පෙබරවාරිය කොහොමත් උණුසුම් ය. හැන්දෑව වුවත් එහි වෙනසක් නැත. හිරු විසින් ඇති කළ අධික තාපයෙන් මුළු පරිසරය ම පීඩාවට පත්ව ඇත. චෝදිගාන් ජනපදයේ උතුරු මායිම ලෙසින් ගලාබසින ගංගාව පවා ගං පතුල දෙසට හැකිලී ඇත්තේ ජනපදිකයන්ගේ කිසිදා නොපිරෙන කුසවල් මෙනි.

ගඟ ඉස්මත්තේ ඉපල් නැගෙන කල හැලී ගිය ගස්වල වියළි කෝටු සම නිසාවෙන් නොවැටී පවතින ජනපදිකයන්ගේ ඉළ ඇට සිහිකරන්නේ ය. කුස පුරවා ගැනීමට ඵලවැල තබා ගස්වල දලුවත් නොවූයෙන්ම වඳුරු රංචුවල ද කෝලාහල අධික ය. හරියටම මිනිසුන් අතර මෙනි. හැමෝටම මහ නරක කාලයකි. වැඩිහිටියෝ හූල්ලති. තරුණ පරම්පරාව අත් දික් කරන්නේ ආණ්ඩුව දෙසට ය. කිසිවක් නොවැටහෙන පොඩිවුන් දැනෙන කුසගින්න අමාරුවෙන් ඉවසන්නට පුරුදු වෙමින් සිටිති.

ගං ඉවුරේ තැනක වූ යොවුන් නුග ගස යට නාන තොටුපළකි. එහෙත් ජනපදිකයන් එහි පැමිණියේ කලාතුරකිනි. කරුණු දෙකක් ඊට බලපෑවේ ය. පළමුවැන්න “භූත වැයික්කිය” කියන නමින් හැඳින්වූ එම කොටස ගමේ කසිප්පු පෙරන්නන්ගේ රාජධානියව පැවැතිණි. දෙවැන්න නුගය සම්බන්ධයෙන් ඔවුන් විසින් පතුරවා තිබූ ලොමුදැහැ ගැන්වෙන ව්‍යාජ ප්‍රචාරයි. “නඩු නැති වැයික්කිය” ලෙසින් ද හැඳින්වූ එම කොටස ඇත්තෙන්ම ජනපදයේ අමුතු ම කොටසයි.

තැම්බෙන ඒවා අතර ඇට්ට කුණාටු වෙච්ච මුං ඇට ද නැතුවා නොවේ. අමර්, ගංගු, කෝලි තිදෙනා ගමේ ඇට්ටර තරුණ පිරිසට අයත් වූයෙන් ඔවුනට මේ අවනීතිය බලපෑවේ නැත. ඔවුහු තිදෙනාම දවසේ හැන්දෑව නුග ගස යට ඔවුන් විසින්ම තැනූ ලෑලි බංකුව මත ගෙවා දැමුයේ කිසිදු බාධාවකින් තොරව ය.

ඇත්තෙන්ම ඔවුන්ගේ ඇට්ටර බව අතීතයට අයිති දෙයකි.

සැබැවින්ම ඔවුන් නියෝජනය කරන්නේ සමස්ත තරුණ ප්‍රජාවේ ම අපේක්ෂා භංගත්වය මිස අන් කිසිවක් නොවිණි. එක පන්තියේ ඉගෙනගත් ඔවුහු සමාන ප්‍රතිඵල ලබා විභාගය සමත් වූවාහු ය.

අමර් මිටි ය, මහත ය. ඔහුගේ ලෝකයේ වීරයා වූයේ සිනමා නළු අමිතාබ් භච්චන් ය. ගංගු උස මහත දෙකින් යුතු, පිරිපුන් සිරුරකින් යුතු වූ අතර ඔහුගේ ජීවිතයේ වීරයා වූයේ කුලීරථ රියදුරෙකු වූ තම පියා ය. කෝලි කෙට්ටු උස සිරුරකට හිමිකම් කියූ අතර ඔහුගේ වීරයා වූයේ විප්ලවයට දිවි දුන් භගත් සිං ය.

අමර් සහ කෝලි එකිනෙකාට මුහුණලා වාඩිවී සිටින අතර ඔවුන් අතර දාම් පුවරුවකි. ගංගු සිටියේ ගඟ දෙසට මුහුණලා අමර්ගේ පසිනි. බංකුව තිදෙනාගේම බර දරා සිටියේ අසීරුවෙනි. නමුත් බදු ගෙවන ජනතාවට වඩා පහසුවෙනි.

“උඹත් එක්ක දාං අදින එක මට එපා වෙලයි තියෙන්නෙ.” කෝලි කීවේ නැගී සිටිමිනි.

“අර මොකෝ?” අමර් කෝලිගේ අත අල්ලා ගනිමින් ඇසුවේ කාරණය නොදැන ම නොවේ.

