සඳ දීප්තිමත් ව පායා තිබිණි. තාරුකා සඳ රැසින් නැහැවී යන පරිසරය ගතට සුවදායක බවක් ඇති කරමින් පරිසරය තුළ අපූර්ව චමත්කාරයක් ඇති කරයි. ඇල්ලෙන් ගලා බසින දියපාර ගල ගල හඬක් නංවමින් පරිසරයට ගීතවත් බවක් එක් කරයි. අපි දිය ඇල්ලට මුහුණලා එළිමහනේ ගල්තලාවක් මත වාඩි වී උන්නෙමු.

අප අතර පැවතියේ නිහඬ බවකි. එය බිඳින්නට මට අවශ්‍යව තිබුණ ද ඔහුගේ දැඩි නිහඬ බව මට ඒ සඳහා අනුබල නොදෙයි. ඔහු නිහඬ බව ප්‍රිය කරන්නෙකි. සමහර විටෙක ඔහුගේ මේ නිහඬ බව මට මහත් ප්‍රහේලිකාවකි.

“මොනව හරි කියන්න. නිහඬව ඉන්නවට වඩා ඒක හරි වැදගත්. මට යමක් ඉගෙන ගන්නත් පුළුවන් එතකොට.”

ඔහුව කථා කරවනු පිණිස මම කියමි. කට කොණකට සිනාවක් නගා මදෙස බලන ඔහු “වචනවලින් විතර ද කථා කරන්න පුළුවන්?” යැයි කියා සිනාසෙයි. ආයෙම ඔහු පුරුදු නිහැඬියාවේ ම යෙදෙයි. නිහඬ ව කථා කරන්න ඔහු මට වටිනා යමක් උගන්වනවා ද…

“අපට කථා කරනවා.” ඔහු එක්වර ම කීවේ ය. මම පුදුමයෙන් ඔහු දෙස බැලීමි. දිය බීමට පැමිණි මීමින්නෙකු හෝ හාවෙකු ඔහුගේ වචනවලට බියපත්ව වන වදුල බිඳගෙන දිව ගියේ ය.

“කවුද?” මම ඇසුවේ ඔහු පෙරළා පිළිතුරක් දෙති’යි යන විශ්වාසයෙන් යුතුව නො වේ. “මාතෘ භූමිය” ඔහු කී ය.

වෙනකෙකු විසින් මෙවෙලෙහි මෙවැන්නක් කීවේ නම් මම මේ වන වදුල සිසාරා යන තරමට කෑ ගසා සිනාසෙන්නෙමි. නමුත් ඔහු ඉදිරියේ මගේ ඒ සංකර බව මා තුළ ම සිරව යන්නේ ඔහු යමක් කියන්නේ ගැඹුරු අරුතක් ඇතිව බව දන්නා නිසාවෙනි. සමහර විටෙක මම ඔහුගේ වචන නමැති ඉන්ද්‍රජාලික ග්‍රහණයට හසුව සිටින්නේ යැයි මට සිතේ.

“මාතෘ භූමිය වෙනුවෙන්, ජාතිය වෙනුවෙන් යමක් කරන්න අපට කාලය ඇවිල්ලා. මේ දිය දහර, මේ හමන සුළඟ, මේ ගස් සෙලවෙන ශබ්දය ඒක අපට කියනවා. මම ඒවත් එක්කයි මේ කථා කර කර හිටියෙ. මේ බලන්න මගේ හදවත උණුසුම් වෙලා.” ඔහු මගේ අතක් ගෙන ඔහුගේ පපුතුරේ රඳවා ගනිමින් කීවේ ය. ඇත්තෙන්ම ඒ හදවතේ අසාමාන්‍ය ස්ඵන්දනය මගේ අතට දැනුණි. ඔහුගේ ආධ්‍යාත්මය අවදි වී තිබේ.

“මොනවද අපිට කරන්න පුළුවන්?” ඔහුගේ සිතේ ඇති හැඟීම දන්නා නිසා මම විස්තර නොවිචාරා ම ඇසුවෙමි.

“රට ජාතිය බේර ගන්න, ගොඩ නගන්න කළ යුතු දෙයක් අපිට තියනවා. මගේ හිතේ එක එක අදහස් තියනවා. තව ටිකක් කල්පනා කරලා හොඳ දෙයක් කරන්න ඕනෙ. මූලික ම දේ ඇති වෙලා තියෙන විනාශය නවත්ත ගන්න එක.” ඔහු කීවේ ස්ථිරසාර හඬකිනි.

