රන්මිණිතැන්නේ විශාඛා කුලඟන සමිතියේ වාර්ෂික මහ සභා වාරය පැවැත්වෙමින් තිබිණ. පසුගිය වසරේ නිලධාරී මණ්ඩලය ම කිසිදු වෙනසකින් තොරව මෙවරත් ඒකමතික ව තේරී පත් වූයෙන් නිලවරණ උණුසුම් එකක් නොවුණ ද මෙවෙලෙහි නම් මුළු සභාව ම ඉතා උණුසුම් ස්වභාවයක් ගත්තේය.

“මමත් විරුද්ධයි දානෙට මස් මාළු දෙනවට. ඔය ආරණ්‍යවල ඉන්නෙ එළවළුයි බතුයි කාලා. අන්තිමට මස් මාළු වළඳලා..’ පද්මිණි සිය අදහස උස් හඬින් ප්‍රකාශ කර අවසන් කරන්නටත් පෙර නැගී සිටියේ සෝමලතා ය.

“අනේ විකාර… මස් මාළු දුන්නම ඇති වැරැද්ද මොකක්ද? ඔය වැටකොළු පතෝල කන අපේ එකීලගෙ ඇඟ නිවිල ද තියෙන්නෙ? අනෙක මේ පිරිවනේ ඉන්නෙ පුංචි හාමුදුරුවෝ නේද…?”

සෝමලතාගේ වචන පද්මිණීගේ මූණට ම දමා ගැසූ බවකි. ඕ නිහඬ ව බිම බලාගත්තේ කෝපයෙනි. මුළු සභාව ම එකාවන් ව සිනාසෙන්නට විය.

මෙවෙලෙහි සාකච්ඡා වෙමින් පැවතියේ විශාඛා කුලඟන සමිතිය වාර්ෂික ව සිදුකරන සංඝගත දක්ෂිණාව සම්බන්ධයෙනි. මේ උණුසුම එනිසා ය. දානයට මස් මාළු දීම – නොදීම සම්බන්ධයෙන් සභාව දෙකට බෙදී වචන හුවමාරු කරගන්නට විය.

“මේක මේ විදියට බේරන්න බැහැ. සභාපති විදියට සෙදෝන අක්ක මේකෙ අවසාන තීරණය ගන්න. ඔන්න කිසි කෙනෙකුට සෙදෝන අක්කගෙ වචනෙට උඩින් යන්න බෑ…”

සිරිමතීගේ යෝජනාවට සභාවේ අනුමැතිය ලැබිණ. කාගේත් විමසිලිමත් දෑස් කුලඟන සමිතියේ සභාපතිනිය වූ සෙදෝනා වෙත යොමුව පැවතිණි.

“ඔන්න කවුරුවත් තරහ වෙනව නෙවෙයි. මමත් හිතන්නෙ අපි දානෙට මාළු පිළී මොනව හරි දුන්න කියල ඒකෙ ඇති වරදක් නැහැ. හාමුදුරුවන්ට නරක නම් ඒවා අපටත් නරක වෙන්න එපැයි. මොකද අපිත් බුදුරජාණන් වහන්සේගේ ගිහි ශ්‍රාවිකාවෝ වෙච්ච උපාසිකාවොනෙ…”

පාර්ශවයක් නිහඬ ව බිම බලාගත් අතර සෝමලතාලාගේ පිල අත්පොළසන් දෙන්නට විය. අත්පොළසන් නාදය අතින් සංඥා කොට නැවැත්වූ සෙදෝනා,
“දෙන දානෙ රසට, හොඳට දෙන එක තමයි හරි විදිහ. අනෙක සෝමලතා කිව්ව වගේ මේ පොඩි දරුවොනෙ ඉන්නෙ, මොකද ගෙවල්වලට ගිහින් ඉල්ලගෙන කන්න කියල ද…”

සෙදෝනාගේ වචනයට පිටින් කිසිවෙක් ගියේ නැත. අවසානයේ දානයට අවශ්‍ය කළමනා භාර දීම සිදු කළේ ද ඇය විසින් ම ය.

කුකුල් මස් කිලෝ තුනක් සෝමලතා විසින් ම බාර ගත්තාය. මාගරට් මාළු ඇඹුල් තියල් බාරගත් අතර කට්ලට්, ඔම්ලට් වැනි දෑ භාරගත්තේ සෝමලතාගේ පිළ විසිනි. පද්මිණිලාගේ පාර්ශවය විසින් කැපී පෙනෙන දෙයකට බාරගත්තේ වම්බටු මෝජුව පමණක් බව දුටු සෝමලතා මාගරට් දෙසට හැරුණාය.

“අරුන් ඉතිං හැමදාම කිරිහොදි, පතෝල, වැටකොළු තමයි. ගෙදර කෑමත් ඔය වගේ ම ඇති.” යි කීවාය. මාගරට් සිනාසුනා පමණකි. “උඹ ඕව ගිහින් කිව්වත් මං බය නැහැ.” එවරත් මාගරට් සිනාසී නිහඬ ව ම සිටියාය.

