කිරිමුත්තා දවසක් දා උදේ ම ගමනක් යනකොට අපේ ගමේ සියාතු මාමට මුණගැහුනලු. ඉතිං මහදැනමුත්තා සියාතු මාමගෙන් අහල තියෙනවා, “ඈ බං සියාතු, මේ උදේ පාන්දර උඹ කොහෙද යන්නෙ, බැහැරක්වත් ද?” කියලා. එතකොට සියාතු මාමා කිව්වලු, “මුත්තේ, මං මේ පොලෝසියට යන ගමං ඇන්ටි්‍රයක් දාන්ඩ.” කියලා.

“ඈ බං…. ඒ මොකටද?”

“මුත්තට කියන්ඩ මුත්තේ අපේ ලොකු කොලුවා හැමදාම බීගෙන ඇවිත් කෑගහනව ඌට අසාධාරණයක් උනා කියලා. ඊයෙ පොඩි කොලුවත් එක්ක රණ්ඩු උනා. ඒක බේරන්ඩ මැද්දට පැන්න මටත් දීල ඇරියා. මේං… මේං බලන්ඩ මුත්තේ මගේ කම්මුලත් ඉදිමිලා. මගෙ එකා කියලා බලන් නැතුව මං ඕකව හිරේට අරිනවා. ඔව් මුත්තේ තිත්ත වෙලා තියෙන්නෙ.”

ඒ වෙලාවේ කිරිමුත්තා කියනවා, “උඹලා දරුවො හදපු හැටි තමයි ඔය. හරියට හැදුව නං ඔහොම වෙයියැ.”

“මුත්තෙ, මං මුං දෙන්න වෙනුවෙන් කරන්ඩ පුළුහං හැම දෙයක් ම කෙරුවා ශක්ති පමණින්. හොඳට කන්න බොන්න දීලා ලොකු මහත් කෙරුවා. අධ්‍යාපනෙත් දුන්නා. රස්සාවකුත් හොයලා දුන්නා. ඉඩමෙන් භාගයක් දීලා ගේකුත් හදල දුන්නා. කිසිදේක අඩුවක් කළේ නෑ. දරුවෙක් වෙනුවෙන් මීටත් වඩා මොනවද පුළුහං. මෙච්චර කරලත් තාම සැනසිල්ලක් නැති හැටියක්!!”

එතකොට කිරිමුත්තා මෙහෙම කියනවා.

“ඉතිං උන්ට පොඩි කාලෙ ඉඳං ගුණධර්ම එහෙම ඉගැන්නුවෙ නැද්ද?”

“ඉතිං මුත්තේ ඉස්කෝලෙ යැව්වෙ ඒකටනෙ. එහෙං ඔක්කොම කොරනවනේ.”

“ඔක්කොම කොරනව? අනේ මෝඩ සියාතු, ඔය ඉස්කෝල කියන ජාතිය සුද්දෝ හැදුවෙ උන්ගේ ආයතනවල වැඩට ඕනෙ කරන සේවකයෝ හදන්ටයි. ඒ රස්සාවලට අවශ්‍ය දැනුම දෙන්ටයි. ඕකෙන් රස්සාවක් කරගෙන එදා වේල කාලා ජීවත්වෙන්ට පුළුහං. එච්චරයි. ඊට එහා දියුණු වෙන්ඩ ක්‍රමයක් හදල දීල නෙමෙයි උන් මේ රට අත් ඇරියේ.”

“හැබෑවට ම ද මුත්තේ…?”

“නැත්තං බොල. පේන්නැද්ද මේ රට දිහා බැලුවහම ඕකනේ වෙලා තියෙන්නේ. ගුණධර්ම කතා ඔය ඉස්කෝලවල ලොකුවට නෑ. ඒක හින්දා කවුරුත් හදන්නං වාලේ දරුවෝ හදන්නැතුව පොඩි කාලෙ ඉඳං දරුවන්ට ගුණධර්ම උගන්වන එක දෙමව්පියන්ගේ වගකීමක්.

