නෙක්ඛම්මයේ සොඳුරු මිහිරියාව විඳගත්ත අරහත් උත්තමාවියන්ගේ ජීවිත සැබැවින් ම සුන්දරයි. ඒ අය අලුයම ඉවතලන කෙළ පිඬක් වගේ මේ කාමයන් ඉවත හෙළු‍වා. යදම් බිඳගෙන යන මහා හස්ති රාජිනියන් වගේ ගිහි බැඳුම් බිඳගෙන බුදු සසුනේ පිහිට සොයා ආවා. එවන් උතුම් නිකෙලෙස් මුනිවරියකගේ අපූරු චරිතාපදානයක් ගැන අදත් අපි මහමෙව්නාව අනගාරිකා භාවනා අසපුවාසී පින්වත් මෑණියන් වහන්සේනමක් සමඟ මෙසේ සාකච්ඡා කළා.

*****************

මේ සිද්ධිය උනේ මීට කල්ප ලක්ෂයකට කලින්. ඒ පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ බුදු සසුන බබළන කාලේ. ඈ උපන්නේ හංසවතී නුවර මෙහෙකාර පවුලක.

දවසක් ඈ පාරේ යනකොට ඒ බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායක සුජාත මහරහතන් වහන්සේ පිඩු සිඟා වඩිනවා. ඈට සතුටුයි. ඇගේ අතේ තිබ්බ රසකැවිලි ටික ඔක්කොම රහතන් වහන්සේගේ පාත්‍රයට පුජා කළා. වන්දනා කළා.

“‍ස්වාමීනි, හෙට දවසේ මා මෙහෙ කරන ගෙදරට දානේට වඩින සේක්වා!” ඈ ආරාධනා කළා. පහුවදා ඇගේ නිවසේ දානේ. ඈ දානේ දෙන ලස්සන දැකලා ස්වාමි දියණිය පැහැදුනා. “ඔබ මේ දානේ ලස්සනට දුන්නා. මගේ හිතට හරි සතුටුයි. අද ඉදලා ඔබ මේ දාසි භාවයෙන් නිදහස්. අද ඉදලා ඔබ මේ නිවසේ ලේලි.”

පදුමුත්තර බුදු පාමුල විවරණ ලැබ ගන්නේ….

දවසක් ඈ විහාරයට යනකොට බුදුරජාණන් වහන්සේ ඒ බුදු සසුනේ ධර්මකථික භික්ෂුණීන් අතර අග්‍රයි කියලා අග තනතුරු පිරිනමනවා. ඒ දැක්ක ඇගේ හිතේ එක ම එක සුන්දර පැතුමක් ඉපදී එය නින්නාද වෙන්න ගත්තා. ‘අහෝ මටත් බුදු සසුනක ධර්මකථික භික්ෂුණීන් අතර අග තනතුරු ලබන්න ඇත්නම්…’

ඇය නිවසට ගිහින් ප්‍රණීත දන් පැන් සැකසුවා. බුද්ධ ප්‍රමුඛ සඟ රුවන වැඩමෙව්වා. දන් පැන් පුජා කළා. පදුමුත්තර බුදුරජුන් පාමුලේ, පදුම කැකුළක් වගේ දොහොත් එක් කරලා, සුන්දර ලොව්තුරු පැතුමක් පැතුවා. පදුමුත්තර බුදුරජුන් ඇගේ අනාගතය බැලු‍වා. තව කල්ප ලක්ෂයක් ගිය තැන සඳක් පිරෙන්නා වගේ ඇගේ පැතුම ඉටුවන බව දැක්කා.

“‍පින්වත් දියණිය තව කල්ප ලක්ෂයකින් ගෞතම නම් උතුම් බුදු කෙනෙක් මේ ලොව පහළ වෙනවා. ඒ බුදු සසුනේ ධර්මකථික භික්ෂුණීන් අතරේ අග්‍ර බවට පත් වෙලා ගෞතම බුදු සසුන ශෝභමාන කරන්නේ ඔබයි.”‍

පදුමුත්තර බුදුරජාණන් වහන්සේ ඇයට විවරණ ලැබ දුන්නා.

සග මොක් සැප දෙන පින් කර ගන්නේ..