හැමදාමත් වගේ මෙවරත් සෙදෝනා භාරගත්තේ පොළොස් මාළුව යි. කොහොමටත් සෙදෝනට වඩා රසට පොළොස් මාළුව උයන්නට දන්නා වෙන කෙනෙක් ගමේ නොසිටි බව ද ඇත්තකි.

දානය දිනට කලින් දා හවස් වරුව ම සෙදෝනා පොළොස් මාළුව සමඟ ඔට්ටු වූවාය. ඕ පොළොස් ගැට සොයාගත්තේ අසල්වැසියන්ගෙනි. අවශ්‍ය තරමටත් වඩා පොල් දුන්නේ සීලින් විසිනි. එය ද සීලින් වාර්ෂික ව සිදුකරන කටයුත්තක් බවට පත්ව තිබුණි. නමුත් එකරුණ දැන සිටියේ ඈ හා සෙදෝනා පමණකි.

සෙදෝනට වියදම් වූයේ දුරුමිරිස් සඳහා වියදම් වූ සුළු මුදලක් පමණකි. එයින් ද ඕ කුරුඳුපොතු, ගොරක, සියඹලා වැනි දෑ අසල්වාසීන් වෙතින් ම ඉල්ලා ගත්තාය.

පොළොස් මාළුව ලිපෙන් බෑවේ රාත්‍රී හතත් පසු වූ විට ය. එය හොඳ රසට, සුවඳට හා පාටට ම තිබුණි. සෙදෝනා කිහිප විටක් ම එහි ලුණු ඇඹුල් බැලුවේ ආශාව වැඩිකමට ය. හෙට දානයෙන් පසුව තමාගේ පොළොස් මාළුව ගැන ගම්මු කරන වර්ණනාවන්, විශේෂයෙන් ම ගුණවතී ඉස්කෝල හාමිනේගේ සුපුරුදු වර්ණනාව සිහි කළ සෙදෝනාගේ සිත සතුටින් පිරුණි. ඇයට මහන්සියක් නොදැනුන තරම් ය.

නිදන්නට ගියත් සෙදෝනාට පොළොස් මාළුවේ සුවඳින් මිදෙන්නට නොහැකි වූවා ය. නාස්පුඩු කිති කවමින් ඇතුල්වෙන පොළොස් සුවඳ ඇගේ කටට ආශාවේ කෙළ ඉනෙව්වේ ය. නැගිට කුස්සියට ගිය සෙදෝනා පොළොස් ඇඹුලෙන් වැඩි කොටස දානයට වෙන්කොට ගෙදර අයට අනෙක් කොටස වෙනත් භාජනයකට දමා වැසුවාය. කොතෙක් ආශාව සිත පෙළන්නට වුව ද මෙවෙලේ නම් සෙදෝනා ‘පොළොස් මාළුව ඉඳුල් නොකරන්නෙමි’ යි සිත දැඩි කොට ගත්තාය.

“ගෙදරට ගත්ත වැඩි ද මන්ද. නෑ කමක් නෑ.” ඕ තමාට කියා ගත්තාය.

උදෑසන හතටත් පෙරාතුව පන්සලට ගිය සෙදෝනා ලොකු හාමුදුරුවන්ගෙන් අවසර ගෙන දාන ශාලාවට යාබද ගබඩා කාමරය අස් කරන්නට වූයේ දානයට ලැබෙන කළමනා ටික ආරක්ෂාකාරී ලෙස තැන්පත් කිරීමට ය.

“මොකද බං ඔය කාමරේ පෙරළන්නෙ?” යි සෙයිතන් අප්පු කිහිප විටක් ම සෙදෝනාගෙන් ප්‍රශ්න කළේ ඊට අකැමැත්තෙනි. සෙයිතන් අප්පු පන්සලේ ඇබිත්තයා විය. ගෑනු මොන පින්කම කළත් අන්තිමට අස්පස් කරන්නට වෙන්නේ තමාට බව සෙයිතන් අප්පු හැමවිට ම නගන චෝදනාවකි.

“අපි අන්තිමට අස්කරලනෙ යන්නෙ” යි සෙදෝනා ඇසෙන නෑසෙන තරමට කීවාය. කෝප මුහුණක් මවා ගත් සෙයිතන් අප්පු ඉවත්ව ගියේ අසල තිබූ කුඩා පුටුවට පා පහරක් ද ගසමිනි. ‘පිං බතාගෙ සැර’ යි සෙදෝනාගේ සිත මොරගෑවේය.

කවදත් දානයට ලැබෙන මාළු පිනි ආදී සියලු දේ භාරගත්තේ සෙදෝනා විසිනි. ඇගෙන් මේ ගබඩා කාමරයට ඇතුල් වීමට අවසර ලබන්නේ තමාගේ ළඟ ම හිතවතියන් වන දයාසීලී හා අයිරින් පමණකි.

