“ඉස්සර මං හිතුවේ වැරදි විදියට ම යි. කාමාශාවෙන් මේ සිත හරියට පීඩා වින්දා. ඉතින් මං හිටියේ හිත දමනය කර ගන්ට බැරිව. හිත හරියට විසිරිලා තිබුණා.

මං මේ අරමුණු සුභ වශයෙන් පිළිගත්තු නිසා ම යි කෙලෙස් පීඩා ඇති වුණේ. රාග සිතේ වසඟයට ගිය නිසා ම යි චිත්ත සමාධියක් ලබා ගන්ට බැරි වුණේ.

මං ඒ දවස්වල හරිම කෙට්ටුයි. ඇඟපත විරූපී වෙලා, අවලස්සන වෙලා තිබුණේ. අවුරුදු හතක් මං මේ විදිහට දුක් වින්දා. කෙලෙස් නිසා දුක් විඳපු මට ගෙවී ගිය රෑ දවල් කිසිවෙලාවක පැවිදි සැපයක් ලබා ගන්ට බැරි වුණා…”

(සීහා තෙරණියගේ ථේරී ගාථාවන්ගෙන් කිහිපයක්)

වර්තමාන සමාජයේ බොහෝ දෙනා වහා ධර්මාවබෝධය ලැබීමේ අරමුණින් ධර්මය සොයා යන ප්‍රවණතාවයක් දක්නට ලැබේ. සැබැවින් ම ධර්මාවබෝධය ලැබීමට ඇති කැමැත්ත වනාහී ඉර්ධිපාද ධර්මයකි. ලෝකයේ ශ්‍රේෂ්ඨතම අභිප්‍රාය ය. ලෝකයේ අග්‍රතම අරමුණ ය. ලෝකයේ උතුම් ම කැමැත්ත ය. ඒ සඳහා කිසිදු විවාදයක් නොමැත. ඒ නිසා ධර්මාවබෝධයට ඇති කැමැත්ත නුවණැති කා තුළත් දියුණු කර ගත යුතු අත්‍යවශ්‍ය අංගයක් බව අප මතක තබා ගත යුතු ය.

නමුත් වර්තමානයේ බොහෝ දෙනා ඒ සඳහා උත්සාහ ගනු ලබන්නේ නිවන් මඟ පිළිබඳ දැනගත යුතු බොහෝ කරුණු කාරණා නොදැනගෙන බව පැහැදිලි ය. සාමාන්‍ය ව්‍යවහාර භාෂාවෙන් කියතොත්, නිවන් මගේ දිග පළලවත් නොදැන ය. ඒ නිසා ම බොහෝ දෙනා නිරායාසයෙන් ම, පහසුවෙන් ම නොයෙකුත් මුළාවන්ට, අධිමානයන්ට පත් වීම ස්වභාවික ය. කලබල නො වී ඉවසීමෙන් කරුණු කාරණා දැනගෙන නිවන් මඟ පුරුදු කිරීමට මහන්සි ගැනීම නොකළහොත් තමාගේ මුළු මහත් නිවන් මඟ ම විනාශ වී බුදුසසුනෙන් බොහෝ දුරස් වී මහත් විපත්තිවලට පත් වීම වළක්වා ගත නො හැකි ය.

මේ අනතුරෙන් අපිට බේරීමට ඇති එක ම හා හොඳ ම විසඳුම වනාහී නිර්මල ශ්‍රී මුඛ බුද්ධ වචනය මත පිහිටා නිවන් මඟ පිළිබඳ සියලු තීන්දු තීරණ ගැනීම ම ය. මන්ද යත් බුද්ධ වචනය වනාහී අපගේ ශාස්තෘන් වහන්සේගේත් ශාස්තෘන් වහන්සේ නිසා ම ය. වර්තමානයේ ඇතැම් අය ශ්‍රී මුඛ බුද්ධ වචනයට ද පිටුපා නිවන් මඟ පිළිබඳ කථා කිරීමට පෙළඹී ඇති බව දක්නට ලැබේ. මහා පන්ථක තෙරුන් වදාළ ගාථාවල ඊට හොඳ උපමාවක් උන්වහන්සේ වදාළ සේක.

