පාටලීපුත්තයත්, විශාලාවත් අතර පිහිටි ගමකටය ‘නාදිකා’ කියන්නේ. අපගේ සම්මා  සම්බුදුරජාණන් වහන්සේ හතලිස් පස්වසරක සම්බුද්ධ කෘත්‍යය නිමා කොට පිරිනිවනට වැඩම කළ ගමනේ අතරමඟක දී මේ නාදිකා ග්‍රාමයත් සම්බුදු සිරිපා පහස ලබන්නට පින්වන්ත වුණා.

ඒ වෙද්දි නාදිකා ගමේ වාසය කළ බොහෝ පිරිසක් මිය පරලොව ගිහින්. ඇතැම්විට ඒ ගමට එළඹි යම් විපතක් නිසා බොහෝ  පිරිසක් කෙටි කලෙකින් ම මරු දුටුවා වන්නටත් ඇති. හරියට අද අපි මුහුණ දීලා තියෙන තත්ත්වය වගේ…

ඒ වෙලාවේ අග්‍ර උපස්ථායක ආනන්දයන් වහන්සේ සම්බුදුරජාණන් වහන්සේගෙන්, නාදිකා ග්‍රාමයේ වාසය කරමින් සිටිය දී මිය පරලොව ගිය උදවිය ගැන විමසා සිටියා.

“ස්වාමීනි, නාදිකාවෙහි සිටි සාළ්හ භික්ෂුව කළුරිය කළේ ය. ඔහු කොතැනක ඉපදුණේ ද? පරලොව කුමක් ද? ස්වාමීනි, නාදිකාවෙහි සිටි නන්දා නම් භික්ෂුණිය කළුරිය කළා ය. ඇයගේ උපත කුමක් ද? පරලොව කුමක් ද? ස්වාමීනි, නාදිකාවෙහි සිටි සුදත්ත නම් උපාසක කළුරිය කළේ ය. ඔහුගේ උපත …….කුමක් ද? ……..පරලොව කුමක් ද? ස්වාමීනි, නාදිකාවෙහි සිටි සුජාතා නම් උපාසිකාව… කකුධ නම් උපාසක… කාලිංග නම් උපාසක… නිකට නම් උපාසක… කටිස්සභ නම් උපාසක… තුට්ඨ නම් උපාසක… සන්තුට්ඨ නම් උපාසක… භද්‍ර නම් උපාසක… සුභද්‍ර නම් උපාසක කළුරිය කළේ ය. ඔහුගේ උපත කුමක් ද? පරලොව කුමක් ද?”

ඒ පිරිසගේ පරලොව ගැන දක්වමින් සම්බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළා.

“ආනන්දයෙනි, සාළ්හ භික්ෂුව ආශ්‍රවයන් ක්ෂය කොට අනාශ්‍රව වූ චිත්ත විමුක්තියත්, ප්‍රඥා විමුක්තියත් මෙලොව දී ම තම විශිෂ්ට නුවණින් සාක්ෂාත් කොට එයට පැමිණ වාසය කළේ ය. ආනන්දයෙනි, නන්දා භික්ෂුණිය ඕරම්භාගිය සංයෝජන පස ගෙවා දැමීමෙන් ඕපපාතික ව සුද්ධාවාස බඹලොව ඉපිද එයින් නැවත මෙහි හැරී නොඑනසුලු ව එහි පිරිනිවෙන්නී ය. ආනන්දයෙනි, සුදත්ත උපාසක සංයෝජන තුනක් ගෙවා දැමීමෙන්, රාග ද්වේෂ මෝහ තුනී කිරීමෙන් සකදාගාමී වූයේ එක් වරක්ම මෙලොවට අවුත් දුක් කෙළවර කරන්නේ ය. සුජාතා උපාසිකාව සංයෝජන තුනක් ගෙවා දැමීමෙන් සෝවාන් ව, අපායට නොවැටෙනසුලු ව, නියත වශයෙන් ම නිවන පිහිට කොට සිටියා ය. කකුධ නම් උපාසක ඕරම්භාගිය සංයෝජන පස ගෙවා දැමීමෙන් ඕපපාතික ව සුද්ධාවාස බඹලොව ඉපිද එයින්
නැවත මෙහි හැරී නොඑනසුලු ව එහි පිරිනිවෙන්නේ ය. කාලිංග නම් උපාසක… නිකට නම් උපාසක… කටිස්සභ නම් උපාසක… තුට්ඨ නම් උපාසක… සන්තුට්ඨ නම් උපාසක… භද්‍ර නම් උපාසක… සුභද්‍ර නම් උපාසක ඕරම්භාගිය සංයෝජන පස ගෙවා දැමීමෙන් ඕපපාතික ව සුද්ධාවාස බඹලොව ඉපිද එයින් නැවත මෙහි හැරී නොඑනසුලු ව එහි පිරිනිවෙන්නේ ය.”