දියපහර ද හමන සුළඟ ද සෙලවෙන තුරුලතාවන් ද මොහොතක් නැවතී සිට ඔහුගේ ඒ උදාර අදහස් ඈත නමුණුකුල කඳු ශිඛර සිසාරා පැතිරෙන්නට ඉඩ හැරියාක් මෙන් මොහොතකට නිසොල්මන් වූ බවකි මට සිතුණේ. බාධාවකින් තොරව ගලා ආ සඳරැසින් ඔහුගේ මුහුණ මට හොඳින් ම පෙනේ. පළල් නළලත්, ඝන දෙබැමට යටින් පිහිටි විසල් දෙනෙතත් තෙත් ස්වභාවයකින් යුතුව දීප්තිමත් ව බබළන්නට විය. ඔහුගේ දිගු නැහැය හදවත පිස පිටවෙන උණුසුම් වාතයෙන් පිම්බී තිබුණි. උදාර මිනිස් හැඟීම්වලට පණ දීම පිණිසදෝ ඔහුගේ දෙතොල මසින් පිරී පවතී. අකීකරු කෙහෙරැලින් මුහුණේ තැනින් තැන වැවී ඇති රැවුලත් ඔහු තුළ කිසියම් උද්වේගකර ස්වභාවයක් පළකරනවා මෙනි. යෞවනයේ සිටි ඔහු ඇත්තෙන් ම සුන්දර ය. ‘ආර්යන් දම්සෙන්.’ ඔහු අපේ පාසලේ අලුත් සංගීත ගුරුවරයා ය. මා සමඟ ගුරු නිවාසයේ සිටින මගේ සගයා ය.

“ඇයි මගේ මූණ දිහා ම බලාගෙන ඉන්නෙ?” මම සිනාසුනෙමි.

“අපි ඉස්කෝලෙන් පටන් ගනිමු.” ඔහුගේ උකුල මත වූ ගිටාරය මට දෙමින් ආර්යන් කීවේ ය.

“ආර්යන් තාම අලුත් නිසා ස්ටාෆ් එකේ පරණ අය මේක කොහොම බාර ගනී ද දන්නෙ නෑ.” මා කීවේ පාසල් කාර්යමණ්ඩලයේ ස්වභාවය හොඳින් ම දන්නා නිසාවෙනි.

“එතනදි නම් ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. ඒත් ඉතින් විදුහල්පතිතුමා කැමති වුණොත් ප්‍රශ්නයක් වෙන එකක් නැහැ. අනික අපි කරන්න හදන්නෙ නරක දෙයක් නෙවෙයි නෙ.”

“කරගෙන යනකොට ආර්යන්ට ම තේරේවි. කොහොම උනත් ඔයාගෙ හැමදේකදි ම මමත් ඉන්නවා.” මම ඔහුගේ වම් උරය මත මගේ දකුණත තබමින් කීවෙමි. සිනාසුණ ඔහු මා විශ්වාස කරන බවක් හැඟවී ය. ඔහු තුළ සතුටක් ඉපදී තිබිණි.

“අපි සින්දුවක් කියමු.” මම ගිටාරය ආපසු ඔහුට දෙමින් කීවෙමි. තත් පරීක්ෂා කළ ඔහු මොහොතක් නිහඬව සිට ගයන්නට පටන් ගත්තේ ය.

“ගගන වලා පෙළ පා කර ඈතට
මුදුන් වෙලා සඳ එබී බලන විට
ඉතිං ඇබින්දක් සතුටු සිතේ මට
තව එච්චර කළුවර වී නැහැ….

තුමුල නමුණුකුල ගිරිහිස සිපගෙන
සිහිල් සුළඟ විත් රහස් කියන විට
ඉතිං කොයිතරම් සතුටු සිතේවි ද
ඔබත් සිටී නම් මං ළඟ තනියට….

එකින් එකට තරු පෙළට පායමින
සමනල යන්නට පාර කියන විට
ඉතිං කොයිතරම් සතුටු සිතේවි ද
ඔබත් ඒවි නම් මා හා යන්නට…”

ඔහුගේ ගැඹුරු හඬ දෙසවනින් ඇතුල්ව හදවතේ ගැඹුරු ම තැනක් පහුරු ගානා බවක් මට දැනේ. මගේ හදවත ද කිසියම් ජීවමය උද්වේගයකින් පිරී යන්නට විය.

ඊළඟ සතියේ දී ම ඔහුගේ සිතේ වූ විවිධාකාර අදහස් දැනගන්නට අපට හැකි විය. ප්‍රාථමික අංශයේ සිසුවියන් ළඟ තිබී මත්පෙති වර්ගයක් හසු වීම නිසා පාසල ම කැළඹීමට පත් විය.

විදුහල්පතිතුමා කලක සිට මේ මත් උවදුර පාසලට ඇතුල් වීම වළක්වාලීමට කොතෙක් උත්සාහ කළමුත් ඒවා අසාර්ථක විය. අවසානයේ ඉහළ පන්තිවල සිට පහ වසර දක්වා එය ව්‍යාප්ත ව තිබීම නිසා ය පාසල මේ තරමට කැළඹීමට පත් වුණේ. පසු දින ම ගුරු දෙගුරු රැස්වීමක් කැඳවනු ලැබිණ. ආර්යන් මෙහිලා ප්‍රමුඛ ව කටයුතු කළ නිසා අරමුණ පමණක් පැහැදිලි කළ විදුහල්පතිතුමා දෙමාපියන් ව දැනුම්වත් කිරීම ආර්යන්ට පැවරුවේ ය.