“උඹ කොහොම හරි එකෙකුව රජ කරගෙන ගේම ගහනවා.”

“ඉතින් උඹත් රජකර ගනින්කෝ.”

“බල්ලට දාපන්.” කෝලි කිව්වේ කේන්තියෙනි.

“දෙන්නම නවත්ත ගනිල්ලා. මට උඹලට කියන්න දෙයක් තියෙනවා.” ගංගු කීවේ ගඟ දෙස බලාගත් වන ම ය.

“මේ නුග ගහේ දෙවියන්ව මං දැක්කා.” ඔහු ආයෙම කීවේ නුගේ දෙස බලමිනි.

“හීනෙන් ද?” අමර් ඇසුවේ අවිශ්වාසයෙන් නොවේ.

“ඔව්. අපිට උදව් කරන්න කැමතියි කිව්වා.”

“මට නම් විශ්වාස නෑ. මට ඕන රස්සාවක්. පුළුවන් ද දෙවියන්ට දෙන්න. අමර්ට වාහනයක් කෙල්ලගේ හිත ගන්න. උඹේ රට යන එක. උඹත් බැරිම තැන එල්ලෙන්න හදන්නේ පුදුම අත්තකනෙ.”

“උඹේ හැමදාම තියෙන්නේ භෞතික දර්ශනේ.” ගංගු තරමක් සැරෙන් කීවේ ය.

“මූසලයාගේ මූණ.”

“බලන් හිටපන් දෙයියා අතටම ගෙනත් දෙනකන්.”

කෝලි කීවේ ගංගු වෙතට අවඥා මුහුණක් පාමිනි.

“අකමැති නම් නිකන් හිටපන්. මගේ ප්‍රශ්නෙ මං දෙවියොන්ට කියනවා.” ගංගු කීවේ ස්ථීර හඬිනි.

“මාත්…” අමර් කීවේ ය.

“කමක් නැහැ. කරලා බලමු.”

අවසානයට කෝලි ද එකඟ බව පළ කළේ ය.

තුන්වෙනි දිනයේ උදෑසන තිදෙනාම එක්ව නුගයේ පාමුල සුද්ධ පවිත්‍ර කොට කිරි විසුරුවාලන ලදී. අනතුරුව පහන් දල්වා ගස වටා මල් විසුරවිණ. නුගයට දුම් ඇල්ලුවේ කෝලි විසිනි. දෙවියන්ට සතුටු විය හැකි තරම් පලතුරු වට්ටියක් තිදෙනාම එක්ව නුගයේ පාමුල තැබුවේ සැබෑම භක්තියෙනි. අනතුරුව තම තමන්ගේ වුවමනාව පෞද්ගලික ව දෙවියන්ට ඉදිරිපත් කරන ලදී. අසාමාන්‍ය කිසිවක් සිදු වූයේ නැත. දුම් කබල නිවා දැමූ කෝලි ගඟට බැස මුහුණ හෝදන්නට විය. අමර් සහ ගංගුගේ සුළු ප්‍රමාදයක් ප්‍රයෝජනයට ගත් වඳුරෙකු ඇසිල්ලකින් කෙසෙල් ඇවරිය ගෙන පැන ගත්තේ ය.

මුල්ම ප්‍රතිඵලය ලැබුණේ කෝලිට ය. පූජාවෙන් පසු දෙවන සතියේ ඔහු අයදුම් කර තිබූ ලිපිකාර රැකියාව සඳහා ඔහුව කැඳවා තිබුණි.

“දිල්ලියේ නවතින්න වෙන එක තමයි ප්‍රශ්නය. උඹල දෙන්නත් නැතුව…” ගංගුගේ හැඟීම්, හැසිරීම් අව්‍යාජ ය. රාජ්‍ය නොවන සංවිධාන මෙන් නොවේ.

“විකාර අදහස් එපා. සෙට් වෙච්ච ගමන් මං රට යනවා.” ගංගු කීවේ තරමක ආවේගයකිනි.

“රටෙන් පිටුවහල් කරපු එකෙක් විදිහට හරි කමක් නැහැ මට කොරියාවට පැනගන්න ලැබුණොත් ඉතුරු හරිය මං දන්නවා.” ඔහු ආයෙම පැවසීය.

“අමර් උඹටත් මං කියන්නේ ශාන්ති ආදරය කරන්නේ යකඩ ගොඩකට නම් වාහනයක් ගත්තත් උඹ ඒකිව නම් බඳින්න එපා. ඊට වඩා හොඳ වාහනකාරයෙක් ව සෙට් වුණොත් උඹට හුළං.” ගංගු කීවේ අමර් දෙස බලාගෙන ය.

“කතාව ඇත්ත.” කෝලි ද ගංගුගේ අදහස පිළිගනිමින් කීවේ ය.