දැන් බලාපං සියාතු, අපේ මෝඩ අම්මණ්ඩිලා කරන වැරදි. පොඩි උං ඔය පුටුවක හරි හැප්පිලා ඇඬුවොත් මේ අම්මණ්ඩි ඇවිල්ලා පුටුවට ගහනවා. මගෙ පුතාට රිද්දුවාට ඇත්දැයි කියලා. මේ පැටියා ඒක දැකලා සතුටු වෙලා ඇඬිල්ල නවත්තනවා. හැබැයි ඒ දරුවගේ ඔළුවට ගියේ තමන්ට රිද්දපු කෙනාට පෙරලා රිද්දුවොත් හරි කියන එක. ඌ ලොකු වෙච්ච දවසට දන්නේ ගැහුවොත් ගහල හරි, බැණ්නොත් බැණලා හරි හිත හදාගන්ඩ මිසක් ඉවසන්ට නෙමෙයි. පස්සේ අම්මලා කංකෙඳිරි ගානවා, මෙවුං දැන් එකට එක කියනවා, කීකරු නෑ. අපටත් ගහන්ඩ එනවා කියලා. කාගෙද වැරැද්ද? පුංචි කාලේ අඬද්දි පුටුවට ගහන්නැතුව, ඔළුව අතගාලා ආදරෙන් කිව්ව නං මගේ පුතා ඕක ගණං ගන්ඩ එපා. හොඳ පුතා වගේ ඉවසන්නකෝ. ඕක පොඩි දෙයක්නේ කියලා, ඒ දරුවගේ ඔළුවට යන්නේ ඉවසීම කියන ගුණය. ලොකු උනහමත් ඕන එකක් ඉවසන්ඩ දන්නවා.”

ඒ වෙලාවේ සියාතු මාමා කියනවා “එහෙම කෙරුවට හරියන්නෑ මුත්තේ.. එතකොට පොඩි එවුං අඬන්නේ එක දෙක කරලා.”

“බොල සියාතු, මනුස්සයෙක් එක වංගියට ම හැම දේම ඉගෙන ගන්නෑනේ. ඔය ටිකක් අඬපුවාවේ. පොඩි එකා ඌට ඇතිවෙනකං අඬලා නවත්තයි. හැබැයි දිගින් දිගට ලොකුවෙනකං අවුරුදු ගාණක් මේක කියද්දි කියද්දි ළමයා ඉවසීම ඉගෙන ගන්නවා. එහෙම නැතුව උඹලගෙ හදිස්සියට බෑ.

ඊ ළඟට මෙහෙම කල්පනා කොරාපං. ඔන්න අල්ලපු ගෙදර බල්ලා ගෙදරට එනවා. තාත්තා පුටුවේ ඉඳං කියනවා ආං පුතේ බල්ලෙක් ඇවිත්, ඌ ජරා කොරන්ඩ කලින් ගහලා එලෝපං කියලා. මේ ළමයාට තාත්තා පුරුදු කළේ සත්ව හිංසාව. කවදා හරි ලොකුවෙලා තාත්තාටත් ගහනවා. බොරු ද මං කියන්නේ?”

එතකොට සියාතු මාමා, “ඉතිං මුත්තේ එලෙව්වේ නැත්තං ගමේ ම බල්ලො මිදුලේ ජරා කරලා යයි නේ.”

“ඉතිං යකෝ පොඩි එකත් එක්ක එකතුවෙලා අයිං කොරාපං. ළමයා ඒකත් ඉගෙන ගන්නවානෙ. උඹලා නාකි වෙච්ච දවසට උන්ගෙ අතින් ම උපස්ථාන කරයි කැතක් නැතුව. හැමදේට ම පුරුදු වෙලානේ තියෙන්නේ. එහෙම නැත්තං අඩුම තරමේ තාත්තා කිව්වා නං ‘අන්න බල්ලෙක් ඇවිත් ඉන්නවා. පුතේ සතුන්ට හිංසා කරන එක පව් වැඩක්. උනුත් අහිංසකයිනේ. ජරා කරන නිසා වදින්ඩ ගහන්නැතිව එලෝලා දාන්ඩ’ කියලා, මොකක් හරි ගුණයක් පොඩි එකාට යනවනෙ සියාතු. සතෙකුටවත් හිංසා කරන්නැති දරුවෙක් තාත්තාට ගහන්ඩ, අම්මට එකට එක කියන්ඩ යන්නෑනෙ. ළමයිට පොඩි කාලෙ ඉඳං සතුන්ට දයාව කරුණාව දක්වන්නේ කොහොමද, අසරණ මිනිස්සුන්ට අනුකම්පාව දක්වන්නේ කොහොමද කියලා කියල දෙන්ඩ ඕනේ. එතකොට හදවත් මෙළෙක් වෙනවා. තෙත් වෙනවා. නැත්නං පෝං කෑලියි, කොම්පෝටරෙයි එක්ක ම හිටියොත් උනුත් මැෂින් වගේ හදවත් ගල් වෙනවා. අනක් ගුණක් නෑ.”