“තමන්ගේ නිවසට පැමිණෙන ශ්‍රියා කාන්තාවට අතින් පයින් ගහලා එලවා දමනවා වගේ දෙයක් තමයි ශාස්තෘන් වහන්සේගේ අවවාද නොපිළිගන්නා කෙනා කරන්නේ.”

එම නිසා බුදුරජුන්ගේ අවවාද ඇතුළත් බුද්ධ වචනය හොඳින් ඉගෙන ගත යුතු ය. ඒ තුළින් නිවන් මග පිළිබඳ ව සියලු දේ ඉගෙන ගත හැකි ය. එසේ ම වර්තමානයේ නිවන් මගට ඇති අභියෝග පිළිබඳ ව අප දැනගෙන සිටිය යුතු ය. වසර දෙදහස් හයසියයකට වැඩි කාලයක් ශාසනය විකාශනය වෙමින් නොයෙකුත් ශාසන විලෝපයන්, අර්බුදයන් හමුවේ වර්තමානය දක්වා පැමිණි වග අප තේරුම් ගත යුතු ය. ඒ තුළින් අනවශ්‍ය කලබලයත්, පුරසාරමත් ඉවතලා ඉවසීමත්, නිහතමානීකමත් පුරුදු කර ගත හැකි ය.

ක්ෂණික මග ඵල

මග ඵල අවබෝධය වෙනෙකෙකුට ලබා දිය නොහැක්කකි. බලහත්කාරයෙන් කෘත්‍රිම ව උපදවා ගත නොහැක්කකි. මග ඵල අවබෝධය ලැබීමට අවශ්‍ය ගුණධර්ම ජීවිතයක් තුළ දියුණු වන විට ක්‍රමානුකූල ව මාර්ග ඵල අවබෝධයට සුදුසු පරිදි සිත සකස් වේ. ඒ සඳහා යම් කාලයක් ගත වීමට පුළුවන. ඒ බව පහත නිදසුන් පැහැදිලි කර දෙනු ඇත.

01. බහුශ්‍රැත භාවයෙන් ද මනාව පිහිටි සිහිනුවණින් ද මනා වැටහෙන නුවණින් ද බලවත් ස්මරණ ශක්තියෙන් ද යුක්ත වූ අපගේ ආනන්ද මහරහතන් වහන්සේ මේ තුන් ලෝකයේ ම එම කාරණාවන්ගෙන් දෙවැනි වූයේ භාග්‍යවතුන් වහන්සේට පමණි. ආනන්දයන් වහන්සේ උපත ලැබුයේ ද බෝසතුන් උපන් දිනයේ ම ය. කුඩා කල පටන් ම සිද්ධාර්ථ කුමරුන් ඇසුරේ ම ජීවත් විය. සම්බුද්ධත්වයෙන් වසරක් ගෙවුන තැන පැවිදි බවට පත් විය. ඉන් පසු භාග්‍යවතුන් වහන්සේගේ ඇසුරේ ම ජීවත් විය. වසර 25ක් අග්‍ර උපස්ථායක ව කටයුතු කළේ ය. එපමණක් නොව සසරේ කල්ප ලක්ෂයක් පුරාවට බෝසතුන් සමඟ සෙවණැල්ලක් සේ පැමිණ ගුණධර්ම දියුණු කළේ ය. වසර 36 දී සෝවාන් ඵලයට පත් වූ ආනන්දයන් වහන්සේ වසර 80 දී අරහත්වයට පත් විය. වසර 44ක් නිවන් මග පුරුදු කළ සේක.

02. බෝසතාණන් වහන්සේ උපන් දිනයේ ම රජ මාලිගයේ ම ඡන්නයන් උපන්නේ ය. බෝසතාණන් වහන්සේගේ සමීපතම මිතුරා ලෙස බෝසතුන් මහ අභිනික්මන් කරන තුරු ම එකට වාසය කළේ ය. වසර 36 දී පැවිදි බිමට පත් විය. පෙර සසරේ කල්ප ලක්ෂයක් බෝසතුන් ඇසුරු කරමින් පැමිණියේ ය. වසර 44ක් නිවන් මග පුරුදු කරමින් වයස අවුරුදු 80 දී ඡන්න ස්වාමීන් වහන්සේ අරහත්වයට පත් විය.

