දිනෙක අප බුදුරජාණන් වහන්සේ වදාළේ, “පින්වත් මහණෙනි, මෙය පෙර සිදු වූ දෙයකි. දෙවියන් හා අසුරයන් අතර යුද්ධයක් හට ගති. යුද වදිනු ප්‍රථම සක් දෙවිඳු සිය දෙව් පිරිස ඇමතී ය. ‘නිදුක්වරුනි, මෙම සටනේ දී නුඹලාට බියක්, තැතිගැනුමක්, ලොමුදැහගැනුමක් හටගත්තේ වී නම් මාගේ කොඩියේ මුදුන බලනු මැනවි. එවිට බය නැති වන්නේ ය. නැතහොත් ප්‍රජාපතී, වරුණ, ඊසාන දෙවිවරුන්ගේ කොඩි මුදුන් බලන නුඹලාට, බිය තැතිගැනීම් නැතිවන්නේ ය.’ කියා ය. මහණෙනි, ඔය දෙවිවරුන්ගේ කොඩි මුදුන් දෙස බලන කල, එම බිය, තැතිගැනුම් දුරු වන්නට ද පුළුවනි. දුරු නොවන්නට ද පුළුවනි. ඒ මක් නිසා ද යත් සක්දෙවිඳු රාගය, ද්වේෂය මෙන් ම මෝහය ද දුරු නොකළ කෙනෙකි. සක් දෙවිඳු ද බිය වන කෙනෙකි, තැතිගන්නා කෙනෙකි, පලා යන කෙනෙකි. එනමුදු මහණෙනි, වනගොමුවලට, රුක්මුල්වලට, කිසිවෙකු නොමැති පාළු තන්හි යන නුඹලාට, බිය, තැතිගැනුම්, ලොමුදැහැගැනුම් හටගත්තේ වී නම්, එකල තථාගතයන්ව ම සිහි කරවු! නැතිනම් ධර්මය ම සිහි කරවු! එසේත් නැතිනම් සංඝයාව ම සිහිකරවු! එවිට බිය තැතිගැනුම් නැති වන්නේම ය. එයට කරුණු කිම් ද යත් තථාගතයාණෝ වනාහී අරහත් ය. සම්මා සම්බුදු ය. රාගය, ද්වේෂය මෙන් ම මෝහය ද දුරු කළ සේක! කිසිවෙකින් බිය නොවන සේක! තැති නොගන්නා සේක! පලා නොයන සේක!” කියා ය.

සැබැවින් ම අප බුදුරදුන් බඳු බිය නොවන, තැති නොගන්නා, පලා නොයන කෙනෙකු ගැන සිහිකර බිය නොවී සිටිනවා මිස, තවත් බිය වන තැතිගන්නා, පැන දුවන කෙනෙකු ගැන සිතා කෙසේ නම් බියපත් කෙනෙක් තම බිය දුරු කරගන්නට ද? අනෙක් කරුණ නම් බුදුවරු වනාහී පුරසාරම් දොඩමින්, තමාව හුවා දක්වා ගන්නා ඇතැම් හිස් මිනිසුන් මෙන් තමන් තුළ නැති ගුණ පවසා, තමන් කෙරෙහි පහදවා ගන්නා උදවිය නොවීම යි. සැබැවින් ම තිබෙන්නා වූ ම දෑ කියති. කියනා දෑ ම කරති. කරනා දෑ ම කියති. එම නිසා ම තථාගත යැයි කියනු ලැබේ. බුදු සිරිතෙහි මෙම අභීත බව මැනැවින් ඉල්පී පෙනුණි. එවගට සාක්ෂි සපයන අපූරු පුවතක් විනය පිටකයෙහි එයි.