“තව එකක්. අපි තුන්දෙනාගේ වැඩේ වෙනකම් මේ ගැන කාටවත් කියන්න එපා. ගමම ඇවිත් පූජාවල් තියලා ලෝකෙ නැති දේවල් ඉල්ලන්න පටන් ගන්නවා. නුගේ දෙවියන්ට ද අපිව අමතක වෙලා යයි.”

“උඹ හැම තැනකදිම ආත්මාර්ථකාමියි.” කෝලි කීවේ ගංගුට ය.

“අනේ උඹේ සමාජ සාධාරණත්වය. උඹේ වැඩේ හරි නේ.” ගංගු කීවේ කෝපයෙනි.

“උඹට ඉරිසියයි.” කෝලි කීවේ සිනාසෙමිනි. ගංගු කිසිත් කීවේ නැත. දෙවැනි ප්‍රතිඵලය ලැබුණේ අමර්ට ය. පූජාවෙන් සති පහකට පසුව ය. නමුත් නොසිතූ නොපැතූ වෙනත් ආකාරයකට ය.

“එයා වැන්දඹු පාසල් ගුරුවරියක්. වාහනයක්, හොඳ ගෙයක් තියෙනවා. පුතෙක් ඉන්නවා. මහත්තයාගේ දෙමව්පියෝ එයාව හදනවා.” අමර් ගංගුට කීවේ තීරණයකට නොපැමිණ ම ය. දෙයියෝ දෙන්නේ පුදුම විදිහටනේ.

“රූපයයි, වයසයි කොහොමද?”

“ගෑනි ලස්සනයි. අවුරුදු දෙකක් වැඩිමහල්.”

“කරගනින්. ශාන්ති අවංක කෙල්ලෙක් නෙවෙයි. අනික දෙවියන්ට දෙන්න පුළුවන් විදියට තමයි දීලා තියෙන්නේ.” ගංගු කීවේ තරමක් කල්පනා කිරීමෙන් පසුව ය.

“මං කැමති වෙනවා. ඉක්මනට කසාද බඳින්න වෙනවා.” අවසානයට අමර් කීවේ තීරණාත්මකව ය.

මාස හතරක් ගත වුණේ ය. ගංගු තනි වී ඇත. රට රස්සාව හරියන පාටක් ද නැත. ගෙවුණු කාලය පුරාවට ඔහු හතර වතාවක් නුගයට පූජා ද කළේ ය. “දෙවියන්ව දැක්කේ මං. උදව් කරනවා කිව්වේ මට. කරල නොදුන්නෙත් මගේ වැඩේ.” ඔහුගේ සිතිවිලි වචනවලට ද පෙරළිනි.

තවත් මාස දෙකක් ගත විනි. කිසිදු වෙනසක් නැත. ගංගු තුළ කෝපයත්, පළිගැනීමේ සිතුවිලිත් බුරබුරා නැගෙන්නට විය. ඔහු අවසන් වතාවට සිතාගෙන නුගය සෙවණට ගියේ හිස් අතිනි.

“ඔහේ අරුන් දෙන්නගෙම වැඩේ කරල දුන්නා. මගේ වැඩේ අද වෙනතුරු කරලා දුන්නේ නැහැ. ලබන සතියේ වෙද්දි මගේ වැඩේ නොවුණොත් චේන්සෝ එකක් ගෙනල්ලා මං ඔහේගේ විමානෙ කපලා ගඟට දානවා දානවා ම යි.” ගංගුගේ ගෝරනාඩුවට නුගේ සිටි රිළව් ද බිය වී වෙනත් ගස්වලට පැන්නාහ.

ගංගු ගෙදර ගියේ සතුටකින් නොවේ. රාත්‍රියේ හරියට නින්ද ගියේ ද නැත. පාන්දර අඩ නින්දේ දී ඔහුට දෙවන වතාවට නුගයේ දෙවියන්ව දිස්විණි.

“ඔබේ ඉල්ලීමත් මට කලින් ඇහුණ. ඔබේ ගෝරනාඩුවත් මං අහගෙන හිටියේ. යමක් ලබන්න ඊට අදාළ පින තමන් තුළ නැත්නම් දෙවියන්ටවත් උදව් කරන්න බෑ. ඔබේ කර්මය සකස් වෙලා තියෙන්නේ මේ පොළවත් එක්ක හැප්පෙන්න. ඔබ ම වීර්යය කරොත් ඔබ දියුණු වේවි. දරුවා මතක තියාගනින් අදාළ සැපය ලබන්න ඊට අදාළ පින ඕන කියල.”යි පැවසූ දෙවියන් නොපෙනී ගියේ ය. රාත්‍රියේ ඉතිරි කාලය ගංගු නිදිවර්ජිතව කල්පනා කරන්නට වූයේ දේවභාෂිතය ගැන ය.

කේෂව ගංගානාත්