ආයෙත් මුත්තා අහනවා, “දැං ඔය ඉලංදාරි දෙන්නා පොඩි කාලේ රංඩු සරුවල් උනේ එහෙම නැද්ද?”

“මොකද නැත්තෙ මුත්තේ, උං දෙන්නා කොච්චරවත් ගහගන්නවා. අන්තිමට පොඩි එකා අඬනවා. හාමිනේ ඇවිත් ලොකු එකාට තඩිබානවා. එතකොට පොඩි එකත් මට ගැහුවට උඹට ඇද්ද කියලා සතුටු වෙලා ඇඬිල්ල නවත්තනවා.”

“බලාපං යෝදයෝ, උඹලගෙ හාමිනේ වැඬේ වරද්දගෙනනේ. ඔහොම කරද්දී ළමයිගේ ගුණයක් ඉතුරු වෙයි ද? උන්ගේ හිතේ වැඩෙන්නේ, එකට එක කිරීම, ක්‍රෝධය, වෛරය, පළිගැනීම, ඉරිසියාව මිසක්ක සහෝදර ප්‍රේමයක්, අම්මට තාත්තට ගෞරවයක්, මනුස්සකමක් අහලකවත් තියෙයි ද?

දරුවන්ගේ අම්මාට කරන්ඩ තිබ්බේ, ලොකු ළමයාගේ ඔළුව ආදරෙන් අතගාලා ‘මගෙ පුතාගෙ මල්ලියනේ. ඔයාට මෙච්චරයිනේ ඉන්නේ. එයා පොඩියිනේ… තේරෙන්නැති නිසානෙ ඔය. මොනවා කරත් පුතා ඉවසන්නකෝ. මල්ලි පව්නේ’ කියලා කියන්න. එහෙම කිව්වා නං ලොකු දරුවට සහෝදරකම, ඉවසීම, දරාගැනීම, කරුණාව, ඊ ළඟට මාතෘ ප්‍රේමය, ගෞරවය පුරුදු නො වී තියෙයි ද? ගැහුවම අම්මා අනිත් පැත්ත ගත්තා කියලා පොඩි දරුවා ගැන ඉරිසියාවක් නෙ ඇති වෙන්නේ. අනික ගහද්දි මාතෘ ප්‍රේමයක් ද ඇතිවෙන්නේ, අම්මා ගැන ක්‍රෝධයක් ද පුරුදු වෙන්නේ? ලොකු උනහම ආපස්සට සැර කොරනවා තමයි.

පොඩි එකා අඬනකොට ඔළුව අතගාලා කියන්ඩ ඕනේ, ‘මගෙ පුතා අයියා එක්ක රණ්ඩු කරන්ඩ හොඳ නෑනෙ. අයියා වැඩිමල් නෙ. ඔයා වැඩිහිටියන්ට ගරු කරන්ඩ ඕනනේ. නැත්නං පුතාට පව් සිද්ධ වෙනවනේ. ඔයාගෙනෙ වැරැද්ද. ඒකනෙ අයියා ගැහුවේ. දැං ඉවසගෙන ඉන්නකෝ. ඕක පොඩි දෙයක්නේ. හැබැයි ආයෙත් වැරදි කරන්ඩ එපා. ගණන් ගන්නැතුව අතහැරලා දැං ගිහිං හා යාළුවෝ වගේ සෙල්ලං කරන්ඩකෝ’ කියලා. එහෙම කිව්වා නං පුංචි එකා ගුණධර්ම කීයක් ඉගෙන ගනී ද? පොඩි කාලෙ ඔය විදියට ළමයි හැදුවා නං ටික ටික ලොකු වෙනකොට ළමයිගේ හිත්වල දෙමව්පිය වැඩිහිටි ගෞරවය, සහෝදරකං, මනුස්සකං හොඳට පිහිටලා තියෙයි. එහෙම ළමයිට ඇඟිල්ලෙන් ඇන ඇන පාඩං කොරපං, ඉස්කෝලෙ පලයං, අරක කරපං කියන්ඩ දෙයක් නෑ. යස අගේට එව්වත් කර ගන්නවා. එහෙම හැදුවා නං උං ජීවත්වෙන විදිහ බලලා උඹලාටත් හිනැහෙන්ඩ තිබ්බා. මං කියන්නේ බොරු නෙමෙයි නේ ද සියාතු?”

