බුද්ධ ශාසනය කියන්නේ පුරුෂ වීරයන්ගේ තොටුපළක්. සාර ගුණ ශෝභාවන්ගෙන් ජීවිතය සුවපත් කරගත්ත මහානීය උත්තමයන්ගේ, උත්තමාවන්ගේ සුවඳින් සකල ලෝකයා ම සුවපත් කරලූ අන් කවර තැනක්, කවර දෙයක් ලෝකයේ ලබන්න ද? මේ අසිරිය තිබෙන්නේ බුද්ධ රාජ්‍යයේ ම පමණයි..

ගෞතම සම්බුද්ධ ශාසනයේ දකුණත් ශ්‍රාවකයාණන් වහන්සේ තමයි සාරිපුත්ත මහරහතන් වහන්සේ… ඇහැළ මලේ පාටින් බැබළී ගත්තේ වී නමුත් නව දොරකින් අසූචි වැගිරෙන මේද කළයක් සේ කය ගැන ඇත්ත දුටු, කල්පයක් තිස්සේ මහ පොළොවට – මහ සයුරට වට වැහි බිඳු ගණන කිව හැකි තරමේ පෘථුල ප්‍රඥා ඇත්තේ වී නමුත් අං කැඩුණු ගොනෙකු සේ මාන්නය නමැති අං සිඳ බිඳ විසූ, මහාසාර බ්‍රාහ්මණ කුලයක උපන්නේ වී නමුත් සැඩොලෙකු සේ කුලමාන නැතිව පිය නගා වැඩම කරලූ ඒ අග්‍රශ්‍රාවකයාණන් වහන්සේ සත්පුරුෂ ගුණශෝභාවෙන් සම්බුදු සසුන ආලෝකවත් කොට වදාළා. මන්තාණිපුත්ත පුණ්ණ මහරහතන් වහන්සේ දසකථාවෙන් යුතු භික්ෂූන් වහන්සේලා අතර අගපත්වයි වැඩ සිටියේ. උන්වහන්සේ ශාස්තෘන් වහන්සේගේනුත් පැසසුම් ලැබුවා. ශාස්තෘන් වහන්සේ ද අග්‍ර උපස්ථායක ආනන්දයන් වහන්සේ ද භික්ෂු සංඝයා ද පසසනා මේ මන්තාණිපුත්ත පුණ්ණ මහරහතන් වහන්සේ ව දකින්නට, උන්වහන්සේ සමඟ දහම් කථාවේ යෙදෙන්නට ලැබෙනවා නම් හොඳයි කියා සිතක් සාරිපුත්ත මහරහතන් වහන්සේට පහළ වුණා. ඒ සිතැඟි උන්වහන්සේ වචනයටත් හැරවූවා.

චාරිකාවේ වඩිමින් පුණ්ණ මහරහතන් වහන්සේ සැවැත්නුවරට පැමිණුනා. ශාස්තෘන් වහන්සේ ව වැඳපුදාගෙන දිවා විහරණය පිණිස අන්ධ වනයට නික්මුණා. එක්තරා භික්ෂූන් වහන්සේනමක් මේ පුවත සාරිපුත්ත මහරහතන් වහන්සේට දැන්වූවා.

දේශනාවේ දැක්වෙන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේ පුණ්ණ මහරහතන් වහන්සේගේ හිස පෙනිපෙනී පසුපසින් වැඩම කළා කියලයි. අන්ධ වනයේ දී භාවනාවට සමවැදුනු පුණ්ණයන් වහන්සේ දුටු සාරිපුත්ත මහරහතන් වහන්සේ ද භාවනාවට සමවැදුනා. සවස් කාලයේ දී දෙදෙනා වහන්සේ ම භාවනාවෙන් නැගී සිටියා. සොඳුරු දහම් පිළිසඳරක යෙදුණා. ඒ දහම් පිළිසඳරෙනුයි ‘සප්ත විශුද්ධි’ පිළිබඳ කියැවී තිබෙන්නේ.

දහම් කථාව අවසානයේ සාරිපුත්ත මහරහතන් වහන්සේ සහ පුණ්ණ මහරහතන් වහන්සේ අතර මෙබඳු කථාබහක් ඇති වුණා.

“ආයුෂ්මතුන් වහන්සේගේ නම මොකක්ද? සබ්‍රහ්මචාරීන් වහන්සේලා ආයුෂ්මතුන් ව දන්නේ මොන නමින් ද?”

