highlights of the week
Home » NEW ARTICLES » කොළොම් තොටින් නැව් නැඟි අපේ රටේ මනුස්සකම…..

කොළොම් තොටින් නැව් නැඟි අපේ රටේ මනුස්සකම…..

ඒ, කොළඹ සිට මහනුවර බලා ඇදෙන සුඛෝපභෝගී බස් රථයක්. රියදුරු මහතා සහ කොන්දොස්තර මහතා අතර ඇතිවුණු කතාබහ අනුව බස් රථයේ හිමිකරු රියදුරු මහතා ම බවයි පෙනෙන්නට තිබුණේ. බස් රථය මඟීන්ගෙන් පිරී ගොස් තිබුණු අතර මමත් මගේ පියාත් බසයට ගොඩ වී ඉඩක් නොදුටු නිසා බසින්නට සූදානම් වන විට රියදුරු මහතාට යාබද අසුන් දෙකේ අපට වාඩි විය හැකි බව කොන්දොස්තර මහතා පැවසූ නිසාත්, රෑ බෝ වෙමින් පැවති නිසාත් අකැමැත්තෙන් වුවත් අපි දෙදෙනා එතැන වාඩි වුණා.

බසය වේගයෙන් වෙට්ටු දමමින් ඇදෙන විට අප දෙදෙනාගේ පමණක් නොව බසයේ සිටි බොහෝ දෙනෙකුගේ සිත් ගැහෙන්නට ඇති බවට නම් සැකයක් නැහැ. නිට්ටඹුව නගරයට ළංවන විට ඈතින් විශාල දුමක් නඟිනු පෙනෙන්නට වුණා. අපේ රියදුරු මහතා පොලිස් අණ ද නොතකා ඉදිරියට ඇදුනා. එවිට අපට දකින්නට හැකිවුණේ පාරට නුදුරින් පිහිටි යම් කර්මාන්ත ශාලාවක ගින්නක් හට ගෙන ඇති බවයි. අපේ රියදුරු මහතා ගින්නේ පැහැදිලි දර්ශනයක් දැකිය හැකි තැනක බස් රථය අයිනෙන් නතර කළා. එවිට කොන්දොස්තර මහතා අමතා කී දෙයින් මම ඇත්තෙන්ම පුදුමයට පත් වුණා. ඔහු කීවේ “දැක්කද බං දෙතුන් දෙනෙක් ගින්න ඇතුළේ දඟලනවා?” කියායි. ඔහු එය පැවසුවේ චිත්‍රපට දසුනක් දැක මෙන් සිනහා වෙමින්. රියදුරු මහතා ඉදිරියෙන් රඳවා තිබුණු බුදු පිළිම වහන්සේගෙන් පෙනී ගියේ ඔහු බෞද්ධයෙකු බවයි.

නැවත බස් රථය ඉදිරියට ධාවනය වුණා. මේ අතරේ වේගයෙන් පැමිණි වෑන් රියක් අප ගිය බස් රථය පසුකර ගියා. අපේ බස් රථයේ රියදුරු මහතාට මෙය දරා ගත නො හැකි වුණා. වේගයෙන්, ගෑවෙන නො ගෑවෙන කිට්ටුවෙන් ගොස් ඒ වෑන් රිය පසු කළා. මේ අතර තරමක ශබ්දයකුත් ඇසුණු නිසා වාහන දෙක හැපුනු බව වැටහුනා. අපේ රියදුරු මහතාට හරි සතුටුයි. ඔහු “අරූගේ සයිඞ් කණ්ණාඩිය ගියා ද බං? හිතලා ම යි ඇල්ලුවේ. ගිය සැරේ ඉතුරු වෙච්ච පේන්ට් ටිකක් තිබුණා බස් එකේ නම් ගාගන්න.” කියා කොන්දොස්තර මහතාට කියමින් වෑන් රියට ඉදිරියෙන් බස් රථය නවත්වා ඔවුන් දෙදෙනා ම බසයෙන් බැස ගියා.

නැවත බස් රථය ධාවනය වෙන්න පටන් ගත්තත් වැඩි දුරක් යාමට මත්තෙන් පොලිස් නිලධාරියෙක් බස් රථය නැවැත්වුවා. “වෑන්කාරයා කියලා වගේ බං.” කියමින් රියදුරු මහතා කොන්දොස්තර මහතා ද සමඟින් බසයෙන් බැස ගියා. මට පිටුපසින් සිටියේ තරමක තලත්තෑනි පෙනුමැති මහත්මයෙක්. “මදැයි ඉක්මනින් යන්න කියලා ඒසී බස් එකකට නැග්ගා. ඉක්මන කෙසේ වෙතත් නුවරට යන්න පුළුවන් වෙයි ද දන්නෙත් නැහැ.” කියා ඔහු තරමක උස් හඬකින් පැවසුවා. නැවත බසයට පැමිණි රියදුරු මහතා ටික දුරක් යනවිට කොන්දොස්තර මහතා සමඟ ඇතිවූ කතාබහ මට පිටුපසින් සිටි මහත්මයා කී කතාවේ සත්‍යතාවය ඔප්පු කළා. රියදුරු මහතා ඇසුවේ, “බලපන් බං නයිස් බිස්කට් පැකට් එකක් තියෙනව ද කියලා. බඩගිනියි. නිදිමතකුත් එනවා. අද පාන්දර දෙකයි අර ටි්‍රප් එක ගිහින් එද්දී. ආපහු හතට බස් එක ගත්තා.” කියලයි. කොන්දොස්තර මහතා බිස්කට් නැති බව කී නිසා රියදුරු මහතා ඉදිරියෙන් කඩයක් ළඟ නැවත බසය නතර කළා. නමුත් ඒ කඩයේ රියදුරු මහතාට අවශ්‍ය වූ බිස්කට් වර්ගය නො තිබූ නිසා නැවත බසය ගමන් ඇරඹුවා. මා ළඟත් ඔහුට අවශ්‍ය වූ බිස්කට් වර්ගය නො තිබුණත්, මට සිතුණේ ම මොහුට බැරිවෙලාවත් කඩුගන්නාව කන්ද නගිද්දීවත් නින්ද ගියොතින් විසි තිස් දෙනෙකුගේ ම ජීවිත අනතුරේ බවයි. ඒ නිසා ඔහු කැමති නම් මා ළඟ තිබුණු පැණි කජු කැබැල්ල ඔහුට දෙන්නැයි මම මගේ පියාට පැවසුවා. රියදුරු මහතා එය පිළිගත්තා. අපිත් ඇඟේ ලේ වතුර වී නමුත් නුවරට ආවා.

