාවට බැඳී යන්නේ. වේදනාව ද හේතුවක් නිසා හටගත් දෙයක්. එනම් ස්පර්ශය නිසයි වේදනාව ඇතිවෙන්නේ.

ස්පර්ශය ඇතිවෙන්නේ,

* ඇසයි රූපයයි විඤ්ඤාණයයි යන කරුණු තුන එකතු වූ විට ඇසේ ස්පර්ශය හට ගන්නවා.
* කනයි ශබ්දයි විඤ්ඤාණයයි එකතු වූ විට කනේ ස්පර්ශය හට ගන්නවා.
* නාසයයි ගඳ සුවඳයි විඤ්ඤාණයයි එකතු වූ විට නාසයේ ස්පර්ශය හට ගන්නවා.
* දිවයි රසයි විඤ්ඤාණයයි එකතු වූ විට දිවේ ස්පර්ශය හට ගන්නවා.
* කයයි පහසයි විඤ්ඤාණයයි එකතු වූ විට කයේ ස්පර්ශය හට ගන්නවා.
* සිතයි සිතුවිලියි විඤ්ඤාණයයි එකතු වූ විට සිතේ ස්පර්ශය හට ගන්නවා.

මෙසේ හටගත් ස්පර්ශය නිසා අපි රූප විඳිනවා, ශබ්ද, ගඳ සුවඳ, රස, පහස, අරමුණු ආදිය විඳිනවා. මේ ස්පර්ශය නිසා හටගත් වේදනාවට සතර ආකාරයෙන් ම සක්කාය දිට්ඨියෙන් බැඳී ගිය නිසා තමයි සසරේ ගමන් කරන්නේ. අනිත්‍ය ඇස, කන, නාසය, දිව, කය, මනස යන අභ්‍යන්තර ආයතනත්, අනිත්‍ය රූප, ශබ්ද, ගඳ සුවඳ, රස, පහස, අරමුණු යන බාහිර ආයතනත් එකතු වීමෙන් ඇති වන්නේ අනිත්‍ය විඳීමක්. මේ විදිහට වේදනාවේ යථාර්ථය දකින ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා තණ්හාව නමැති දම්වැල කඩා අවිද්‍යාව නමැති කණුව පෙරලා දමන්නට දක්ෂ වෙනවා.

මිරිඟුව වන් සඤ්ඤාව

සඤ්ඤාව යනු හඳුනාගැනීමයි. අපි හඳුනගන්නේ රූප, ශබ්ද, ගඳ සුවඳ, රස, පහස හා අරමුණුයි. මේ හඳුනාගැනීම ඇති වන්නේ ද හේතුවක් නිසායි. හඳුනාගන්නත් හේතුව ස්පර්ශයයි.

* ඇසයි රූපයි සිතයි ස්පර්ශ වීම නිසා අපි රූප හඳුනගන්නවා.
* කනයි ශබ්දයි සිතයි ස්පර්ශ වීම නිසා අපි ශබ්ද හඳුනගන්නවා.
* නාසයයි ගඳ සුවඳයි සිතයි ස්පර්ශ වීම නිසා අපි ගඳ සුවඳ හඳුනගන්නවා.
* දිවයි රසයි සිතයි ස්පර්ශ වීම නිසා අපි රස හඳුනගන්නවා.
* කයයි පහසයි සිතයි ස්පර්ශ වීම නිසා පහස හඳුනගන්නවා.
* සිතයි සිතුවිලියි සිතයි ස්පර්ශ වීම නිසා සිතුවිලි හඳුනගන්නවා.

මේ හඳුනාගන්නා දේට සක්කාය දිට්ඨියෙන් බැඳී යාම නිසායි මේ සංසාර ගමනේ අපිට යන්න වෙන්නේ. මේ විදිහට හඳුනාගැනීමටත් බැඳෙනවා.

1) හඳුනාගැනීම තමා කියලා.
2) හඳුනාගත් දේ තුළින් තමා හැදුනා කියලා.
3) හඳුනාගැනීම තියෙන්නේ තමා තුළයි කියලා.
4) හඳුනාගැනීම තුළ තමන් ඉන්නවා කියලා.

මේ විදිහට අනිත්‍ය ස්පර්ශය නිසා ඇතිවන හඳුනාගැනීම ආත්මයක් ලෙස ගෙන සිටිනා තාක් අපට සසර කතරින් එතෙර වීමට නම් අපහසුයි. ඇත්ත ඇති සැටියෙන් ම අවබෝධ කළහොත් සඤ්ඤාව නැමැති මිරිඟුවෙන් අපටත් නිදහස් වෙන්න අවස්ථාව තියෙනවා.

කෙසෙල් කඳක් වැනි සංඛාර

සංඛාර යනු කර්ම සකස් වීමයි. කර්මය යනුවෙන් අදහස් වන්නේ විපාක පිණිස යමක සකස් වීමයි. විපාක පිණිස කර්ම සකස් කර දෙනු ලබන්නේ චේතනාව විසින්. මේ සංඛාර (නැත්නම් චේතනාව ද) හේතුවක් නිසා සකස් වන ඵලයක්. සංඛාරයට හේතුවන්නේ ස්පර්ශයයි.

