අපගේ මාතෘභූමිය වූ ශ්‍රී ලංකාව තවමත් සංවර්ධනය වෙමින් පවතින රටකි. එබැවින්, මෙහි වාසය කරන බොහෝ දෙනා ධනවත්හු නොවෙති. බහුතරයක් මධ්‍යම පාන්තිකයෝ වන අතර ඊට නොදෙවෙනි පිරිසක් දිළිඳු පුද්ගලයෝ වෙති. ඉසුරුමත් බව යනු බොහෝ දෙනාට ප්‍රියමනාප නමුත් ඉතා දුර්ලභව ලැබිය හැකි කාරණා අතරින් එකක් බව සර්වඥ වූ අපගේ ශාස්තෘන් වහන්සේ වදාළ සේක. එසේ නම් සංවර්ධිත රටක් වුව ද සංවර්ධනය වෙමින් පවතින රටක් වුව ද දරිද්‍රතාව යනු බොහෝ දෙනෙකු පීඩාවට පත් කරනා කරුණක් බැව් නොකිව මනා ය.

රිදී හැන්දක් මුවින් ගෙන මෙලොව එළිය දැකීම යනු බොහෝමයක් දෙනෙකුගේ ඉරණම නොවේ. සමහර පවුල්වල දරුවන් උපත ලබන්නේ ඒ දෙමාපියන්ට තම කුසට පැමිණි දරුවන් ඝාතනය කිරීමට නොහැකිකම නිසා ය. විටෙක තවත් දරුවන් උපත ලබන්නේ ඒ දෙමාපියන්හට කිසිසේත් දරුවකු අවශ්‍ය නොවන අවස්ථාවල දී ය. එවන් පවුල්වල දරුවන් හැදී වැඩෙන්නේ බොහෝ ආර්ථික අපහසුතා මධ්‍යයේ ය. යම් කෙනෙකු අඳුරෙහි ඉපිද, අඳුරට ශාප කරමින්, අඳුරෙහි ම මිය යන්නෙකු ලෙස නොව අතිශය වීර්යයකින්, නොනවතින උත්සාහයකින් දියුණුව කරා යන්නේ නම්…, බොහෝ වැර වීරිය ඇති ඒ ධෛර්යවන්ත මිනිසා මඩේ ඉපිද, මඩෙන් උඩට විත්, මුළු ලොව ම සුවඳවත් කරනා විකසිත පියුමක් වැන්න.

ඇමෙරිකානු ජාතික ව්‍යාපාරිකයෙකු හා ග්‍රන්ථ රචකයෙකු වන හවර්ඩ් සෝල්ට්ෂ් යනු එවන් අතිශය වීර්යවන්ත පුද්ගලයෙකි. ලෝක ප්‍රසිද්ධ ස්ටාර්බක්ස් (Starbucks) නම් කෝපි සමාගම කුඩා තොග ගබඩා හයකින් ආරම්භ කොට පසුකාලීනව ලෝකයේ විශාලතම කෝපි අවන්හල් ජාලය බවට පත් කිරීමට සමත් වූ හෙතෙම ශුද්ධ වත්කම ඇමෙරිකානු ඩොලර් බිලියන පහක් හිමි, ලොව විශාලතම ධනවතුන්ගෙන් එක් අයෙකු බවට පත් වන්නටද සමත් විය. එනමුදු, උදාර අදහස් හා ශ්‍රේෂ්ඨ දැක්මකින් යුතු වූ හවර්ඩ් සෝල්ට්ෂ්ගේ ජීවන ගමනේ ආරම්භය නම් බොහෝ දුක් කම්කටොලු පිරුණු එකක් විය.