සිංහල ජාතිය සහ ලංකාවේ අපට දායාද වී ඇති පිරිසිදු බුද්ධ ශාසනය අතර ඇත්තේ සහජීවී සම්බන්ධයක් කියලයි මට නම් හිතෙන්නේ. ඒ කියන්නේ සිංහල ජාතියේ උන්නතිය පවතින්නේ අප ධර්මය තුළ සිටින තුරුයි. ධර්මය ලංකාව තුළ බබළන්නේ සිංහල ජාතිය පවතින තුරුයි. සිංහල ජාතියේ දියුණුව ගැන කොතරම් කතා කළත්, අප ධර්මය තුළ නොසිටින තාක් ජාතියේ දියුණුවක් ගැන සිතන්නටවත් පුළුවන්කමක් නැහැ.

මේ සත්‍ය කතාව පදනම් කරගෙන අපි අපේ නැතිවී යන මනුස්සකම ගැන විග්‍රහ කොට කතා කළොත් අනාගත පරපුරට හෝ සෙතක් වේ යැයි සිතුණු නිසා මේ ලිපිය ලිවීමට මා අදහස් කළා. මුලින් ම, අප කරන රැකියාව කුමක් වුවත් එය තමාට ලැබෙන ලාභය ගැන ම පමණක් සිතා නො කළ යුතුයි. විශේෂයෙන් ම රියදුරෙකු කියන්නේ ජීවිත ගණනාවක් රෝද හතරක් උඩ ගෙනියන කෙනෙක්. ඒ නිසා ඔහුගේ සංයමය සිත්පිත් නැති වාහනය කිසිවෙකුට, කිසිවකට අයහපතක් නො කර ගෙනයාමට බලපානවා. තමන්ට නිදිමත නම් තමන් අන් අයගේ ජීවිතත් අවදානමට ලක් කර රිය පැදවීම කිසිසේත් ම සුදුසු නැහැ. තමන් වැඩිදුර නොසිතුවත්, යම් විදියකින් තමාගේ මේ නොසැලකිලිමත්කම නිසා වාහනය අනතුරකට පත් වුණොත් තමාගේ හෘද සාක්ෂිය තමාට දොස් නො නඟාවි ද?

අපේ ජාතිය බුදු දහමින් සුපෝෂිත වූ, ඉතා අහිංසක ලෙස ජීවත් වුණු, මෛත්‍රියෙන්, කරුණාවෙන්, මුදිතාවෙන්, උපේක්ෂාවෙන් ජීවත් වුණු ජාතියක්. අපේ ඒ සිත් තුළ තිබුණු කරුණාවට අද කුමක් වී ද? අපේ සිත්වල තිබුණු ඒ සංවේදී බවට අද කුමක් වී ද? ‘පරදුක්ඛේ හදයං කම්පේතීති කරුණා.’ යමෙක් දුකට පත්වී ඇති බව දුටු විට, අපට ඊට පිහිටක් වීමට නො හැකි වීමට පුළුවන්. නමුත් එවන් දසුනක් දැකීමෙන් සතුටක් ලබන්නේ කෙසේ ද?

මේ අභාග්‍යසම්පන්න තත්ත්වය අපට උදා වීමට බොහෝ සෙයින් ම බලපා ඇත්තේ රූපවාහිනී, චිත්‍රපට සහ මුහුණු පොතෙන් පවා අපගේ මනස ව්‍යාකූල ස්වභාවයට පත්වී තිබීම යි. මේ නිසා ම අපි සැබෑ ජීවිතයේ අත් දකින සියල්ල අපට සාමාන්‍ය දේවල් බවට පත්වෙලා. ඒ වගේ ම අපේ කාර්යබහුල බව තුළ නිතර ම උත්සාහ කරන්නේ තවත් වැඩක් නිමකිරීමට මිස තමන්ට විවේකයක් ලබා ගැනීමට නො වෙයි. ඒ නිසා අනුන් ගැන තබා තමන් ගැනවත් සිතීමට කාලයක් ඉතිරි කරගෙන නැහැ. මේ නිසා අපට ජීවිතය ගැන සිතන්නට ලැබෙන අවස්ථා සියල්ල වේගයෙන් අප පසු කරගෙන යනවා. අවසානයේ මේ දිවිල්ල අවසන් වෙද්දී අපට කාලය තියෙනවා. නමුත් සිතන්න හරවත් දෙයක් නැහැ. සිතේ එකතු වෙලා තියෙන්නේ වැඩකට නැති වල්පල් ගොඩක්. දුවන්න ම හුරු කරපු සිත කයෙන් දුර්වල වුණු වයසේ දී පවා දුවන්න ම යි කැමති. අන්න ඒ කැමති දෙය, සොයන දෙය ලැබෙන තැනක් තමයි රූපවාහිනිය. අපේ රටට රූපවාහිනිය එන්න කලින් ගුවන්විදුලිය තිබුණා. ඊටත් කලින් පත්තර තිබුණා. ඒ කාලයේ ගෙවල්වල වැඩිහිටි උදවිය පත්තර බැලුවත්, ඒ අයගේ ළමා කාලය, තරුණ කාලය, අද වගේ ව්‍යාකූල වෙලා තිබුණේ නැහැ. ඒ නිසා ඒ අයට ලස්සන කතා තිබුණා බාල පරම්පරාවන්ට කියා දෙන්න. නොයෙක් විච්චූරණ සෙල්ලම් බඩු නො තිබුණාට ඒ අය දැනගෙන හිටියා, පරිසරයේ දේවල්වලින් සෙල්ලම් බඩු හදාගන්න, පොල්පිති හරකුන්, කොස්කොළ ඔටුනු, කුරුම්බැට්ටි මැෂිං වගේ. අද මේ ලිපිය කියවන වැඩිහිටි ඔබ කී දෙනෙක් මේවා දන්නවා ද? පොඩි දරුවෙකුට ජාතක කතාවක් කියලා දෙන්න ඔබ කී දෙනෙක් දන්නවා ද? මේ තමයි නැතිවී ගිය අපේකමේ දුක්බර සටහන්.