“මොකද බං නංගියෙ උඹල දෙන්න පරක්කු වුණේ? මං මේ මග බල බලා හිටියෙ. හැම එකීලා ව ම මේකට රිංගවගෙන බෑ. ගිය පාර කුසුමා දානෙ ඉවර වෙන්නත් ඉස්සර මුල් බඳින්න පටන් ගත්තෙ. අදත් ඔය කුරුමානම් අල්ල අල්ල ඉන්නවා මං දැක්ක. මං ගණන් ගත්තෙ නැති පාර ආං ගිහිල්ල මිදුල අතුගානවා.” සෙදෝනා දයාසීලී ව හා අයිරින් පිළිගත්තේ සතුටිනි.

“ඕකි ඉතිං ඔහොම තමයි හැමදාමත්. දානෙ ගෙදර, මඟුල් ගෙදර, මරණ ගෙදර කියල වෙනසක් නැහැ.” දයාසීලී ද සෙදෝනාට උල්පන්දම් දෙමින් පැවසුවාය.

සෙයිතන් අප්පු ගබඩා කාමරයට ඇතුල් වූයේ හිස් පඩික්කම් කිහිපයක් ද තුරුල්කර ගෙන ය.

“අනේ අප්පු අයියෙ, මේ දානෙ බඩු අස්සෙ ඔය ජරාවල් නොතිය හිටියොත් නේද වඩා හොඳ…?”

සෙදෝනා සෙයිතන් අප්පුට ආයාචනාත්මක ව කීවේ ඊට ඍජු ව විරෝධය පාන්නට තරම් බලයක් නො වූ නිසාවෙනි. සෙයිතන් අප්පු සමග යාප්පුවෙන් සිටීමට සෙදෝනා හැමවිට ම උත්සාහ කරන්නේ ඔහු කිසි කමකට නැති අමනයකු වශයෙන් සලකාගෙන සිටි නිසාවෙනි.

“මේවයෙ ඇති ජරාවකුත් නෑ. වෙන තියන්න තැනකුත් නැහැ. කවුද බොංඩියෙක් වැඩිපුරත් එක්ක පඩික්කන් තියලා. අන්තිමට මේව හෝදන්න උඹල එකෙක්වත් නැහැ. ඔතා ගත්තා. බෙදා ගත්තා. පැන්නා. මම එපැයි මේවා හෝදන්න.”

සෙයිතන් අප්පු පඩික්කම් හතර කාමරයේ මුල්ලක යටිබැලිව නැමුවේය. “ඒකත් ඇත්ත තමා…” සෙදෝනා කීවේ සෙයිතන් අප්පුගේ හිත ගැනීමට ය.

“උඹ නේද මහ එකී? උඹ ඔක්කොට ම හපන්. තුහ් නොදෝකින් තොපේ අනඟ සමිතිය…!” යි කියූ සෙයිතන් අප්පු කාමරයෙන් පිටවූයේ කාරා කෙළ ද ගැසීමෙන් අනතුරුව ය. සෙදෝනා කම්මුලට අතක් තබා ගත්තා මිස කිසිත් නොකීවේ සෙයිතන්ගේ හැටි දන්නා නිසා ය. අයිරින් කොස්ස ගෙන කෙළ ටික පිස දැම්මේ පිළිකුල් හැඟීමෙනි.

“මැරිච්ච දාක විසුමක් වෙන්නෙ නෑ කාටවත්…” දයාසීලී අනෙක් දෙදෙනාට පමණක් ඇසෙන සේ කීවේ සෙමෙනි.

උදෑසන දානයට ආසන්න වෙත්දී පිරිස භාරගත් ව්‍යංජන එකිනෙක ලැබෙන්නට විය. සාමාජිකාවන් වෙතින් සෙදෝනා භාරගන්නා ව්‍යංජන දාන ශාලාවේ භාජනවලට අවශ්‍ය තරමට බෙදා දෙන්නේ ද ඈ විසින් ම ය. අයිරින් හා දයාසීලී අතින් ඒවා දාන ශාලාවට යැවුන අතර ලේකම් නන්දාවතී විසින් ඒවා බිම එලා තිබූ පැදුර මත සීරුවට තැන්පත් කෙරුණි.

මෙතෙක් ගබඩා කාමරය සුවඳවත් කළ සෙදෝනාගේ පොළොස් මාළුවට වඩා පියවතී විසින් ගෙනා වම්බටු මෝජුව සුවඳවත් විය. සෙදෝනාගේ කටට කෙළ ඉනුවේ නිරායාසයෙනි. භාජන දෙකක් ගෙන එකකට පොළොස් මාළුව බෙදූ සෙදෝනා අනෙකට වම්බටු මෝජුවෙන් කොටසක් දමා අයිරින් හා දයාසීලී අත වෙන වෙන ම තැබුවාය.

