ලාංකේය ජන සාහිත්‍යය, ගැමි ජනකායගේ සොම්නස් දොම්නස් තැවුල් වියවුලින් මෙන් ම දුක් කඳුළින් ද උපන් අධ්‍යාත්ම ප්‍රකාශන කතාරත්නාවලියකි. ඉන් එක් කතා වස්තු බීජයකින් ජීවය ලබා නිර්මාණය වී ඇති ‘විෂම භාග’ සිනමා කාව්‍යය, මෙතෙක් කිසිදු අධ්‍යක්ෂවරයකුගේ පරිකල්පනයට හසු නො වූ අපූරු අනුභුතියක් මතු කරන තේමාවකින් යුතු විශිෂ්ට කලා කෘතියක් ලෙස බහුජන ප්‍රසාදයට ලක් වී තිබේ. නූතන සිනමා සිත්තම් කලාව හුදු විනෝදාස්වාදය හා හැඩි දැඩි ප්‍රචණ්ඩත්වය නිරූපණය උදෙසා වැඩි වශයෙන් යොමු වන යුගයකල ජීවිතය දෙස අලුතින් බලන්නට – හිතන්නට පොළොඹවන ආකර්ෂණීය සිනමා නිර්මාණයක් බිහි වීම නූතන දරු පරපුරේ භාග්‍යයක් වෙයි.

මෙනයින් සිංහල සිනමා කර්මාන්තය ජන හිත සුව පිණිස වන මඟකට යොමු කරවන විෂම භාග සිනමා සිත්තම පිළිබඳ ව සියලුම දෙස් විදෙස් ජන මාධ්‍යයන්හි ප්‍රසාදාත්මක ඇගයුම් පළ වී තිබිණ. නූතන සියලු ම ප්‍රබුද්ධ චිත්‍රපට විචාරකයෝ ඊට මුව නොසෑහෙන සේ පැසසූහ. චිත්‍රපටයේ කිසිදු අඩුපාඩුවක් නොදක්වා තිබීම එම විවේචනයන්හි පොදු ලක්ෂණයක් විය. ප්‍රවීණ චිත්‍රපට විචාරක ගාමිණී වේරගම මහතා ලංකාදීපයට විවේචනයක් ලියමින් පැවසුවේ චිත්‍රපටයේ විවිධ හැඩතල භාවිතයත්, එහි අර්ථ සම්පන්න බව උද්දීපනය කිරීම සඳහා සිනමා බස කෘතහස්ත ආකාරයෙන් හැසිරවීමත් නිසා විෂම භාග මෑත අවධියේ නිර්මාණය වුණ හොඳ ම චිත්‍රපටය බවයි.

දිවයින පුවත්පතට සාරගර්භ විවේචනයක් ලියූ බුද්ධදාස ගලප්පත්ති කිවිසුරාණන් පැවසුවේ පරිසරයේ හා ස්වභාව ධර්මයේ ගැහැටවලින් බැට කන ධෛර්යවන්ත මවක හා දරුවන් අතරත්, සීයා අතරත් සබඳතාව ප්‍රතිනිර්මාණයෙහිලා දැක්වූ නිර්මාණාත්මක ප්‍රතිභාව අධ්‍යක්ෂණ භූමිකාවේ විශිෂ්ටත්වයට හේතු වී ඇති බවයි. පිරිසිදු පානීය ජලය නොමැතිව වකුගඩු රෝගයට ගොදුරු වී මිය යන රජරට පළාතේ ජීවිතත්, පළිබෝධනාශක භාවිතයේ අනිටු විපාක සහ ඉන් අසරණ ව දරිද්‍රතාව සමඟ පොර බදන පවුල් ජීවිත අන්දරයත්, ඒ විෂමතා සියල්ල මැද ගුරු කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයේ විපාක නිසා කම්පනයට පත්වන දරුවන්ගේ මානසික පීඩනයත් විෂම භාග අධ්‍යක්ෂවරයා ඉදිරිපත් කොට ඇත්තේ ප්‍රේක්ෂක රසික ජනහද කම්පනයට පත් කරවන අයුරිනි.

මිනිස් අධ්‍යාත්මය සුනිශිත කරන ජනශ්‍රැතිය, ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයේ සාර්ථක නැඹුරුවක් බව විෂම භාග සිනමා සිත්තම තුළින් ඉදිරිපත් කොට ඇති ආකාරය අතිශය ප්‍රබල ය. රළු පරළු හිතැති ගණිත ගුරුවරයාගේ තර්ජනය හමුවේ අසරණ වන දරුවා තමා නොදන්නා දෙයක් කළුලෑල්ලේ ලියන්නේ කෙසේ ද? හුණු කූර අතැතිව, තමන් නොදන්නා දේ ලියන්නට යැයි අණ කරන ගුරුවරයා හමුවේ කර කියා ගත දෙයක් නොමැතිව සිටින සෞන්දර්යකාමී දරුවාට සිහිපත් වන්නේ ගෙදරදී සීයා ගායනා කළ ජන ගීය යි. ඔහුගේ මුවින් එම ජන ගීය නිතැතින් ම පිටවනවාත් සමඟ ම ගුරුතුමා නිහඬ වෙයි. ප්‍රේක්ෂකාගාරයේ නෙත් කඳුළින් තෙමී යයි. මේ ලිපියට නිමිත්ත වූයේ එකී සංවේදී ජන ගීයට මූලාශ්‍රය වූ ජනකතා සිඟිත්ත යි. එය වූ කලී අනාදිමත් කාලයක් සිංහල ගැමි ජනකායගේ හද පෑරවූ අනුවේදනීය පුවතකි.