මට මතකයි මගේ එක අත්තම්මා කෙනෙක් ඒ කාලයේ ගමේ ජීවත් වෙලා පස්සේ නගරයට ආවා. ගමට විදුලිය තිබුණේ නැහැ. අත්තම්මා නගරයට ආපු මුල් කාලය තමයි මගේ බාල කාලය. මට මතකයි ඒ කාලේ අත්තම්මා අපිට ජාතක කතා කියලා දෙනවා. මම හරි ආසයි අහන්න. අත්තම්මා නගරයේ පදිංචියට ඇවිත් ටික කලක් යද්දී අත්තම්මා කතා කියන එකත් නැවතුණා. කාලයක් යද්දී අත්තම්මත් මෙන්න කතා කරන්නේ ක්‍රිකට් ගැන. මගේ අනික් අත්තම්මා නගරයට ඇවිත් ගොඩක් කල්. ඒ අත්තම්මා බණ කතා මොකුත් දන්නේ නැහැ. හැබැයි ඒ අත්තම්මාට නගරයේ හිටියාට, විදුලිය තිබුණාට, වාසනාවට වගේ ගෙදර තිබුණ රූපවාහිනිය කැඩිලා. මට මතකයි අත්තම්මා ගුවන්විදුලිය අහනවා. බදාදා රෑ අටට බණ අහනවා. හවසට විවේක වෙලාවට අත්තම්මා පරණ කාලේ කතා කියනවා. අත්තම්මාගේ බෙහෙත් දාලා තිබුණ අටපට්ටම් බිස්කට් පෙට්ටියට තට්ටු දම දමා රබන් පද කියනවා. අත්තම්මා සමහර අත්තම්මාගේ නංගිලා මල්ලිලාට ලියුම් යවන්නේ කවියෙන්. ඒ අයත් කවියෙන් පිළිතුරු එවනවා. අත්තම්මා ලස්සනට ඒ පිළිතුරු ලියුම් කියවනවා. අත්තම්මා හැමදාම බුදුන් වඳිනවා. මල් පැළවලට සාත්තු කරන්නේ පූජා කරන්න මල් ඕනේ කියන අදහසින් ම යි. අත්තම්මා මහන ඇඳුම් තමයි අත්තම්මා අඳින්නේ. ගෙදරට එන කාටත් හොඳින් සංග්‍රහ කරනවා. මේ කිව්වේ බොහෝ ඈත කාලයක් ගැන නො වෙයි. එක්දහස් නමසිය අසූ අනූ ගණන්වල කාල පරිච්ඡේදය යි. මේ තුළින් මම කියන්න උත්සාහ කළේ කෙනෙකු ජීවත් වන පරිසරය, ආශ්‍රයට ලැබෙන දේ කෙනෙකුගේ ජීවිතයට මොනතරම් බලපෑමක් ඇති කරනවා ද කියන එකත් අපිට වැරදී ඇති තැන කොතැන ද කියා සොයා ගැනීමට ඇති අවශ්‍යතාවයත් පෙන්වා දීමටයි.

ඒ කාලෙත් දෙමවුපියෝ දරුවන්ට ආදරය කළා. ඒ දරුවන්ට දුව, පුතා කියලා කතා කළා. අද ඒ නාම ව්‍යවහාරය පවා වෙනස් වෙලා. එක්කෝ ඒ ළමයින්ගේ නම්වලින් කතා කරනවා, නැත්නම් දෙමවුපියෝ කතා කරන්නෙත් අයියා, අක්කි, නංගි, මල්ලි කියලා. මේක ඇත්තටම නැති වී යන අපේ අනන්‍යතාවයේ තවත් සටහනක්. මේ වෙනස ඇත්තෙන්ම දෙමවුපියන්ගේ යෞවන මදය නිසාදෝ කියාත් සිතෙනවා. පවුලේ සෑම සාමාජිකයෙකුට ම විශේෂ නාමයකින් ඇමතූ ජාතීන් සීමිත කොටසක් අතරින් අපේ ජාතිය පෙරමුණේ ම පසුවුණා. නමුත් අද මාමා, නැන්දා පමණක් නො වෙයි, බාප්පා, පුංචිඅම්මා පවා අංකල්, ආන්ටි දක්වා වෙනස් වෙලා. අද ලංකාවේ රාජ්‍ය ආයතනයකින් වේවා, පෞද්ගලික ආයතනයකින් වේවා, කෙනෙකුට යම් සේවාවක් ඉක්මනින් සිදුකර ගැනීමට අවශ්‍ය නම් ඒ ආයතනයේ සේවකයෙකුගේ පෞද්ගලික දැන හැඳුනුම්කමක් තිබිය යුතු යි. නැත්නම් විසිතුරු ලෙස ඇඳ පැලඳ සිටිය යුතු යි. නැත්නම් ලොකු වාහනයකින් බැසිය යුතු යි. එසේත් නැත්නම් තම උගත්කම පම්පෝරි ගැසිය යුතු යි. අයියා, අක්කා, නංගි, මල්ලි කියා දයාබර ඇමතුමක් අසන්නට ලැබෙන්නේ බසයක කොන්දොස්තර මහතාගෙන් හෝ සාප්පුවක සේවකයෙකුගෙන් පමණයි. ඇත්තෙන්ම බොහෝ දෙනා බලාපොරොත්තු වන්නේ සර්,මිස්, මැඩම් කියන වචන නිසා බොහෝ විට මා කියනා දෙය කෙනෙකුට නොතේරෙන්න පුළුවන්. මා එසේ කියන්නේ එකල මා ලංකාවේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන කාලයේ මමත් මා ව නෑකමින් අමතනවාට කැමැත්තක් තිබුණේ නැහැ. නමුත් වසර කිහිපයක් රටින් පිට වාසය කොට ලංකාවට ආ පසු ඕනෑම කෙනෙකු නෑකමින් අමතන විට දැනෙන්නේ ලොකු සතුටක්. මේ තමයි මගේ රට, මගේකම කියා හැඟීමක් ඇත්තෙන් ම ඇති වුණා. නමුත් අවාසනාවට මෙන්, මම වෙනත් කෙනෙකු අමතන විට මම ඔවුන් ව නෑකමින් ඇමතුවොත් ඇතැම් විට මට පළමු ව ලැබුණේ නුරුස්නා බැල්මක්. ඉන් පසු යම් පෝරමයකින් හෝ මගේ උගත්කම ඔවුන් දැනගතහොත් පෙර ලැබුණු නුරුස්නා බැල්ම සැණෙකින් සුහද සිනහවකට පරිවර්තනය වෙනවා. මෙය මිනිස්කම නො වෙයි. මෙය නැතිවී ගිය අපේ මිනිස්කම යි.

