ලිඛිත සාධක අනුව අවුරුදු දෙදහස් පන්සියයකට අධික සභ්‍යත්වයකට උරුමකම් කියන ලෝක ජාතීන් අතලොස්ස අතර සිංහල ජාතියට හිමිවන්නේ ප්‍රමුඛ ස්ථානයකි. මෑත අතීතයේ සිදුකරන ලද පුරා විද්‍යාත්මක කැණීම් හා තවදුරටත් කරනු ලබන භූගර්භ පර්යේෂණයන් අනුව අවුරුදු දස දහස් ගණනක දුරාතීතයට ලාංකේය ශිෂ්ටාචාරය දිවෙන බව තහවුරු කොටගෙන තිබේ. මෙම ගවේෂණයන් මගින් අතීත බුද්ධෝත්පාද කාලයක් දක්වා පැතිර යන පින්බිමක මහරු බව අනාගතය විසින් අනාවරණය කරනු ලබනු ඇත.
අනුරාධපුරයේ ඇතුළු නුවර පුරාවිද්‍යාත්මක කැණීම්වලින් හෙළිවී ඇත්තේ ව්‍යවහාර වර්ෂ පූර්ව 10 වන සියවසට අයත් අයන යුගයේ ජනාවාස එහි පැවත තිබූ බවයි. මීට අවුරුදු තුන් දහසකට පෙර අනුරාධපුරයේ ජීවත් වූ ජනයා බ්‍රාහ්මී අක්ෂරවලට සමාන අකුරු වර්ගයක් භාවිත කළ බවට සාධක ලැබී ඇත. එම අක්ෂර ඉන්දු ආර්ය භාෂාවකට නෑකම් කියන බව ද පැවසේ. බුදුරජාණන් වහන්සේ වැඩ විසුවේ ව්‍යවහාර වර්ෂ පූර්ව 623 සිට 543 දක්වා ය. ඊට සියවස් තුනකට පෙරත් ලක්දිව ඉන්දු ආර්ය ජනාවාස තිබී ඇත. යක්ෂ, නාග, රාක්ෂ ආදී ගෝත්‍රික ජන කොටස් ද සමුද්‍රාසන්න හා කඳුකර ප්‍රදේශවල වාසය කොට ඇති බැව් පිළිගැනේ.

ව්‍යවහාර වර්ෂ පූර්ව හයවැනි සියවසේ සිට සිංහල ද්වීපයේ රාජාවලියට අයත් පළමු රජු ලෙස මහාවංශය හඳුන්වන්නේ විජය යි. භාරතීය හා වෙනත් මූලාශ්‍රයන්ට අනුව ඔහුගේ නම සිංහල ලෙස දැක්වේ. මහාවංශ ටීකාව වන වංසත්ථප්ප්‍රකාසිනිය ද ඔහු හඳුන්වන්නේ සිංහල ලෙසයි. කෙසේ හැඳින්වුව ද සිංහල රාජ්‍යයක් ලංකාද්වීපයේ පිහිටුවීමේ දී මුල් වී ඇත්තේ ශාක්‍යයන් ය. සුද්ධෝදන රජතුමන්ගේ මලණුවන් වූ අමිතෝදන ශාක්‍යගේ පුතා වූයේ පණ්ඩුශාක්‍ය හෙවත් පණ්ඩුසක්ක ය. ඔහු තම මවුබිමත්, ශාක්‍ය වංශයත් කෝසල රාජ්‍යයේ විඩූඪභ අතින් විනාශ වී යන බව සැලවී කපිලවස්තුව අත්හැර තම පිරිස් සමග ගංගා නදියෙන් එතෙරව එහි රාජධානියක් කරවා තම පවුල හා අනික් ශාක්‍ය වංශික පිරිස සමග එහි සිට පාලනය ගෙන ගියේ ය. පණ්ඩුසක්කගේ දියණියක වූ භද්දකච්චායනා කුමරිය සිය සොහොයුරන් හයදෙනා සහ පරිවාර පිරිස සමඟ ලක්බිමට සැපත්ව විජය හෙවත් සිංහලගේ ඇවෑමෙන් ලක්දිව රජකමට පත්ව සිටි සුමිත්තගේ පුත් පණ්ඩුවාසදේවගේ බිසොව බවට පත් වූවා ය. ඇගේ සහෝදරයන් හය දෙනා ලක්දිව විවිධ ප්‍රදේශවල ජනපද පිහිටුවාගෙන ප්‍රාන්ත පාලකයින් වශයෙන් කටයුතු කළහ.