හවර්ඩ් සෝල්ට්ෂ් උපත ලැබුවේ 1953 වර්ෂයේ නිව්යෝක්හි බෘක්ලින් නම් නගරයේ ය. ඔහුගේ දෙමාපියන් වූයේ ෆ්‍රෙඩ් හා එලේයින් සෝල්ට්ෂ් යන දෙපළ ය. බොහෝ ඇමෙරිකානුවන් මෙන් ම හවර්ඩ්ගේ පෙළපත ද සංක්‍රමණිකයන් වූ අතර ඔහුගේ මුත්තාගේ පියා ඉංග්‍රීසි කතා නොකළ හැකි, වෘත්තියෙන් කරණවෑමියෙකි. දරුවන් තිදෙනෙකුගෙන් යුතු පවුලේ වැඩිමලා වූ හවර්ඩ් අවුරුදු තුනක් වයසැති වන විට, ඔවුන්ගේ දෙමව්පියෝ බෘක්ලින්හී පිහිටි පොදු නිවාස ව්‍යාපෘතියක වූ කුඩා නිවසක පදිංචියට පැමිණියහ. දුප්පත් දරුවෙකු ව උපත ලැබීමත්, පොදු නිවාස සංකීර්ණයක ජීවත් වීමට සිදු වීමත් නිසා ලැබූ නින්දාවන්, ඉතා කුඩා වයසේ දීම හවර්ඩ්ගේ හදවතට තදින් ම කා වැදුණි. හවර්ඩ්ගේ දෙමාපියන් ද්විතීයික අධ්‍යාපනය අවසන් කළ අය නොවූ අතර, දෙවන ලෝක යුද්ධය අවසානයේ හවර්ඩ්ගේ පියාහට, ඉතා අඩු වැටුප් යටතේ කුලීකරුවකු වශයෙන් සේවය කිරීමට සිදු විය. හවර්ඩ්ගේ වයස අවුරුදු හතේ දී ඔහුගේ පියා හදිසි අනතුරකින් ඔත්පල වූ අතර ඔහුව සේවයෙන් ද පහ කෙරිණි. එකල සෞඛ්‍ය රක්ෂණයක් හෝ මුදල් තැන්පතුවක් හෝ නොතිබූ එමෙන්ම සේවක වන්දි මුදලක් හෝ නොලැබූ හවර්ඩ්ගේ පියා, ඔවුන්ගේ නිවසේ කවිච්චියක් මත වැතිරී දුකින් පීඩිත ව හුන් ආකාරය කුඩා හවර්ඩ්ගේ හදවතෙහි නොමැකෙන ලෙස සටහන් විය.

හවර්ඩ්ගේ මව තමා උපන් දේශය වන ඇමරිකාවට බෙහෙවින් භක්තිමත් කාන්තාවක වූ අතර, තමා උදෙසා යහපත් අනාගතයක් සකසා ගත යුතු බවට කුඩා හවර්ඩ් තුළ ආත්ම විශ්වාසයක් ගොඩ නැංවීමට මුල් වූයේ ඇය යි. හවර්ඩ්ගේ නිවසේ බොහෝ  විට බිල්පත් ගෙවීම් ආදියට මුදල් නොතිබූ අතර නිරන්තරයෙන් ගැවසී ගත් සාංකාවකින් නිවස පිරී පැවතුණි. විවේක කාලයේ දී ක්‍රීඩා ආදියෙහි නිරතවීම මඟින්ද, නිවසෙහි තරප්පු පේළි පාමුල හිඳිමින් වඩා යහපත් අනාගතයක් ගැන සිහින දකිමින්ද නිවසෙහි වූ පීඩාකාරී පරිසරයෙන් දුරස් වී සිටීමට කුඩා හවර්ඩ් උත්සාහ ගත්තේය. විවේක කාලයේ දී ක්‍රීඩා ආදියෙහි නිරත වීම ද එයට මහත් පිටිවහලක් විය. හෙතෙම පාපන්දු ක්‍රීඩාවෙන් ඉදිරියට යෑමට සිතූ නමුදු ඔහුට ඒ සඳහා ශිෂ්‍යත්වයක් ලබා ගැනීමට නොහැකි වීම නිසා ඒ තැත ද ව්‍යර්ථ විය.

