highlights of the week
Home » NEW ARTICLES » පාපිස්ස – කෙටිකතාව

පාපිස්ස – කෙටිකතාව

පන්සල දකිත් ම මැණිකේ අම්මාගේ සිත ඉපිළිණ. පියවර ගමනින් ම දෑත් එක්කොට ගත් ඕ “සාදු සාදු සාදු” යැයි කියාගෙන ම පන්සල් වත්තට පිවිසියා ය. රාත්‍රියේ වට වැස්ස නිසා මිදුල තරමක් මඩවී තිබුණ ද මැණිකේ අම්මාගේ පියවර ඉක්මන් විය.

ධර්ම ශාලාවේ දොරටුව ළඟ මඳක් නතර වූ මැණිකේ අම්මා වට පිට බැලුවා ය. ඇය විමසූ දෙය එතැන්හී නො තිබිණි. ‘ඒක වටින එකක් නොවැ. විහාර මන්දිරයට දාලා ඇති’ යි ඇය සිතුවා ය.

බෑග් එකෙන් ඉටි කොළය ගත්තී ධර්මාසනය ඉදිරිපිට ම තමාට ඉඩක් වෙන් කොට තබා හඳුන්කූරු පෙට්ටියක් රැගෙන කෙළින් ම ගියේ විහාර මන්දිරය දෙසට ය. දොරටුව පාමුල විමසුම්ලන්නී දුටුවෝ මැණිකේ අම්මා පිළිබඳව විමසන්නට වූහ.

“මැණිකේ අක්කා මොනවද හොයන්නේ?”

“නෑ මොකවත් නෑ මේ නිකන්.”

විමලාවතීට කෙටියෙන් පිළිතුරු දුන් මැණිකේ අම්මා විහාරයට පිවිස දොහොත් මුදුන් දී වැඳ වැටුණා ය. නොදැල්වූ හඳුන්කූරු ඇය අසල පතිත විය.

හඳුන්කූරු ටික ද දල්වා ගත් මැණිකේ අම්මා ඊ ළඟට ගියේ බෝ මළුවට ය. හඳුන්කූරු ටික බෝධීන් වහන්සේ වෙත දිගු කළ ඇය ඉනික්බිතිව අසල වූ පෝච්චියක ඒවා ගසා හිටගෙන ම වැන්දා ය.

සංඝාවාසයේ කිසිවෙකුත් නො වේ. මැණිකේ අම්මා සෙමෙන් වුවත් තිර පියවරින් එදෙසට ගමන් කළා ය. ඇගේ දෑස් හාත්පස දිවගියේ විදුලි වේගයෙනි.

“උපාසකම්මට මොකුත් වුවමනාවක් ද?”

“නෑ අපේ හාමුදුරුවනේ මේ නිකමට බැලුවා.”

මැණිකේ අම්මා හාමුදුරුවන්ගේ පාමුල වැටී “සුපටිපන්නෝ” ගාථාව කියන්නට වූවා ය. අවසන හිස ඔසවා බලද්දී සාමණේර හිමියන් අසලක නො වුණි. මැණිකේ අම්මාගේ සිතට පිවිසියේ තරමක නොරිස්සුමකි.

සුන් වූ බලාපොරොත්තු ඇතිව ධර්ම ශාලාව දෙස බැලූ මැණිකේ අම්මා සිල් සමාදන් කරවීමට ආසන්නව ඇතැයි අනුමාන කළ ද එතරම් හදිස්සියක් නො දැක්වුවා ය. පන්සල් වත්තේ පහළට වන්නට වූ ළිං පඩිය මත මැණිකේ අම්මාගේ දෑස නතරව එහි ඇළවිණ.

“අයියෝ මගේ පාපිස්ස…” මැණිකේ අම්මා කිව්වා නොව කියවිණ. ඇගේ පපුව පත්තු වී ගියාක් මෙනි. ඇය මෙතෙක් වේලා සෙව්වේ ගිය සතියේ කඨින පිංකමේ දානයදා තමා විසින් පූජා කරන ලද අගනා පාපිස්සයි. ඇගේ බලාපොරොත්තුව වූයේ පන්සලේ කොතනක හෝ මනා කොට පාවිච්චි කරනවා ඇතැයි යනුවෙනි.