පණ්ඩුවාසදේව රජුට දාව භද්දකච්චායනා බිසොව කුසින් උපන් චිත්තා කුමරිය ආවාහ වූයේ ශාක්‍ය වංශික දීඝගාමිණී සමඟ ය. ඔවුන්ට දාව උපන් පුත් කුමරා පණ්ඩුකාභය විය. ශාක්‍ය වංශිකයෙකු වූ පණ්ඩුකාභය රජුගේ නමේ මුල් කොටස වන පණ්ඩු යන්න, ඔහුගේ මුත්තණුවන් වූ පණ්ඩුවාසදේවට ද මී මුත්තණුවන් වූ පණ්ඩුශාක්‍යට ද තිබුණි. ශාක්‍ය වංශිකයන් විසින් අනුගමනය කරන ලද උභයකුල පාරිශුද්ධතාව ඔවුන්ගේ පෙළපතේ සියලු දෙනාම රැකගෙන තිබුණි. ප්‍රාරම්භක ආර්ය රජ පෙළපත, පූජාවලිය ග්‍රන්ථයේ හැඳින්වෙන්නේ මහාවංශය නමිනි. ඔවුන් සැමදෙනා මහාසම්මත රජ පෙළපතට අයත් නිසාත්, උභයකුල පාරිශුද්ධ නිසාත්, ආනන්තරීය පාපකර්මවලට අයත් අය නො වූ නිසාත් පූජාවලිය එසේ හඳුන්වන්නට ඇත. කෙසේ වුව ද ලක්දිව තිරසර ලෙස මුල්බැස ගත් රාජ්‍ය තන්ත්‍රයක් පිහිටුවීමේ පුරෝගාමියා වූයේ පණ්ඩුකාභය රජතුමා ය. ශාක්‍ය වංශිකයන් උපතින් ම කෘෂකයන් වීම නිසා ගොවිතැනට මුල් තැන දෙන රාජ්‍ය පාලන තන්ත්‍රයක් පණ්ඩුකාභය රජුගෙන් පසුව මේ රටේ බිහි විය.

රටේ ජනකායත්, පාලක පැලැන්තියත් එක්තැන් කරන ජනසම්මතවාදී පාලනයක් අතීත යුගයේ බිහිවූවා නම් ඒ ලක්දිව යයි සිතමි. මහගත්කරු මාර්ටින් වික්‍රමසිංහ එය හැඳින්වූයේ ‘වැවෙන් උපන් සිංහල සභ්‍යත්වය’ යනුවෙනි. වික්‍රමසිංහයන්ගේ ‘මානව විද්‍යාව හා සිංහල සංස්කෘතිය’ නමැති පොතෙහි දැක්වෙන එම ලිපියෙහි එන පහත කියුම අපේ සභ්‍යත්වයෙහි මහරු බව පළ කරන්නකි.

“ස්වාධීන සිංහල සංස්කෘතියක පටන් ගැන්මට හේතුවුණ මුල් බිජුවට ලංකාවේ සිටුවන ලද්දේ විජය විසින් නොව පළමුවන වැව තැනවූ පණ්ඩුකාභය රජු විසිනි. සිංහලයා පොදු ජනකායක් නොහොත් එක ම කාරියක් උදෙසා එක ම අදහසකින් බඳිනු ලැබූ ජනකායක් ලෙස පළමුව සෑදුණේ වැව කැණීමත්, වී ගොවිතැනත් නිසා ය. සිංහලයන්ගේ ස්වාධීනත්වයටත්, ශක්තියටත් දෙස් කියන කර්මාන්තයන් අතර වැව් හා වී ගොවිතැන පළමුවන තැන ගනී.”

