මම කාමරයේ වූ කුඩා කවුළුවෙන් හිස එළියට දමා වටපිට බැලීමි. හිම පතනය අවසන්ව ඇත. හාත්පස පරිසරයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් හිමෙන් වැසී පවතී. ආශ්චර්යයක් මෙන් හිම පලාගෙන වුවත් ගෙදර උයනේ අම්මාගේ පාත්ති වල රෝස මල් පිපී ඇත.

හේමන්තයේ දෙසැම්බර් මාසයේ අග සෙනසුරාදා දිනයක් නිසාමත් නොව පුරුද්දට මෙන් හෙලී ඕක් ගස යට තනා තිබෙන, වටේට ආවරණයක් නැති පිදුරු මඩුව තුළ සුවසේ නිදයි. ඔහුගේ උඩුකය නිරුවත් ය.

“මේ මිනිහට වගේ ගොරහැඩි හමක් මටත් තිබුණ නම්.” මට කියවිණි. එසේ වූයේ නම් නිතරම එළි පහළියට ගොස් ඇඳුම් කිලිටි කරගැනීම නිසා අම්මාගෙන් අහන බැණුම්වලින් සැලකිය යුතු ප්‍රමාණයක් අඩුවනු ඇත.

සෙම සහ හතිය නිසා සීතලෙන් ආරක්ෂා වීමට මට හැම වෙලාවෙම ඇඳුම් කිහිපයක් අඳින්නට සිදුවිය.

“කෙවින් උඹ මකබෑවියන්. මට උඹේ ඇඳුම් හෝදලාම ජීවිතේ තිත්ත වෙලා තියෙන්නේ.” රාත්‍රී නින්දේ දී මට මුත්‍රා පිටවූ දවස්වලට අම්මා කෝපයෙන් බැණ වදින්නේ දෑත් ඉණෙහි තබාගෙන ය.

“දරුවන්ට ශාප කරලා උන්ව යක්ෂයට ගොදුරට ඩැහැගන්න දෙන්න එපා. අම්මලා උනාම දරුවන්ගේ රෙදි හෝදන්න ඕනේ.” එවැනි අවස්ථාවක අත්තම්මා කීවේ බලවත් ශෝකයෙනි.

අම්මාගේ තරහ තවත් වැඩි විය.

“හෝදන එකාටනේ අමාරුව. පුටු රත් කර කර ඉන්න උන්ට අමාරුවක් තේරෙන්නේ නෑනේ. මේ ගෙදර එකෙකුටවත් මං ගැන අනුකම්පාවක් නෑ.”

“ලිසී ඔයා පුදුම ගෑනියෙක්. ඔයාට කසාදයක් කර නොගන්නයි තිබුණේ. ලේන්, මගෙ පුතා, ලොකු වැරැද්දක් කරලා ඔයාව කසාද බැඳලා.”

“ඔව් මේ වදකාර මාව ඉක්මනට මැරිලා යාවි. එදාට ඉතින් මේක අම්බලමකටත් එහා අපිරිසිදු වූ මූසල එකක් වේවි. අස්සයොයි, බැටළුවොයි, ගෙදර උනුයි, වැඩකාරයෝයි ඔක්කොම එකට ලගීවී.”

අත්තම්මා නිහඬ වූවා ය. අම්මා ඉතිරි තරහ පිට කළේ එදින දවල්ට කෑම සකස් කිරීමෙන් වැළකී සිටීමෙනි. සිද්ධිය ආරංචි වූ තාත්තා නිහඬව විසඳුමක් පිණිස අපට දුරින් ඤාති වන එමී අම්මා ව නිවසේ වැඩට ගත්තේ ය. එහෙත් ඇගෙන් ලොකු වැඩක් නොකෙරුණි. එයට හේතුව වූයේ සොච්චම් වැටුප නොව ඇය ද වයසට ගොස් අබල දුබල ව සිටි නිසාවෙනි.

“එමී මෙහෙ වරෙන් ගෑනියෙ ඉක්මනට.

නාකයි කියලා ඔහොම නිදියන සිරිතක් තියෙනව ද වැඩකාරියො?”

අම්මාගේ දවසේ පළමු අඬහැරය නිවස පුරා පැතිරුණි. මම ඉක්මනින් ඇඳට නැග පොරෝනාව ගෙන හිස තෙක් වසා ගතිමි. ඊළඟ බැණුම එන්නේ මට ය. ඒ සඳහා නොතේරෙන කැමැත්තක් හෝ කිසියම් ඇබ්බැහි වීමක් මා තුළ පවතී.