හාමුදුරුවෝ පාවිච්චි කරන දෙයක් ම දෙන්නට උත්සුක වූ ඇය ඒ ගැන විමසා බැලීමෙන් ද අනතුරුව ම ය මේ අගනා පාපිස්ස පූජා කළේ. එහෙත් එය දිරන්නට ළිං පඩිය මත දමා තිබේ. මේ දින කීපයට නොවිය යුතු තරමට එය අවපැහැගැන්වී තිබිණ.

සිතේ වූ ප්‍රබෝධවත් භාවය මුළුමනින් ම නැති විය. ධර්ම ශාලාව දෙසට මැණිකේ අම්මගේ දෙපා එසවුණේ අසීරුවෙනි.

හිරු අවරට යමින් තිබුණි. එක බණ පදයක්වත් දවස පුරාවට ම මැණිකේ අම්මාගේ සිතට ගියේ නැත. හැම මොහොතක ම හිතේ වූයේ තමා ඉමහත් ශ්‍රද්ධාවෙන් පූජා කළ පාපිස්ස නොතකා විනාශ වීමට අත්හැර දැමීම පිළිබඳ ව ය.

දවසේ පුණ්‍යානුමෝදනාව සිදු වෙමින් පැවතිණි. තීරණයක් ගත් මැණිකේ අම්මා එකවර ම නැගී සිටියා ය. සියල්ලෝ ම තමා දෙස බැලූ මුත් මැණිකේ අම්මා නො වේ ඒ කිසිවෙක් ගණනකට ගත්තේ. ඊ ළඟ මොහොතේ ඕ ධර්ම ශාලාවෙන් පිට වුවා ය.

මුළු ලෝකයට නැතත් ඒ රාත්‍රිය මැණිකේ අම්මාට නම් දීර්ඝ එකක් විය. ඉටිකොළයේ ඔතාගෙන විත් දර මඩුවේ දමා ආ තමාගේ පාපිස්ස ම රාත්‍රියක් ඇයට අහිමි කරමින් තිබිණ. මධ්‍යම රාත්‍රියේ දී තරමක් පපුව හිරවෙන බවක් දැනුණ නිසා මැණිකේ අම්මා මඳක් ඉඳගෙන සිටියා ය.

***********************************************

මැණිකේ අම්මාගේ හත්දවසේ දානයට පසුදා ම ලේලිය වූ සුනන්දා ගෙදර ද වත්ත පිටියද අස්පස් කරන්නට වූවා ය. බුලත් කෙළ, ඉටිකොළ ආදිය ඇගේ ලස්සන වත්ත අවලස්සන කොට තිබිණ. දර මඩුව දෙසින් කුණු ගඳක් හමන්නට වූයෙන් විමසිලිමත් වූ ඇයට ඉටි කොළයක ඔතා තිබූ පාපිස්ස දැකගත හැකි විය. හමන්නේ බලු මූත්‍ර ගඳකි. සුනන්දා පාපිස්ස හඳුනාගත්තා ය. සති දෙකකට කලින් මෙය මිල දී ගෙනවිත් නැන්දම්මාට දුන්නේ ඇය විසින් ම ය. එහෙත් හමන බලු මූත්‍ර ගඳැති පාපිස්ස මෙතනට ආවේ කෙසේදැයි වටහා ගන්නට ඕ අසමත් වූවා ය. පැමිණි ආකාරය දන්නේ මැණිකේ අම්මා පමණකි. බලු මූත්‍ර ගඳ ගැන දන්නේ සාමණේර හිමියන් පමණකි.

පන්සලේ කවුදෝ දමා ගිය බලු පැටව් රෑනේ වූ බලු පැටවෙකු තෝරාගත් සාමණේරනම උගේ සැපය පතා පන්සලේ වූ අගනා පාපිස්සේ ඔතා තම කාමරයේ තබා ගත්තේ ඉමහත් ආශාවෙනි. උදේ බලද්දී බලු පැටවා පාපිස්ස පෙඟෙන තරමට මූත්‍රා කොට තිබිණි.

ලොකු හාමුදුරුවන්ට හොරෙන් සෝදන්නට ළිඳ ළඟට අරන් ගිය මුත් උදෑසන දානයට කැඳවීම් ලද නිසා යන්නට සිදු විය. ඉන් පසුව ඒ ගැන මතකයක් සාමණේර හිමියන්ට නොවුණෙන් දවස පුරා ම පාපිස්ස පන්සලේ ළිං පඩිය මත ම තිබුණි.