මෙසේ ඇරඹුණ සිංහල සභ්‍යත්වය ඉන් අවුරුදු දෙසීයකට පසු මනුෂ්‍ය වර්ගයා පමණක් නොව සිවුපාවා ඇතුළු සකලවිධ පරිසරය බුදු දහමින් පෝෂණය ලැබී සමෘද්ධ වීම තිරසර වූයේ මිහිඳු මහරහතන් වහන්සේ විසින් දේවානම්පියතිස්ස රජතුමාට පැහැදිලි කොට වදාළ පහත දැක්වෙන අනුශාසනයෙන් පසුව ය.

“මහරජ ඔබ වූ කලී, මිනිසා සතා ගහකොළ ඇතුළු මේ ලංකා පොළෝ තලයේ අයිතිකරුවා නොව ආරක්ෂකයා ය. ඒ හැම පෝෂණය කොට රැකබලා ගැනීම ඔබගේ පරම යුතුකම වන්නේ ය.”

බුදුරජාණන් වහන්සේගේ උතුම් දහමේ පහසින් තෙමුණ හදකින් ගලාගිය මේ අනුශාසනය, සිරිලක්දිව පහළ වන පාලකයින් විසින් අනුගමනය කළ යුතු සනාතනික උපදේශන පාඨයක් වූයේ ය. එදා සිට අද වනතුරු මෙරට පාලකයන් විසින් අනුගමනය කරනු ලබන එම උපදේශය ලක්දෙරණ පවත්නා තාක් කල් පරිසරයේ හිතසුව පිණිස ම බලපවත්වනු ඇත.

ක්ෂත්‍රිය පෙළපතකින් ආරම්භ වුණ ශ්‍රී ලංකාවේ රාජ්‍ය පාලනය බුදු දහමේ ඉගැන්වීම්වලින් ඉඳුරා ම පෝෂණය විය. රාජ්‍ය පාලකයෝ බුදු දහමේ ආරක්ෂකයෝ වූහ. රජවරු කිහිප අවස්ථාවක දී ම ලංකා රාජ්‍යය සම්බුද්ධ ශාසනයට පූජා කළහ. දේවානම්පියතිස්ස රජතුමා මහාමේඝ උයන මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ සඟරුවනට පූජා කළේ තෙමේ ම නගුල අතට ගෙන බිම් සීමා සලකුණු කිරීමෙනි. රජතුමා බණ ඇසුවේ බිම අතුල පැදුරු මත පොදු ජනයා සමඟ එකට හිඳගෙන ය. මිහින්තලේ කළුදිය පොකුණ අසබඩ කළුවර රැයක කළු බුද්ධරක්ඛිත ස්වාමීන් වහන්සේ කාලකාරාම සූත්‍රය දේශනා කරන අතරතුර එහි පැමිණි සද්ධාතිස්ස රජතුමා ශ්‍රාවක ජනයා පිටුපසට වී දේශනාවසානය දක්වා සිටගෙන ම සවන් දී සිටි බව කියැවේ. එසේ ම එතුමා වරෙක රාජ්‍ය අරමුදලින් නොව තම ශ්‍රමයෙන් ම උපයාගත් ධනයෙන් දානයක් පිරිනැමීමට අදහස් කොට අප්‍රසිද්ධ වේශයෙන් මාලිගාවෙන් පිටවී ගොස් අස්වනු නෙළීමකට සහභාගී වී එහි කුලිය වශයෙන් ලද වී රැගෙන ගොස් බිසොව සමග එක්වී ධාන්‍ය කොටා සහල් නිපදවා බතක් උයා එයින් රහතන් වහන්සේට පූජා කළ බව පැරණි සාහිත්‍ය මූලාශ්‍රයන්හි සඳහන් වෙයි. දුටුගැමුණු රජතුමා යුදයට යන අවස්ථාවේ දී පවා ආහාර අනුභව කිරීමට පෙර කාලඝෝෂා පවත්වා සංඝයා වහන්සේ වැඩමවා දානය පිරිනැමීමෙන් අනතුරුව වැළඳූ බව වංශකථා ඇතුළු සාහිත්‍ය මූලාශ්‍ර සාධක එළවයි. සංඝයා වහන්සේට පූජා නොකොට මිරිස් ව්‍යංජනයක් අනුභව කිරීමේ දොසින් මිදීම සඳහා ඒ රජු මිරිසවැටිය සෑය කරවූ බව මහාවංශය කියයි.

