හැම අවුරුද්දක ම වැඩියෙන් ම ‘නිදහස’ ගැන කථා කරන කාලයටයි මේ අවුරුද්දෙත් අපි මේ ඇවිත් ඉන්නේ. පූර්ව අපර සන්ධි ගළපාලමින්, සුපුරුදු විදිහට ම, දිනූ නිදහස ගැන බොහෝ දේ බොහෝ තැන්වල බොහෝ දෙනා නොයෙකුත් ආකාරයෙන් ගෙනහැර දක්වන නිසා ආයේ ආයෙමත් අපටත් 1948 වර්ෂයේ පෙබරවාරි හතරවනදා යටත්විජිත භාවයෙන් මිදී අප ලද නිදහස සිහි වනවා. ජාතික කොඩි අහසට නැගෙනවා. නිවසක් නිවසක් ගානේ, ආයතනයක් ආයතනයක් ගානේ, වාහනයක් වාහනයක් ගානේ ලොකුවට, පොඩිවට ලෙලෙන දිලෙන ඒ ජාතික කොඩි දකිද්දිත් අපට දිනූ නිදහස ගැන යාන්තමින් හරි මතක් වෙනවා.

ඒ නිදහස ලබලා අවුරුදු 70යි. පෙබරවාරි හතරවනදා ආසන්න දින කිහිපයේ හැර, හැත්තෑ වියැති ඒ නිදහස ගැන සිහි නොවන තරමට ම නිදහසක් නැති ජීවිත තමයි අපට තියෙන්නේ… ගෙදර වැඩ… රාජකාරි වැඩ… ඡන්ද වැඩ… ඉගෙනීම් වැඩ… යුතුකම්, වගකීම්… ඒ මදිවට රටේ තොටේ ප්‍රශ්නවලටත් අති සංවේදී මැදිහත්වීම්… ටෙලිනාට්‍යයේ ප්‍රශ්නවලටත් අපෙන් උත්තර… අපේ කර ගත්ත අනුන්ගේ ප්‍රශ්න… ආවේග… නොහොඳ නෝක්කාඩු… අසනීප, දුක් කම්කටොලු… කොච්චර නම් දේවල් අපට තියෙනව ද? ඉතින්… නිදහසට හැත්තෑවක් වුණාට, හැත්තෑවක් නැති අපි අති බහුතරයකට නිදහසක් නෑ… විවේකයක් නෑ… සන්සිඳීමක් නෑ… අපි, නිදහස් යැයි කියන රටක, නිදහසක් නැති පුරවැසියන් පිරිසක්…

‘නිදහසක් නෑ’ කියලා, ‘නිදහස ඕනේ’ කියලා, අපි අපේ නිදහස නැති කරන කටයුතු මොනවා හරි එදිනෙදා කාලසටහනින් කපා හැරලත් නෑ. අපි කපා හැරියා නම් කපා හැරපු දේ තමයි, දවසේ බුද්ධ වන්දනාව… පොහොය උපෝසථය… සතියකට වරක්වත් පන්සලට, විහාරයට, බෝධීන් වහන්සේ සමීපයට ගිහින් වන්දනා කිරීම… සංඝයා වහන්සේලා මුණගැසීම… ඒ දේවල් හැර, ‘නිදහස නෑ’ කියලා අපි අනුන්ගේ දේවල් කථා කිරීම නතර කරලා නෑ… ටෙලිනාට්‍ය, ක්‍රිකට් මැච් බැලීම නතර කරලා නෑ… දිගු වෙලාවක් දුරකථනයේ, පරිගණකයේ එල්ලිලා ඉන්න එක නතර කරලා නෑ… හීන මව මව හිත හිතා ඉන්න එක නතර කරලා නෑ… අත්හදා බල බල, ඕනෑ තරම් වෙලාව අරගෙන රසවත් කෑම බීම හදන එක නතර කරලා නෑ… විනෝද ගමන්, සාප්පු සවාරි නතර කරලා නෑ… ඒ මොනවත් නැති නම් පැය ගණන් ඔහේ නිදා ගන්න එක… ඒක නතර කරලත් නෑ…! ඒ සියල්ල ම එක්ක අපි අමුතු ම නිදහසක් හොයනවා ධර්මයේ හැසිරීම පිණිස…