“පරෙස්සමට අරන් පලයල්ල…” ඕ කාර්යය බරපතළ කොට අනුශාසනා ද කිරීමට වග බලාගත්තා ය. අයිරින් හා දයාසීලී සෙමෙන් අඩි තබා ගියේ සෙදෝනාගේ අණට කීකරු ව කුඩා දරුවන් රත් වූ භාජන අරන් යනවා මෙනි.

ඊ ළඟ මොහොතේ වටපිට බැලූ සෙදෝනා තමා දෙස කිසිවෙකුත් බලා නොසිටින බව නිශ්චය කරගෙන ගෙදරින් ගෙනා ලන්ච් ෂීට් එකකට බටු මෝජුවේ ඉතිරිය දමා ගුලි කොට ආයෙම වටපිට බැලුවාය. කවුරුත් දැක්කේ නැත.
මෝජු ගුලිය සැඟවීමට තැනක් සෙවූ ඇයට එක්වර ම ඊට සුදුසු තැනක් නොපෙණුනි. සිත සිතා සිටින්නට වේලාවක් නැත. කාමරයේ මුල්ලට පැන්න සෙදෝනා සෙයිතන් අප්පු තැන්පත් කළ පඩික්කමක් ඔසවා මෝජු ගුලිය බිමින් තබා පඩික්කමෙන් වැසුවාය.

මාගරට් මාළු ඇඹුල ගෙනාවාය. මාළු ටික දානෙ භාජනයට දැමූ සෙදෝනාගේ මුණ මාළුවලට වඩා ඇඹුල් විය. “ගණන් කරල ද කොහෙද ගෙනත් තියෙන්නෙ.” යි කිසිවක් ඉතිරි නොවූ හට්ටිය සෙස්සන්ට පෙන්වමින් සෙදෝනා කීවේ අමනාපයෙනි.

“අනේ අක්කෙ පරක්කු වුණැයි? මං දුව දුව ආවෙ. කුකුල් මස් නෙ. උයන්න වෙලා යනවා.” යි කියමින් සෝමලතා මස් ව්‍යාංජනය සෙදෝනා අතට දුන්නාය. ඈ කුකුල් මස් යන වචනය තරමක් උස් හඬින් කීවේ තමා කුකුල් මස් ගෙනා බව අසන්නෝ ද දැනගනිත්වා යන සිතුවිල්ලෙනි. ඇය මස් බඳුනේ වැස්ම ඉවත් කළේ පන්සලට ඇතුල්වෙත්දී ම ය. “කුකුල් මස්” හමුවෙන කාටත් සෝමලතා එසේ කීවේ අනුමෝදන් වෙයල්ලා යන සිතුවිල්ලෙන් නම් නොව පෙර කී සිතුවිල්ල නිසා ම ය.

“අඬුවලින් ම ගත්ත අක්කෙ. දෙන එක හොඳටම දෙන්නෙපැයි. අනෙක අරකිලටත් පේන්නෙපැයි…” සෝමලතා අරකිලැයි කීවේ පද්මිණීලගේ පාර්ශවයට ය.

“නංගි මහ ගොඩක් උයලනෙ.”

සෙදෝනා කීවේ කුකුල් මස් ව්‍යාංජනයෙන් නැගෙන සුවඳින් එවර ඇගේ සිත යටපත් වෙත්දී ය.

“නැතුව. අනේ අක්කේ ඕක මට ම බෙදන්න දීපං ඒ වෙලාවට.” යි කියමින් සෝමලතා ගබඩා කාමරයේ දොරකඩින් ඉවත් වූවාය.

“ළඟට ම වෙලා හිටපන්කො.”

සෙදෝනා කීවේ සෝමලතා පිළිබඳ ව අලුතින් උපන් ළෙන්ගතුකමිනි. ‘මාගරට් වගේ නොවේ. සෝමලතා ලෝබ නැත.’ සෙදෝනා එසේ සිතුවාය.

මෙවර සෙදෝනාට ගැටළුවකි. අයිරින් ව හා දයාසීලී ව එකවර කාමරයෙන් පිටත් කිරීමට තරම් ව්‍යංජන දෙකක් නොමැත. අඩුපාඩුව තිබුණේ මස් ව්‍යංජනය පමණකි. මොහොතක් කල්පනා කළ ඕ භාජනයකට කුකුල් අඬු අටක් දමා අයිරින්ට දී පිටත් කළා ය. අනතුරුව ඕ, “නංගියෙ හාමුදුරුවරු කීය ද බං? අට ද? දහය ද? හොඳ එකී වගේ ගිහිං ගණන් කරගෙන වරෙං. මං භාජනේට දැම්මෙ මස් කෑලි අට ද කොහෙද?” යි කියමින් උපායශීලී ලෙස දයාසීලී ව ද කාමරයෙන් පිටත් කිරීමට සමත් වූවාය.