“අපි ජාතියක් විදිහට, රටක් විදිහට ඉතාමත් ම අවදානමකට මූණ දීලයි ඉන්නෙ. එක අතකින් අපේ සාරධර්ම, සංස්කෘතිය, ආර්ථිකය විනාශ කරන්න බටහිර රටවල් උපාය මාර්ග යොදන විට දෙමළ ජාතිවාදයත්, මුස්ලිම් ආගමික අන්තවාදයත් වෙන වෙනම පාර්ශව වශයෙන් අපට විරුද්ධව විවිධ මුහුණුවරින් නැගී සිටිනවා. ඔය අතර කතෝලික පිරිස කතෝලික සභාවේ න්‍යාය පත්‍රයට අනුව මේ රටේ සමහරක් නායකයන් ව රූකඩ බවට පත් කරලා නටවනවා. අපි මොනවද කරන්නෙ? නිකම් නිදාගෙන වගේ ඉන්නවා. රටේ උපදින්න ඉන්න දරුවො හත්සීයකට ආසන්න පිරිසක් දිනපතා ම මව්කුස තුළ මරලා දානවා. ඒ ඔක්කොම සිංහල ළමයි. අවුරුද්දකට ලක්ෂ දෙකහමාරකටත් වැඩියි.

ඊටත් වඩා භයානක විදියට දිනපතා පාසල් දරුවන් ව මත්ද්‍රව්‍යවලට ගොදුරු කරලා විනාශ කර දැමීමේ කුමන්ත්‍රණයක් රට පුරා ම ක්‍රියාත්මක වෙනවා. නාගරික, ග්‍රාමීය කියලා වෙනසක් නැහැ. රට පුරා ම මත්පෙති පාසල්වලට ඇවිත් ඉවරයි. මේවා පිටිපස්සෙ ඉන්නෙ ම අන්තවාදී පිරිස්. විශේෂයෙන් ම ආගමික අන්තවාදීන්. අනිත් පැත්තෙන් කෑමවලට වස විස දානවා.

විශේෂයෙන් ම තේ කුඩු වගේ දේවලට. එයාලගෙ පිරිස්වලට හලාල්. අපට වස විස. මේ හානියෙන් බේරෙනවා කියන එක ලේසි නෑ. හැබැයි මේක තේරුම් අරගෙන කටයුතු කළොත් පුළුවන්. මේ දරුවන් ව විතරක් නෙවෙයි, මේ රටත් ආරක්ෂා කරගැනීමේ වගකීම අපි හැමදෙනාට ම තියෙනවා.”

ආර්යන්ගේ කථාව පැයකට ආසන්න කාලයක් පැවතුණි. ඇති වී තිබෙන තත්ත්වයේ බරපතළකම පිළිබඳ ව ප්‍රමාණවත් අවබෝධයක් සියලු දෙනාට ම ලැබුණ බව පැහැදිලිමුත් මේ පරපුරට කොතෙක් කලක් මේ දේවල් මතක තියේවිදැයි මම නොදනිමි. පාසලට පැමිණෙන මුස්ලිම් දරුවන් කිහිප දෙනෙකු ද සිටි නිසා පැමිණ සිටි ඔවුන්ගේ මව්වරුන් ඉක්මනින් පාසල් බිමෙන් පිටව යනු මම දුටිමි.

“කොහොමද කථාව මිනිස්සුන්ට ගියා ද?” පාසල අවසන් ව ගුරු නිවාසයට එන අතරතුර ආර්යන් ඇසුවේ ය.

“මිනිස්සුන්ට නම් තේරුණා. ඒත් ඉතින් ස්ටාෆ් එකේ අයට තේරිලා නැහැ වගෙයි. දයාපාල සර්ලා කටු කුටු ගගා හිටියා මං දැක්කා.”

“හොරිකඩ චරිත නෙ.” ආර්යන් කීවේ එපමණකි.

එය මා සිතූ අයුරින් ම සිදුව තිබුණි. සඳුදා දින දහවල විවේක කාලයේ දී ගුරු මණ්ඩලයේ කචල් කණ්ඩායමේ සාමාජික පිරිස මාව වටකර ගති.

“ඔහේගෙ යාළුවා හරි පණ්ඩිතයා නේ ද? නහරයක් වැඩි ද මන්දා.” දයාපාල මහතා කියද්දී අනෙක් අය හිස වනා එය අනුමත කළහ.

“ඇයි රට ජාතිය ගැන කතා කරන එක ද?”

