මේ දිනවල අප මාතෘභූමියේ මනුෂ්‍යයන්ගේ ගුණධර්ම ගැන, හැකියාවන් ගැන වෙනදාටවත් වඩා ඉහළින් ජනමාධ්‍ය හා සමාජ මාධ්‍ය ඔස්සේ ඉස්මතු වී පෙනෙනු දක්නට ලැබේ. ප්‍රධාන වශයෙන් ජනාධිපතිතුමන්ගේ පටන් ආරක්ෂක අංශ, සෞඛ්‍ය කාර්ය මණ්ඩල ද ඇතුළුව සමස්ත ශ්‍රී ලාංකිකයන්, වැටුප් ලබනා තම වෘත්තීමය කාර්යයන් හා සීමාවන් ඉක්මවා ගොස් මහත් කැපවීමකින් සියලු රටවැසියන්ගේ ආරක්ෂාව, නීරෝගී බව, පහසු ජීවන පැවැත්ම වෙනුවෙන් දිවා රෑ නොබලා ඇප කැප වී කටයුතු කරනු දකින විට නෙත් කඳුළින් තෙත් වේ. වත්මන් කොරෝනා වසංගත තත්ත්වය හමුවේ එසේ ප්‍රකට වූ මනුගුණදම් අප ලක්වැසි ජනතාව තුළ ස්වභාවයෙන් ම පවතින්නකි. ඒවා ඔවුන්ගේ ජීවිත තුළට අහසින් කඩා වැටී හෝ දේවදායාදයක් වශයෙන් ලැබුණා වූ දේවල් නොවේ.

වර්තමාන ලෝකය දෙස ඇස් ඇර බලන්න. මෙතෙක් අප දියුණු යැයි, ශිෂ්ට යැයි, සංවර්ධිත යැයි සිතා සිටි බලවත් රාජ්‍යයන්ගේ වෙස් මුහුණු කොවිඞ් වසංගතය හමුවේ ගැලවී ගොස් ඇත. එකී රටවල්වල රාජ්‍ය නායකයන් පවා තම රටවැසියාගේ ජීවිතවල ඇති වටිනාකම තඹ සතයකටවත් ගණන් ගන්නේ නැත. විකුණාගත නොහැකි එළවළු, පරිත්‍යාගයක් ලෙසින් අසරණ ජනතාවට බෙදාදීමට සිතක්වත් ඔවුන් තුළ පහළ නොවේ. ඒ වෙනුවට සිදුකරන්නේ එම එළවළු ටොන් ගණනින් මහපොළොවට යටකර දැමීමයි.

කෙතරම් විපත් පැමිණිය ද අප රටේ මිනිසුන් කිසිදා කුසගින්නේ මියගිය බවක් අප අසා නැත. එසේ මිය යන්නට අප ඉඩ තියන්නේ ද නැත. තම බත්පත වුව ද සිය කුසගින්න නොසලකා අසරණයෙකුගේ කුසගිනි නිවන්නට දන් දීමට තරම් අප මාතෘභූමියේ වාසය කරන මිනිසුන් ආධ්‍යාත්මිකව පොහොසත් ය. පසුගිය දා එක්තරා දමිළ දේශපාලකයෙක් මේ ව්‍යසනයෙන් වතුකරයේ දෙමළ ජනතාව කුසගින්නේ මිය යනු ඇතැයි ප්‍රකාශයක් කරනු මාධ්‍ය ඔස්සේ දුටුවෙමි. සිංහල වුවද, දමිළ වුවද, මුස්ලිම් වුවද අප මව්බිමේ වසනා සැමට එක සමාන මෙත් සිතින් උදව් කරන්නට අපි සැදී පැහැදී සිටිමු. අප මාතෘභූමියේ වසනා කිසිවෙකුට දැන දැන අප නෙත් ඉදිරිපිට කුසගින්නේ මියැදෙන්නට අපි ඉඩ නොතබන්නෙමු.

බුද්ධ පරිනිර්වාණයෙන් වසර 236කට පසු මිහිඳු මහරහතන් වහන්සේ විසින් අප ලක්දිවට ගෞතම බුදු සසුන දායාද කරන ලද්දේය. එතැන් පටන් ලක්දිව රජදරුවන්ගේ පටන් සියලු ජනයා තෙරුවනට දිවි පුදා, සිල්වත් ව, දන් පැන් පූජා කරමින්, ධර්මානුකූලව දිවි ගෙවීමට පටන් ගත්හ. එම නිසා ලොව කිසිදු ජාතියකට දෙවෙනි නොවූ, අභිමානවත්, ස්වයංපෝෂිත, මානව ගුණධර්මයන්ගෙන් පොහොසත් ජනතාවක් සිටින රටක් බවට අප මාතෘභූමිය පත්විය. එසේ ඇතිවූ ගුණදහම් පරම්පරාවෙන් පරම්පරාවට උරුම ව පැමිණ, පාට පක්ෂ දේශපාලනය ආදී නානාවිධ හේතූන් නිසා මිනිස් ගුණදම් පිරිහී යමින් පවතින මෙකල පවා අප තුළ තවමත් මෙසේ ඉතිරිව පැවතීම සැනසීමට කරුණකි.