“ප්‍රිය ආයුෂ්මතුනි, මගේ නම පුණ්ණ. නමුත් සබ්‍රහ්මචාරීන් වහන්සේලා මාව හඳුන්වන්නේ මන්තාණිපුත්ත යන නමින්.”

තමන් ධර්ම සේනාධිපති ය, අග්‍රශ්‍රාවකයා ය, ප්‍රඥාවෙන් අගපත් ය කියා කිසිදු කථාවක් සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් කියැවුණේ නෑ. උන්වහන්සේ මෙසේ වදාළා.

“ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, ඇත්තෙන් ම අසිරිමත්! ආයුෂ්මතුන් වහන්ස, ඇත්තෙන්ම අද්භූතයි!

ශ්‍රැතවත් ශ්‍රාවකයෙකු විසින් ඉතා හොඳින් ශාස්තෘ ශාසනය දැනගෙන තිබෙන්නේ යම් අයුරකින් නම්, අන්න ඒ අයුරින් ආයුෂ්මත් මන්තාණිපුත්ත පුණ්ණයන් වහන්සේ ඉතා ගාම්භීර ප්‍රශ්න බොහොම අගේට විසඳලා දුන්නා. යම් කෙනෙකුට ආයුෂ්මත් මන්තාණිපුත්ත පුණ්ණයන් ව දකින්න ලැබෙනවා නම්, ඇසුරු කරන්න ලැබෙනවා නම් ඒ සබ්‍රහ්මචාරීන් වහන්සේලාට ඒක ලාභයක්. මහත් වූ ලාභයක්.
ආයුෂ්මත් මන්තාණිපුත්ත පුණ්ණයන් ව දුහුල් සළුපොටක් හිස් මුදුනින් පිළිගන්නවා වගේ
සබ්‍රහ්මචාරීන් වහන්සේලා ආයුෂ්මතුන් ව ඉහළින් පිළිඅරගෙන බැහැදකිනවා නම් ඒ සබ්‍රහ්මචාරීන් වහන්සේලාට ඒකත් ලාභයක්. ඇසුරු කරන එකත් ලාභයක්. අපටත් ඉතා හොඳ ලාභයක්. අපටත් යහපත් ලැබීමක්. ආයුෂ්මත් මන්තාණිපුත්ත පුණ්ණයන් දැකගන්න අපටත් ලැබුණා. ඇසුරු කරන්න අපටත් ලැබුණා.”

ඒ මොහොතේ සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් නම විමසා දැනගත් පුණ්ණ මහරහතන් වහන්සේ මෙසේ වදාළා.

“ඒකාන්තයෙන් ම ශාස්තෘන් වහන්සේනමක් හා සමාන ව වැඩසිටින පින්වත් ශ්‍රාවකයන් සමඟ නෙව මං මේ සාකච්ඡා කරලා තියෙන්නේ. ඇත්තෙන්ම මං මේ කථා කළේ ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ සමඟ කියලා දන්නේ නෑ. යම් විදිහකින් මට ඒ බව දැනගන්න ලැබුණා නම් මේ වැඩඉන්නේ ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ කියලා මට මෙච්චර දෙයක්වත් වැටහෙන එකක් නෑ.”

එක්තරා දවසක රාත්‍රී කාලයේ අග්‍රශ්‍රාවකයාණන් වහන්සේලා කපෝතකන්දරයේ භාවනාවට සමවැදී වාසය කළා. කෙස්රැවුල් බාන ලද අලුත වූ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ මුඩු හිස මත, වැඩීගෙන එන සඳ එළිය වැටී දිලිසෙන්නට වුණා. අහස් ගමනේ යෙදී හුන් යක්ෂයන් දෙදෙනෙකු මෙය දුටුවා. එතැන හුන් එක් යක්ෂයයෙකු, ස්වකීය යහළුවා විසින් තුන්වරක් වළකනු ලබද්දීත් එය නොඅසා සාරිපුත්ත
මහරහතන් වහන්සේගේ දිලිසෙන මුඩු හිසට වැරෙන් පහරක් එල්ල කළා. රියන් හතක, හතහමාරක ඇතෙක්ව වුණත් බිම දමන්නට හැකි තරමේ, මහත් වූ පර්වතයක් පවා පලා දමන්නට හැකි තරමේ බලයකින් යුතු ඒ පහර වැදී සාරිපුත්ත මහරහතන් වහන්සේ භාවනාවෙන් මිදුණා. ඒ යක්ෂයා ඒ මොහොතේ ම අවීචි මහා නරකාදියට ඇද වැටුනා. මේ සියල්ල දිවැස් නුවණින් දුටු මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ වහා ම සාරිපුත්ත මහරහතන් වහන්සේ වෙත එළඹුනා.