“හාමුදුරුවො දහයයිලු.” පෙරළා පැමිණි දයාසීලී කීවාය. කීයක් වුවත් කමක් නැත. දයාසීලී ආපසු පැමිණීමට පෙර තම රාජකාරිය ඉටුකර ගන්නට සෙදෝනා සමත් ව සිටියාය. එනම් කුකුල් මස් පාර්සලයක් බටු මෝජුව මෙන් ම පඩික්කමක් යට සඟවා තැබීම ය.

“අනේ නංගියෙ, හනික මස් භාජනේ අරං වරෙන්. තව කෑලි දෙකක් දාන්න ඕන. මට මතක තිබුණෙ අටයි කියල. කෝ ඉක්මන් කරපන්කෝ.”

සෙදෝනා දයාසීලී ව ඉක්මන් කරවමින් කීවාය. දයාසීලීගේ මුහුණේ වූ නොපහන් බව දුටු සෙදෝනා “උඹ කොල්ලට කෑම එකක් යවන්නත් ඕන නේ ද?” යි ඇසුවේ එක ලතාවකට ය. ‘මස් නම් තව පාර්සලයක් වුව ගැනීමට තරම් තිබේ.’ දයාසීලී ගිය පසු සෙදෝනාට සිතුණි. ‘ඔය මදැයි.’ අන්තිමට ඕ ඒ තීරණය වෙනස් කළාය.

දයාසීලී නැවත රැගෙන පැමිණි භාජනයට මස් කෑලි දෙක වෙනුවට තුනක් ම දැමූ සෙදෝනා දානයේ ඉතිරි කටයුතු සංවිධානය පිණිස ගබඩා කාමරයෙන් දයාසීලී සමඟ පිටව ගියේ කාමරයේ මුරට අයිරින් ව නවතා හිතේ කිසි බියක් සැකක් නොමැතිව ය. අයිරින් නිකමටවත් පඩික්කම් ඔසවා නොබලන බව සෙදෝනා සක්සුදක් සේ දන්නා කරුණකි.

තැඹිලි ටික කපා නැත. සාමාජිකාවන් කිහිප දෙනෙකු ඒ අසල සිටිනු ද සෙදෝනා දුටුවාය. ඕ පිහිය අතට ගත්තේ තමා සභාපතිනිය වශයෙන් සියලු කටයුත්තේ නොපැකිල ව යෙදෙන බව පෙන්වන්නට මෙනි.
එය සෙදෝනා සිතූ තරම් පහසු කාර්යයක් නොවූයේ තැඹිලි හොඳට ම මෝරා තිබූ හෙයිනි.

“කවුද මේ තැඹිලි ගෙනාවෙ? තැඹිලි කිව්වට මේව පොල් නෙ.”

“චන්ද්‍රානි.” සෙදෝනාට පිළිතුරු දුන්නේ සිසිලිනා ය.

“මේන්න මේ මන්නෙන් කපපං අක්කේ.” ඕ අනතුරුව කීවාය.

සෙදෝනා මන්නය අතට ගත්තේ කැමැත්තෙන් නොවේ. නොකර බැරිකමට ය. සෙයිතන් අප්පු හැරුණු කල පන්සලට වෙනත් පිරිමියෙකු ද නැත. සෙදෝනා හිතේ තරහටත් එක්ක තැඹිලි ටික කපාගෙන කපාගෙන ගියාය.

තැඹිලි කපා අවසන් වන විට සෙදෝනාට හොඳට ම මහන්සි ය. ඊටත් වඩා සියොළඟ ම දහදියෙන් තෙත්ව ඇත. පපුවේ වම් පසින් තදබල වේදනාවක් ද නැගෙන්නට වූයෙන් සිසිලිනා අතට මන්නය දුන් සෙදෝනා කෙලින් ම ගියේ ගබඩා කාමරයට ය. තැඹිලි කපද්දී පවා ඇගේ කල්පනාව තිබුණේ පඩික්කමේ යට සඟවා පැමිණි මස් හා මෝජුවලට කාගෙන් හෝ අනතුරක් සිදුවේදෝයි කියා ය.

පඩික්කම් තැබූ ලෙසින් ම ඇත. සැනසුම් සුසුමක් හෙළුෑ සෙදෝනා මිටි පුටුවක් ගෙන ගබඩා කාමරයේ ඉඳගත්තාය.