සිහින් තුඬ සහිත හොටින් හා කුඩා ම හිසකින් යුතු වූ ද බෝලයක හැඩයෙන් යුතු බඳක් ඇති අළු පැහැති කුරුල්ලකු ‘පුබ්බරු පුතා කෝ… කෝ…’ යන හඬින් උදය කාලයේ සිට සවස් වන තුරු ගසක උස අත්තකට වී නඟන හඬ අප බොහෝ දෙනෙකු අසා ඇතුවා විය හැකි ය. මේ කුරුල්ලාගේ ස්වභාවය හා නාද කිරීම අනුව ගැමියන්, ඌ ‘පුබ්බරුවා’ නමින් හැඳින්වුව ද මේ කුරුල්ලා කොබෙයි වර්ගයට අයත් පක්ෂියෙකි. ‘පුබ්බරුවා’ යන වදන ශ්‍රී සුමංගල ශබ්දකෝෂය හඳුන්වා දී ඇත්තේ ‘කුරුලු පැටියා’ යනුවෙනි.

පූර්වයෙහි සඳහන් කොට ඇති පරිදි පුබ්බරුවා හෙවත් කුරුලු පැටියා පිළිබඳ අනුවේදනීය කතා පුවතක් ජනශ්‍රැති සාහිත්‍යයේ ඇතුළත්ව තිබේ. එය වූ කලී දරුවන්ගේ හැසිරීම, සෞන්දර්ය රුචිය හා වැඩිහිටියන් ඔවුන් කෙරෙහි දක්වන ආකල්පමය හැසිරීම ද පිළිබිඹු කරන ශෝචනීය වෘත්තාන්තයකි.

එක්තරා කැලෑබද පෙදෙසක ගසක අතු රිකිල්ලක් මත තනා ගත් කූඩුවක කොබෙයි අම්මා කෙනෙක සිය එක ම පැටවා සමඟ සතුටින් ජීවත් වූවා ය. ටික දිනක් ඇවෑමෙන් වැසි නොලැබීමෙන් මහා ඉඩෝර කාලයක් උදා වී ගහ කොළ සියල්ල වියළී ගිය අතර දිය පාරවල් ද සිඳී ගියේ ය. කුරුල්ලන්ට කෑමට මල් පලතුරු ආදිය හිඟ විය. සතා සිව්පාවාට බීමට ජලය පවා හිඟ වී ගියේ ය.

මේ අතර කෑම නොමැතිව කොබෙයි පැටියා (පුබ්බරුවා) හඬනු බලා සිටිය නොහැකි තැන කොබෙයි අම්මා කෑම සොයා ගෙන ඈත පළාතකට පියඹා ගියා ය. එසේ යද්දී අතු පුරා මල් පිපී ඇති මී ගසක් දුටු ඇය මහත් සතුටට පත් ව මී මල් රාශියක් කඩාගෙන අවුත් එයින් ටිකක් පැටවාට කෑමට දුන්නා ය. ඉතා මිහිරි රසින් යුතු මී පුෂ්ප (මී පුප්) පැටවා කෑවේ මහත් ආශාවෙනි. තමා රැගෙන ආ මී මල්වල ඉතිරි කොටසල ගස පාමුල ඇති ගල් තලාවේ වැනූ කොබෙයි අම්මා එය හොඳින් බලා ගන්නා ලෙස පැටවාට කියා නැවත මී මල් රැගෙන එනු පිණිස මී ගස කරා පියැඹුවාය. හිරු අවරට යමින් තිබියදී ආපසු සිය කැදැල්ල කරා පියාඹා පැමිණි ඇයට දක්නට ලැබුණේ උදේ ගල මතුයෙහි වනා ගිය මී මල් එකක්වත් නැති සැටියකි. තම පැටවා ඒ මල් සියල්ල කා දමා ඇතැයි සිතූ කොබෙයි අම්මා “මෙච්චර කන්න ගෙනත් දීලත් හවසට කන්න ඉතිරි කරල තිබ්බ මී මල් ටිකත් කෑවා නේ ද?” කියා අසා කේන්ති ගොස් අසරණ පැටවාට කොටා මරා දැම්මා ය.