ඒ මෙසේ යි. දේවදත්තයා භික්ෂු සංඝයා පරිහරණය කරන පවිටු, ළාමක සිත උපදවාගෙන බුදුන් නසා බුදුවන්නට ඉටා ගති. අජාසත් සමඟ ද හාද වීය. ඉන්පසු දුනුවායන් ලවා ද සියතින් ම ගල් පෙරළා ද එය නොහැකි වූ කල, අජාසත් රජුගේ ඇත්ගාලට ගියේ ය. ඇත්ගොව්වන් අමතා “අප වනාහී රජවරු සමඟ හිතවත් උදවිය වෙමු. තොපගේ තනතුරු උසස් කරන්නට ද බත් වැටුප් වැඩි කරන්ට ද අපිට හැක්කෙමු. එනමුදු ඒ සඳහා අප කීවක් කළ යුතු ය.” යැයි කීය. ලාභාපේක්ෂාවෙන් යුතුව ඔවුහු ද එයට එකඟ වූහ. පසුදින අප බුදුරජාණෝ සඟ පිරිස පිරිවරා පිඬු සිඟා වඩිනා කල, එම ඇත්හලෙහි සිටි ප්‍රකෘතියෙන් ම චණ්ඩ, පරුෂ, මිනීමරු හස්තියාව ඒ මාවතට මුදා හරින්නට කතිකා කර ගත්තේ ය.

සැබැවින් ම කුමකට නම් මෙවන් බිහිසුණු ඇතුන් ඇත්ගාල්වල රඳවා රජවරු විසින් පෝෂණය කරයි ද? යුදයක් එළැඹුණු සඳ මෙවන් නපුරු හස්තීන් සතුරු සෙන් මධ්‍යයට මුදා හළ කල, වියරුවෙන් යුතුව සතුරන් බුරුතු පිටින් පරලොව යවනා හෙයිනි. පසුදින එම බිහිසුණු ඇතුට රා ද පොවා, හෙණ්ඩුවෙන් ද ඇණ තව තවත් කුපිත කරවා බුදුන් අභිමුඛයේ මුදා හැරියහ. රා මතින් මත්ව, අංකුස පහසින් වියරු වැටුණු නාලාගිරිට අප භාග්‍යවතුන් වහන්සේ ව දුර දී ම දිස් විය. සොඬය සහ වළිගය එසැවිණි. කන් විහිදිණි. මුළු ප්‍රදේශය ම දෙවනත් කරමින් කුංචනාදය පැතිරිණි. දුහුවිලි වලාවෝ නැගිණි. බුදුන් එල්ලය කොට වියරු ඇතුගේ පා එසවෙන්නට විය. බුදුන් පසුපසින් වැඩි සඟ පිරිස දුරතියා ම මෙය දුටහ. දැක, “ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ආපසු හැරී වඩින සේක්වා! සුගතයන් වහන්ස මාවතින් ඉවත් වන සේක්වා!” යි කීහ.

මෝහය දුරු කළ අරහං ගුණයෙන් යුතු අප මුනිඳුගේ මුවින් පිට වූයේ මෙවන් වදනෙකි. “පින්වත් මහණෙනි, මා පසුපසින් පැමිණෙව්! (ආගච්ඡථ භික්ඛවේ!) බිය නොවව්! (මා භායිත්ථ!) පින්වත් මහණෙනි, ‘බාහිර පුද්ගලයෙකුගේ උපක්‍රමයෙන් තථාගතයන්ගේ දිවිය තොර වන්නේ ය’ යන කරුණ කිසිදා සිදු නොවන දෙයකි. එයට අවකාශ නැත්තේ ම ය. (අට්ඨානමේතං භික්ඛවේ අනවකාසෝ, යං පරූපක්කමේන තථාගතං ජීවිතා වෝරෝපෙය්‍ය.) මහණෙනි, තථාගතවරු වනාහී උපක්‍රමයෙන් තොරව ම පිරිනිවන් පාති. (අනුපක්කමේන භික්ඛවේ, තථාගතා පරිනිබ්බායන්ති.)” දෙවන, තෙවන වරට ද සඟ පිරිසට එය ම වදාළහ.