03. සිද්ධාර්ථ කුමරුන්ගේ එක ම පුත්‍ර රත්නය ලෙස උපන් රාහුලයන් වසර 7 දී පැවිදි වී එම වයසේ ම සෝතාපන්න විය. උපාධ්‍යායන් වහන්සේ සාරිපුත්ත තෙරුන් ය. ආචාර්යයන් වහන්සේ මහාමොග්ගල්ලාන තෙරුන් ය. පෙර සසරේ ද කල්ප ලක්ෂයක් බෝසතුන් සමීපයේ ගුණධර්ම පුරුදු කළේ ය. වයස අවුරුදු 18 දී අරහත්වයට පත් විය. නිවන් මග පුරුදු කර ගැනීමට වසර 11ක් ගත විය.

වර්තමානයේ ජීවත් වන අපගේ ජීවිත මීට හාත්පසින් ම වෙනස් ය. අපට බුදුරජුන්ගේ ඇසුර නොමැත. රහතුන්ගේ ඇසුර නොමැත. පෙනෙන නොපෙනෙන පාපී බලවේග අපමණ ය. කෙලෙස් බලවත් ය. කායික මානසික හැකියාවන් දුර්වල ය. ඒ නිසා වඩා වැදගත් වන්නේ ධර්මාවබෝධය ලැබීමේ කැමැත්තෙන්, නිවන් මග පිළිබඳ ව පැහැදීමෙන් අඛණ්ඩ ව ධර්මය පුරුදු කිරීම බව අප තේරුම් ගත යුතු ය.

අපි මෙම ලිපියෙන් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන්නේ ද අරහත්වයට පින් ඇති බුද්ධ කාලයේ ජීවත් වූ පින්වතුන්ට පවා නිවන් මග පුරුදු කිරීමට යෑමේ දී තිබූ බාධක හා නිවන් මග කෙරෙහි විශ්වාසයෙන් කාලයක් ධර්මය පුරුදු කිරීම තුළ අවසානයේ ඒ අභියෝග ජය ගත් ආකාරය පිළිබඳ ව ය. මේ සඳහා අප පාදක කර ගනු ලැබූයේ ඛුද්දක නිකායේ ථේරී ගාථා පාළිය ය.

දහම කෙරෙහි තැබූ අඛණ්ඩ විශ්වාසය

“මං මහණ වෙලා අවුරුදු 25ක් ම ගෙවුනා. මෙච්චර කාලයකට මගේ හිත තුළ සමාධි මාත්‍රයක් ඇති වුණේ නෑ.
සිත දමනය කර ගන්ට බැරිව, සමාධියක් ලබාගන්ට බැරිව බුදුසමිඳුන්ගේ අවවාද සිහි කර කර මං ගොඩාක් සංවේග වුණා….”

(සාමා තෙරණිය වදාළ ගාථාවන් කිහිපයක්)

“මං මහණ වෙලා අවුරුදු විසිපහක් ම ගෙවිලා ගියා. මට ඇසුරු ගසන මොහොතක වෙලාවක්වත් සමාධිගත සිතක් ලබාගන්ට බැරි වුණා. චිත්ත සමාධියක් ලබාගන්ට බැරිව, කාමරාගයෙන් තෙමිල ගිය සිතින්, මං හිටියේ. ඉතින් මං දෑත හිසේ බැඳගෙන හඬ හඬා ආරාමය ඇතුළට ගියේ…”

(එක්තරා තෙරණියක වදාළ ගාථාවන් කිහිපයක්)

වර්තමානයේ බොහෝ දෙනා දින කිහිපයක් භාවනා වැඩමුළුවලට සහභාගී වී භාවනා කිරීමට මහන්සි ගනියි. අවසානයේ භාවනාවේ දියුණුවක් නොලද තැන සම්පූර්ණ නිවන් මග ම අත්හැර දමයි. එහි දී ඇතැම් විට බුද්ධ වචනය පවා ගැරහීමට පෙළඹේ. නමුත් ඉහත රහත් තෙරණිවරුන්ගේ ජීවිත ගැන සලකා බලන විට බුදුරජාණන් වහන්සේ වැඩ සිටිද්දී ම මහා ශ්‍රාවකයන් වැඩ සිටිද්දී ම නිවන් මග දියුණු වීමට සෑහෙන කාලයක් ගත වී ඇති බව පෙනේ. වඩාත් ම වැදගත් වන්නේ, ප්‍රතිඵල ලැබෙන තුරු දීර්ඝ කාලයක් අත්නොහැර ධර්මය පුරුදු කිරීම බව මින් පැහැදිලි ය.