“හරි මහන්සියි අයිරින්. මට ම යි තැඹිලි ටිකත් කපන්න වුණේ. අපේ එවුන් වැඩවලට පස්සට. ණයක් ආධාරයක් දෙනවා කියපල්ලකො. පෙරළාගෙන එන්නෙ…”

අයිරින් කිසිත් කීවේ නැත. ඇගේ සිත මෙවෙලේ පැවතියේ වෙනත් කල්පනාවක ය. ගබඩා කාමරයේ කවුරුත් නැති බව දත් ඇය ද නිකං හිටියේ නැත. තමා ගෙනා වට්ටක්කා ව්‍යංජනයේ ඉතිරිය වෙනත් භාජනයකට දැමූ ඕ තම භාජනයට කුකුල් මස් පුරවා මල්ලට දමා ගත්තාය. කුඩා ප්‍රමාණයේ කිරි හට්ටියක් ද මල්ලට දමා ගැනීමට අමතක නොකළ අයිරින් එය සෙදෝනාට හා දයාසීලීට නොපෙනීම පිණිස ගබඩා කාමරයේ තිබූ පැරණි කොට්ට අතර සැඟවූවාය. කාමරයේ මීයන් සිටියහොත් මස් ටිකට හා කිරි හට්ටියට කුමක් සිදුවේදෝයි බියක් ඇගේ සිත පුරා ම හොල්මන් කරන්නට විය.

දානයේ කටයුතු ඉතා හොඳින් නිමා විය. පිරිමි පුළුටකගේ සහයෝගයක් නොමැතිව සභාපතිනිය ප්‍රධාන කොටගත් විශාඛා කුලඟන සමිතියේ දානය මනාකොට සංවිධානය කර පිරිනැමූ බව ලොකු හාමුදුරුවෝ පුණ්‍යානුමෝදනාව අතරතුර කියද්දී පිරිස වෙතින් නැගුනේ සුවිසල් සාධු නාදයකි. සෙදෝනාගේ සිත වඩාත් ම සතුටින් ඉපැලිණි. ඒ සමඟ ම වාගේ ඇගේ පපුව පෙරටත් වඩා වේදනාකාරී ව තද වෙන්නට විය. තමා මැරේදෝයි බියක් ඇයට දැනිණ. තවත් බියක් ද දැනිණ. තමා මළොත් කුකුල් මස් ටිකට හා මෝජුවට කුමක් වේදෝයි කියා ය.

පපුව තදවෙන ගතිය තවත් වැඩි විය. වචනයක් කතා කරගත නොහැකි වූ සෙදෝනා දයාසීලීගේ අතකින් ඇද්දාය. දයාසීලී හැරී බලද්දී දෑස් විශාල ව ඉහළ ගිය සෙදෝනා පැදුරේ ඇදවැටෙනු දැක කෑ ගැසුවාය.

දාන ශාලාවේ සියලු දෙනා ම කලබල විය. සෙදෝනාගේ ළඟ ම හිතවතියෝ විලාප දෙන්නට වූහ.

පන්සලේ වාහනයෙන් ම සෙදෝනා ව රෝහලට රැගෙන ගියේ කඬේ මුදලාලි විසිනි. සෙයිතන් අප්පු නම් කීවේ සෙදෝනා සෙත්තපෝච්චි කියා ය. ඔහුගේ කතාව ඇසූ සමහර සාමාජිකාවෝ සෙයිතන් අප්පුට බැණ වැදුණෝය. සමහරෙක් සිනාසුණහ. වැඩි දෙනෙක් හඬා වැටුණහ.

කුමක් කීව ද කළ ද සෙදෝනාව රෝහලට පිටත් කළ සැණින් සියලු දෙනා ම කෑමවලට පොරකනු දුටු සෙයිතන්ගේ සිතේ උපන්නේ පිළිකුල් සහගත තරහකි.

“මහ එකී ව මෝචරියට යවල තොපි මෙහෙ කෑමට මරාගන්නවා. තුහ් නොදෝකින් මේ ගෑනු හැත්ත…!”

“මේ නාකියෝ, උඹට කසාදයක් බැඳගන්න බැරි වුණාට ද අපි එක්ක මේ තරමට තරහ…?”

ගුණවතී ඇසුවේ දානයේ කටයුතු නිමා ව ඇති හෙයින් දැන් නම් සෙයිතන් අප්පු තරහ වුණත් කමක් නැතැයි සිතාගෙන ය. නාකියා කියූ සැණින් සෙයිතන් අප්පු හිටි තැනින් පැන ගියේ භූමිතෙල් වැදුන ගැරඬියා පැන යන්නාක් මෙනි.
ගෑනු ටික පිටව යන තුරු සෙයිතන් අප්පු සිටියේ බණ මඩුවේ පැදුරු දාන කාමරයේ ය. දාන ශාලාවට පැමිණි සෙයිතන් අප්පු එහෙන් මෙහෙන් අස්කර තිබූ දාන ශාලාව පිළිවෙළට අස්කළේය. ඔහුගේ සිතේ කිසියම් ශෝකාකුල බවක් ඉපදී තිබුණි. තමා නිකමෙකු බවට පත්ව ඇත.