මුළු මහත් රාජ්‍යත්වය ම ගොඩනැංවී තිබුණේ බෞද්ධාගමික සංකල්ප පදනම් කොටගෙන ය. ගාමිණී, සද්ධාතිස්ස, සංඝබෝධි, බුද්ධදාස, අභය, ධාතුසේන, කස්සප, මේඝවණ්ණ, අග්ගබෝධි ආදී රාජකීය නාමයන්හි සම්භවය සිදු වූයේ ද බෞද්ධ සම්ප්‍රදායේ ගුණසුවඳ හා මුසුව ය. ජනතාවට හිතැති මේ පැරණි රාජ්‍ය පාලකයෝ ගැමි නායකයෝ වූහ. ඔවුන් අනුගමනය කළේ බුදුරජාණන් වහන්සේගේ පැසසුමට බඳුන් වූ ජනසම්මතවාදී පාලන ක්‍රමය යි. ලිච්ඡවී රජ දරුවන්ගේ නිදහස්කාමී ජනරජ පාලනය උන්වහන්සේ අගය කළ බව මහා පරිනිර්වාණ සූත්‍රයෙහි දැක්වෙයි.

මෙසේ ශාක්‍ය වංශිකයන්ගෙන් ම පැවත ආ ලක්දිව ප්‍රථම ආර්ය රජ පෙළපත විජයගේ සිට යසලාලක තිස්ස දක්වා ශාක්‍ය වංශික රජවරු තිස් එක් දෙනෙක් ලෙස අවුරුදු හයසියයකට අධික කාලයක් අනුරාධපුර රාජ්‍යය අඛණ්ඩව පාලනය කළහ. ඒ යුගය රහතන් වහන්සේලාගෙන් ලක්දිව පිරී පැවති සමය යි.

කීර්තිමත් රජ පරපුරකින් ඇරඹි ජනසම්මතවාදී පාලනයකට මේ රටේ මුලපුරන ලද්දේ බුදුසමයේ ඉගැන්වීම්වලින් ලැබුණු උසස් සංවිධානාත්මක ජීවන ක්‍රමයක ඵල වශයෙනි. වසර සියයක් වැනි කෙටි කාලයක් තුළ දී මේ මුළු දිවයින ම එක්සේසත් කොට එක ධජයක් යටතට පමුණුවාලීමේ ප්‍රධාන ම බලවේගය වූයේ බුදුසමයයි. එසේ ම දේශපාලනික සාමාජික හා ආගමික සංස්ථා බිහිවී සමාජයට පිරිමසින සවිමත් ආර්ථික පදනමක් ක්‍රමවත්ව සංවිධානය කිරීමට ද බුදුසමයෙන් ලද අනුබලය විශිෂ්ට වෙයි. අතීතයේ ලොව කිසිදු රටක නිර්මාණය නොවුණ වාරි තාක්ෂණය (අපරදිග මෙය ඇතිවූයේ මීට අවුරුදු දෙසීයකට පෙර ය) වාස්තු විද්‍යාත්මක කලා ශිල්පීය නිපුණතාව, සංස්කෘතික හා අධ්‍යාපනික දියුණුව, භාෂා සාහිත්‍යමය ප්‍රබෝධය ආදිය අනුරාධපුර රාජධානිය කේන්ද්‍ර කොටගෙන ඇති විය. ලොව කිසිදු රටක අනුකරණයක් බවට පත් නො වී ස්වතන්ත්‍ර දේශජ මුහුණුවර පිළිබිඹු කරන ලාංකේය අනන්‍යතාව, එදවස බිහිවූ විශිෂ්ට නිර්මාණයන්ට පිවිසියේ ස්වාධීන බෞද්ධ සම්ප්‍රදායේ ආස්වාදය නිසා ය. සිංහල කලාකරුවා අතින් නිමැවුණු අනුරාධපුර මහමෙව්නාවේ සමාධි ප්‍රතිමාව ඊට නිදසුනක් සේ ඉදිරිපත් කිරීම ප්‍රමාණවත් යැයි සිතමි. එය වූ කලී නිවුන් මුහුණුවර පිළිබිඹු කොට දක්වන ලොව විශිෂ්ටතම මූර්තිය ලෙස විදේශීය කලා විචාකරයන්ගේ පැසසුමට ලක්වූ එක ම බුද්ධ ප්‍රතිමාව යි.