වැඩිහිටියන්ට වන්දනා කිරීම ආසියානු රටවල් අතරිනුත් අපේ රට ඇතුළු ඉතා සීමිත රටවල් කිහිපයක පාරම්පරික ව පැවත ආ දෙයක්. එය අපේ රටේ බුදු දහම හා බැඳී පැවත ආ දෙයක්. නමුත් අද පාසැලේ ගුරුවරුන්ගේ සිට විශ්වවිද්‍යාල ආචාර්යවරුන් දක්වා සිංහල බෞද්ධ යැයි කියන කී දෙනෙකු ළමුන්ගේ වන්දනාව ප්‍රතික්ෂේප කරනවා ද? තමුන් මේ අපේ නැති වී යන ගුණධර්ම තවත් නැති කිරීමට රුකුල් දෙන බව සමාජය තුළ බුද්ධිමතුන් ලෙස සැලකෙන ඔවුනට නොවැටහෙන බව නම් පැහැදිලි යි. කෙසේ නමුත් වැඩිහිටියෙකුට, විශේෂයෙන් ම ගුරුවරයෙකුට කරන වන්දනාවක සිදුවන්නේ කුමක් ද? වන්දනා කරන කෙනා තුළ තමන්ට ඒ ගුරුවරයාගේ ආශීර්වාදය ලැබුණු බවට විශ්වාසයක් ගොඩනැගෙනවා. ඒ වගේ ම එය තමන්ගේ මානය අඩුකර ගැනීමට හේතු වෙනවා. අනිත් පැත්තෙන් වන්දනාව ලබන තැනැත්තාට තවත් අයෙකුගේ වන්දනාවකට භාජනය වීමට තරම් ගුණයක් තමා තුළ ඇතිකර ගත යුතු බවට පෙළඹවීමක් ඇතිවෙනවා. මෙවැනි ඉතා සුළු කරුණුවලින් පවා අපේ ගුණධර්මවලට පහර වදින බව අප අමතක නො කළ යුතුයි.
සුද්දා අපේ රට විනාශ කළා, අපේ රට සූරා කෑවා කියා දේශප්‍රේමීන් හඬ නඟද්දී තවත් එක් දෙයක් සිතිය යුතුයි. ඇත්තෙන්ම සුද්දා විනාශ කළේ අපේ රටේ මිනිස්සුන්ගේ මනුස්සකම යි. අපේ රට කෘෂිකාර්මික රටක්. අකුණුවල ගැබ් වුණු විද්‍යුත් ශක්තියෙන් වාතයේ ඇති 78%ක් වුණු නයිට්‍රජන් අණු, පරමාණු බවට පත්ව වැස්සත් සමඟ පොළොවට එකතු වී පසේ ඇති අනෙකුත් සංයෝග සමඟ එකතු වී සාරවත් පොහොර පසක් සකසන බව පසුකාලීන විද්‍යාඥයන් පරීක්ෂණවලින් සොයාගත්තත්, රසායන විද්‍යාව ඉගෙන නොගත් අපේ පැරැන්නන් සරු පසක් සකසා ගැනීමට දැනගත යුතු තරම දැන සිටියා. ඒ නිසා බක්මහ අකුණු මුල් කරගෙන වගා කටයුතු කළ යුතු කාලය ඔවුන් දැන සිටියා. පස පෙරළිය යුතු ප්‍රමාණය ඔවුන් දැන සිටියා. කය මහන්සි වී වැඩ කළා. ධර්මයට අනුව ජීවිතය සකසා ගත් ඔවුන් සතුන්ගෙන් වගාවන් බේරා ගන්න කෙම් ක්‍රම අනුගමනය කළා. ඔවුන්ගේ කාරුණික බව කොතරම් ද කියන්නේ තමන්ගේ වගාබිමේ කොටසක් සතුන්ට වෙන් කළා. තමන් වෙහෙස මහන්සියෙන් කළ වගාවේ අග්‍ර භාගය භාග්‍යවතුන් වහන්සේ ප්‍රමුඛ සංඝ රත්නයට වෙන් කළා. ගෙවල්වල සිටි කාන්තාවන්ට, තමන් ව ජීවත් කරන සැමියන් කෙරෙහි ලොකු ගෞරවයක් සෙනෙහසක් තිබුණා. ඒ කාන්තාවන්ට බොහෝ හැකියාවන් තිබුණා, උයන්න, මහන්න, ගොතන්න පමණක් නො වේ, නිවැසියෙකුගේ ලෙඩකට දුකකට කුඩා අත් බෙහෙතක් කරන්න පවා ඔවුන් දක්ෂ වුණා. ඒ මවුවරුන් ආහාරයේ පෝෂ්‍ය පදාර්ථ දැන නො සිටියාට, අත්දැකීමෙන් ම දැනසිටියා සෞඛ්‍යයට හිතකර දේ ආහාරයට ගැනීමට. තමගේ ජීවය රැකදෙන බත් මුට්ටිය ඔවුන් ලිපේ තැබුවේ බතට වන්දනා කරලයි. දවස පුරා මහන්සියෙන් වැඩ කළ ඔවුන්ට අනුන්ගේ ඕපාදූප, රජුන් රජකම් කරන ආකාරය හොයන්න වෙලාවක් තිබුණේ නැහැ වගේ ම ඕනකමක් තිබුණේත් නැහැ. ධර්මයත් ජීවිතයත් ඔවුන්ට දෙකක් වුණේ නැහැ. ඒ ඔවුන් ධර්මයට අනුව ම ජීවත් වීම නිසයි. මිනිසුන් ගුණයෙන් මෙන් ම ධනයෙන් ද පොහොසත් ව සිටියේ ඒ යුගයේ යි. මිනිසුන්ගේ අයබදුවලින් අපේ රජවරුන් සෑරජාණන් වහන්සේලා ඉදි කළ ආකාරය මහාවංශයේ දැක්වෙනවා. අය බදු හැටියට එවන් මුදලක් එකතු වී නම්, එකල ජීවත් වුණු මිනිසුන් ධනයෙන් හීන වී යැයි සිතන්න අපහසුයි. අහෝ! සුන්දර මිනිසුන් සිටි ඒ සුන්දර යුගය අනිත්‍ය වී ගිය සැටි.