නමින් විමසූ එපිරිස ගැන වගේ ම නාදිකා ග්‍රාමයේ දී පරලොව ගිය සෙසු පිරිස ගැනත් සම්බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළා.

“ආනන්දයෙනි, ඕරම්භාගිය සංයෝජන පස ගෙවා දැමීමෙන් ඕපපාතික ව සුද්ධාවාස බඹලොව ඉපිද එයින් නැවත මෙහි හැරී නොඑනසුලු ව එහි පිරිනිවන් පාන්නා වූ පනසකට වැඩි උපාසකවරු නාදිකාවෙහි කළුරිය කළාහු ය.

ආනන්දයෙනි, සංයෝජන තුනක් ගෙවා දැමීමෙන්, රාග ද්වේෂ මෝහ තුනී කිරීමෙන් සකදාගාමී වූවාහු එක් වරක් ම මෙලොවට අවුත් දුක් කෙළවර කරන අනූවකට වැඩි උපාසකවරු නාදිකාවෙහි කළුරිය කළාහු ය.

ආනන්දයෙනි, සංයෝජන තුනක් ගෙවා දැමීමෙන් සෝවාන් ව, අපායට නොවැටෙනසුලු ව, නියත වශයෙන් ම නිවන පිහිට කොට ගත් පන්සියයකට වැඩි උපාසකවරු නාදිකාවෙහි කළුරිය කළාහු ය.”

(මහා පරිනිබ්බාන සූත්‍රය – දී. නි.)

මේ විස්තරයෙන් පෙනී යන්නේ දහස් සංඛ්‍යාත පිරිසක් මරණයට පත් වූ යම් ඛේදවාචකයකට නාදිකා ග්‍රාමය ඒ කාලයේ මුහුණ පා ඇති බවක්. කවර ඛේදවාචකයක් ඔවුන් කරා එළඹුණා වුවත්, ඒ බොහෝ  දෙනෙකු මරණින් මතු ඉපදී තිබෙන්නේ සුගති ලෝකවල යි. නාදිකා ග්‍රාමයේ පරලොව ගිය අයගේ ගතිය තීරණය කරනු ලැබුයේ මරණයේ ස්වභාවය විසින් ද? නැහැ. ජීවත් ව සිටිය දී ධර්මයේ හැසිරීමෙන් ඔවුන් උපදවා ගත් පිළිසරණ නිසාවෙනුයි ඒ පිරිස පරලොව සුගති ගාමී වූයේ…

දැන් අපි අප දෙසට ම හැරෙමු. දහස් සංඛ්‍යාත වූ ශ්‍රී ලාංකිකයන්ගේ ද මිලියන ගණනක් වූ ලෝවාසීන්ගේ ද මරණ ගැන අසන්නට වුණ, දකින්නට වුණ වසංගතයක් අපට අත්දකින්නට සිදු වුණා. යම් ආකාරයකින් මෙම වසංගත රෝගය පාලනයකට නතු වූ බවක් පෙනෙන්නට තිබුණත්, පාලනය කොට අවසන් යැයි නිශ්චිත ව කිව නොහැකි අවධියකුයි අප දැන් ගෙවා දමන්නේ. මේ එක පෙළට මියැදුණ මිලියන සංඛ්‍යාත පිරිසක් අතරින් කී දෙනෙකු සුගතිගාමී වන්නට ඇති ද?