ශ්‍රී ලංකාවට ආවේණික වූ වාස්තු විද්‍යාත්මක ශිල්ප සම්ප්‍රදායක් අනුරාධපුර යුගයේ බිහිව තිබූ අයුරු සමකාලීන භාරතීය ආරාම සංකීර්ණ, ගොඩනැගිලි නටඹුන් හා සසඳන විට පෙනී යයි. රාජකීය ගොඩනැගිලිවලට වඩා වෙනස් පූජනීය ශෛලියකින් යුතු ඉදිකිරීම් විහාරාම සඳහා යොදාගෙන තිබුණ අයුරු සෙල්මුවා සැලසුම් ආකෘතිවලින් අනාවරණය වෙයි. එම විහාරාරාම ගොඩනැගිලි ඉදිකරන ලද්දේ තෘෂ්ණාව වැඩී යන අයුරින් නොව වීතරාගී හැඟුම් දනවන අයුරිනි. අලංකාර මහ මැදුරක ඉදිරිපස මූර්තිමත් කරන ආකාරයක් ආවාසයක කෙසකිළි ගලේ නිරූපණය කරන ලද්දේ මෙලොව කම්සැපය වීතරාගීන් වහන්සේලා බැහැර කළ බව හැඟවීමට ය. මෙබඳු නිර්මාණයක් ලොව කවර ම රටකවත් දක්නට නැත.
විහාරාරාම ඉදිකිරීමත්, රජ පවුලට සම්බන්ධ කුමර කුමරියන් සසුන්ගත කිරීමත් රජුගේ මෙහෙයවීම මත සිදු වීම නිසා රාජ්‍ය තන්ත්‍රය හා ආගම අතර සබඳතාව දැඩි විය. ඒ අනුව බුදුසමය, සිංහල ජාතියේ උරුමය ලෙසත්, ජාතික ආගම ලෙසත් තහවුරු විය. මෙම ප්‍රබල බන්ධනය හේතු කොටගෙන සෑම රජකෙනෙකු ම සම්බුද්ධ ශාසනයේ දියුණුවට අනුග්‍රහය දැක්වූවා පමණක් නොව වෙහෙර විහාර නඩත්තු කිරීම ද නොපිරිහෙලා ඉටුකිරීම සම්ප්‍රදායක් බවට පත් විය. එළාර රජුගේ සිට මහනුවර කන්ද උඩරට රාජ්‍ය උරුමය ලබාගත් දකුණු ඉන්දීය මලබාර් නායක්කර් රාජවංශය දක්වා වරින්වර මෙරට රාජ්‍ය පදවියට පත් ද්‍රවිඩ රජවරුන් පවා බුදුසමය රාජ්‍ය ආගම ලෙස සැලකීමේ හා එහි දියුණුවට අනුග්‍රහය දැක්වීමේ සම්ප්‍රදාය නොපිරිහෙලා ඉටුකිරීම මගින් පෙනී යන්නේ සිංහල රාජ්‍ය හා බුදුදහම අතර පවත්නා අවියෝජනීය සබඳතාව යි. මෙම සබඳතාව බිඳවැටුණු හැම කාලයක දී ම රාජ්‍ය පාලනය දුර්වල වී ගිය බවත්, බුදු සසුනේ දියුණුවට බාධක එල්ල වී ජනතාව අධ්‍යාත්මක ශක්තියෙන් පිරිහී ගිය බවත් ඉතිහාසය විමර්ශනය කරන විට පෙනී යන්නේ ය.

සටහන – දයාපාල ජයනෙත්ති