සුද්දන්ගේ රටවල වගාවන්ට පස පෙරළිය යුතු වුණේ ඒ රටවල ඇති දේශගුණික විපර්යාස නිසා සරු පස පොළොවේ යටට යාම නිසයි. නමුත් ඝර්ම කලාපීය රටක් වුණු අපේ රටේ සරු පස නිරතුරු ව ම මතුපිට පස් වශයෙන් පැවතුනා. නමුත් සුද්දාට යටත් වුණු අපේ මිනිස්සු සුද්දාගේ යන්ත්‍රානුසාරයෙන් සාරවත් පස යට කර නිසරු පසේ වගා කළා. දැන් වගාවන් සරු නොවන නිසා, සුද්දාගේ ම පොහොර යොදන්න සිද්ධ වුණා. මහන්සියකින් තොර ව ම සතුන්ගෙන් වගාවන් රැකගැනීමට කෘමිනාශක හඳුන්වා දුන්නා. නිසරු පස කෘත්‍රිම ව සරු කරගෙන වගා කිරීමට හුරු වුණා. වගාවන් සරු වුණා. මිනිස්කම් පිරිහුනා. පිටරටින් ආ සියල්ල අන්ධානුකරණයෙන් ග්‍රහණය කර ගත්තා. අපේ සැබෑ උරුමය කෙලෙස් තවන දහම බව අමතක වුණා. ඒ වෙනුවට කෙලෙස් වඩන දේ සිත් තුළ වැඩෙන්නට වුණා. ලද දෙයින් සැනසුනු අපේ ජාතිය, නො ලද දේ පසුපස හඹාගොස් ලබා ගන්නට පුරුදු වුණා. තෙරුවන අමතක වුණා. කාම සම්පත්වලින් අන්ධ වුණා. අහෝ! නිර්වාණ දොරටුවේ වැදි වැදී සිටි, රහතන් වහන්සේලාගේ පරපුරින් පැවත එන ජාතිය නිර්වාණය අතහැර සංසාරය තෝරාගත්තා. කාර්මීකරණයත් සමඟ යන්ත්‍ර සූත්‍ර භාවිතය වැඩි වුණා. කය මහන්සි කර වැඩ නොකිරීම නිසා ටික ටික ලෙඩ වැඩි වුණා. වැසිකිළි කැසිකිළි කරන ආකාරය පවා වෙනස් වුණා. බඩවැල් සහ ආහාර මාර්ගය සම්බන්ධ බොහෝ ලෙඩ රෝගවලට මෙය හේතු වී ඇති බව අද විද්‍යාඥයන් පිළිගෙන තිබෙනවා. පිටරටින් ලැබෙන ඕනෑම දෙයක් අගය කිරීමටත්, අනුකරණය කිරීමටත් පුරුදු වුණා. මේ සියලු වෙනස්වීම් අතර අතිශයින් ම තියුණු සහ විශාල ම බලපෑමක් ඇතිවුණේ සන්නිවේදන මාධ්‍යවල ව්‍යාප්තියත් සමඟයි. පුවත්පතේ සිට ටැබ්ලටය දක්වා ආ ගමන් මඟ තුළ අපට අපේ මිනිස්කම්වලට කුමක් වී ද? ලියුමේ සිට ජංගම දුරකථනය දක්වා ආ ගමන් මඟ තුළ අපට අපේ මිනිස්කම්වලට කුමක් වී ද? දෑතේ දෙපයේ හයියෙන් කුඹුරු වැඩ කරද්දී අනුන්ගේ ඕපාදූප නො සෙවූ ගොවියාට දැන් යන්ත්‍ර සූත්‍ර නිසා වෙලාව ඉතිරි වුණා. ඒ වෙලාව කාලා දාන්න පුවත්පත ඉදිරිපත් වුණා. අල්ලපු ගමේ වෙන දෙයක්වත් නොදත් කෙනා දැන් ලංකාවේ ම සිදුවෙන දේවල් දැනගන්න ආසා කළා. ගුවන්විදුලියත් සමඟ කියවීම වෙනුවට ඇසීමට පුරුදු වුණා. රූපවාහිනියත් සමඟ ඇසූ දෙය දර්ශනවලින් දකින්නත් පුරුදු වුණා. ලංකාවේ තොරතුරු පමණක් නො වේ, පිටරට තොරතුරුත් ගලා එන්න වුණා. රූපවාහිනිය ඔස්සේ විකාශය වුණු දේවල් පමණක් දුටු කෙනාට පරිගණකය ඔස්සේ අවශ්‍ය ඕනෑම තොරතුරක් සොයාගෙන බැලීමට හැකියාව ලැබුණා. අද, පරිගණකයත් දුරකථනයත් දෙකෙන් ම සිදු කළ කාර්යයන් එක්කොට සැකසූ ජංගම දුරකථනයෙන් වැඩකට ඇති නැති සියලු තොරතුරු ලබාගන්න පුරුදුවෙලා.

මේ සිදුවූ පරිණාමයත් සමඟ කාන්තාවට සිදුවූ දෙයත් නො කියා ම බැහැ. ආදි කාලයේ පවුලේ සමඟිය, සතුට රඳා පැවතුනේ ගෙදර අම්මාගේ දක්ෂතාවය මතයි. අම්මාට ලැබුණු ගරුත්වය සහෝදරියටත්, දියණියටත් ලැබුණා. අම්මා බොහෝ අත්දැකීම් ඇති කෙනෙකු ලෙසත්, පවුලේ සියල්ලන්ට ම සෙවණ දෙන මහා රුකක් ලෙසත් දුටු දරුවන් අම්මාට කීකරු වුණා. අම්මා තාත්තාට කීකරු නිසා, දරුවනුත් තාත්තාට කීකරු වුණා. අම්මාට අවශ්‍ය දේ තාත්තා සොයාබලා ගෙනත් දුන්නා. එකල තාත්තා උපයන දෙය අම්මා අරපරිස්සමින් විය පැහැදම් කොට පවුලත් රැකගෙන සිටියා. අද අම්මාත් මුදල් උපයනවා, තාත්තාත් මුදල් උපයනවා. ඒ නිසා පවුලක් සතු මුදල වෙනුවට අම්මාගේ මුදල්, තාත්තාගේ මුදල් කියා බෙදීමක් ඇතිවෙලා. මේ නිසා පවුලක් හැටියට නොව එක් එක්කෙනා එක ගෙදර සිටියත් තම තමන් ස්වාධීන ඒකක ලෙස සිතන්න පටන් ගත්තා. පුවත්පතින් සහ පසුව රූපවාහිනියෙන් රටේ ලෝකේ සිටින අනික් කාන්තාවන් දකින අම්මා ටික ටික පවුලට වඩා තමන්ගේ රූපය ගැන තමන්ට අවශ්‍ය දේ ගැන සිතන්න පටන් ගත්තා. හොඳින් ඇඟ වැහෙන්න රෙදි ඇන්ද කාන්තාව මිනි ගවුමට බැස්සා. කුමක් හෝ හේතුවක් නිසා මිනි ගවුමෙන් නැවත සාමාන්‍ය ගවුමකට ගියත් ඊට හේතුව නම් කුමක්දැයි මට සොයා ගැනීමට නො හැකි වුණා. ඒ හේතුව කුමක් වෙතත් අද වෙන විට නැවත මිනි ගවුමත් පසු කොට ඉතා අශෝභන ලෙස ඇඳුම් අඳින්නට කාන්තාව පුරුදු වෙලා. අතීතයේ අපේ රටේ සිටි කාන්තා පඬිවරියන් ගැන අප අසා නැහැ. නමුත් එකල කාන්තාවන් ගුණයෙන් නුවණින් බැබළුණා. ලක්දිව ප්‍රථම මාර්ග ඵලලාභීන් වුණේ කාන්තාවන්. අහෝ! එවන් ඉතිහාසයක් ඇති අපේ කාන්තාවට අද සිදුවී ඇති දෙය. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අනුව බලන විට එහි අරුමයකුත් නැහැ. තථාගතයන් වහන්සේ දේශනා කළේ කාන්තාව බබළන්නේ ආවරණය වූ විට මිස විවෘත වූ විට නො වේ කියලයි. ක්‍රමක්‍රමයෙන් කාන්තාව රැකියා කිරීමට පටන්ගත්තා. පිරිමින් සමඟ කරට කර ගැටුනු කාන්තාවන්ට තම ස්වාමිවරුන් කෙරෙහි ගෞරවයක් නැති වුණා. මේ නිසා ආපස්සට කාන්තාවන් කෙරෙහි තිබූ ගෞරවය සමාජයෙන් තුරන් වුණා. කාන්තාව වෙළඳ භාණ්ඩයක් බවට පත් වුණා. රූපවාහිනියේ පෙන්වන නොයෙක් කතාන්දරවල සිටින මිනිසුන් ගැහැනුන් දකින අපේ සමහර ඇත්තන් ඒ පෙන්වන ආකාරයේ අය තම තමන්ට ඇත්නම් කියා අභිජ්ඣා විෂම ලෝභයේ ගොදුරු බවට පත්වෙලා තම පවුල් ජීවිත අවුල් කරගෙන තම දරුවන් ගැන පවා නො සිතා වැරදි කාම සේවනයට යොමු වුණා.