අත් නොහළ යුතු පධන් වීරිය

“මං ගොඩක් කෙට්ටුයි. ලෙඩ වෙලා, දුර්වල වෙලා ඉන්නේ. ඒත් මං හැරමිටියේ එල්ලීගෙන ගිජුකුළු පර්වතයට නැග ගත්තා. පාත්තරේ මුනින් නවලා පැත්තකින් තිබ්බා. දෙපට සිවුරත් පැත්තකින් තිබ්බා. ගල් පර්වතේ මත වාඩි වුණා. මේ ජීවිතේ තුළ තිබුණ ‘අවිද්‍යාව’ නම් වූ කළුවර කෙලෙස් කඳ නැතිකරලා දැම්මා.”
(චිත්තා තෙරණිය වදාළ ගාථා)

සාමාන්‍යයෙන් සමාජයේ වීරිය ගැන කථා කරන විට සිහියට නැගෙන්නේ කායික වීරිය ය. නමුත් පධන් වීරිය වැඩීමේ දී ප්‍රධාන වන්නේ මානසික වීරිය ය. ඉහත ථේරී ගාථා ඊට කදිම නිදසුන් ය. එතුමිය කායික ව ඉතා දුර්වල ය. නමුත් දින ගණනාවක් කෙලෙස් තවමින් පධන් වෙර වැඩූහ. ඒ දිනවල කොතරම් බඩගින්න, පිපාසය දැනෙන්නට ඇද්ද? අව්වැසි පීඩා දැනෙන්නට ඇද්ද? කෙතරම් මැසි, මදුරු, සර්ප ආදී වන සතුන්ගෙන් පීඩා ලැබෙන්නට ඇද්ද? කොතරම් නිදිමත, අලසකම, කායික වේදනා ආදිය දැනෙන්නට ඇද්ද? නමුත් ඒ සියලු අභියෝග හමුවේ අඛණ්ඩ ව එක ම ආසනයක හිඳ කෙලෙස් නිරුද්ධ කිරීමට ඒ තෙරණිය සමත් වූහ. මෙසේ වීරිය කළ බොහෝ තෙරණිවරුන් ථේරී ගාථා පාළියේදී අපට හමුවේ.

අවසාන මොහොත පවා ප්‍රතිඵල සහිතයි

“මං හිටියේ ගොඩක් දුර්වල වෙලා. හැරමිටියේ එල්ලීගෙන පිණ්ඩපාතේ වඩිනකොට මගේ අත් පා වෙව්ලනවා. ඉතින් මාව එතන ම බිම වැටුණා. ඒ වෙලාවේ මේ ශරීරයේ ආදීනව හොඳට ප්‍රකට වුණා. මගේ හිත කෙලෙසුන්ගෙන් නිදහස් වුණා.”
(ධම්මා නම් රහත් තෙරණිය වදාළ ගාථා)

වර්තමාන සමාජයේ අඛණ්ඩ ව ධර්මය පුරුදු කරන අය මුණගැසෙන්නේ කලාතුරකිනි. රැකියාව නිසා, විවාහය නිසා, පදිංචිය නිසා, දරුවන් නිසා, වැරදි මතවාද නිසා ආදී නොයෙකුත් හේතු නිසා කලක් ධර්මය පුරුදු කර පසුව අතහැර දමයි. ජීවිතයේ ප්‍රධාන අංගයක් ලෙස නොකඩවා ධර්මය පුරුදු කිරීම නො කරයි. එය එසේ නො විය යුතු ය. මියෙන තුරා ධර්මය කෙරෙහි පැහැදීමෙන් නොකඩවා ධර්මය පුරුදු කිරීමට මහන්සි ගැනීම තුළ අසිරිමත් බුදු සසුනේ උතුම් ප්‍රතිලාභ අදටත් ළඟා කර ගත හැකි බව අප කවුරුත් සිහියේ තබා ගත යුතු ය.

(මහමෙව්නාව අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේ නමක් විසිනි)