“මේං දැන් මෙයත් ඉදිමිලා.” ඉන්ද්‍රානි මහත්මිය මගේ මූණට ම කීවා ය. ආර්යන් අප අතරට එන බව දුටු මට පිළිතුරක් දීමට නොහැකිව සිර වී සිටියෙමි.

“ඇයි මොකද කට්ටිය වට වෙලා. ආයෙමත් බෝම්බ පුපුරල ද?”

“ආයෙ බෝම්බ පුපුරන්නෙ නැති කරන්නනෙ ඔයාල ඡන්දෙ දාන්නෙ. අපි කථා කළේ ඔයාගෙ කථාව ජාතිවාදී වැඩියි. මේක මිශ්‍ර පාසලක්. ජාතීන් තුනේ ම ළමයි එනවා.” දයාපාල මහතා වේගයෙන් කීවේ ය. ආර්යන්ගේ ද පුරුදු සංවරය බිඳුණි.

“එක, බෝම්බ පිපිරුවේ නැති වුණාට උන් යුද්දෙ නවත්තලා නෑ. දෙක, ජාතිවාදය යි ජාති ආලය යි දෙකක්. ඔය දෙක ම ඔයාලට පැටලිලා. මෙහෙමත් වෙනවා. අවස්ථාවාදියා ජාතිවාදය ජාති ආලය කරගන්නවා. කුහකයා ජාති ආලය ජාතිවාදය විදියට දකිනවා. තම තමන් කවුද කියලා තම තමන් දැනගන්න.”

සියල්ලගේ ම කටවල් වැසුණි. මම ආර්යන් ඇදගෙන ඉක්මනින් විවේකාගාරයෙන් පිටතට පැමිණියෙමි.

බදාදා උදෑසන ම මුස්ලිම් දරුවන් කිහිප දෙනෙකු පාසලෙන් අස් කර ගන්නා ලදී. සිකුරාදා වන විට කලාප කාර්යාලයට නිර්නාමික ලිපියක් ලැබී ඇති බව ද අපට දැන ගන්නට ලැබිණි. මේ තත්ත්වය ගැන අපි සුපුරුදු ගල්තලාවට වී සාකච්ඡා කළෙමු.

“මේ චක්‍රලේඛ, අණපනත් එක්ක අපි හිතන දේ කරන්න අමාරු වෙයි. අපි මේක ගමේ පන්සල හරහා ඉදිරියට ගමු.” අවසන් තීරණය එය විය.

……………………………………………………..

“ඇත්ත හාමුදුරුවනේ. අපි හැමෝම මැරෙන උදවිය තමයි. ඒත් අපි මැරෙන්න ඕනෙ අපිට තිබුණ රට අපේ දරුවොන්ට අහිමි කරල ද ඉතුරු කරල ද කියන කාරණය ගැන අපිට හිතන්න වෙනවා ම යි. දැන් ලබන මාසෙ අවුරුදු එනවා. අපේ අය ණය වෙලා හරි සල්ලි හොයාගෙන උන්ගෙ කඩවලින් ලාභයි කියලා බඩු ගනීවි. ඊට පස්සෙ උන් ඒ සල්ලිවලින් අපේ ජාතිය විනාශ කරන්න ආයුධ ගනීවි. මත්පෙති, මත්ද්‍රව්‍ය ගෙනේවි. පුළුවන් තරම් ළමයි හද හදා අපේ සල්ලිවලින් ම උන් ව පෝෂණය කරලා අපේ සල්ලිවලින් ම ගන්න ආයුධ අතට දීලා අපි ව ම විනාශ කරාවි.”

“මහත්තයා කියන කාරණය මට තේරෙනවා. අපි මොකද කරන්නෙ?” ආර්යන් පෙරට වඩා උද්‍යෝගයෙන් කතා කරන්නට විය.

“හාමුදුරුවනේ, මුස්ලිම් ජාතිකයින් අතට යන අපේ සල්ලි ටික නවත්ත ගන්න ඕනෙ. ඊ ළඟට අපේ මිනිස්සුන් ව ඉන්න දරුවන් ව ආරක්ෂා කරගන්න ගමන් තව දරුවො හදන්න පොළඹවන්න ඕනෙ. අද අපි මේ දේ කෙළින් කතා නොකළොත් අනාගතේදි ආයුධවලින්වත් අපිට මේක දිනාගන්න බැරි වෙනවා. එදාට අනාගත පරම්පරාව අපට ශාප කරනවා ම යි.”

“මහත්තයා මොකද මේ ගැන කරන්න හිතාගෙන ඉන්නෙ?”

“අපි ගෙයක් ගෙයක් ගානෙ ගිහින් හරි මේ ගැන දැනුවත් කරන්න ඕනෙ. ඊට අමතරව අපි පත්‍රිකාවක් මුද්‍රණය කරනවා. මේකෙදි හාමුදුරුවන්ගේ ඍජු මැදිහත් වීමක් තියෙනවා නම් අපිට ඒක ලොකු හයියක්.”