දරුවන්ට සිදු වී ඇත්තේ කුමක් ද? එදා දරුවන්ට ළමා කාලයක්, යෞවනයින්ට යොවුන් කාලයක් සහ වැඩිහිටියන්ට වැඩිහිටි කාලයක් තිබුණා. අද භේදයකින් තොර ව ම සැවොම ගත කරන්නේ යොවුන් අවධියක් ද කියලාත් සිතෙන අවස්ථා එමටයි. අද දරුවන් ළමා කාලය ගත නො කර ම යොවුන් අවධියට පිවිස ඇති බවක් නේ ද දකින්නට තිබෙන්නේ? මෙය නම් පිටරැටියන්ට ආ වඩන අපේ මිනිසුන්ට සිදුවී ඇති අතිශය ඛේදනීය තත්ත්වය යි. එදා කෙළිදෙලෙන් දොළ පාරවල නියර දිගේ ඇවිද ගිය දරුවන් වෙනුවට අද සිටින්නේ රූප පෙට්ටිය ඉදිරියේ ඔහේ බලාගෙන සිටින දරු පිරිසක් නො වේ ද? එසේත් නැත්නම් තමාටත් වඩා ලොකු පොත් කන්දක් කරේ තියාගෙන පන්ති ගානේ දිවයන ආතතියෙන් පෙළෙන, ආවේගශීලී දරු පිරිසක් නො වේ ද? එදා දරුවන් වැඩිහිටියන්ට සැලකුවේ බුදු දහමින් ලද පන්නරය නිසායි. ඒ වගේ ම ඔවුන් වැඩිහිටියන් ව දුටුවේ මහා දැනුම් සම්භාරයක් ඇති පිරිසක් හැටියට යි. නො දන්නා දෙයක් වැඩිහිටියන්ගෙන් අසාගන්න ඔවුන් නිතැතින් ම පෙළඹුණා. නමුත් අද අන්තර්ජාලයෙන් ඕනෑම දෙයක් සොයා ගත හැකියි. ඇතැම් විට වැඩිහිටියන් නොදත් දේ දරුවන් වැඩිහිටියන්ට කියාදෙනවා. මේ නිසා වැඩිහිටියන් කියන්නේ ගෞරව කළ යුතු පිරිසක් නො වෙයි කියා ඔවුන් සිතනවා. ඇතැම් වැඩිහිටියන් තමන් නො දත් දේ පවා ඕනෑම දෙයක් ජංගම දුරකථනය ඔබා සොයාගැනීමට තම දරුවන් දන්නා බව කියමින් අන්‍යයන් ඉදිරියේ තම දරුවන්ගේ හපන්කම් කියාපාන්නේ මේ සැඟවුණු සත්‍යය නො දන්නා නිසාදැයි මම දන්නේ නැහැ. ඉස්සර කාලයේ වැඩිහිටියෙකුගෙන් කතාන්දරයක් අහන පොඩි දරුවෙක් ඒ කතාවේ පරිසරය හිතින් මවාගෙන රස විඳිනවා. නමුත් අද දරුවන්ට රූප පෙට්ටියෙන් සියල්ල පෙනෙන නිසා එලෙසින් සිතීමේ අවශ්‍යතාවයක් නැති වෙලා. මේ තත්ත්වය ඒ දරුවන්ගේ අනාගතයට ඉතා ම අයහපත් අයුරින් බලපානවා. පරිකල්පන ශක්තියෙන් හීන වන ඔවුන් කිසි දේකට සංවේදී වන්නේ නැහැ. මේ තත්ත්වය තේරුම් ගත් ඇතැම් දෙමවුපියන් සිටිනවා. නමුත් අතිශය තරඟකාරී පරිසරයක් තුළ තමන්ගේ දරුවා පරාජයට පත් වේවි, අතරමං වේවි කියන බියෙන් අකැමැත්තෙන් වුවත් තම දරුවාව තාක්ෂණික ලෝකයට ඇද දමන දෙමවුපියන් මා දන්නවා. අහෝ! අපගේ අනාගත පරපුර තාක්ෂණයේ වහලුන් බවට පත්වන සැටි.