අත්තම්මාට නම් පමාවන තුරු නිදා ගැනීම සම්බන්ධයෙන් මෙතෙක් ප්‍රශ්නයක් පැනනැගුනේ නැත. ඇගේ වයසේම පසුවන එමී අම්මා ගැන මට දුක සිතුණි. කරන්නට දෙයක් නැත. තාත්තා කියන්නේ ටිකක් බැණුම් ඇහුවත් එමී අම්මට දැන් කෑම ටිකවත් අඩුවක් නැතිව ලැබෙන බවයි. ඒ බව දන්නා නිසා ම අම්මා ද එමී අම්මට වඩාත් තදින් සිටී.

“මේවා හොඳ කෑම. කාලා තෙල හැදෙන්න පුළුවන් නිසා මහන්සි වෙලා වැඩ කරපන්.”

එමී අම්මටත් අම්මාගේ වචන ගානක් නැත. හිත රිදුනත් අපි සියල්ලෝම බිහිරන් සේ ඉන්නට පුරුදුව උන්නෙමු.

පුදුමයකි… සිතූ පරිදි මාව අවදි කිරීමට අම්මා නොපැමිණියා ය. මට ආයෙම නිදිමත ගතියක් දැනුනෙන් මම දෑස් පියාගතිමි.

මාව අවදි කළේ එමී අම්මා විසිනි. පොරෝනය මෑත්කොට මගේ මුහුණට එබුන එමී අම්මා කතා කළේ සෙමිනි.

“දරුවො නැගිටපං අම්මා එන්න කලියෙන්.”

මම දෑස් ඇරියෙමි. අලුත් සුවඳක් නාසයට දැනුණි.

“පිල්මේනි නේද?”

“ඔව්. ඉක්මනට සූදානම් වෙලා ආවොත් උණුවෙන් කන්න පුළුවන්.”

“රසකැවිලි හදන්න මොකක්ද විශේෂත්වය?”

“මං දන්නෙ නෑ. ඉක්මන් කරන්න.”

එමී අම්මා කාමරයෙන් පිට වූවා ය. මට සතුටක් නොදැනුනාම නොවෙයි. ඉක්මනින් කෑම මේසෙට යා යුතුයි සිතූ මම පොරෝනය විසිකොට ඇඳෙන් පැන්නෙමි. අහෝ අවාසනාවක මහත…! කෙටි නින්ද තුළ දී මට මුත්‍රා පිට වී ඇත. ඇඳ ඇතිරිල්ලේ තෙත පැල්ලම මට මහා අනතුරක සලකුණක් ලෙස පෙනුණි.

“කෙවින් හොඳට මතක තියා ගනින් උඹ ආයෙත් ඔය ජරා වැඩේ කරගෙන තිබුණොත් නිදාගන්න වෙන්නේ හෙලී එක්ක කියලා.”

අන්තිම වතාවේ දී අම්මා විසින් මට එසේ අනතුරු අඟවා තිබුණි.

උදෑසන ප්‍රබෝධය මා තුළින් අතුරුදහන් විය. එසේ කරන්නට බැරිකමක් ද අම්මාට නැත. තුවාය ගෙන මම කාමරයෙන් පිට වූයේ අලස හැඟීමෙනි.

කෑම කාමරය කොටසේ දී මාව අම්මාගේ දෑසට හසු විය.

“කෙවින් නවතිනවා. මොකද හොර පූසා වගේ යන්නේ?”

මම නැවතුන ද හිස ඔසවා අම්මා දෙස නොබැලීමි.

“ආ… අදත් ඇඟ තෙමාගෙන නේද? ඌරු පැටියො උඹට අදට අවුරුදු පහයි. මේ හොඳ දවසෙත් උඹට බැරි වුණා ඕක කරගන්නෙ නැතුව ඉන්න.”

වෙනදා මෙන් ටොකු ඇනීමක් සිදු නොවීම ගැන මම පුදුම වීමි. ඇස් කොණින් අම්මා දෙස වරක් බැලූ මම ඉක්මනින් එළියට දිව ගියෙමි.

එමී අම්මා මා වෙනුවෙන් සකසා තිබූ උණුවතුරෙන් මම හැකි හොඳම අයුරින් පිරිසිදු වීමි. තෙත මාත්තු කොට ගෙන එමී අම්මාට සමීපව “මගේ ළඟින් මොකුත් සැර ගඳක් එනවාද?” යි ඇසීමි.

“නෑ. ඉක්මනට ගිහින් ලෑස්ති වෙන්න. අම්මගෙ තරහ අවුස්සන්නෙ නැතුව.” එමී අම්මා කීවේ ආදරයෙනි.