එදින හවස් යාමයේ අහස කළු කොට මහා වැස්සක් ඇද හැලී ටික වේලාවකට පසු ගලේ වනා තිබූ මී මල් වැහි පොද වැටී පෙඟී කලින් වනා තැබූ මල් පරිද්දෙන් ම දිස් විය. ඒ දුටු කොබෙයි අම්මාට ඉහිලුම් නැති විය. තමා දරුවා ව කොටා මරා දැම්මේ නිරපරාදේ යි කියමින් වැළපුණ ඇය එදා සිට ම ගහෙන් ගහට ඉගිල යමින්…, “මී පුප් ලදින් දරු නොලදින් රන්කැටි පුතා කෝ… කෝ…” යි කියමින් විලාප දෙන්නී ය. ඇගේ වැළපීම අපට ඇසෙන්නේ ‘පුබ්බරු පුතා කෝ… කෝ… කෝ… යන රාවයෙනි.

මෙම ශෝචනීය කතා පුවත ගැමි කතාකරුවන් ගෙතුවේ දරුවන්ගේ ක්‍රියාකලාපය හා හැසිරීම කෙරෙහි වැඩිහිටියන්ගේ දැඩි අවධානය යොමු කරනු සඳහා ය. සොයා බලා කටයුතු නොකිරීම, ක්ෂණික තීරණවලට එළඹීම දරුවන් උදෙසා කිසිසේත් නොකළ යුතු බව මේ ජනකතා පුවත සේ ම දරුවා රැකබලා ගත් මුගටියා මරා දැමීම පිළිබඳ ජනකතා පුවතින් ද අනාවරණය වෙයි.

පුබ්බරු පුතා පිළිබඳ අනුවේදනීය කතා පුවත විෂම භාග සිනමා කාව්‍යය අවසානයේ කුළු ගන්වන ආකාරය අතිශය ප්‍රබල ය. මානුෂීය ගුණධර්මවලින් තෙමෙන විට දරුවන් පිබිදෙන්නේ සැඩ හිරු රැසින් වේළී ගිය මල්ල වැසි දියෙන් පෙනී පණ ලබා විකසිත වන්නාක් මෙනි. කොබෙයි කිරිල්ලියගේ විලාපය වනාහි ගුරු කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමය නිසා මානසික පීඩනයට පත්ව සිටින සිසු පරපුරේ වේදනාව ප්‍රකට කරන ප්‍රබල සංකේතයක් ලෙස ප්‍රතීයමාන කිරීමට විෂම භාග සිනමා සිත්තම නිමැවූ අධ්‍යක්ෂ ලලිත් රත්නායක මහතා සමත් වී තිබේ. ගුරු කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයේ පීඩනය නිසාත්, තම පරපුර (සීයා, මව හා දරුවන්) මුහුණ පා සිටින ගොරතර පාරිසරික ප්‍රශ්න නිසාත් වදනින් කිය නොහෙන වේදනාවක් විඳින දරුවාගේ (රුවන්සිරිගේ) කවි ගායනයට සවන් දෙන දැඩියන්ගේ වුව ද නෙත් කඳුළින් තෙත් වනුයේ සිනමා කාව්‍යයෙන් කුළු ගැන්වෙන ජීවන අරුත එය නැරඹූ සියලු ම දෙනා පසක් කොට ගත් හෙයිනි.

‘ගලේ වැනුව මල් කාලා නොවෙයි කුරුලු පැටිය මලේ
පමා වෙලා වැටුණ වැස්සෙ මල් පිපුණා ගලේ
නුඹේ අතේ වරද නැතේ කොබෙයි ලියේ
නාඩා ඉඳින් දුක් බොහොමයි සංසාරේ

පුබ්බරු පුතේ පුබ්බූරුයි හඬන කොට
වෙනදාටත් වඩා තනිකම දැනෙයි මට
උඹත් අඬනවා පැටියා මළ දුකට
කිරිල්ලියේ මම මොනවා කරන්න ද’

දවස දෙවේලේ හඬන කොබෙයි කිරිල්ලියගේ විලාපයට සවන් දෙන අප රට ගැමි ජනතාව අනාදිමත් කාලයක සිට දරු සෙනෙහස හදට තුරුලු කොට සුසුම් හෙළනුයේ ‘නාඬ ඉඳින් දුක් බොහොමයි සංසාරේ’ යනුවෙන් සිහිපත් කරමිනි. ලාංකේය ජන සාහිත්‍යය වූ කලී ගැමි ජනතාවගේ සැප සොම්නස් දුක් දොම්නස් මෙන් ම දුක් කඳුළින් ද උපන් අධ්‍යාත්ම ප්‍රකාශන කතාරත්නාවලියක් බව මේ කතා සිඟිත්තෙන් පමණක් වුව ද පසක් වන්නේය.

සටහන – දයාපාල ජයනෙත්ති