තාක්ෂණික දියුණුව අපගේ මනුසත්කම ඩැහැගන්නේ කුඩා ළදරුවාගේ පටන් ම යි. එකල අපේ මවුවරුන් දරුවන් බිහි කළේ ඒ සියලු දුක් වේදනාවන් ඉවසීමෙන් දරාගනිමින්. සෙනෙහස නිසාවෙන් කිරට හැරුනු තම ලෙයින් දරුවා ව පෝෂණය කළා. ඉන් පසු ඒ දුක සේ බිහි කළ දරුවා ව, තම ඇකයේ හොවාගෙන රැකගත්තා. යන එන තැන්වල ආවේ ගියේ තම දරුවා වඩාගෙනයි. කාලය මැවු වෙනසක අරුමය! අද මවුවරුන් හැකිතාක් ඒ වේදනාවන් අඩුවෙන් දැනෙන්නට නොයෙක් ප්‍රයෝග අනුගමනය කරන්නේ ඉවසීම කියන ඒ ගුණාංගය නැතිවෙමින් පවතින නිසාදෝ කියා සිතෙයි. තම රූපශ්‍රීය ගැන වැඩිපුර සිතන අද මවුවරුන් අද තම දරුවන්ට කිරි පොවන්නට ද මැලි වෙයි. එපමණක් නො වෙයි, අද බොහෝ මවුවරුන් දරුවන් වඩාගෙන සිටින්නේ ද නැත. වාහනයක යන විට පවා පිටරට මෙන් දරුවන් සිටින්නේ පිටුපස ආසනයේ විශේෂ ආසනයක යි. මේ නිසා දරුවාට අම්මාගේ හෘද ස්පන්දනය හඳුනාගැනීමට ඇති අවස්ථාව අද අහිමි වෙලා. දරුවාට අම්මාගේ විශේෂත්වය විශේෂ කොට අගය කිරීමේ අවස්ථාව අහිමි වෙලා. මේ දරුවන් වැඩිහිටියන් වන විට, ඒ දෙමවුපියන් කෙරෙහි ලොකු ළෙංගතුකමක් ඔවුන් තුළ ඇති වේ යැයි අපේක්ෂා කළ හැකි ද කියන කාරණය සිතා බැලිය යුතු යි.

ඇමරිකාව වැනි රටවල දික්කසාද වීමේ ප්‍රතිශතය 40% – 50%ක් පමණ වෙනවා. ඒ කියන්නේ කෙටියෙන් කිව්වොතින් එක දවසක පවුල් දෙකක් විවාහ වුණොත් එක් පවුලක් දික්කසාද වෙනවා. මේ නිසා ඒ දරුවන් තමන්ට ඕනෑ විදියට හැදෙනවා. ඔවුන් ම රැකියා කරමින් ඉගෙන ගන්නවා. නිවාඩු කාලවල දෙමවුපියන්ගෙන් කාගේ හෝ ගෙදරක යනවා. ඔවුන්ගෙන් කොහෙද යන්නේ කියා අසද්දී සමහර අය කියන්නේ තාත්තා සහ තාත්තාගේ පෙම්වතිය බලන්න යනවා, එහෙම නැත්නම් අම්මා සහ අම්මාගේ පෙම්වතා බලන්න යනවා කියා යි. ඇත්තෙන්ම මට නම් එහෙම අහද්දී හිතට මොකක්දෝ අපහසුවක් දැනෙනවා. සියල්ලට ම පිටරට සුද්දන් අනුකරණය කරන අපේ රටට මේ තත්ත්වය උදාවෙන්න වැඩි ඈතක් නැතිව ඇති කියා හිතෙද්දී අහෝ! මගේ සුන්දර රටට සිදුවූ දේ කියා මසිත හඬා වැටෙනවා.

අඟල් හතරේ පහේ ජංගම දුරකථනය කරන විනාශය අන් සියල්ලට ම වඩා වේගවත්. නමුත් මට සිතෙන්නේ ඒක හරියට වෙස් වලා ගත් සතුරෙකු වගෙයි. ආවේගකාරී ප්‍රවේගකාරී ලෝකයේ අද ජංගම දුරකථනයක් නොමැති කෙනෙකු නැති තරම්. එකකුත් නො වෙයි, ඇතැම් විට කිහිපයක්. එංගලන්තේ රජ පවුලේ විස්තර ද ඇමරිකාවේ දේශපාලන ආරවුල් ද සිරියාවේ යුද්ධය ද මේ සියල්ල අනේ අපේ රටේ පාසැල් දරුවා දැනගන්නේ බොහෝ විට මුහුණු පොත හරහායි. ඔහුට මේ කිසිවකින් වැඩක් තිබේ ද? විශේෂයෙන් ම මුහුණු පොත සහ ඒ හා සමාන සමාජ ජාල වෙබ් අඩවි කියන්නේ නම් කාලය කන, දෙතිස් කතා උල්පතක්. ඕනෑම කුණුගොඩක් ලෝකයේ ඕනෑම කෙනෙකු වෙත මුදා හරින්න වගේ ම, ඕනෑම කෙනෙකුගෙන් එවැනි කුණු ගොඩක් ලබාගන්නත් මේ හරහා පුළුවන්. පිරිහුනු සිත් ඇති පිරිහුනු මිනිසුන් බහුල ලෝකයේ මේ හරහා වැදගත් දෙයක් ලබාගන්න මුහුණු පොත භාවිත කරන්නන් ද කතාවෙන් නම් සිටින බව අහන්නට ලැබෙනවා. නමුත් තමන් සොයන වැදගත් දෙය දක්වා ඇඟිල්ල යොමුවද්දී තමන්ගේ සිත දූෂණය වන තොරතුරු රාශියක් පසු කළ බව තමන්ට ම අමතක වෙලා, නැත්නම් මායාකාරී සිතට තමන් රැවටිලා. අප උපන්නේ මාර්ග ඵලලාභීන් හැටියට නො වෙයි නම්, අප මහා කෙලෙස් කන්දක් සමඟ උපන් පිරිසක් බව අමතක නො කළ යුතුයි. කලාතුරකින් ලැබුණු මේ මනුෂ්‍ය ජීවිතයත් අප ගත කරන්නේ මේ කෙලෙස් කන්ද පෝෂණය කිරීමට ම නම් ඇත්තෙන් ම අපි මහා අනුවණකාරී පිරිසක්. ලෝභ, ද්වේෂ, මෝහ කියන අකුසල් මුල් අප තුළ තිබෙනවා. අපි දකින, අහන, ආඝ්‍රාණය කරන, රස විඳින, පහස ලබන දේ තුළින් මේ අකුසල් මුල් පෝෂණය කරන විදියේ ප්‍රතිපදාවක් අනුගමනය කළොත් අපි දුකෙනුත් දුකට පත් වෙනවා.

බොහෝ සුද්දන් සිනහවෙන්න දන්නේ නැහැ. ඒ කියන්නේ පින්තූරයක් ගන්නා විට පවා ඔවුන් කරන්නේ දත් විළිස්සා නියවීම යි. පිටරට සුද්දන් අපේ රටේ අය ඉන්දියානුවන්ගෙන් වෙන් කර හඳුනාගන්නා විශේෂ ලකුණක් තිබුණා. ඒ තමයි, හදවතින් ම නැඟෙන සුන්දර සිනහව. නමුත් අද වෙනකොට ඒ සිනහව පවා අතුරුදහන් වෙමින් පවතින අයුරු දකිද්දී ඇත්තෙන්ම අපි ගැන ම ලොකු කණගාටුවක් ඇතිවෙනවා.