ආර්යන් සිය මායාකාරී දෑසින් යුතුව බලා සිටින්නට විය. ලොකු හාමුදුරුවන්ගේ අත ඔහුගේ සිරස මත තැබුණි.

“පුතා කැමති විදියට හැමදෙයක් ම වෙයි.” අපි දෙදෙනා ම පුදුමයටත්, සතුටටත් පත් වීමු. ඒ සතුට දවස පුරා ම අපේ සිත්වල තිබුණි.

ඊළඟ සතියේ සඳුදා උදේ ම අපට නරක ආරංචියක් ලැබුණි.

“දයාපාල සර් ගුරු නිවාසෙ ආයෙම ඉල්ලනවා. එයා තමයි කලින් හිටියෙත්.” විදුහල්පතිතුමා සත්‍ය කාරණය වසන් කොට කතා කළ බව අපි දනිමු. අප ඒ ගැන වැඩිපුර ඇසුවේත් නැත.

කලබල නොවුණ අපි නායක හාමුදුරුවන්ට සන්ධ්‍යාවේ දී මේ ගැන කීවෙමු.

“කැමති නම් පන්සලේ නවතින්න. ඒක ආර්යන්ටත් හොඳයි.” අපි ඊට බලවත් සේ කැමති වීමු. පසුදින ම අපි ගුරු නිවාසය භාර දී පන්සලේ නැවතුනෙමු. “මුස්ලිම් ළමයින් ව අස් කරවලා තියෙන්නෙත් දයාපාල ම තමයි. එක තාත්තා කෙනෙක් හාමුදුරුවෝ එක්ක කියලා. අද හවසට එනවලු අපිව මුණගැහෙන්න.” ආර්යන් කියද්දී මම පුදුමයෙන් අසා සිටියෙමි. කිසියම් අවිනිශ්චිත හැඟීමක් මසිත ඉපදෙන්නට විය.

“මොහොතකටවත් හිතන්නෙපා මේ ගමන යන්න තියෙන්නෙ රෝස මල් මතින් කියලා.” ආර්යන් කියද්දී මට කිසියම් සහනයක් දැනුණි. අප මුණගැසීමට ඔහු පැමිණියේ නැත. පසු දින අස්කරගෙන ගිය දරුවන් සියලුදෙනාව ම නැවත පාසලට ඇතුල් කිරීම පිණිස පැමිණ සිටිනු දුටු අප දෙදෙනාට ම ජයග්‍රාහී සතුටක් ඉපදුණි.

“හැම මුස්ලිම් මිනිහ ම නරක නෑ.” මම කීවෙමි.

“කවදාවත් විශ්වාස කරන්නෙපා.” ආර්යන් එක්වර ම කීවේ ය.

“ඇයි?”

“කැමැත්තෙන් හරි අකැමැත්තෙන් හරි ඒ හැමෝගෙ ම අතට අපිට විරුද්ධව ආයුධයක් දෙන දවසක් එනවා. එදාට ඒ අය අසරණයි. කොටි කළෙත් ඒක ම යි.”

ඒ සති අන්තයේ අපි ලොකු හාමුදුරුවන් සමඟ ගමේ ගෙයින් ගෙට ගියෙමු. පරපුර බෝකර ආරක්ෂා කරගැනීම පිණිසත්, සිංහල බෞද්ධයන් සමඟ සියලු ගනුදෙනු කරන ලෙසත් අපි ඒ සියලු දෙනාගෙන් ඉල්ලා සිටියෙමු.

“කසාද බැඳලා ගෑනියෙක්ව ගෙනාවෙ මුන්ගෙ දැලි වළං කැත කුණු හෝදවන්න නෙවෙයි නෙ. තියෙන දෙයක් කාලා මේ රටේ ම වැටිලා ඉන්න හිතට ගත්තොත් හොඳයි.” ලොකු හාමුදුරුවෝ හැම ස්වාමි පුරුෂයෙකුට ම කීවේ ය.

“උන්ගෙ කඩවල මුවහත් කරපු කඩු තාම තියනවා කියලත් අමතක කරන්න එපා.”යි අනතුරුව කියයි. එවිට මිනිසුන්ගේ දෑස් විශාල වෙයි.

“මිනිස්සු තුළ රට ජාතිය ගැන හැඟීමක් තියෙනවා. මෙච්චර කල් හිටිය නායකයො කළේ ඒක නිදිගන්වන එක. ඒක අවදි කළොත් අපේ අනාගතය වාසනාවන්ත වේවි.” ආර්යන් මගේ කනට කොඳුරා කියයි. ඔහුගේ ප්‍රාණවත් හඬ නැවතත් මගේ හදවත පහුරු ගාන්නට සමත් විය.