අහෝ පුදුමෙකි! බිහිසුණු, මිනීමරු, මත්ව කිපුණු ඇතෙකු තමාව ම ඉලක්කය කොට වේගෙන් ඇදෙද්දීත් බුදුසිරිපා කමල් අඩියක් හෝ පසුපසට නොඇදුණි. ඉදිරියට ම ඇදුණි. සකල ලොවෙහි මෙවන් අභීත බවක් වෙන කාගෙන් නම් අපි දකින්නෙමු ද? ජාතක අටුවාවෙහි මෙලෙස ද සඳහන් වේ. මෙසියල්ල මැද්දේ තවත් අසිරියක් සිදු විය. අප බුදුරජුන්ට දිවිපුදා, සෙවණැල්ල මෙන් උපස්ථාන කළ තැනැත්තා ද පසුපස සිටියේ ය. හේ වෙන කවුරුත් නොව කාගේත් නෙත්, සිත් ආනන්දයට පත් කළ ආනන්දයන් වහන්සේ ම ය. හෙතෙමේ ක්ෂණයෙන් ක්‍රියාත්මක විය. ‘මාගේ දිවිය ඇතුට බිලි වේවා! මාගේ භගවතුන්ගේ දිවිය සුරැකේවා!’ යි කියා මුනිඳුන් හා ඇතු අතරට පැන්නේ ය. “ආනන්ද පස්සට යන්න! මා ඉදිරියේ නොසිටින්න!” බුදු මුවින් පිට විය. “ස්වාමීනී මේ ඇතා චණ්ඩ ය. පරුෂ ය. මිනීමරු ඇතෙකි. එහෙයින් පළමුව මාව නසා, පසුව ඔබ වහන්සේ සමීපයට පැමිණේවා!” යි ඉවත්ව නොගියේ ම ය. මහා ඉර්ධිමත් අප බුදුරජාණන් වහන්සේ, කුඹල් සකක් කරකවන්නාක් මෙන් මහ පොළොව ඉර්ධියෙන් කරකවා ආනන්දයන් වහන්සේ ව පසුපසට ගත්හ. ඒ අප බුදුරජුන්ගේ විජ්ජාචරණ සම්පන්න ගුණය යි.

මිහිරි සුවඳැති දෑ සමන් මල් සමූහයක් නූලකින් අමුණා තිබෙනා කල, ඉදිරියෙන් ම ඇති මල තමා කරා ඇදගන්නෙමි’යි සිතා නූල සමඟ අදනා විට, නූල සමඟ ඇමිණී ගිය අනෙකුත් මල් ද ඇදී එන්නා සේ, ‘සියලු බුදුගුණයන්ට පෙරටුව ඇති අරහං ගුණය කියන්නෙමි’ යි සැරසෙනා කල, මිහිරි සුවඳැති අනෙක් බුදුගුණයන් ද ඇදී එන්නේ, අප බුදු සමිඳුන්ගේ ම අසිරිය මිස අන් කවරක් ද?

මේ අතර බියට පත් මවක් තම ඇකයේ හුන් දරුවා ද දමා දුවන්නට වූවා ය. ඇතු ඇය ලුහුබැඳ ගොස් සිඟිත්තා දෙසට හැරුණි. සිඟිත්තා මහ හඬින් මොර දෙන්නට විය. ඉක්බිති සකල ලෝ සත වෙත පතුරුවන අප මුනිඳුන්ගේ මෙත් සිත තනි ඇතු කරා එල්ල කොට පතුරා, අප සිහරජාණෝ සුමිහිරි බ්‍රහ්මස්වරයෙන් ඇතු ඇමතූහ. “පින්වත් හස්තිය, තොපට රා පොවා මත් කරවූයේ වෙනකෙකු නැසීමට නොවේ. එනිසා නිකරුණේ කෙණ්ඩා වෙහෙසමින් නොහැසිර, මා කරා පැමිණෙව!” ඇතුට ප්‍රකෘතියෙන් සිටිය නොහැකි විය. සොඬ, නඟුටු පහත් විණි. කන්පෙති හැකිලිණි. වෙරි සිඳිණි. භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ නොසෙල්වී සිටගති. ඉන්පසු මහා කාරුණිකයාණෝ දකුණු ශ්‍රී හස්තය කුම්බස්තලය මත තබා පිරිමදිමින්, ගාථා දෙකකින් අවවාද කළ සේක.