මා කැමතියි, ඔබට පොඩි පරීක්ෂණයක් කිරීමට යෝජනා කරන්න. ඔබේ මුහුණු පොත සතියකට ක්‍රියාවිරහිත කරන්න. ඒ සතියේ දුරකථනයෙන් කෙටි පණිවිඩ හුවමාරු කර ගැනීමත් නවත්වන්න. ඇමතුමකට පමණක් අවශ්‍ය ම නම් ප්‍රතිචාර දක්වන්න. බලන්න ඔබට මොනතරම් කාලයක් ඉතිරි වෙනවා ද? බලන්න ඔබට මොන තරම් කම්මැලි ද කියා. ඔබට මේ බවක් තේරුණේ නැත්නම්, ඔබ ඒ කාලය කා දමා ඇත්තේ රූපපෙට්ටිය ඉදිරියේ යි. නැත්නම් අන්තර්ජාලයේ යි. ඔබට ම තේරේවි ඔබ දුරකථනයට ඇබ්බැහි වී ඇති අන්දම. අනුන්ගේ ඕපාදූපවලට ඔබේ සිත ප්‍රිය කරනා තරම ඔබට ම පෙනී යයි. දුරකථන මාරයා ඔබේ ජීවිතයේ ආධිපත්‍යය පතුරුවන හැටි දුටු පසුවත් ඔබ එයට ම ඔබව පාලනය කරන්නට ඉඩ හරින්නේ නම්, අහෝ! ඔබ දීන සිංහලයෙක් බව කණගාටුවෙන් වුවත් කියන්නට සිද්ධ වෙනවා.

මෙතෙක් විස්තර කළ සියල්ල අනුව ඔබට වැටහුණේ අප තාක්ෂණික දියුණුව වේශයෙන් සිත් කෙලෙසන මහා කාම රැල්ලකට හසුවී සිටින බව නම් ඔබ නිවැරදිව ප්‍රශ්නය හඳුනාගෙන තිබෙනවා. නිවැරදි පිළිතුර සොයා ගැනීමට නම් ප්‍රශ්නය පැහැදිලි ව වටහා ගැනීම අත්‍යවශ්‍ය යි. නමුත් බාහිර විවිධාකාර ජන කොටස්, විවිධාකාර රටවල් සමඟ සබඳතා පවත්වන අපට මින් මිදීමට මඟක් තිබෙනවා ද? තිබෙනවා. ඒ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයෙන් ම පමණි. ඇවිස්සුණු ජනයා සන්සිඳවන ධර්මය භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය ම පමණයි. එය ධර්මයේ ඇති ආශ්චර්යය යි. නමුත් අකාලික වූ ඒ ආශ්චර්යවත් ධර්මයේ පිහිට ලබා ගැනීමට නම් අප සතුවත් තිබිය යුතු ගුණාංග කිහිපයක් ඇත. ඒ ශ්‍රී සද්ධර්මයේ පරිපූර්ණත්වය බලන්න! ඒ ගුණාංග පවා පෙන්වා දෙන්නේ භාග්‍යවතුන් වහන්සේ ම යි. ඒ ආතාපි (වීර්යය), සම්පජාන (නුවණ) සහ සතිමා (සිහිය) වශයෙනුයි. ප්‍රශ්නයත් වටහාගෙන, මේ ගුණාංගත් සහිතව ධර්මයට පිවිසෙන අයෙකුට ඒ ශ්‍රී සද්ධර්මයේ පිහිටක් ලබාගැනීමට හැකි නො වේවි ද? බාහිර සමාජයෙන් කිසිසේත් ම මේ සඳහා පිහිටක් බලාපොරොත්තු විය නො හැකියි. ඔබත් මමත් ජීවත් වන පරිසරය කුසීත, අනුවණ, සිහි විකල් ස්වභාවයට ම අනුබල දෙන පරිසරයක් බව මතකයේ තබාගැනීම ඉතා ම වටිනවා. ලෞකික ලෝකයේ දී අප විභාගවලට මුහුණ දෙන්නේ අනපේක්ෂිත ප්‍රතිඵලයක් වුවත් බාර ගැනීමට සූදානමින්. එසේ නම් ප්‍රතිඵලය නිශ්චිත වූ, සසරින් මුදවන විභාගයට අප මුහුණ දීමට පමා විය යුතු ද? එසේ නම්, සසරට වැටුණු පිනැත්තන් හට ඉන් මුදවන ආශ්චර්යවත් වූ ශ්‍රී සද්ධර්මය අසන්නට සැලැස්වීම පරාර්ථකාමීත්වයේ උච්චතම අවස්ථාවක්. කිසිදු ලෞකික ඉගැන්වීමක නැති ඒ සුන්දර දහම කියා දුන්, කියා දෙන ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු මහමෙව්නාවේ සියලු කල්‍යාණමිත්‍ර ස්වාමීන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා!

මහාමේඝ පාඨිකාවක්

3 comments

  1. lassana lipiyak.godaaak asawen kiyewwa.gihi jiwithaya thula hithanna oni pathi godaak gana sandahan krala tiyenawa.obata gauthama budu sasuna thulama me darmaya awaboda kirimata me pina hethu wasana wewa. esema apage pinwath loku swaminwahansetada sasarin ethera wimata me pina hethu wasana wewa!

  2. ඔබට පිං… අකුරක් නෑර කියෙව්වා…

    • ලිපිය පුරාවටම කියවගෙන එන විට මට සිතුනේ මෙය ලියන්න ඇත්තේ පිරිමියෙක් කියායි .
      නමුත් අවසානයේ මහාමේඝ පාටිකාවක් කියා දුටු විට පුදුම හිතුන. වෙන මුකුත් නිසා නෙවෙයි ඔබ ලාංකීය ජන ජීවිතය දිහා බැලූ කෝණය නිසාවෙන්මයි. ඉතාමත් හොඳින් විශ්ලේෂණය කර ලියා තිබෙන අනගි ලිපියක්. ස්තුතියි! තෙරුවන් සරණයි ඔබට!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

x

Check Also

ලෝ සත සෙත සදනු පිණිස නෛෂ්ක්‍රම්‍යය සොයා වැඩි පුණ්‍ය චාරිකාවේ පිය සටහන්….. (03 වන කොටස)

ඔබ වහන්සේ විසින් පතන ලද පැතුම සිත් පරිදි ඉටු වේවා! සියලු උවදුරු දුරු වේවා! චිත්ත පීඩා රෝග පීඩා දුරු වේවා! කිසිදු අනතුරක් සිදු නො වේවා! උතුම් සම්බුද්ධත්වය ම ලබත්වා! මල් පිපෙන ගස් නිසි කල පැමිණි විට මල් දරන්නා සේ වීරයාණෙනි, ඔබ වහන්සේ ද බුද්ධ ඤාණය නම් මලින් පිපෙත්වා!