ඒ වචන ටික ඇහෙද්දි සියාතු මාමගෙ ඇස්වලින් කඳුළුත් පැන්නා.

“මුත්තා කියන්නේ සහතික ඇත්ත මුත්තේ.”

“ඒ නිසා සියාතු, දෙමව්පියො දරුවො හදනකොට කක්කා හෝදන අතයි, බත් කන අතයි විතරක් කියලා දුන්නාට මදි. ඉවසීම, කරුණාව, අනිත් අයට ගෞරවය වගේ මනුස්සකං, ගුණධර්ම දණ ගාන කාලේ ඉඳං ම උගන්නන්ඩ ඕනෙ. දෙමව්පියෝ කියන්නේ දරුවන්ගේ මුල් ගුරුවරු, පූර්ව දෙවිවරු කියලයි බුදුරජාණන් වහන්සේත් ධර්මයේ උගන්නන්නේ.
දරුවන්ට ගුණධර්ම පුරුදු පුහුණු කරවන්නැතුව ‘අධ්‍යාපනේ අධ්‍යාපනේ’ කියලා ඉස්කෝලවලටයි, ටියුසං පංතිවලටයි ගාල් කරනවා විතරයි නං කරන්නේ උන් හැදෙන්නේ හරක් වගේ. කවදා හරි අං ආවහම අනිනවා. එතකොට ඉතිං ‘මුන්ට මුල මතක නෑ, සහෝදරකං නෑ, දෙමව්පියෝ අඳුරන්නෑ, කියන දෙයක් අහන්නෑ’ කිය කිය අඬන්ඩ තමයි වෙන්නේ. කවදහරි හදපු දෙමව්පියන්වත් වැඩිහිටි නිවාසෙකට ගාල් කරයි. අන්තිමට ඔච්චරයි. ඕං කිව්වා. ඒ නිසා දරුවන්ට ගුණධර්ම උගන්නන එක තමයි හදපු දෙමව්පියෝ කොරන්ඩ ඕන ම එක. ගෙදර කියන්නේ දරුවන්ට ගුණධර්ම උගන්නන පාසල. දෙමව්පියෝ තමයි ගුරුවරු. තේරුණා ද සියාතු?”

“හොඳටම තේරුණා මුත්තේ. මං ආපහු ගෙදර යනවා. ඇන්ටි්‍රයක් දාලා වැඩක් නෑ. හරියට බැලුවොත් ළමයි නෙමේ හිරේ අරින්ඩ ඕන. මාවයි, හාමිනෙයි. අපි දරුවෝ හදපු විදිහ හරි මදි මුත්තේ. මං යන්නං. උඹට පිං මෙව්වා කියලා දුන්නට.” කියලා කිරිමුත්තාට වැන්ද සියාතු මාමා කම්මුල අත ගගා අඬ අඬා ගෙදර ගියා.

විශේෂ සටහන:-

“මහණෙනි, දරුවෙක් ළදරු අවධියේ සිටම මෛත්‍රී, කරුණා, මුදිතා, උපේක්ෂා යන ගුණයන් දියුණු කරයි නම් ඔහු පව් කමක් කරන්නේ ද?” “ස්වාමීනී, නැත.” “පව්කම් නොකර කල්හී දුක් විපාක ස්පර්ශ කරාවිද?” “ස්වාමීනී, නැත. පව් නොකරන කල්හි කෙසේ නම් දුක් විපාක ස්පර්ශ කරයි ද…”

(කරජකාය සූත්‍රය – අං.නි. 6)

මහමෙව්නාව අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේ නමක් විසිනි