ස්වකීය ඤාති වර්ගයා ස්වර්ගයට පත් වූ බව ජීවත් වන්නවුන් අදහාගෙන සිටිනවා. එහෙත්, ඔවුන් පරලොව ඒකාන්ත සුගතියට පත් බවට පෙන්වා දිය හැකි නිර්ණායකයක් තිබෙනවා ද? හුදෙක් විශ්වාසයෙහි එල්බගෙනයි ඔවුන් ස්වර්ගය ගැන පවසන්නේ. නමුත්, මෙලොව මිය යන්නවුන් නියත වශයෙන් ම අපායට නොවැටෙනසුලු වූයේ කියා  සහේතුක ව පැවසිය හැකි නිර්ණායකයක් සම්බුදුරජාණන් වහන්සේ පවසා වදාළා. එයට කියන්නේ ‘දහම් කැඩපත’ කියල යි…

“ආනන්දයෙනි, මෙහිලා ආර්ය ශ්‍රාවකයා බුදුරජුන් කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්ත වූයේ වෙයි. ධර්මය කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්ත වූයේ වෙයි. සංඝයා කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්ත වූයේ වෙයි. නොකැඩුණු සිල්පද ඇති, සිදුරු නොවුණු, පැල්ලම් නොගැසුණු, කබර නොගැසුණු, තෘෂ්ණා දෘෂ්ටියකට දාස නොවූ, නුවණැත්තන් පසසන ලද, දෘෂ්ටියකට බැඳීමෙන් යුක්ත නොවූ, සමාධිය පිණිස පවතින, ආර්යකාන්ත සීලයෙන් යුක්ත වූයේ වෙයි.

ආනන්දයෙනි, යම් ධර්මයකින් යුක්ත වූ ආර්ය ශ්‍රාවකයා අපායට නොවැටෙනසුලු වෙමි’යි තමා ම තමා ගැන කියයි ද එබඳු වූ ‘දහම් කැඩපත’ නැමැති ඒ ධර්ම ක්‍රමය මෙය යි.”

(මහා පරිනිබ්බාන සූත්‍රය – දී. නි.)

මේ මහා ව්‍යසනයෙන් මිය ගිය මිලියන සංඛ්‍යාත ජනකායකට මරණයට පළමු මේ දහම් කැඩපතින් තමා දෙස බලන්නට ලැබුණා නම්… ඔවුන් අතරින් බුදුරජාණන් වහන්සේනමක් ගැන අසාවත් තිබෙන්නට ඇත්තේ කීයෙන් කී දෙනා ද? වෙනෙකක් තබා, එකකට එකක් යාව සිය ගණන් දර සෑ නංවා ආදාහනයන් සිදු කෙරුණු ඉන්දියානුවන් අතරින් තම මාතෘ භූමියේ උපන් ඒ ආශ්චර්යවත් මනුෂ්‍ය
රත්නය ආදරයෙන් සරණ ගොස් සිටි එක් අයෙකු හෝ සිටියා නම් එය ද පුදුමයක්. මේ අබුද්ධෝත්පාද යුගයක් නොවෙයි; මේ මහා භද්‍ර කල්පයේ සිව්වනුව ලොව පහළ වී වදහළ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ ශාසනය පවත්නා ම වූ යුගය යි. එසේ වීත්, වසංගත රෝගයක් එළඹ මිය ගිය මිලියන ගණනක් අතරින් දහම් කැඩපතින් බලා තමන් අපායට නොවැටෙනසුලු අයෙකු ද කියා විමසන්නට හෝ ඒ උත්තම ධර්ම පර්යාය අසන්නටවත් ලැබී තිබුණ පිරිස සංඛ්‍යාත්මකව ඉතා කුඩා අගයක් ගන්නා බව අප සැක නොකළ යුතු යි.