“මා කුඤ්ජර නාගමාසදෝ – දුක්ඛං හි කුඤ්ජර නාගමාසදෝ
න හි නාගහතස්ස කුඤ්ජර සුගති හෝති – ඉතෝ පරං යතෝ”

“පින්වත් හස්තිය, තථාගතයන් නැමැති හස්තිරාජයාට හිංසා කරන සිතින් ළං නොවෙනු! තථාගතයන් නමැති හස්තිරාජයාට හිරිහැර කිරීම ඒකාන්තයෙන් ම දුක් විඳීමට හේතු වේ. තථාගතයන් නමැති හස්තිරාජයාව නසන්නාට මින්මතු සුගතියක් නම් නැත්තේ ම ය.”

“මා ච මදෝ මා ච පමාදෝ – න හි පමත්තා සුගතිං වජන්ති
තේන ත්වඤ්ඤේව තථා කරිස්සසි – යේන ත්වං සුගතිං ගමිස්සසී”‍ ති”

“මත් නොවෙනු! පව් කරමින් ප්‍රමාද නොවෙනු! පමා වූවෝ සුගතියට නොයත්. යම් විදියකින් ඔබ සුගතියට යන්නෙහි ද ඒ අයුරින් ඔබ ම කටයුතු කරනු!”‍

පුදුමෙකි! භාග්‍යවතුන් වහන්සේගේ මෙත් සිත හමුවේ ප්‍රකෘතියෙන් ම බිහිසුණු හස්තියා සදා දමනය වීය. ඉක්බිති ඇතු සම්බුදු සිරිපා කමල් පහස ලද පා දුහුවිලි සොඬින් ගෙන, තම හිස් මුදුනෙහි විසිරුවා ගත්තේ ය. ඉන්පසු යම්තාක් දුර ගිය පසු බුදුරදුන් නොපෙනී යා ද ඒතාක් ම දුර පසුපසින් පසුපසට ම ගියේ ය. ඇත්හලට තමන් ම ගොස්, තමන්ට නියමිත තැන සිට ගත්තේ ය. අහෝ! අප මුනිරජුන්ගේ මෙත් සිතක මහත! ඉන්පසු නාලාගිරියා මියෙන තුරාවට ම යළි කිසිදා චණ්ඩ නොවී ය. සදහට ම දමනය විය.

බියපත් දනෝ මෙහැම බැලු‍‍වෝ පියසි, උඩුමහල්, සඳලු‍තල මත නැගීගෙන ය. මුල දී නොපැහැදුණ අනුවණ දනෝ කීවෝ “අභිරූපී ශ්‍රමණයන් අද හස්තියා විසින් පෙළන්නේ ය.”‍ කියා ය. අවසන සියල්ලෝ ම කීවෝ, “භවත්නි, ඒකාන්තයෙන්ම පුදුමෙකි! භවත්නි, ඒකාන්තයෙන් ම අද්භූතයෙකි! දණ්ඩෙන්, අංකුසෙන්, කසෙන් දමන ඇත්තු, මහා ඍෂීන් වහන්සේ විසින් දණ්ඩෙන්, ආයුධයෙන් තොරව ම දමනය කරන ලද්දේ ය.”‍ කියා ය.

ඒ එසේමැ යි. තලන්නේ ම සඳුන් හරය මිහිරි සුවඳ ම දසත විහිදුවන්නා සේ, හිරිහැර ලබන්නේ ම සත්පුරුෂයෝ ගුණසුවඳ ම දසත පතුරුවාලති. එලෙසින් අප මුනිරජුන්ගේ කිත් යසස් තව තවත් වැඩි විය. ඒ අප භාග්‍යවතුන් වහන්සේගේ මෙත් සිතේ ම අසිරිය මිස අන් කිම? අරහං ගුණයේ ම අසිරිය මිස අන් කිම? සැබැවින් ම, “අරහං ය, බිය නොවන, මගේ බුදු පියාණන්!”‍

ඇසුර – ධජග්ග සූත්‍රය, (සංයුත්ත නිකාය – 01), චුල්ල වග්ග පාළි – 02 සහ චූල හංස ජාතකයෙහි අටුවා කතාව

මහමෙව්නාව භාවනා අසපුවාසී ස්වාමීන් වහන්සේ නමක් විසිනි.