“අපි මැරුණත් මේක අත්නොහැර කරමු.” මම කීවෙමි.

“ඇත්තට ම ජීවිතය යි මරණය යි අතර කොයිතරම් දුරක් කාලයක් තියනවා ද කියලා අපි දන්නෙ නෑ. ඒ කාලය අතර අපිට කරන්න පුළුවන් දේ අපි කරමු.” යි ආර්යන් ද කීවේ ය.
ඊ ළඟ සති අන්තයේ අප යොදා ගත්තේ පන්සලේ ධර්ම ශාලාවේ දී චිත්‍රපටයක් පෙන්වීම සඳහා ය. ජාති ආගම් භේදයක් නොමැතිව මුළු ගම ම රැස්ව සිටිනු දුටු අපි බෙහෙවින් සතුටට පත් වීමු.

“මිනිසුන් ව ආකල්පමය වශයෙන් වෙනස් කරන්න කලාවට පුළුවන්. රුසියන් විප්ලවයෙදිත්, ඊට පසු කාලෙත් රුසියාව තුළ කලාව විශාල වැඩ කොටසක් කළා.” ආර්යන් සිනමා පටයක් තෝරමින් කීවේ ය.

ඔහු ඇෆ්ගනිස්තාන් චිත්‍රපටයක් තෝරා ගත්තේ ය. මිශ්‍ර රටක් ව පැවති ඇෆ්ගනිස්තානය මුස්ලිම් ජාතිකයින් විසින් සිය අණසකට ගෙන පවත්වාගෙන යන ආකාරය එයින් පෙන්වා දෙයි. සාහසිකත්වය, ප්‍රචණ්ඩත්වය සපිරි සිනමා පටය දුටු මා තුළ පවා අනාගතය පිළිබඳ හට ගත්තේ බලවත් බියකි. චිත්‍රපටය පෙන්වා අවසාන වෙද්දී පිරිස අතර කිසියම් ආවේගශීලී අදහස් මතුවන්නට විය. සියලු ජාතීන් පිරිස අතර සිටි නිසාවෙන් තත්ත්වය ඉක්මනින් පාලනය කිරීමට ආර්යන් කටයුතු කළේ ය.

“කවුරුවත් ආවේගවලට ඉඩ දෙන්න එපා. ඉවසීමෙන් බුද්ධිමත් ව කටයුතු කිරීම තුළින් හැමදේම වඩාත් ඵලදායී ආකාරයට විසඳගන්න, ජය ගන්න පුළුවන් කියන කාරණය අමතක කරන්නෙපා.”

සතියේ දින පහ ගෙවී යන්නේ අලස ලෙසකිනැයි මට සිතේ. ඒ දිනයන් තුළ සති අන්ත වැඩසටහන් සංවිධානය කිරීම හැරුන විට විශාල දෙයක් කරන්නට අපට අවස්ථාවක් නොවිණ. චිත්‍රපට ප්‍රදර්ශනයෙන් පසුව තිහකට ආසන්න පිරිසක් අප සමඟ එකතුව කටයුතු කරන්නට ඉදිරිපත් වීම අපගේ සිත්වල සතුට හා උද්‍යෝගය වැඩි කරන්නට සමත් විය. සති අන්තය කටයුතු වෙනුවෙන් ඉතිරි කර ගත් අපි දෙදෙනා ම දින දෙකක නිවාඩුවක් ගෙන නිවෙස් බලා ගියෙමු.

විදුහල්පතිතුමා විශ්‍රාම යාමට නියමිත ව තිබුණේ ඒ සතියේ සිකුරාදා ය. එය අපේ වැඩපිළිවෙළට බලපාන්නක් බව අපි දැන සිටියෙමු.

“සර් මේ වෙලාවෙ විශ්‍රාම යන එක අපිට තිබුණ ලොකු ම හයියක් නැති වීමක්.”

“ආර්යන් කටයුතු කරගෙන යන්න. අවශ්‍ය ඕනෙම උදව්වක් මම දෙනවා.” විදුහල්පතිතුමා කියන්නේ අසත්‍යයක් නොවන බව අපි දෙදෙනා ම දන්නෙමු.

“ලොකුම උදව්ව වෙන්නේ සර්ට තව ටිකක් ඉන්න තිබුණ නම්…” මම කීවෙමි.

“ඔයාලා කලබල වෙන්න එපා. දයාපාල සර් එක්ක වැඩ කරගෙන යන්න බැරි වෙන එකක් නෑ..” සියලු දේ තීරණය වී අවසන් ය. මීළඟට විදුහල්පති ධුරයට පත් වන්නේ අපේ වැඩපිළිවෙළට විරුද්ධ ව කටයුතු කරන දයාපාල ගුරු මහතා ය.