වත්මන් අතිගරු ජනාධිපතිතුමා, අගමැතිතුමා, මහා සංඝ රත්නය, ත්‍රිවිධ හමුදාව, සෞඛ්‍ය කාර්ය මණ්ඩල, රාජ්‍ය සේවකයන්, පුද්ගලික අංශයේ සේවකයන්, මාධ්‍ය ආයතන මගින් ලක්වැසි අප සැමගේ ආරක්ෂාව පිණිස, නීරෝගී බව පිණිස, පහසු විහරණය පිණිස කරන සෑම කැප කිරීමක ම මෙන්ම එයින් අප ලබනා මහත් වූ අස්වැසිල්ලේ ද සැබෑ කෘතවේදීත්වය, සැබෑ ගෞරවය හිමිවිය යුත්තේ ලක්වැසි අප සැමගේ ආදි ගුරුදේව වූ මිහිඳු මහරහතන් වහන්සේට ය. උන්වහන්සේ ලක්දිවට නොවැඩිය සේක් නම්, බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපට නොලැබුණේ නම් අදත් අප රට තවමත් ඇමරිකාව, එංගලන්තය, යුරෝපය ආදී තවත් ම්ලේච්ඡ ගතිගුණ ඇති ජනතාවක් වෙසෙන රටක් බවට පත්වන්නට තිබුණි. ඉන්දියාව, අප්‍රිකාව මෙන් කුසගින්නේ මියයන මිනිසුන් සිටින රටක් බවට පත්වන්නට ඉඩ තිබුණි.

අපගේ බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේ තුන්වරක් මෙහි වැඩම කිරීමෙන්, උන්වහන්සේගේ උතුම් සිරිපා පහස ලද, උන්වහන්සේගේ ආශීර්වාදය ලද උතුම් දිවයිනක ය අප මේ ජීවත් වන්නේ. මෙකල ලක්දිව මනුෂ්‍ය ජීවිතයක් ලබා උපන් අප සැවොම යම් පමණක හෝ පෙර කරන ලද පින් ඇති අය වෙමු. ඔබේ ජීවිතයේ ඔබ වැඩිපුර කාලය යොදවන්නේ කෑමට බීමට නම්, විනෝද වීමට නම්, සවාරි යෑමට නම්, ටෙලිනාට්‍ය චිත්‍රපටි බැලීමට නම්, තම ස්වාමියා, බිරිඳ, දෙමාපියන් අමතක කොට අනාචාරයේ යෙදීමට නම්, මොහොතක් සිතන්න, මෙබඳු ව්‍යසනයක් හමුවේ ඔබට එයින් ලැබෙන රැකවරණය කුමක් ද? වාසනාවකට අප කොරෝනාවෙන් බේරුණත් වයසට යාමෙන්, නොසිතූ මොහොතක මියයාමට සිදුවීමෙන් අප නිදහස් වී සිටී ද? නැත.
පසුගිය වසරේ පාස්කු ප්‍රහාරයෙන් දහසක් පැතුම් පොදි බැඳගෙන ජීවත් වූ කී දෙනෙකුට නම් තමන් කිසිවිටෙකත් බලාපොරොත්තු නොවූ අයුරින් මිය යන්නට සිදුවූවාද? ඔවුන් මරණින් මතු කවර කවර ලෝකවල පුනර්ජන්මය ලැබුවේදැයි අපි දන්නවාද? හොඳටම වයසට යන තෙක් නිරෝගීව ජීවත් වී, බටර්, පාන් කා, තමා වටා එක්වූ දරු මුණුබුරන් සමග අවසාන වශයෙන් වචන කීපයක් කතාකොට සනීපෙට මියයාම අපගේ සිහිනය වුවද, අපට ද පෙර කී අයුරින් හදිසියේ මිය යන්නට සිදුනොවේවි යැයි කාට නම් කිව හැකිද?

හොඳින් සිහි තබාගන්න. මෙලොවදීත් පරලොවදීත් ඔබේ පිහිටට ඇත්තේ ධර්මය පමණි. ඔබ තුළ දියුණු කරගත් ගුණධර්ම පමණි. ඔබ තුළ බුදුරජාණන් වහන්සේ කෙරෙහි, ශ්‍රී සද්ධර්මය කෙරෙහි, ආර්ය සංඝයා කෙරෙහි ඇතිකරගත් චිත්තප්ප්‍රසාදය පමණි. ඔබ දාන, සීල, භාවනාදී වශයෙන් රැස්කරගත් පින් පමණි. සත්පුරුෂ කල්‍යාණමිතුරන්ගේ ඇසුර පමණි.

සටහන – ධනංජය වීරසිංහ