“ප්‍රිය ආයුෂ්මතුනි, මොකද වුණේ? ඉවසන්න පුළුවන් ද? මොකද දරන්න පුළුවන් ද? මොකද කිසි දුකක් නැද්ද?”

“ප්‍රිය ආයුෂ්මත් මොග්ගල්ලාන, මට ඉවසන්න පුළුවනි. මට දරා ගන්න පුළුවනි. නමුත් හිසේ යාන්තමට කැක්කුමක් තියෙනවා.”

“ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්තයන් කොයිතරම් මහා ඍද්ධිමත් ද කොයි තරම් මහානුභාව සම්පන්න ද යන මෙය ආශ්චර්යයි! අද්භූතයි! ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්ත, මෙතැන දැන් එක්තරා යකෙක් ඔබවහන්සේගේ හිසට පහරක් දුන්නා. ඒක මහා බලවත් පහරක්. එවැනි පහරකින් රියන් හතේ හරි, රියන් හතහමාරේ හරි ඇතෙක්ව බිම දමන්නට වුණත් පුළුවනි. මහා පර්වතයක් ඒ පහරින් පලා දමන්න වුණත් පුළුවනි. නමුත් ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ මෙහෙමයි කියන්නේ. ‘ප්‍රිය ආයුෂ්මත් මොග්ගල්ලාන, මට ඉවසන්න පුළුවනි. ප්‍රිය ආයුෂ්මත් මොග්ගල්ලාන, මට දරා ගන්න පුළුවනි. නමුත් හිසේ යාන්තමට කැක්කුමක් තියෙනවා’ කියලා.

මේ සා තමන් වහන්සේ ව පසසද්දීත් සාරිපුත්ත මහරහතන් වහන්සේ තමන් ගැන වචනයක්වත් කියන්නේ නැහැ.

“ප්‍රිය ආයුෂ්මත් මොග්ගල්ලානයන් කොයිතරම් මහා ඍද්ධිමත් ද ප්‍රිය ආයුෂ්මත් මොග්ගල්ලානයන් කොයිතරම් මහානුභාව සම්පන්න ද යන මෙය ආශ්චර්යයි! අද්භූතයි! මෙතැන හිටපු යකෙක්වත් දැක්කා. නමුත් අපි නම් දැන් මෙතැන පාංශු පිශාචයෙක්වත් දැක්කේ නෑ.”

(ජුණ්හ සූත්‍රය, ඛු. නි. – උදාන පාළි)

සූත්‍ර පිටකයේ මුණගැසෙන මේ සිදුවීම් අප පූර්ව කොටගත්තේ ‘සත්පුරුෂයා’ යනු කවරෙක් ද යන්න සද්ධර්මයේ දැක්වෙන අයුරින් ම මෙහිලා ප්‍රකට වන නිසයි.

සම්බුදුරජාණන් වහන්සේනමක් පහළ වී ප්‍රවර්තනය කොට වදාළ සද්ධර්මය මුල් බැස ගන්නේ ද වැඩී විපුල භාවයට පත් වන්නේ ද සත්පුරුෂ භූමිය තුළ යි. කළගුණ දන්නා බව, කළගුණ සිහි කරනා බව තමයි සත්පුරුෂ භූමිය කියා භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාළේ. සත්පුරුෂ භූමිය ගැනත්, සත්පුරුෂයාගේ ස්වභාවය ගැනත් අපට තේරුම් ගන්න තිබෙන්නේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයෙන් ම යි.