“එළියට වැඩිය ඇතුළෙ ප්‍රශ්න ඇති වෙයි.” විදුහල්පති කාමරයෙන් පිට වෙද්දී ආර්යන් කීවේ ය.

සති අන්තය අප වෙන් කරගෙන සිටියේ ගමේ නිවෙස්වල කාන්තාවන් සඳහා ස්වයං රැකියා හඳුන්වා දීමේ වැඩපිළිවෙළක් සඳහා ය. අපේ පිරිසේ ආර්ථිකය සවිමත් කිරීම මෙහි මූලික හා එක ම අරමුණ විය. සංචාරකයන් ඉලක්ක කොට ගත් විසිතුරු භාණ්ඩ නිෂ්පාදනය කිරීමට වැඩි දෙනෙකුගේ අවධානය යොමු වීම නිසා ඉදිරියේ දී ගම එවැනි නිෂ්පාදනයන්හි දී ආදර්ශ ගම්මානයක් වශයෙන් දියුණු කිරීමට තීරණය වූ අතර වෙළඳපොළක් නිර්මාණය කිරීම හා ප්‍රවර්ධනය කිරීම පිණිස වෙළඳ සංගමයක් ද පිහිටුවා ගැනීමට තීරණය විය. අප සිතුවාට වඩා ගම පිබිදී තිබුණි. බොහෝ දෙනෙකුගේ ලේවලට ජාති ආලය නම් වූ උදාර බව මුසු වීම සිදු විය. ගනුදෙනුවලින් විශාල මුදල් ප්‍රමාණයක් සිංහල ව්‍යාපාරිකයන්ගේ අතට පත් වීම නිසා කිහිප දෙනෙකු අපගේ කටයුතු සඳහා මූල්‍යමය වශයෙන් ආධාර දීමට ද ඉදිරිපත් විය.

“අප්‍රේල් මාසෙ අවුරුද්ද ටාගට් කරලා ප්‍රදේශය පුරා ම විස්තර පත්‍රිකාවක් බෙදාහරින්නයි මගෙ කල්පනාව.” ආර්යන් කීවේ සකස් කළ පත්‍රිකාවේ පිටපත මට දෙමිනි.

“වැඬේ නම් හොඳට ම හොඳයි. ඒත් මේ මොනම හේතුවක් නිසාවත් අන්‍යාගමිකයින්ගෙන් කිසිම දෙයක් මිල දී ගන්නෙපා කියලා තියෙන කාරණය කෙළින් ම නොකියා වෙනස් විදිහකට කියන්න බැරි ද?” මම ඇසුවෙමි.

“බැහැ අනුරාධ. මේක තමයි ප්‍රධාන ම කාරණය. අවුරුදු සීසන් එකේ උන් අතට යන අපේ සිංහල සල්ලි ටික නවත්ත ගත්තොත් ඒක විශාල ජයග්‍රහණයක්. එතකොට උන්ට අරාබි සල්ලිවලින් ම හැමදෙයක් ම කර ගන්න වෙනවා. අපිට අරාබි සල්ලි නවත්තන්න බැරි නිසා මේක තමයි කරන්න තියන එක ම දේ. අනික මේක අමුවට ම කිව්ව ම තමයි අපේ අයගෙ ඔළුවට යන්නෙ.” මම ද ඊට එකඟ වීමි.

මාර්තු මාසයේ දෙවන සති අන්තයේ විස්තර පත්‍රිකාව බෙදා දීමට තීරණය විය. ඇත්තෙන්ම අපේ දවස් ගෙවී ගියේ සතුටිනි. පන්සල තුළ සින්දු කීමට අවස්ථාවක් නැති නිසා බොහෝ විට අප කළේ සිංහල ඉතිහාසය ගැන සාකච්ඡා කිරීම හෝ කියවීම ය. සමහර දිනවල ලොකු හාමුදුරුවෝ ද මධ්‍යම රාත්‍රියත් ඉක්මවන තුරු සිද්ධ වන ඒ සාකච්ඡාවලට අප සමඟ එකතු වූහ.

“මහත්තයෝ, ඊ ළඟ වැදගත් ම කාරණය ඉතිහාසය ගැන අපේ මිනිස්සුන්ට මතක් කරලා දෙන එක.” එවැනි හැම රාත්‍රියක ම ලොකු හාමුදුරුවන් නැගී සිටින්නේ එසේ කියමිනි.

යොදාගත් පරිදි සති අන්තයෙහි සෙනසුරාදා දින අපි ඇල්ල කුඩා නගරයත්, ඇල්ල ගම් ප්‍රදේශයත් ආවරණය වන පරිදි විස්තර පත්‍රිකා බෙදා හැරියෙමු. තුන්දහසක් පමණ පත්‍රිකා ප්‍රමාණයක් හතලිස් දෙනෙකුට ආසන්න පිරිසක් විසින් හවස් වෙද්දී එසේ බෙදා දී තිබුණ අතර ඉරිදා දිනයේ අපේ අපේක්ෂාව වූයේ බණ්ඩාරවෙල නගරයේ පත්‍රිකා පන්දහසක් බෙදා දීම ය.