ඔහුගේ විශ්ව විද්‍යාලයීය ජීවිතය ගෙවී ගියේ අධ්‍යාපන ණය හා අර්ධ කාලීන රැකියා අතරේ ය. දැරිය නොහැකි තරම් අපහසුතා පැමිණි විට, ඔහුට තම රුධිරය පවා විකුණමින් මුදල් සොයා ගන්නට සිදු විය. හවර්ඩ්ගේ පරපුරේ ප්‍රථම උපාධිධාරියා  වන්නට ඔහු වාසනාවන්ත වූ නමුදු උපාධි ප්‍රදානෝත්සවයට සහභාගී වන්නට නොහැකි වූයේ ඔහුගේ දෙමාපියන්ට ඒ සඳහා වත්කමක් නොතිබූ බැවිනි. එනමුදු ඔහුගේ මව හවර්ඩ් පිළිබඳ බෙහෙවින් සතුටට ද ආඩම්බරයට ද පත් වූවාය.

හවර්ඩ්ගේ ප්‍රථම රැකියාව වූයේ කාර්යාලීය උපකරණ නිවසින් නිවසට රැගෙන ගොස් විකිණීම වූ අතර ඔහු අලෙවිකරණයට දක්ෂ වූ බැවින් එයින් යම් මුදලක් උපයා ගැනීමට හෙතෙම සමත් විය. එසේම ඔහු තමා ඉපයූ මුදලින් හරි අඩක් තම දෙමාපියන් හට වෙන් කළේය. සැප සම්පත් යහමින් තිබෙද්දී නමුත් තම දෙමාපියන් මහමඟ දමා යන දරුවන් අතරේ, හවර්ඩ් සෝල්ට්ෂ් යනු සැබැවින් ම දෙමාපියන් කෙරෙහි සෙනෙහෙවන්ත වූ, කෘතගුණ සිහි කළ උදාර මිනිසෙකි.

1982 වර්ෂයේ දී ප්‍රථමයෙන් ම ඔහුට සීඇට්ල්හී පිහිටි ස්ටාර්බක්ස් නම් වූ කුඩා කෝපි සමාගමේ අලෙවිකරණ අධ්‍යක්ෂ වශයෙන් සම්බන්ධ වීමට අවස්ථාව ලැබුණු අතර ඒ වර්ෂයේ දී ම බුද්ධිමත් හා ත්‍යාගශීලී ගුණයෙන් යුතු ඔහුගේ ජීවන සහකාරිය ෂෙරී සමඟින් අතිනත ගැනීමට ද ඔහුට අවස්ථාව උදා විය. කාරුණික පැවතුම් ඇති ඔහුගේ බිරිඳ ඔහු පසුපස වූ ශක්තිය වූවාය. 1983 වර්ෂයේ දී කෝපි පිළිබඳ අධ්‍යනය කිරීමට ඉතාලියට ගමන් කළ ඔහුට තම ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය වූ ප්‍රථම එස්ප්‍රෙසෝ (Espresso) කෝපි පානය රස විඳින්නට අවස්ථාව ලැබිණි. එහි වූ රසයත්, සුවඳත්, එය පිළිගන්වන ආකාරයත්, ඒ අවන්හලේ වූ සෞන්දර්යාත්මක වටපිටාවත් දුටු හෙතෙම එයින් පිනා ගියේය. කාර්යාලයත්, නිවසත් අතර තුන්වැනි ස්ථානයක් ලෙස බොහෝ  දෙනෙකුට රැස් ව කෝපි පානයක් රස විඳිය හැකි ආකාරයේ අලංකාර ස්ථානයක් නිර්මාණය කිරීමට ඔහු තුළ ඇති වූ විශිෂ්ට සංකල්පය ක්‍රියාත්මක කිරීමට එකල ස්ටාර්බක්ස්හී හිමිකරුවන් එතරම් උත්සුක වූයේ නැත. පසුව ස්ටාර්බක්ස් සමාගමෙන් ඉවත් වූ හවර්ඩ් බොහෝ දුෂ්කරතා  මධ්‍යයේ තමාගේ ම අවන්හලක් ආරම්භ කළේ ය. එනමුත් තම අභිමතාර්ථය සාක්ෂාත් කර ගැනීමට තරම් මුදලක් නොමැති වූ හෙතෙම වසරක් ගත වනතුරු තම බිරිඳගේ වැටුපෙන් යැපෙමින් මුදල් ඉතිරි කළේ ය. බොහෝ උත්සාහයන් ව්‍යර්ථ වීමෙන් පසු, වෙනස් ම ආකාරයේ කෝපි අවන්හලක් පිළිබඳ වූ තම අදහස හා තම ආයතනය වෙනුවෙන් ආයෝජනය කිරීමට කැමැත්ත පළ කළ කිහිප දෙනෙකු හා එක් ව කුඩා ස්ටාර්බක්ස් සමාගම මිලට ගත් ඔහු එය තම අවන්හල් වලට ම සම්බන්ධ කොට පසුව එය විශාල වශයෙන් ව්‍යාප්ත කරන්නට සමත් විය. කෝපි පානයේ දෙවැනි රැල්ල වශයෙන් ඔහුගේ ස්ටාර්බක්ස් සමාගම සියැට්ල්හී ද එංගලන්තයේ ද චීනයේ ද පසුව මුළුමහත් ලෝකය පුරා ද වේගයෙන් ව්‍යාප්තවී ගියේය.