සතර කරුණකින් යුක්ත වූ අසත්පුරුෂයා ගැන භාග්‍යවතුන් වහන්සේ මේ විදිහට පෙන්වා දුන්නා. අසත්පුරුෂයා අනුන්ගේ යම් අගුණයක් ඇද්ද ඒ පිළිබඳ ව නොවිමසුවේ නමුත් හෙළි කරනවා. විමසූ කල්හී හෙළි කිරීම ගැන කවර කතා ද? විමසුවහොත්, නැවත ප්‍රශ්න කළොත් නොපිරිහෙලා, නොවසා සම්පූර්ණ විස්තර වශයෙන් අනුන්ගේ නුගුණ පවසනවා. අසත්පුරුෂයා අනුන්ගේ යම් ගුණයක් ඇද්ද ඒ පිළිබඳ ව විමසුවේ නමුත් හෙළි කරන්නේ නෑ. නොවිමසූ කල්හී හෙළි නොකිරීම ගැන කවර කතා ද? විමසුවහොත්, නැවත ප්‍රශ්න කළොත් පිරිහෙලා, වසා අසම්පූර්ණ වශයෙන් අනුන්ගේ ගුණ පවසනවා. අසත්පුරුෂයා තමාගේ යම් අගුණයක් ඇද්ද, ඒ පිළිබඳ ව විමසුවේ නමුත් හෙළි කරන්නේ නෑ. නොවිමසූ කල්හී හෙළි නොකිරීම ගැන කවර කතා ද? විමසුවහොත්, නැවත ප්‍රශ්න කළොත් පිරිහෙලා, වසා අසම්පූර්ණ වශයෙන් තමාගේ නුගුණ පවසනවා. අසත්පුරුෂයා තමන්ගේ යම් ගුණයක් ඇද්ද ඒ පිළිබඳ ව නොවිමසුවේ නමුත් හෙළි කරනවා. විමසූ කල්හී හෙළි කිරීම ගැන කවර කතා ද? විමසුවහොත්, නැවත ප්‍රශ්න කළොත් නොපිරිහෙලා, නොවසා සම්පූර්ණ විස්තර වශයෙන් තමාගේ ගුණ පවසනවා.

සත්පුරුෂයා ද සතර කරුණකින් යුක්තයි. සත්පුරුෂයා අනුන්ගේ යම් අගුණයක් ඇද්ද ඒ පිළිබඳ ව විමසුවේ නමුත් හෙළි කරන්නේ නෑ. නොවිමසූ කල්හී හෙළි නොකිරීම ගැන කවර කතා ද? විමසුවහොත්, නැවත ප්‍රශ්න කළොත් පිරිහෙලා, වසා අසම්පූර්ණ වශයෙන් අනුන්ගේ නුගුණ පවසනවා. සත්පුරුෂයා අනුන්ගේ යම් ගුණයක් ඇද්ද ඒ පිළිබඳ ව නොවිමසුවේ නමුත් හෙළි කරනවා. විමසූ කල්හී හෙළි කිරීම ගැන කවර කතා ද? විමසුවහොත්, නැවත ප්‍රශ්න කළොත් නොපිරිහෙලා, නොවසා සම්පූර්ණ විස්තර වශයෙන් අනුන්ගේ ගුණ පවසනවා. සත්පුරුෂයා තමාගේ යම් අගුණයක් ඇද්ද ඒ පිළිබඳ ව නොවිමසුවේ නමුත් හෙළි කරනවා. විමසූ කල්හී හෙළි කිරීම ගැන කවර කතා ද? විමසුවහොත්, නැවත ප්‍රශ්න කළොත්, නොවසා සම්පූර්ණ විස්තර වශයෙන් තමාගේ නුගුණ පවසනවා. සත්පුරුෂයා තමන්ගේ යම් ගුණයක් ඇද්ද ඒ පිළිබඳ ව විමසුවේ නමුත් හෙළි කරන්නේ නෑ. නොවිමසූ කල්හී හෙළි නොකිරීම ගැන කවර කතා ද? විමසුවහොත්, නැවත ප්‍රශ්න කළොත් පිරිහෙලා, වසා අසම්පූර්ණ වශයෙන් තමාගේ ගුණ පවසනවා.

(අසප්පුරිස වධුකා සූත්‍රය, අං. නි. 02)

සත්පුරුෂයෝ වෙන්න නම් මේ උත්තම සත්පුරුෂ ශෝභාවන් අප තුළ දියුණු කරගත යුතු වෙනවා. නිකෙලෙස් සඟ පරපුරෙහි මුදුනෙහි ම වැඩ හුන් සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ජීවිතය සත්පුරුෂ භාවයේ පරම ප්‍රතිමූර්තියක් වගෙයි.

අපිදු ඒ උත්තම ගුණයන්ට පහදිමු. ඒ ගුණානුභාවයෙන් ශ්‍රාවක ජීවිත සුවපත් කොට තිලොව සෙත සැලසූ අනුත්තර දම්රජාණන් වහන්සේ ව ආදරයෙන් සරණ යමු. සත්පුරුෂ ධර්මය ගෞරවයෙන් ඇසුරු කොට සත්පුරුෂ භාවයේ පරප්‍රාප්ත වූ උත්තම උත්තමාවන් කෙරෙහි පැහැදුනු පින, අපට ද සත්පුරුෂයන් වීම පිණිස ම හේතු උපනිශ්‍රය වේවා! |

සටහන – උදුලා පද්මාවතී