මගේ ඇඳුම කෙසේ විය යුතුදැයි මට සිතා ගත නොහැක. මුත්‍රා පිටවීමේ වරද නිසා අම්මගෙන් ඒ ගැන අසන්නට බැරි ය. ඇත්තෙන්ම එවැනි දවස්වලට හැකිතාක් අම්මා ව මග හැර සිටින්නට මම පුරුදුව සිටියෙමි.

“ඔහොම ටිකක් හිටපන්. ඩිටීව් මෙනවිය අලුත් ඇඳුම් අරගෙන ඉක්මනින් ඒවි.” කාමරයට එබී බලා අම්මා කීවා ය. පසුගිය දිනක වයසක ඩිටීව් මෙනවිය මගේ ඇඟේ මිමි ගත්තේ මට ඇඳුම් මැසීමට විය යුතු ය.

සීතල මඳක් අඩුව පැවතිය ද මට අපහසුවක් දැනුණි. මම කුඩා කවුළුවෙන් හිස එළියට දමා පාර දෙස බැලුවේ ඩිටීව් මෙනවිය ඉක්මණින් පැමිණේවා යන සිතිනි.

හෙලී පඳුරු මඩුවේ නැත. හිරු රැස් වැටෙන්නට වූයෙන් තුනී හිම පටලය දියවෙමින් යන්තමට පරිසරය තුළ හරිත පැහැය මතුවන්නට විය. මට තරමක කුසගින්නක් දැනෙන්නට විය. කවදාවත් මේ වෙලාවට අපේ නිවෙසේ උදෑසන ආහාරය නොලැබෙයි. කළ යුතුව තිබුණේ ඉවසීමයි. අම්මා ආහාර සැකසීම කරන්නේ ගෙදර සියලු පිරිසිදු කිරීම් අවසන් කිරීමෙන් පසුව ය.

“අපි හැමදේටම කලින් කරේ දරුවන්ට මිනිහට කන්න හදන එක.” අත්තම්මා නිතර කියයි.

“ඇති යන්තම් එයා එනවා.” ලොකු මල්ලක් ද එල්ලාගෙන අශ්වයකු පිටින් පැමිණෙන ඩිටීව් මෙනවිය දැක මට කියැවිණි.

ඩිටීව් මෙනවිය මට ඇඳුම් ඇන්දවූයේ විසිත්ත කාමරයේ දී ය. මට යට ඇඳුමක් නොවීම ගැන ඇය පුදුම වූවා ය.

“යට ඇඳුම වැඩක් නැහැ, මෙයාට නිතර ම චූ යනවා.” අම්මා කීවේ මගේ ආත්ම ගෞරවය ගැන නොසලකමිනි. පිටස්තර ගෑනියෙක් ඉදිරියේ මම ලැජ්ජාවෙන් ඇඹරෙන්නට වීමි.

කෝට් එකකට සමාන මෝස්තරයකින් මගේ ඇඳුම මසා තිබුණි. වඩාත් මගේ සිත් ගත්තේ ඇඳුමට ගැළපෙන ආකාරයට මසා තිබුණ තොප්පිය යි. බොහෝ විට අසරුවන් පලඳින්නේ එවැනි තොප්පි ය.

“මේක ගොඩක් වටින එකක්. චූ දාගන්නවා එහෙම නෙවෙයි.” ඩිටීව් මෙනවිය ද මට විහිළු කළා ය.

ඒ ගැන මට වඩා උරණ වූයේ අසල සිටි එමී අම්මා ය.

“ළමයින්ගෙ චූ උන්ගෙ අම්මලට ගඳ නෑ.” සැණෙකින් ඩිටීව් මෙනවියගේ මුහුණ අඳුරු විය.

“එමී ගෙට යනවා.” අම්මා සැර කළා ය. ඇය ඩිටීව් මෙනවිය දෙසට හැරී “ඩිටීව් ඔයා ඕවා ගණන් ගන්න එපා.” යැයි ද කීවා ය.

මගේ උපන්දින ඇඳුමටත් වඩා ඒ වෙනුවෙන් අම්මාට මසා තිබූ ඇඳුම ලස්සන විය.

රටේ ඉහළ ම ප්‍රභූ පන්තියේ කාන්තාවන් අඳින ආකාරයට මසා තිබූ සායත්, අත්දිග හැට්ටයත්, දිග හිම කබායත්, දෙවුර වසා පොරවන වටිනා සළුවකුත් ඊට අයත් විය. මේකප් දමා කොණ්ඩා මෝස්තරය යෙදීමටත්, අම්මා සැරසීමටත් ඩිටීව් මෙනවියට ලොකු වෙලාවක් ගත විය.

මට කුසගින්න අධිකව දැනෙන්නට විය.