අන් රටවල් පසෙක තැබේවා… ගෞතම සම්මා සම්බුදුරජුන්ගේ ධර්ම භාණ්ඩාගාරය බවට පත් වන්නට පින් තිබූ මේ රටේ නැකැත් කේන්දර දේවාල සරණ නොගොස් සම්බුදුරජාණන් වහන්සේ ව පමණක් ම ආදරයෙන් සරණ ගිය, ඒ පිරිසිදු ශ්‍රී සද්ධර්මය පමණක් ම ආදරයෙන් සරණ ගිය, ඒ අම නිවන් මඟ වැඩි අරහත් සඟ පරපුර හිස් මුදුනෙහි තබා සරණ ගිය, දිවි දෙවෙනි කොට ගත් ආදර ගෞරවයෙන් යුතුව සමාදන් වූ සිල්පද රැක ගනිමින් සතර අපායෙන් මිදෙන්නට වීරිය වඩන අය සිටින්නේ කීයෙන් කී දෙනා ද?

මේ සා ව්‍යසනයක් අභිමුව පවා මිනිස් චිත්ත සන්තානයන්හි රාග ද්වේෂ මෝහයන්ගේ සන්සිඳීමක් අපට දකින්නට නැහැ. බොහෝ වැරවෑයමෙන් ඉපයූ සැපයූ ධනස්කන්ධයන්ට පවා මරණය වළක්වාලිය නොහැකි බව, උපත සමඟ ම උපදනා ජරා ව්‍යාධි මරණ දුක් හමුවේ ධනවතුන් ද දිළින්දන් ද එක සේ ම අසරණ වන බව, කවර ආරක්ෂණ විධිවිධාන සලසා තිබුණත් උපතත් සමඟ බැඳී ගත් මරණයෙන් ගැලවීමක් නැති බව සිත සිතා, අප්‍රමාදීව සසර දුකින් නිදහස් වන්නට වීරියවන්ත විය යුතු වන යුගයක් ගෙවී යනවා වුවත් කණගාටුවෙන් වුවත් සටහන් තබන්නට සිදුව තිබෙන්නේ පෙර දහමට ලැදිව සිටිය ඇතැමුන් පවා අද වන විට ධර්මයෙහි හැසිරීමෙහිලා උකටලී බවට පත්ව සිටිනා බව යි. ගුණවත්කම හරයක් කොට නොගත් සමාජ ක්‍රමයක මේ ඛේදවාචකය වළක්වාලිය නොහැකියි…

එනිසා, මේ ගෙවී යන කාලය අපතේ හරින්නට එපා. සිත නොවේ; ධර්මය විශ්වාස කරන්න. ධර්මය පමණක් ම විශ්වාස කරන්න. මුළු මහත් කුසල රාශිය ම කැටි වී තිබෙන්නේ චතුරාර්ය සත්‍යය ධර්මය තුළ යි. චිත්ත ක්ෂණයක් පාසා සකස් වන, නැසී යන රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ මම කියා, මගේ කියා, මගේ වසඟයේ පැවැත්විය හැකිය කියා අල්වාගෙන, එහි ම එල්බගෙන සිටින තාක් කල් උපදින්නේ දුක ම යි. එයට යි සසර කියා කියන්නේ. දුක් පිරි මේ ඝොරතර සසරින් නිදහස් වන්නට තිබෙන්නේ එක ම එක මඟයි. සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ලොව පහළ වී වදාරන්නේ ඒ ඒකායන මාර්ගය යි.

මරණය කවර මොහොතක හෝ අපට මුණගැසෙනවා. එකල්හී දහම් කැඩපතින් බලා, “මම අපායේ නොවැටෙමි” කියා  නිසැක වන ආර්ය ශ්‍රාවකයන් වන්නට අපට හැකි නම්… මේ මිනිස් ජීවිතයට උපදවාලිය හැකි ඊට වඩා අනර්ඝ ධනයක් නෑ. කාට වුණත් පරලොවට
ගෙන යා හැකි ඊට වඩා ශ්‍රේෂ්ඨ රැකවරණයක් ද නැහැ….!

සටහන – උදුලා පද්මාවතී