ඈ බොහෝ පින් කර ගත්තා. ඒ ජීවිතෙන් චුත වෙලා තව්තිසාවේ උපන්නා. අප්‍රමාණ දෙව් සැප වින්දා. ඵුස්ස බුදුරජාණන් වහන්සේගේ කාලේ යළි මනුලොවට ආවා. සිටු පවුලක ඉපදිලා, යහපත් සැමියෙක් ලැබිලා බොහෝ පින් කර ගත්තා. ආයෙත් දෙව්ලොව ගියා. කාශ්‍යප බුදු සසුන බබළන කාලේ බරණැස කිකී රජ්ජුරුවන්ගේ හය වෙනි දුව වෙලා ආයෙත් උපන්නා. ඈ සුදම්මා. සහෝදරියන් එක්ක කාශ්‍යප බුදු සසුනේ දහමේ හැසිරුනා. පැවිදි වෙන්න හිත නැමුනට පිය රජ්ජුරුවන්ගෙන් අවසර ලැබුණේ නෑ. මේ අය එකතු වෙලා සුන්දර ආරාමයක් කරවලා කාශ්‍යප බුදු සසුනට පුජා කළා. පැවිදි වෙන්න අවසර නැති හින්දා පුරා අවුරුදු විසිදාහක් කුමරි බඹසර රැකගෙන ගිහි ගෙදර ම වාසය කළා. මරණින් පස්සේ තව්තිසාවේ උපන්නා.

පින්සර දූ මනුලොවට වඩින්නේ…..

මේ විදියට ඈ දෙව්ලොව මනුලොව සැරිසරා ගියා. බුද්ධාන්තර කල්පයක් ගෙවුනා. ගෞතම බුදුරජුන් ලොව පහළ වුණා. කල්ප ලක්ෂයකට කලින් පැතුව ලොව්තුරු පැතුම මල් ඵල ගන්වන්නා වූ උතුම් බුදු සසුන ලෝකේ බබළනවා. පින්සිරින් සාර වූ ඈ, ඒ බුදු සසුනේ පිහිට ලබන්නට ඇගේ අවසන් භවයට මනුලොව ආවා.

ඒ පින්වන්තී… ඈ ධම්මදින්නා….

ඈ කෙමෙන් කෙමෙන් තරුණ වියට ආවා. මව්පියන් මේ ළාබාල තුරුණු වියේ ඉන්න සුකුමාල දියණිය විශාඛ සිටුවරයට සරණ පාවලා දුන්නා. මේ දෙන්නා ගොඩාක් ආදරෙන් බොහොම ළෙංගතුව සතුටින් සමඟියෙන් පවුල් ජීවිතය ගෙව්වා.

හැමදාමත් ඔහු එනකම් සඳලුතලේ ඉඳන් ඈ බලාන ඉන්නවා. සිටුවරයා ඈත ඉඳන් ම ඈ දිහා බලලා හිනා වෙනවා. ඊට පස්සේ ඈ සඳලුතලෙන් දුවගෙන දුවගෙන යනවා. ඔහුට අත දෙනවා. ඔහු ඒ පඩිපෙළ නඟින්නේ ධම්මදින්නාගේ සියුමැලි අතේ එල්ලිලා.

ඒත්…. එදා හරි වෙනස්… සිටුවරයා බිම බලාගෙන ම එනවා. වටපිට බැලිල්ලක් නෑ.

‘‍මොකක් හරි ප්‍රශ්නයක් වෙන්න ඇති… ම්… මම පස්සේ අහන්නම්.’ ධම්මදින්නා සිතුවා. ඈ සැඳැල්ලෙන් පහළට දිව්වා. වෙනදා වගේ හිනාවෙලා අත දුන්නා. ඒත් සිටුවරයා වෙනදා වගේ නෑ. නිසොල්මනේ ම පඩිපෙළ නඟිනවා. ධම්මදින්නාගේ හිත ඇතුළෙන් විදුලියක් කෙටුවා වගේ. ‘මම පස්සේ මේ ගැන අහන්නම්…’ ඈ ආයෙමත් හිත හදාගත්තා. ඔහු කෑම මේසයට වාඩි වුණා. වෙනදා එතන එක ම සතුටු සල්ලාපයයි. ඒත් අද… අද අමුතු ම නිහැඬියාවක් අරක් අරන් වගේ ධම්මදින්නාට දැනුණා. සිටුවරයා කෑම කිස අවසන් කළා. වෙනදා වගේ සිරියහන් ගැබට ගියේ නෑ. මාළිගයේ වෙන කාමරයකට ගියා. හෙමිහිට දොර වහගත්තා.