එක්කෙනෙක් දෙන්නෙක් නෙමෙයි; බොහෝ දෙනෙක් බලන්නේ නිදහස් වෙලා, විවේකය හොයාගෙන, ධර්මයේ හැසිරෙන්න අවස්ථාවන්. දවස ගත වෙද්දි එහෙම අවස්ථාවන් එකක්වත් නැති වන දවස් තමයි ජීවිතයේ වැඩිපුර ම ගෙවිලා යන්නේ. ධර්මයේ හැසිරෙන්න අපට නිදහස, විවේකය නැති වුණා කියලා කාලය නැවතෙන්නේ නෑ. රැය පහන් නොවී තියෙන්නේ නෑ. ආයුෂය නො ගෙවී තියෙන්නේ නෑ. ජීවත් වෙන්න තියෙන කාලය වේගයෙන් අහිමි වෙවී යනවා… සම්බුද්ධ රාජ්‍යයක් ජීවමාන යුගයක, ඒ උතුම් ධර්මය විවෘත ව තිබෙන පතිරූප දේශයක, දුර්ලභ මිනිසත් බව ලබලා ඉපදුණ අපි දහමේ හැසිරෙන්න නිදහසක් නැතිව, අවිවේකී ව ජීවිතය ගෙවා දමලා මියැදෙනවා. ඊට පස්සේ…

‘වැඩ කටයුතු බහුල නිසා ධර්මය පුරුදු කරන්න බැරි වුණා නෙව, තව අවස්ථාවක් දීලා වැඩ කටයුතු අඩු විදිහට උපද්දවලා ධර්මය පුරුදු කරන්න පසුබිමක් හදලා දෙන්න ඕන…’ කියලා අප ව මෙහෙයවන ලෝකපාලක බලවේගයක් නෑ. රැස් කර ගත්ත දේවල් වියදම් කරන්න පුළුවන් තැනක, කර්මානුරූප ව අපි උපදිනවා… ඒ තැන සතර අපාය වෙන්න තියෙන ඉඩ ම තමයි වැඩි… අතිශයින් දුර්ලභ ව ලැබුණ මහානීය උරුමයක් තුළ කළ යුත්ත කරන්නට අමුතු නිදහසක් හමුවන තුරු බලා සිටීම විසින් අප ව ආයෙමත් ඒ ආකාරයෙන් සසර අනතුරේ ගිල්වා දමනවා.

ඉතින්… සතර අපායෙන්වත් නිදහස් නො වුණ අපි…. මානුෂීය වූත්, දිව්‍ය ම ය වූත් බන්ධන කොහොම ඉක්මවා යන්න ද?

විවේකයක් හමුවන තුරු කල් මර මරා හිඳලා මේ දේ කර ගන්න පුළුවනි නම්, ‘හිස ගිනි ගත්තෙකු ඒ ගින්න නිවා ගන්නට කලින් මහන්සි විය යුත්තේ චතුරාර්ය සත්‍යය අවබෝධ කර ගැනීම වෙනුවෙන්’ කියා භාග්‍යවතුන් වහන්සේ වදාරන්නේ නැහැ. ඔහේ ගෙවී යන්නට ඉඩ දී බලා සිටිය හැකි කාලයක් අප සතුව නැහැ. මොහොතින් මොහොත අපි ආයුෂයෙන් පිරිහෙනවා. වර්ණයෙන්, සැපයෙන්, බලයෙන් පිරිහෙනවා. අදට වඩා ජරපත් කයක් තමයි අද රැය ගෙවෙද්දී අපට දකින්න තිබෙන්නේ. ජරපත් කයක් පමණක් නොවෙයි, අතිශය කාර්යබහුලතාවයන් හමුවේ විඩාපත් සිතකුත් අපට තිබෙනවා. ඒ ජරපත් කයත්, විඩාපත් සිතත් අපට එක තැනක හිඳගෙන බණක් භාවනාවක් සිදු කර ගන්න උපකාර කරයි කියා ඔබට සිතෙනවා ද? එය කෙසේවත් සිදුවන්නේ නෑ. එහෙම නම්, මේ දේ කර ගන්න තියෙන්නේ විවේකයක් හොයාගෙන, නිදහස් වෙලාවක් හොයාගෙන, වැඩ අඩු වෙලාවක් හොයාගෙන නෙමෙයි… දැන් දැන් ම මේ දේ කරන්න ගත්තොත් අපට සැබෑ විවේකය, සැබෑ නිදහස සොයා ගන්න පුළුවනි…

