තාක්ෂණික භාවිතයන් තුළ පහසුව සොයා යාම බහුල වූ නූතන ලෝකය වෙත කලින් කල පැමිණෙන නොයෙක් මාදිලිවල ප්‍රවණතා අපට දැක ගන්නට ලැබේ. විසි එක්වන සියවසේ සමාරම්භය වන විට ස්මාර්ට් දුරකථන සහ ටැබ් යන්ත්‍ර මෙතරම් සුලබ වන යුගයක් දශක දෙකක් ඉක්ම යන්නට පෙර එළඹේ යැයි කියා සිතන්නට කිසිදු ඉඩක් නො වුණ තරම් ය. එහෙත්, නූතන අධිවේගී තාක්ෂණික භාවිතය තුළ අපට පාලනය කරන්නට නො හැකි තරමේ බලපෑම් අප වෙත එල්ල වී තිබේ.

සමාජ මාධ්‍ය ජාලයන්ගේ අවභාවිතයන් ගැන නොයෙක් අවස්ථාවල අපි අසා ඇත්තෙමු. ඒ නිසාවෙන් සිදු වූ යම් මරණ ප්‍රමාණයක් ද වාර්තා වී තිබේ. ඒ ආකාරයෙන් සිදු වූ මරණ හමුවේ හුදු සංවේගයට පත් වීමෙන් නොනැවතී යම් නියාමනයක් සිදු කිරීමට නොපෙළඹීමේ දෝෂය බරපතළ ආදීනව සමාජය වෙත මුදා හැර තිබෙන බව පසුගියදා අසන්නට ලැබුණ පුවතකින් තහවුරු විය. එපුවත පුද්ගල මානසික ස්වභාවය ග්‍රහණයට ගෙන ‘අභියෝග ජය ගන්නා’ මුහුණුවරකින් යුතුව ක්‍රියාත්මක වන Blue Whale නම් වූ අන්තර්ජාල ක්‍රීඩාවක් ගැන ය. මෙම ක්‍රීඩාව අවසානයේ තරඟකරුවාගේ සිත සියදිවි හානි කර ගන්නා තැනට පත් කරවයි. මේ අභියෝග ජය ගැනීම භාරගෙන මානසික වහල් භාවයට පැමිණීම නිසා සිදු වූ සියදිවි නසාගැනීම් 150ක් පමණ මේ වන විට වාර්තා වී තිබේ.

මෙහි ඇති ව්‍යසනකාරී බව නිසා අත්අඩංගුවට ගනු ලැබුණු මෙම තරඟයේ නිර්මාතෘවරයා පවසා තිබුණේ මානසික වහල් බවට පැමිණෙන බෙලහීනයන් යනු සමාජයෙන් ඉවත් විය යුතු කොටසක් බවයි. එසේ සමාජයෙන් ඉවත් වීම තමන් විසින් ම සිදු කර ගන්නා ස්වභාවයට ඔවුන් ගෙන ඒම විශාල සමාජයීය මෙහෙවරක් ලෙස ඔහු විසින් දක්වා තිබුණි. එකරුණ සාධාරණීකරණය කරන්නට අද හෙට ම තවත් පිරිස් එක්වනු ඇත. ඉතින්, ලෝකය මේ තල්ලු වන්නේ කොතැනට ද?

කවර තැනක අප උපන්න ද ලැබෙන්නේ ඇස කන නාසය දිව කය මනස යන ආයතනයන් බව බුදුරජාණන් වහන්සේ වදහළ සේක. රූප, ශබ්ද, ගන්ධ, රස, පහස යන එකිනෙකට වෙනස් ගොදුරු බිම් සහිත පසිඳුරනට ඇති රැකවරණය මනස බව ද උන්වහන්සේ පෙන්වා දුන් සේක. නූතන ලෝකය අකුසලයට නම්මවමින් මේ පහර දෙන්නේ ඒ රැකවලාට ය. රැකවලාට පහර වැදුනු කල්හි අනෙකුන්ගේ කවර සුරක්ෂිත බවක් ද? එසේ නම් අප කළ යුත්තේ රැකවලාට රැකවරණය සැලසීම නො වේ ද?

මනසට ඇති රැකවරණය සිහිය බව ලොවට හෙළි කළේ ද සම්බුදුරජාණන් වහන්සේ ය. ඒ රැකවරණය නොලබන තාක් කල් කලින් කල පැමිණෙන මෙවැනි ව්‍යසනයන්ගේ ගොදුරු බවට අප පත් වීම වැළැක්විය නොහේ. පිය උරුමය තුළ පිහිටමින් තමාට තමන් පිහිට පිළිසරණ කර ගන්නා ලෙසත්, තමන්ට ධර්මය ම පිහිට පිළිසරණ කර ගන්නා ලෙසත් අපගේ ශාස්තෘන් වහන්සේ නිරන්තරයෙන් අපට අවවාද කරන ලද්දේ අපගේ යහපත, හිතසුව කැමැති වූ මහා කාරුණික සිතින් ම ය.

සිත වැඩිය යුත්තක් බවත්, සිහිය දියුණු කළ යුත්තක් බවත් මෙතරම් පැහැදිලි ලෙස කියා දෙන වෙනත් දහමක් ලොව නැත. වඩන ලද සිතත්, දියුණු කරන ලද සිහියත් පාපී මාරයාගේ වසඟයෙන් නිදහස් ව කෙලෙස් හුයෙන් පහර කෑමෙන් ගැලවී සිටින ඉඩප්‍රස්තාව විවර කර දෙනු ලබයි. සම්බුදු මුව මඬලින් දේශිත සද්ධර්ම ප්‍රතිපදාව ම මිස එසේ රැකෙන්නට අන් මඟක් නම් ලෝකයට නැත්තේ ය. පිය උරුමය වූ සතර සතිපට්ඨානයේ රැඳෙන්නෝ ම පමණක් මේ උගුලෙන් ගැලවී එතෙර වන්නෝ ය.