ධම්මදින්නාගේ හිතට ඉවසුම් නෑ. අකලට අනෝරා වැස්සක් ඇද හැළෙන්නැහේ ඇගේ නෙතින් කඳුළු වැල් රූරා වැටුණා. ඈ ගැහෙන හදින් ඒ දොර ළඟට ගියා. ඈ හිතුවේ නෑ ඒ දොර ඈට ඇරෙයි කියලා.

ඒත් ඒ කාමරයේ ඇතුළේ සිටින සිටුවරයාගේ හිත මල් පෙත්තක ඇති සිනිඳුවටත් වඩා අහිංසකයි කියලා ධම්මදින්නා දැන හිටියේ නෑ.

මොහොතයි ගියේ… හෙමිහිට දොර ඇරුණා.

“‍ඇයි…?”‍ වෙනදා වගේ ම ඒ හඬ දයාබරයි.

“මගෙන් වරදක් වුණා නම් සමාවෙන්න.” ඈ තෙපලු‍වා.

“‍නෑ ධම්මදින්නා.”

“‍එහෙනම්… එහෙනම් ඇයි අද වෙනස්..? අද ගොඩාක් වෙනස්…”

විශාඛ සිටුවරයා මොහොතක් කල්පනාවට වැටුණා. ඔහු දුර ඈත බැලු‍වා. මෙහෙම කිව්වා.

“‍ඔව්… ධම්මදින්නා අද වෙනස්… අද ගොඩාක් වෙනස්… මම බුදුරජාණන් වහන්සේගේ විරාගී බණ පද ඇහුවා. හරි විස්මිතයි. මට මේ ශාසනයේ පිහිට ලැබුණා ධම්මදින්නා… ආයේ මගේ හිත මේ කාමයට ඇලෙන්නේ නෑ.”

මොහොතක නිහැඬියාවක්…

ධම්මදින්නා කඳුළු පිසදා ගත්තා. හිස ඔසවලා විශාඛ දිහා බැලු‍වා. ඒ දෙනෙතේ තිබුණේ මහා ගැඹුරක්.

“‍එතකොට ඔය පිහිට ගත්ත ශාසනයේ, කාන්තාවන් වෙච්ච අපට නැති ද විමුක්තියක්?”

විශාඛ සිටුවරයාගේ මුව’ගට මඳහසක් පැන නැංගා.

“‍ධම්මදින්නා… ඒ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ පිහිට ගන්න ස්ත්‍රී පුරුෂ කියලා භේදයක් නෑ.”

ඈ බිම බලාගත්තා. නෙතු පියාගෙන මෙහෙම කිව්වා.

“‍එහෙනම් මාත් ඒ ශාසනයේ පිහිට හොයාගෙන යනවා.”

විශාඛ ආදරයෙන් ඈ දිහා බැලු‍වා. කවදාවත් නැති තරම් සෙනෙහසින් බැලු‍වා.

“‍ධම්මදින්නා… ඔබ ගොඩාක් තරුණයි. සියුමැලියි. පැවිද්ද කියන්නේ ගොඩාක් දුෂ්කර එකක්.”

ඈ තාමත් නෙත් පියාගෙන…

“‍ඒ කියන්නේ ඔබ වමාරපු දේ මට ගිලින්න කියල ද?”‍ ඒ වචනවල තිර අධිෂ්ඨානයක් තිබුණා.

කෙනෙකුට ඇත්තටම ආදරෙයි නම්, ඇත්තටම සෙනෙහෙවන්තයි නම්.. ඇයට දෙන්නට හැකි මීට වඩා උත්තරීතර තවත් දෙයක් ලෝකෙ තියෙනව ද?

අමා නිර්වාණයට මඟ ඇරිලා තියන වෙලාවේ, ඒ මාවතේ නිදහසේ සැරිසරා යන්නට ඔහු මුළු හිතින් ම ඇයට සෙත් පැතුවා.

විශාඛ ධම්මදින්නා ව රන් සළුපිළිවලින් සැරසුවා. රන් ආභරණ පැලැන්දුවා. රන් දෝලාවක වඩා හිඳෙව්වා. රත්තරන්වලටත් වඩා වටින ශාසනයේ පිහිට දෙන්නට, මාළිගයට කැන්දන් ආවටත් වඩා මහා පෙරහරකින් මෙහෙණවරට කැඳවාගෙන ගියා.

ඈ දිගු වරලස කපා දැම්මා. සළුපිළි ඉවත හෙළු‍වා. කසාවත පොරවා ගත්තා. ගෞතම සසුනේ පිහිට සොයා යන තෙරණියක් වුණා.