* ඇසයි රූපයි සිතයි එකතුවීම තුළින් ස්පර්ශය ඇතිවෙනවා. ඒ තුළින් අපට රූප පේනවා. ඒ පේන රූපයට අනුව චේතනාව ඇති වෙනවා.
* කන, නාසය, දිව, කය, මනස යන අභ්‍යන්තර ආයතන හා ශබ්ද, ගන්ධ, රස, පහස, අරමුණු යන බාහිර ආයතන සමග සිත එකතු වීම නිසා ස්පර්ශය ඇතිවෙනවා. ඒ ස්පර්ශය නිසා තමයි සංඛාර හෙවත් කර්ම සකස්වීම ඇතිවන්නේ, චේතනාව ඇතිවන්නේ.

මේ ස්පර්ශය නිසා හටගත් සංඛාර ගැන අවබෝධයක් නැති අශ්‍රැතවත් පෘථග්ජනයා සංඛාර කෙරෙහිත්

1) සංඛාර තමා කියලා,
2) තමා සැදී තිබෙන්නේ සංඛාරයෙන් කියලා,
3) සංඛාර ඇත්තේ තමා තුළ කියලා,
4) සංඛාර තුළ තමා ඉන්නවා කියලා

වැරදි විදිහට දකිනවා. මේ විදිහට සක්කාය දිට්ඨිය තුළට බැසගෙන මමත්වයෙන් බලන තාක් සංඛාර හෙවත් චේතනාව අවබෝධ කරන්නට බැරිවෙනවා. යම් කලෙක අනිත්‍ය ස්පර්ශය තුළින් අනිත්‍ය වූ සංඛාර ඇතිවන බව දැනගත් විටයි, පිරිසිඳ අවබෝධ වූ විටයි ඒ බන්ධනය ලෙහිලා යන්නේ. නැත්නම් කණුවේ බැඳි බලු පැටියා සේ අවිද්‍යාව නමැති කණුව වටේ සිට සංසාරයේ ගමන් කිරීමට තමයි සිදුවන්නේ. අනිත්‍ය අවබෝධ වූ විට යදම් සිඳ පලා යන්නට අවස්ථාව උදාවේවි.

සොඳුරු විජ්ජාකාරයා

ඊ ළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ විඤ්ඤාණය ගැනයි. විඤ්ඤාණය යනු විශේෂයෙන් දැනගැනීමයි (යමක් සිතින් දැන ගන්නා ස්වභාවය). විඤ්ඤාණය ද හේතූන් නිසා හටගත්, හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වන දෙයක්. විඤ්ඤාණයට හේතු වී ඇත්තේ නාම රූපයි.

ඇසේ, කනේ, දිවේ, නාසයේ, කයේ, සිතේ යන අභ්‍යන්තර ආයතන හයෙහි ම විඤ්ඤාණය හටගන්නවා. රූප, වේදනා, සඤ්ඤා, සංඛාර යන හතරත් සමඟ ම තමයි විඤ්ඤාණය පවතින්නේ. අශ්‍රැතවත් පෘථග්ජනයා

1) විඤ්ඤාණය තමා කියලා,
2) විඤ්ඤාණය තුළින් තමා හැදිලා තියෙනවා කියලා,
3) තමා තුළ විඤ්ඤාණය තියෙනවා කියලා,
4) විඤ්ඤාණය තුළ තමා ඉන්නවා කියලා

ආත්ම දෘෂ්ටියෙන් බැඳෙනවා. එහෙත් එහි ඇත්තේ මායාවක්. එය නාමරූප නිසා හටගෙන ඇති බවත්, නාමරූප නැතිවීමෙන් විඤ්ඤාණය නැති වන බවත් භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාළා. මේ අනිත්‍ය වූ දෙය නිත්‍ය වශයෙන් නොගෙන අනිත්‍ය වශයෙන් ම විනිවිද බැලූ කල එහි අනිත්‍ය අවබෝධ වෙනවා. අනිත්‍ය අවබෝධ වීම තණ්හාව නමැති දම්වැල සිඳ දමන්නට රුකුලක්.

මුළාවෙන් මිදෙන්න

තමන් ලෙස, අනුන් ලෙස සැලකූ අතීතයේ නැතිවී ගිය, අනාගතයේ තවම හට නො ගත්තා වූ, වර්තමානයේ හටගෙන තිබෙන ගොරෝසු වූ, සියුම් වූ, යහපත්, අයහපත්, දුර, ළඟ, යන කාලය හා අවකාශය අතර පවතින රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන පංච උපාදානස්කන්ධයන් නිවැරදිව අවබෝධ කළහොත්, යථාර්ථය විනිවිද දැක්කොත් සක්කාය දිට්ඨියෙන් නිදහස් වෙන්න පුළුවන්.
ඒ තාක් අපිත් මහා ලොකු කණුවක ලොකු දම්වැලකින් බැඳ ඇති පුංචි බල්ලෙකු සේ, අවිද්‍යාව නමැති මහා කණුවේ, තණ්හාව නැමැති විශාල දම්වැලින් සසරට බැඳ දමනු ලැබ සසරේ ම කැරකි කැරකි යාවි. ඒ නිසා අපිටත් විසි ආකාර වූ සක්කාය දිට්ඨියෙන් මිදෙන්න නම් බුදුරජාණන් වහන්සේගේ ධර්මය ම යි වුවමනා. නිතර නිතර ධර්මය ශ්‍රවණය කර, නුවණින් විමසා, සසර දුක් දුරුකරගෙන සැනසීම ලබා මේ සසර කතරින් එතෙර වන්නට අපිත් අදිටන් කර ගනිමු.

(ගද්දුලබද්ධ සූත්‍රය ඇසුරින්)
(මහමෙව්නාව අසපුවාසී ස්වාමීන් වහන්සේනමක් විසින් සම්පාදිතයි.)