ලී කැබැල්ලකින් පාපිස්ස ඔසවා ගත් සුනන්දා දෙවරක් නොසිතා ම වත්තේ ඉතිරිව තිබූ සුන්බුන් එක්කොට දැල්වූ ගිනි මැලයට එය විසි කළා ය.

වත්ත පිටිය පමණක් නොව ගෙදර ද පාළුවට ගියේ ය. යන්ත්‍රයක් මෙන් වත්ත පිටියේ වැඩ කළ සුනන්දා දිනෙන් දින ම සුදුමැලි වෙමින් දුර්වල වන්නට විය. සති තුනක් පුරාවට කොතෙක් බෙහෙත් කළ ද සුවයක් වූයේ ඇයට නම් නො වේ.

මැණිකේ අම්මාගේ මරණයෙන් මසක් ගතව යන දින සුනන්දා හිස සොලවන්නට ද මොන මොනවදෝ විකාර දොඩවන්නට ද වුවා ය. තම බිරියට අමනුෂ්‍ය කරදරයක් බව තේරුම් ගත් සුරනිමල ප්‍රදේශයේ දක්ෂ ම කට්ටඩිරාළ ව කැඳෙව්වේ ය.

“මේ දරුවට කරදර කරන උඹ කවුද?”

ආවේශ කරන ලද සුනන්දාගෙන් ම යකැදුරා රළු ලෙස ඇසුවේ ය.

“මම මැණිකෙ.”

අමනුෂ්‍යයා පිළිතුරු දුන්නේ දැඩි පෙරැත්තයකින් පසුව ය. යකැදුරා සුරනිමල දෙස බැලුවේ ය.

“අපෙ අම්මා.”

සුරනිමල ඉවත බලා ගත්තේ ය.

“මේ දරුවගේ ඇඟට රිංගගෙන මොකද මේ කරදර කරන්නේ?”

“මේකි මං හිටිය පාපිස්ස ගිනි මැලේට දැම්මා. මං මේකිගේ ඇඟට රිංගුවා.”

සුනන්දාගේ දෙතොලතරින් පිටවන්නේ තම මෑණියන්ගේ ම කටහඬ බව තේරුම් ගත් සුරනිමල මහත් සංවේගයට පත් විය.

“අම්මා සිල් ගත්ත කෙනෙක්, සිල් රැකපු කෙනෙක්.”

සුරනිමල යකැදුරාට කීවේ ය.

“දැන් ඉතින් මං දෙන දෙයක් අරගෙන වෙන තැනකට යනවා හොඳයි.”

“මං යන්නෑ මේකිව දාලා. මේකි මගෙ පාපිස්ස පිච්චුවා. මං යන්නෑ…”

යකැදුරා මතුරා ආවේශය නැති කළේ ය. සුනන්දා ඇතුළට ගිලී ගත් දෑසින් සුරනිමල දෙස බැලුවේ මෙතන කුමක් සිදුවේ දැයි දැනගන්නට මෙනි.

“සිල් රැකපු කෙනෙක් මෙහෙම වුණාම හරි බලවත්. නිකං කීවට යන්නේ නෑ.”

මහ තොයිලයක් කරන්නට තීරණය විය. උවමනා බඩු ලැයිස්තුව ලියා සුරනිමල අතට දී යකැදුරා පිටත්ව ගියේ ය.

පුටුවකට බර දුන් සුරනිමල බඩු ලැයිස්තුව දිගේ නෙතු යවන්නට විය. අන්තිමට ලියා තිබූ දේ මත දෑස නතරව සුරනිමල තිගැස්සිණ.

මුඩිය හොඳට තද වෙන කුඩා පිරිසිදු බෝතලයක්.

‘අම්මා’

සුරනිමල තදින් දෑස පියාගත්තේ ය.

***********************************************

-පසුවදන-
අත්හැරීමේ දී අල්ලා නොගෙන ම අත්හරින්න.

මහමෙව්නාව අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේ නමක් විසිනි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

x

Check Also

භාග්‍යවතුන් වහන්සේ උදෙසා කරන පූජාවන් නිෂ්ඵල වන්නේ ද?

අසමසම වූ සම්බුදුවරයන් වහන්සේලාට දෙව් මිනිසුන් විසින් පූජාවෝ පවත්වනු ලබති. ඒ පූජා සත්කාරයන් උන්වහන්සේලා නොඉවසති. මෙය බුදුවරුන්ගේ ධර්මතාවයකි.