හවර්ඩ් පවසන අන්දමට ඔහුගේ සිහිනය වූයේ ජාත්‍යන්තර මට්ටමේ ව්‍යාපාරයක් නිර්මාණය කිරීම නොව, තම පියා ඔහුගේ ජීවිතයේ කිසි දිනක පය තැබීමට වරම් නොලද ආකාරයේ, එනම් සෑම දෙනාට ම ගෞරවයෙන් සලකන ව්‍යාපාරික ස්ථානයක් නිර්මාණය කිරීම බව යි. එසේ නම් මෙලොව තවමත් උදාර අදහස් ඇති මිනිසුන්ගෙන් හිස් වී නොමැති බැව් කිව හැකි ය.

සෞඛ්‍ය රක්ෂණයක් නොමැතිකමින් අසරණ ව කවිච්චිය මත වැතිර හුන් තම පියාගේ රුව සිහි කළ හවර්ඩ්, 1988 දී ස්ටාර්බක්ස් සමාගම තම අර්ධකාලීන සේවකයන් ඇතුළු සියලුම සේවානියුක්තිකයන් හට සෞඛ්‍ය රක්ෂණයක් ලබා දුන් ප්‍රථම ඇමෙරිකානු සමාගම් අතර එකක් බවට පත් කළේ ය. එසේම කිසිදු වත්කමක් නොමැති ව, දුගී බවින් පීඩිත ව හුන් තම දෙමාපියන් සිහි කළ හෙතෙම ඔහුගේ සමාගමේ සේවය කළ සෑම සේවානියුක්තිකයෙකුට ම බීන් ස්ටොක් නම් වූ ව්‍යාපාර හිමිකාරිත්වයක් ද ලබා දුන්නේය. ස්ටාර්බක්ස් සමාගම විශාල වශයෙන් ව්‍යාප්ත වීමත් සමඟ ලැබූ ආදායමෙන් හෙතෙම එහි සේවය කළ කළමනාකරුවන් හා කෝපි පිළිගන්වන්නන් ආදීන්ගේ නිවෙස් කුලී, ණය වාරික, මෝටර් රථ ෆිනෑන්ස් ආදියට පමණක් නොව විවාහ මංගල්‍යයන් උදෙසා ද බෙහෙවින් උපකාර කළේ ය. එමතුදු නොව දරිද්‍රතාව හේතුවෙන් උසස් අධ්‍යාපනය ලබන්නට තමා විඳි දුක් ගැහැට සිහි කළ හාවර්ඩ්, ඇරිසෝනා  ප්‍රාන්ත විශ්වවිද්‍යාලය සමඟින් අත්වැල් බැඳ ස්ටාර්බක්ස්හී තම සේවා නියුක්තිකයන්ට නොමිලයේ උපාධියක් හැදෑරීමට අවස්ථාව සලසා දුන්නේය. මීට සහභාගී වූ ස්ටාර්බක්ස් සමාගමේ සේවා නියුක්තිකයන්ගෙන් 20%ක පමණ පිරිසක් හවර්ඩ් මෙන් ම ඔවුන්ගේ පවුල්වලින් විශ්වවිද්‍යාලයීය අධ්‍යාපන වරම් ලැබූ ප්‍රථමයෝ වූහ. එසේම හවර්ඩ් විසින් පිහිටුවන්නට යෙදුණු සෝල්ට්ෂ් පවුල් පදනම (Schultz Family Foundation) මගින් බොහෝ තරුණ තරුණියන්ටද වැඩිමහලු අයට ද යුදහමුදා  පවුල්වල අයට ද ඇතුළු බොහෝ  දෙනෙකුට අධ්‍යාපන වරම් ලබා ගැනීමට හා රැකියා අවස්ථා ලබා ගැනීමට විශාල වශයෙන් උපකාර කරනු ලබයි. ඒ පදනමෙහි හදවත හා නියමුවරිය වශයෙන් කටයුතු කරන්නේ හවර්ඩ්ගේ බිරිඳ ෂෙරී වන අතර මේ දෙපළ අන්‍යයන්හට දියුණුව කරා යාමට උපකාර කිරීම තම පරම වගකීමක් වශයෙන් සලකති.