දාන ශාලාව අස්කළ සෙයිතන් අප්පු ගබඩා කාමරයට එබී බැලුවේය. එය දාන ශාලාවට දෙවෙනි නැත. කොස්ස අරගෙන බිම පිහදාන්නට පටන්ගත් සෙයිතන් අප්පුගේ දෑසට හසු වූයේ තමා තැබූ පඩික්කම් වටා තෙල් කූඹි දහස් ගාණක් එකතුව ඇති සැටියකි. පඩික්කම් දෙකකින් එළියට දුඹුරු පැහැ තෙල් කාන්දු වීමක් ද ඔහුගේ දෑසට හසු විය. පඩික්කම් දෙක ඔසවා බැලූ සෙයිතන්ගේ සිතේ වූ ශෝකය මහ කෝපයකට පෙරළුනේ මොහොතකිනි.

“පරට්ට හැත්ත.” සෙයිතන් අප්පු දත්කූරු කෑවේය. අත් දෙකට පාර්සල් දෙක ගත් ඔහු එළියට පැනගත්තේ තනිවම බැණ වදිමිනි. ඉඳුල් කෑමට පැමිණි බල්ලන් දුටු සෙයිතන් එකවර ම බල්ලන් දෙසට පාර්සල් දෙක ම විසිකළේය. බල්ලන් පොරකනු දුටු සෙයිතන්ගේ මුව’ගට සිනාවක් ඉපැදිණි.

“තොපි හොඳයි බල්ලනේ මේ බොංඩියන්ට වඩා.” ඔහු බල්ලන්ට කීවේය.

හවස හතර වෙත්දී සෙදෝනා රෝහලේදී මියගොස් ඇති බව ගම පුරා ම ආරංචි විය. පන්සලේ හාමුදුරුවෝ සමග සෙයිතන් අප්පුට ද සෙදෝනාගේ ගෙදරට යන්න සිදු වුවත් සෙයිතන් ගියේ කැමැත්තකින් නොවේ.
ගමේ වෙනත් කිසිවෙකුගේවත් නොකළ තරමේ උත්කර්ශවත් ලෙසට සෙදෝනාගේ අවමඟුල් කටයුතු කෙරුනේ දරුවන් අතිනි.

සෙදෝනාගේ මළමිනිය සුසානය කරා ගෙනයද්දී ඥාතීන්ට එකතු වූ මුළු කුලඟන සමිතිය ම විලාප දී හඬා වැටුණි.

“අපේ අක්කේ… දිව්‍ය ලෝකෙ ඉඳලා අපිව බලල යන්න ඉක්මනට ම වරෙං.” දයාසීලී අන් සියලු දෙනාගේ ම හඬවල් පරාජය කරමින් කෑ ගසා ඇඬුවාය.

“අනේ දානෙ පින් අනුමෝදන් වෙවී උඹ මැරුනේ. බුදුන් දැක නිවන් දැකපං අක්කේ…” කියා හැඬුවේ ගුණවතී ය. ලොකු හාමුදුරුවන් පවා සෙදෝනා ස්ථිර වශයෙන් ම දෙවියන් අතරට ගිය බව ප්‍රකාශ කළෙන් මුළු ගම ම ඒ අදහස හිස් මුදුනින් පිළිගත්තේය. පින් අනුමෝදන් වෙවී මරණයට පත්වීමේ ආශාව ගමේ බොහෝ වැඩිහිටියන් තුළ ඇතිවීමට සෙදෝනාගේ මරණය මග පෙන්වීය.

සෙදෝනාගේ හත් දවසේ දානය හාමුදුරුවන් ව ගෙදරට වඩමවා පිරිනැමීමට දරුවන්ට කොතෙක් උවමනා වී ද ලොකු හාමුදුරුවන් ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කළේ සෙදෝනාට පමණක් විශේෂත්වයක් කිරීම ගැටළුවලට මුල පිරීමක් බව පවසමිනි.

“සෙදෝනා උපාසිකාවට කාගෙවත් පිනෙන් වැඩක් නැහැ. එයා දෙවියන් අතර ඉන්නෙ…” ලොකු හාමුදුරුවන් දරුවන්ට සිය අවංක අදහස කීවේ ඔවුන්ගේ සිත් වඩාත් සතුටට පත් කිරීම පිණිස ය.

අවසානයට දානය පන්සලට උයාගෙන ගොස් පූජා කිරීම සිදු විය. පුණ්‍යානුමෝදනාවේදී සෙදෝනාගේ සියලු ගුණ නොමසුරුව ම වර්ණනා කළ ලොකු හාමුදුරුවෝ සෙදෝනාට පින් අනුමෝදන් කිරීම පිණිස පැන් භාජනය අතට ගන්නා ලෙස ඥාතීන්ට දැන්වීය.

සෙදෝනාගේ ලොකු පුතා වසන්ත පැන් භාජනය අතට ගන්නවාත් සමග ම අසල සිටි ඔහුගේ දොළොස් වියැති දියණිය පැන් භාජනයට අතින් ගැසුවාය. බිම වැටුණු භාජනය බිඳී යත්දී වසන්ත තම දියණිය දෙස රවා බැලුවේ කේන්තියෙනි.