“අත්තම්මාටයි, එමී නැන්දාටයි මොකද වෙන්නේ?” මම ඇහුවේ තරමක බියෙනි. ඒ අයටත් අලුත් ඇඳුම් තිබුණා නම් කදිම ය.

“එයාලට මොකටද අලුත් ඇඳුම්?” අම්මා ගත් කටටම කීවා ය.

“ඩිටීව් ඔයා ඉන්න අපිත් එක්ක. අහල පහළ කාටවත් කීවේ නෑ. එයාලාව පුරවගත්තාම හරි කරදරේ. ලේන් දැන් ළඟම එනවා ඇති.” අම්මාගේ කතාව ගැන ඩිටීව් මෙනවිය කුමක් සිතුවා ද යැයි මා දන්නේ නෑ, මා තුළ නම් ඇතිවූයේ බලවත් පිළිකුලකි. උපන්දින සාදයට ඤාතීන් කිහිපදෙනෙක්වත් සිටියා නම් හොඳ ය. අඩුම තරමේ මගේ සමවයස් මිතුරන් හෝ සිටියා නම්… හැම දෙයක්ම හොර රහසේ අම්මා කරන්නට ඇත්තේ ඔවුන්ගේ සහභාගීත්වය වළකනු පිණිස විය යුතු ය.

“එතකොට අම්මා හෙලී?” මට මේ ලෝකයේ සිටි හොඳම මිතුරා වූ අහිංසක හෙලීවත් නොසිටීවි යැයි සැක සිතී මම ඇසුවෙමි.

“කෙවින් ඔයාට විකාර ද? එයා එඬේරෙක්.”

අම්මා කීවේ නපුරු ලෙසිනි. මගේ හොඳම මිතුරාගේ රැකියාව ඔහුව උපන්දිනයට සහභාගී කර නොගැනීමට කෙසේ බලපාන්නේ දැයි මට සිතාගත නොහැකි විය.

“කෙවින් යනව අත්තම්ම ළඟට… ආයෙමත් මගේ තරහ අවුස්සන් නැතිව.” අම්මා මට සැර කරමින් කීවා ය.

වයසක ඩිටීව් මෙනවිය ද සෝපාවේ ඉන්දවිණ. මම අත්තම්මා සොයා ගියෙමි.

“එයාට ඔහොම නැතුව බෑ. හරි හිතුවක්කාරයි.” අම්මා ඩිටීව් මෙනවියට කියනු මටද ඇසුණි.

මාව දුටු අත්තම්මා පළමුව පුදුමයටත්, දෙවනුව සතුටටත් පත් වූවා ය.

“මගේ රිදී කුරුලු පැටියා.” කියමින් ඈ මාව තදින් තුරුලු කරගෙන සිප ගත්තා ය.

“අපි යමු එළියට. තාත්තා ඔයා ව ඈත දී ම දැක්කම පුදුම වේවි. එයා ඔයාට ගොඩාක් ආදරෙයි.”

මම අත්තම්මාගේ අතේ එල්ලී ඈට තුරුලු ව ගියෙමි.

අම්මාත්, ඩිටීව් මෙනවියත් සිටියේ ද එළියේ ය.

“ලිසී ඔයාගේ හැම වැඩක් ම හරිම ලස්සනයි. හරිම පිළිවෙළයි. මට වත්තට ඇතුළු වෙද්දි හිතුණා පුංචි පාර්ක් එකකට ඇතුළු වෙනවා කියලා. මට හිතෙන්නේ රසුල් ගම්සභාවේ පෙම් කවි ලියන්න ඇත්තේ මේ වගේ තැනක ඉඳලා කියලා.” ඩිටීව් මෙනවිය කියන විට අම්මාගේ මුහුණ සතුටින් ඉපිලෙන්නට විය.

“ගේ ඇතුළේ උනත් හරි ෂෝක්.. හිත නිවෙන්නේ හරියට බිරියෝසා වනාන්තරයක තනි වුණා වගේ.”

සුදු කඳන් ඇති උසැති බිරියෝස ගස්වලට මම ද බෙහෙවින් ආශා කළෙමි. ඒ සුද ඇසට ප්‍රිය උපදවයි. එහෙත් අපේ නිවස… ඒ ගැන දන්නේ අපේ නිවැසියන් විතරයි. අහෝ මෝඩ ඩිටීව් මෙනවිය…

“ගෙවල් දොරවල් ලස්සන කරගෙන, ලස්සනට ඇඳ පැලඳගෙන හිටියට ඔයාගේ අම්මාගේ හිතේ කැත අනිත් අය දන්නවා නම්…” කියා අත්තම්මා මගේ කනට කර කීවේ මගේ සිත හැඳින ගත්තාක් මෙනි.

චන්දන එස්. කුමාර