භාග්‍යවතුන් වහන්සේ දුතිය මරණසති සූත්‍රයේදී (අං. නි. – 5) මරණසතිය වඩන ආකාරය මෙසේ අප හට පෙන්වා වදාළ සේක.

“මහණෙනි, මෙහිලා භික්ෂුව මෙසේ නුවණින් සලකයි. මාගේ මරණයට බොහෝ කාරණාවෝ තිබෙත්. සර්පයෙක් හෝ මට දෂ්ට කරන්නේය. ගෝනුස්සෙක් හෝ මට දෂ්ට කරන්නේය. පත්තෑයෙක් හෝ මට දෂ්ට කරන්නේය. එයින් මාගේ මරණය සිදුවිය හැක්කේය. එයින් මට අනතුරක් විය හැක්කේය. පය පැකිලී හෝ මම වැටෙන්නේ නම් අනුභව කළ බත් නො දිරවන්නේ නම් මාගේ පිත හෝ කිපෙයි නම්, මාගේ සෙම හෝ කිපෙයි නම්, ආයුධයක් සේ නපුරු ලෙස මාගේ වාතය කිපෙයි නම් මිනිස්සු හෝ මාව මැරීමට උපක්‍රම කරත් නම් අමනුෂ්‍යයෝ හෝ මාව මැරීමට උපක්‍රම කරත් නම්, ඒ හේතුවෙන් මා මරණයට පත්විය හැක්කේය. එයින් මට අනතුරක් විය හැක්කේය.” වශයෙනි.

ඉන්පසු මෙසේ මරණසතිය වඩන කෙනා දිවා රාත්‍රී දෙකේ ම තමාට අනතුර පිණිස පවතින අකුසල ධර්මයන් තමා තුළ පවතී ද කියා නුවණින් විමසා බලමින් එම අකුසල ධර්මයන් ප්‍රහාණය කිරීම පිණිස අධිමාත්‍ර වූ කැමැත්තක් ද වීර්යයක් ද උත්සාහයක් ද බලවත් උත්සාහයක් ද අත් නොහරින උත්සාහයක් ද සිහියක් ද නුවණින් කටයුතු කිරීමක් ද කළ යුත්තේය. මේ පිළිබඳව තවදුරටත් කරුණු අධ්‍යයනය කිරීම පිණිස ‘සිතට සුවදෙන භාවනා’ නම් වූ ග්‍රන්ථයත්, අං. නි. – 5 පොත් වහන්සේ තුළ අඩංගු පඨම හා දුතිය මරණසති සූත්‍රත් අධ්‍යයනය කරන්න.