පස් දෙනා බැගින් වූ කුඩා කණ්ඩායම් හයකට බෙදුන අපි බණ්ඩාරවෙල නගරයට පැමිණෙන සිංහල ජාතිකයන්ගේ අතට විස්තර පත්‍රිකා දෙන්නට පටන් ගතිමු. පැයක පමණ කාලයකට පසුව අපේ කණ්ඩායම් දෙකකට විරුද්ධ ව මුස්ලිම් පිරිස් බාධා කරන්නට උත්සාහ ගෙන තිබුණි. පොලීසියට ද පැමිණිලි කොට තිබුණේ කණ්ඩායමක් විසින් ජාතිවාදී ගැටුමක් නිර්මාණ කරමින් සිටින බවකි.

කෙසේ වෙතත් කරුණු කාරණා වටහා දී පොලිසියේ විරෝධය ජය ගන්නට අපි සමත් වීමු. නමුත් හවස හතරට ආසන්නයේ ආර්යන් ඇතුළු කණ්ඩායමට මුස්ලිම් පිරිසක් විසින් තදබල ලෙස පහර දී ඇත. සිංහල පිරිස් මැදිහත් ව ගැටුම සමථයකට පත් කොට තිබූ අතර ආර්යන් සමඟ තවත් තරුණයෙකු අපේ පාර්ශවයෙන් ද මුස්ලිම් මිනිසුන් හයදෙනෙකු ව ද රෝහල්ගත කරන්නට සිදු ව තිබිණ. මා සිදුවීම වූ තැනට යන විටත් ආර්යන් ව රෝහල්ගත කර තිබුණ නිසා මම කටයුත්ත දිගට ම කරගෙන යන ලෙස ලොකු හාමුදුරුවන්ගෙන් ඉල්ලා රෝහලට ගියෙමි.
“එළියෙ මොකද වෙන්නෙ?” මා දුටු විගස ම ආර්යන් ඇසුවේ ය. ඔහුගේ හිසත්, අතකුත් බෙහෙත් දමා වෙලා තිබුණි.

“එළියෙ මුකුත් ප්‍රශ්නයක් නෑ. වැඬේ කරන්නෙ දැන් ටවුමෙ සිංහල අය. ආර්යන්ට අමාරු ද?”

“ටිකක් විතර. උන් ආවෙ අපිව මරන්න ම යි. මම කිව්වෙ, උන්ගෙ කඩවල තාම පරණ කඩු තියනවා. කොහොම වුණත් ඒකෙන් වුණේ රටට ම අපේ පණිවිඩය ගිය එක.”

“මොකක්ද?” මම ඇසුවේ දීප්තිමත් ව බබළන ආර්යන්ගේ දෑස්වලට එබී බලමිනි.

“මුස්ලිම් කඩවලට යන්න එපා කියන එක.”

“ඒ කොහොමද?”

“ටීවී චැනල්වලින් ආවා. කොහේ ඉඳල ද කියලා හිතා ගන්නවත් බෑ. කොහොම වුණත් අපි කරපු පුංචි දේ රටට ම යනවා.”

ආර්යන් සිටියේ සතුටිනි. එහෙත් මා තුළ ඇති වූයේ ඔහු පිළිබඳ බියකි. හදිසියේවත් ඔහු මරණයට පත් වූයේ නම්…

“අපිට ඉදිරියේ දී ගොඩාක් පරිස්සමින් කටයුතු කරන්න වෙයි.” මම කීවේ ආර්යන්ගේ හිසකේ අතර මගේ ඇඟිලි තුඩු යවමිනි.

“අනුරාධ බය වෙන්න එපා. පුද්ගලයෙකු විනාශ කරන්න පුළුවන්. ඒත් ඔහු ව පරාජය කරන්න බැහැ. ඔහු පටන් ගත්ත දේ ජයග්‍රහණය කරා යනවා ම යි.”

ඔහුගේ දෑස් සෙමෙන් පියවී මුවග පුරා විසල් සිනාවක් පැතිරෙන්නට විය. හරියට ම ගුරු නිවාසය පිටුපස ගල්තලාවේ දී ගිටාරය අතට ගෙන ගීතයක් ගයන්නට සූදානම් වූ අවස්ථාවේ දී මෙනි. එහෙත් මෙවෙලෙහි ඔහු ගායනා නොකළේ ය. දෑස් හැර මා දෙස බලා සිටිනවා පමණකි. නමුත් ඔහුගේ හද තුළින් මතුවන ඒ නිහඬ ගීතය මට දැනේ. එය ඔබට ද දැනිය යුතුව ඇත.

– නිමි –

චන්දන එස්. කුමාර