මොකක්ද මේ කරන්න කියන්නේ? කල් නොයවා ධර්මය පුරුදු කිරීම යි. මේ උතුම් ධර්මය මෙලොවත්, පරලොවත් ඒකාන්ත යහපත පිණිස පවතින්නක්. භාග්‍යවතුන් වහන්සේ තමයි බොහෝ ජනයාගේ හිතසුව පිණිස, දෙවි මිනිසුන්ගේ යහපත පිණිස, ලෝකානුකම්පාවෙන් යුතුව පිළිවෙතෙහි පිළිපන් අනුත්තරීය ශාස්තෘන් වහන්සේ. සැක රහිත ව දහම් දෙසූ ඒ ශාස්තෘන් වහන්සේගේ ධර්මය අප ව සතර අපායෙන් නිදහස් කරවනවා. මානූෂීය වූ සියලු බන්ධනයන්ගෙන් නිදහස් කරවනවා. දිව්‍යමය වූ සියලු බන්ධනයන්ගෙන් නිදහස් කරවනවා. බ්‍රහ්ම ලෝකයෙන් නිදහස් කරවනවා. සැකයෙන් නිදහස් කරවනවා. සසරින් නිදහස් කරවනවා. ප්‍රශ්න සහමුලින් ම අවසන් කරවනවා…!

හැබැයි… ඒ ධර්මය ඇදහිල්ලක් නෙවෙයි… කථන මාත්‍රයකුත් නෙවෙයි. සම්පූර්ණයෙන් ම ප්‍රතිපදාවක්. මැනැවින් පෝෂණය කරමින් පුරුදු පුහුණු කළ යුතු අති සුන්දර ප්‍රතිපදාවක්…! එය පුරුදු පුහුණු කරන්නට වෙන ම තැනක්, වෙන ම වෙලාවක්, වෙන ම මුහුර්තයක් නෑ. මෙය ම යි තැන… මෙය ම යි වෙලාව… මෙය ම යි මුහුර්තය… අපට ඒ උතුම් ශ්‍රී සද්ධර්මය මැනැවින් විවර ව තිබෙනවා. ජරා මරණ දුකින් සහමුලින් වෙලා ගත් සසර ඉක්මවා යාම පිණිස අවවාද අනුශාසනා කරනු ලබන බුද්ධ පුත්‍රයාණන් වහන්සේලා අපට මුණගැසී තිබෙනවා. තවත් මොනව ද වුවමනා? වෙලාව…! ගත වන හැම වෙලාව ම ඒ ධර්ම ප්‍රතිපදාවේ යෙදෙන්න වෙලාවක් ම යි.

අම්මාට ගෞරවයෙන් සැලකීම ඒ ප්‍රතිපදාවට අයිතියි. තාත්තාට ගෞරවයෙන් සැලකීම ඒ ප්‍රතිපදාවට අයිතියි. ගුරුවරුන්ට, වැඩිහිටියන්ට, ස්වාමියාට, භාර්යාවට ගෞරවයෙන් සැලකීම ඒ ප්‍රතිපදාවට අයිතියි.

කළගුණ දන්නා බව, කළගුණ සිහි කරනා බව යන සත්පුරුෂ භූමියේ පිහිටමින් මේ ආකාරයෙන් ගුණයෙන් වැඩෙද්දී මෝරා යන්නේ සාංසාරික පින. බුද්ධ ශාසනයක සිදුවන මේ මෝරා යාම කිසිසේත් ම අපතේ යන්නේ නැහැ. ධර්ම මාර්ගයේ අභිවෘද්ධියට පත් වීම පිණිස යි මේ පරම දුර්ලභ අවස්ථාව අපට උදා වූයේ. ඉදින්… නිදහසක් සොයාගෙන අවසානයේ බුද්ධ ශාසනයේ කළ යුත්ත කර ගන්නට පමා වී අනතුරේ නො වැටී, නොපමාව මේ බුද්ධ ශාසනයේ ගුණයෙන්, පිනෙන් වැඩෙමින් කළ යුත්ත කරගෙන ජරා, මරණ ඉක්මවූ සැබෑ නිදහස කරා පිය නැගීම නො වේ ද අපට ජීවිත ඉලක්කය විය යුත්තේ…!

සටහන – උදුලා පද්මාවතී