සසරේ පින් බල මතු වී එන්නේ

පදුමුත්තර බුදු සසුනේ පටන් සසරේ කළ පින්වල බලය මතු වුණා. දිවි පුදා දහමේ හැසිරුණා. නොබෝ කලකින් සියලු‍ කෙලෙසුන් නසා නිකෙලෙස් මහා මුනිවරියක් වුණා.

ඥාතීන්ටත් පිහිට වෙන්න ඕන කියලා යළි රජගහ නුවරට වැඩම කළා. විශාඛ සිටුවරයට ඒ බව සැලවුණා.

‘‍ඇගේ සිත පැවිද්දට නොඇලු‍නාවත් ද?’ ඔහුගේ හිත කුකුස් කළා. තෙරණිය වැඩ සිටින ආරාමයට පැමිණුනා.

ඈට වන්දනා කළා. සම්බුදු බණ දහම් ගැන ඇගෙන් පැනයෙන් පැනය විමසුවා. ඈ තියුණු ප්‍රඥාවෙන් එකින් එක විසඳුවා. ඇත්තටම එතන සොඳුරු දහම් පිළිසඳරක් මතු වුණා.

“‍පින්වත් විශාඛ, මා ඔබේ පැන විසඳුවා. මා දුන් පිළිතුරු හරි ද වැරදි ද කියලා ශාස්තෘන් වහන්සේගෙන් ම විමසන්න.” තෙරණිය පැවසුවා.
විශාඛ සිටුවරයා අප මුනිඳුන් මුණගැහුණා. සිරිපා වන්දනා කළා. සිදු වූ දහම් පිළිසඳර ගැන පවසා සිටියා.

“‍පින්වත් විශාඛ, ධම්මදින්නා තෙරණිය මහා ප්‍රඥාවන්තයි. මහා පණ්ඩිතයි. පින්වත් විශාඛ, ඔබ ඔය ප්‍රශ්න මගෙන් විමසුවා නම් මා දෙන්නෙත් ඔය පිළිතුරු ම තමයි.”

සාදු… සාදු… මේ ගොයුම් මුනිඳුගේ ශාසනය අතිශයින් ම සුන්දරයි… අතිශයින්ම විස්මිතයි… එකට අතිනත ගත් අයත්, කම් සුවය නොපතා දම් සුවෙන් ම සැනසී ගිය අපූරුව.

අගතනතුරු ලැබීම…

පස්සේ කාලෙක භාග්‍යවතුන් වහන්සේ භික්ෂුණීන් වහන්සේලාට අග්‍රස්ථාන පිරිනමන වෙලාවේ දී “මහණෙනි, මගේ මේ ශාසනයේ ධර්මකථික භික්ෂුණීන් අතරින් ධම්මදින්නා භික්ෂුණීන් වහන්සේ අග්‍ර වන්නී ය” කියා වදාළා. ඒ අරහත් උත්තමාවියගේ නිකෙලෙස් හද මඬලින්, දවසක් මේ වගේ අසිරිමත් උදානයක් පැන නැංගා.

“‍නිවන් දකින්ට ම යි සිතේ ආශාව ඇති වුණේ. වෙන දේකට වසඟ වුණේ නැහැ. මනසින් නිවන ස්පර්ශ කර ගත්තා. කාමයන් පිළිබඳ සිත බැඳී නැති ජීවිතයක් ඇති ඒ කෙනාට තමයි උඩුගං බලා යන්නී කියලා කියන්නේ.”

(ඒ අමා නිවන් දුටු රහතන් වහන්සේලා)

මේ කාමාතුර ලෝකයේ, සසර සැඩ පහරේ ම යන කාන්තා ජීවිතවලට පිහිට පිළිසරණ භාග්‍යවතුන් වහන්සේ. ඈ ඒ පිහිට ලබා ගත්තා. උඩුගං බලා ම වැඩම කළා. නිවනට ම වැඩම කළා. නොබැඳෙන දහමක මිහිර විඳ ගත්තා. නොඇලු‍න සසුනක පිහිට ලැබ ගත්තා.

ඔව්.. ඒ උඩුගං බලා යන්නී.. සසර ඕඝයෙන් එතෙරට ම යනවා. ඒ උත්තරීතර ගමනට, මේ අරහත් උත්තමාවී ඔබ අප කාටත් සොඳුරු පරමාදර්ශයක් වේවා!

 සටහන -නයනා නිල්මිණි