මේ ධර්ම මාර්ගයේ ගමන් කිරීමේ දී ගිහි පැවිදි භේදයක් නැති බව අපි පළමුවෙන් ම තේරුම් ගත යුතු යි. ධර්ම මාර්ගයේ ගමන් කිරීමේ දී කරුණු දෙකක් බලපානවා. බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා ධර්ම මාර්ගයේ ගමන් කිරීම පිණිස බාහිරින් ලැබිය යුතු දේ අතර චතුරාර්ය සත්‍යය ධර්මය ශ්‍රවණය කිරීම තරම් වෙනත් දෙයක් බුදු ඇසින් පවා නොදකින බව. එහෙනම් බාහිරින් ලැබෙන ප්‍රධාන ම දෙය චතුරාර්ය සත්‍යය අසන්නට ලැබීමයි. ඒක තමයි ධර්ම මාර්ගයේ ගමන් කිරීම ඇරඹීමට බාහිරින් ලැබිය යුතු දේ. බාහිරින් ඒ දේ ලැබෙන්නට නම් ඒ සමාජය තුළ ධර්මය කතාබස් විය යුතු යි. එවිට බාහිරින් එය ඇසෙනවා.

ඊළඟට ජීවිතාවබෝධය පිණිස අභ්‍යන්තර අංගයක් හැටියට යෝනිසෝමනසිකාරය තරම් වෙනත් දෙයක් නොදකින බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා.එතකොට ගිහි හෝ වේවා, පැවිදි හෝ වේවා බාහිරින් චතුරාර්ය සත්‍ය ධර්මය අසන්නට ලැබීමත්, අභ්‍යන්තරයේ යෝනිසෝමනසිකාරය තිබීමත් අවශ්‍ය වෙනවා.යෝනිසෝමනසිකාරය යනු තමන් ඇසූ ධර්මයට අනුව නුවණින් විමසා එය වටහා ගැනීමට ඇති හැකියාවයි. සද්ධර්ම ශ්‍රවණයයි, යෝනිසෝමනසිකාරයයි යන දෙක එකතු වන විට ශ්‍රද්ධාව උපදිනවා. අන්න එතන තමයි ධර්ම මාර්ගයේ ප්‍රවේශ වීම. මේ සඳහා ගිහි පැවිදි භේදයක් නැහැ.