අතිශය දිළිඳු සමාජ ස්ථරයකින් නැගී සිට, ලෝකයේ අංක එකේ සමාගමක් බිහි කොට, ලොව ප්‍රධානතම ධනවතුන්ගෙන් එක් අයෙකු බවට පත් වූ ශ්‍රේෂ්ඨ සිතුම් පැතුම් ඇති හවර්ඩ් සෝල්ට්ෂ්, මේ අයුරින් අපට අත්නො හරින වීර්යයකින් කටයුතු කිරීම පිළිබඳ වටිනා පාඩමක් කියා දෙයි. තරුණ විය ද ඉක්මවන තෙක් දරිද්‍රතාව නිසා දුක් ගැහැට විඳි හෙතෙම ඒ එක් අවස්ථාවක දී හෝ තම වීරිය අත් හැරියා නම් ඔහු අද බිලියනපතියෙකු වන්නේ නැත. එබැවින් සාර්ථකත්වයට පත් වනතුරු ම වීරිය අත් නොහළ යුතු ය.

පෘථග්ජන ලෝකය පසෙකින් තැබේවා, මේ තුන් ලෝකයට ම අසහාය පුරුෂෝත්තමයාණන් වහන්සේ වූ සියල්ල අවබෝධ කළා වූ අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් අතිශයින් ම ප්‍රශංසාවට ලක් කළා වූ කාරණාවකි, අත් නොහැර කරනා  වීරිය.

අපගේ ශාස්තෘන් වහන්සේ බෝසතාණන් වහන්සේ නමක් වශයෙන් සාර අසංඛ්‍ය කල්ප ලක්ෂයක් මුළුල්ලේ අත් නොහැර කරනා ලද වීරියෙන් නොවේද උන්වහන්සේ සම්මා සම්බුද්ධත්වය තෙක් රැගෙන ආයේ? එසේම අප සරණ ගියේ සක්මන ලෙයින් පෙඟෙන තුරු වීරිය වඩා සසරින් නිදහස් වූ රහතන් වහන්සේලා  වැඩ සිටි සඟ පරපුරක් නොවේද? එසේ නම් ලෞකික කාරණාවක් වේවා, ලෝකෝත්තර කාරණාවක් වේවා  මේ සියල්ල ම ජය ගැනීම කළ යුතුව ඇත්තේ අත් නොහැර කරනා වීරියෙනි. දෙදෙව්ලොවට අධිපති වූ සක් දෙවිඳුන් විසින් ද වර්ණනා කරනු ලබන්නේ වීරිය ම ය. එබැවින් අත් නොහැර කරනා වීරියෙන් ලෞකික ඉලක්කයන් මෙන් ම ලෝකෝත්තර ඉලක්කයන් ද ජය ගැනීමට අප කාටත් වාසනාව උදා වේවා..!

උත්පලා ගුණතිලක