“එපා… මට පින් එපා! මට ඕන මගෙ කුකුල් මස් එකයි, බටු මෝජුවයි…” දැරිවිය සිය පියාට තර්ජනාත්මක ව කියත්දී කාගේත් ඇස් ඇය වෙතට යොමු වූයේ හදිසි සිදුවීමත්, ඇගේ කටහඬ වෙනස්ව තිබීමත් නිසාවෙනි.

“උඹ මොකද මං දිහා රවල බලන්නෙ? මට ඕන ඇති කෙහෙල්මල් පිනක් නැහැ. මං සෙදෝනා. මට මගෙ කුකුල් මස් එකයි, බටු මෝජුවයි හොයල දියං.”

ලොකු හාමුදුරුවන්ගේ පටන් සියලු දෙනාම ගල් ගැසුනා මෙනි. අසල සිටි සෙයිතන් අප්පු වෙව්ලා ගියේය.

“ලොකු හාමුදුරුවනේ, මට මගේ මස් එකයි, මෝජුවයි ඕන. මං එදා ඉඳන් ම හොයනවා. පන්සලේ කිසිම තැනක නැහැ. කොයි එකෙක් හරි අරගෙන තියෙනවා.”

දැරිය – සෙදෝනා ආයෙම කීවාය. කොතන හෝ වරදක් සිදුව ඇති බව සියලු දෙනාට ම පැහැදිලි ය. වරද කොතන සිදුවී ඇති ද කියා දන්නේ සෙයිතන් අප්පු පමණකි. බියෙන් මුසපත්ව සිටි සෙයිතන් අප්පු කාටත් නොදැනෙන සේ දාන ශාලාවෙන් එළියට රූටන්නට විය.

“මහත්තයගෙ අම්මට කොතන හරි වැරදීමක් වෙලා. මොනව හරි ලොකු දෙයක් කරන්න වෙයි වගේ…”

“මොනව හරි නෙවෙයි මට මගේ මස් එකයි, මෝජුවයි ඕන. මං මෙහෙන් යන්නෙ නෑ. මේව හැදුවෙ අපිනෙ…”

ලොකු හාමුදුරුවෝ වසන්තවත් රැගෙන දාන ශාලාවෙන් පිට විය.

“මහත්තයො, තංගල්ල පැත්තෙ හොඳ කට්ටඩි මහත්තයෙක් ඉන්නවා. දැන් ම ගිහින් කතා කරල බලන්න. මේ ගෑනු පරාණෙත් එක්ක මං කොහොමද මේ පොඩිනමලව පන්සලේ තියාගන්නෙ…?” ලොකු හාමුදුරුවන් සෙදෝනාට පෙරේති යැයි නොකියා ගෑනු පරාණය යැයි කීවේ වසන්තගේ සිත රිදේවි ය යන අදහසිනි.

දැරිය ව නිවසට රැගෙන යාම ද අපහසු විය. පන්සලේ ඉන්න පෙරේති ව ගෙදරට ගෙන යාමට වසන්තගේ බිරිඳ ද අකැමති වූ නිසාවෙන් හවස පහ වෙත්දී පන්සලේ ම මැතිරිල්ල ආරම්භ විය. ගමෙන් භාගයකටත් වඩා පන්සලට රැස්ව සිටියේ දිව්‍ය ලෝකේ ගිය සෙදෝනාගේ හැබෑ විස්තර දැනගැනීමේ ආශාවෙනි.

කවුරු සිටියත් පිරිස අතර සෙයිතන් අප්පු නොසිටියේය. ලොකු හාමුදුරුවන්ගේ පණිවිඩයකට සෙයිතන් අප්පුව සොයා බලද්දී ඔහුගේ කාමරයේ තිබූ ඇඳුම් කඩමාලු කිහිපය ද සමගින් ඔහු ගමෙන් ම අතුරුදන්ව ඇති බව කාටත් පැහැදිලි විය.

සෙදෝනාගේ අවතාරයට බියෙන් කවදත් කළුවරට බය සෙයිතන් අප්පු පැනගොස් ඇති බව පන්සලේ ලොකු හාමුදුරුවන් සිතත්දී ගමේ පැතිර ගිය ආරංචියකින් කියවුණේ සෙදෝනාගේ අවතාරය පසුගිය දින කිහිපය පුරා ම කුකුල් මසුයි, වම්බටු මෝජුයි ඉල්ලා සෙයිතන් අප්පුගේ බෙල්ල මිරිකා ඇති බවකි.

නිමි.

පසුවදන – ආශාව නිසාවෙන් ආශා කළ දේට බැඳී යන්නේය. බැඳී යාම නිසාවෙන් විපාක විඳීමට කර්ම සකස් වන්නේය. ඒ හේතුවෙන් උපදින්නේය. උපන් සත්වයාට දුක හටගන්නේය.

චන්දන එස්. කුමාර